පෙම්බරියගෙන් වෙන්වුණ ලූලෙක් හැරෙයි ඇළකට – කාලයම සිතුවිල්ලක් වූ මිනිත්තුව

පිංතූරය රුක්ෂිලා වෙත්තමුනි
පිංතූරය රවින්ද්‍ර පුෂ්පකුමාර

ටිම්රාන් කීර්ති සහ ඩොමිනික් චන්ද්‍රසාලි කියන්නෙ ජනප්‍රිය තරුණ කවියන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා විසින් ලියූ නවතම කාව්‍ය සංග්‍රහයන් දෙකක් මැයි මාසෙ 26 වෙනිදා සවස 3.00 ට මහවැලි කේන්ද්‍රයේදී එළි දැක්වීමට නියමිතයි.  ‘පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇළකට’, සහ ‘කාලයම සිතුවිල්ලක් වූ මිනිත්තුව’ තමයි කෘති දෙක. ඔවුන් දෙදෙනා සමග ඒ කර්තව්‍යය ගැන සහ කවිය ගැනයි මේ සංවාදය.

ටිම්රාන් කීර්ති:

ඡායාරූපය චතුර විජේසිංහ

‘පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇළකට’. පොතකට යෙදුණු ටිකක් වෙනස් විදියෙ නමක්.

මොකක් ද මේ අමුතු නම පොතට දාපු… වෙනස් වැඩක් ද?

නම නම් අමුතුයි තමයි. හැබැයි, නමෙන් විතරක් කවි එකතුවක් වෙනස් වැඩක් බවට පත් වෙන්නෙ නෑ. මිනිස්සුන්ගෙ විඳීම් වලට මිහිරි බලපෑමක් කරන්න පුළුවන් වුණොත් තමයි, කිසියම් වටිනාකමක් පොතට එන්නෙ. කවියක එන පේළි දෙකක් තමයි පොතේ නමට යොදා ගත්ත. රුවන් බන්දුජීවගෙ ලොකු කැමැත්තක් තිබුණා ඒ පේළි දෙකට. ඒ උත්තේජනය තමයි පොතේ නම බවට පත් වුණේ.

ඔබේ සම්මානයට පාත්‍ර වුණු ‘යන්නං චන්දරේ’ කාව්‍ය සංග්‍රහය  ඇතුළේ දේශපාලනය, ආදරය, සමාජ ප‍්‍රශ්න ආදී නොයෙක් කලාපයන්ට ඔබ අපව අරගෙන ගියා. ‘පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇළකට’ කාව්‍ය සංග්‍රහයෙන් ඔබ අපව අරගෙන යන්නේ මොන වගේ කලාපවලට ද ?

මේ කවි එකතුවේ තියෙන්නෙත්, වෙනදා වගේ ම නොලියා ඉන්න බැරි තැන, මඟ නොහැර යන්න බැරි නිමිති ඔළුවෙ හොල්මන් කරද්දී විටින්විට ලියවුණු කවි ටිකක්. මිනිස් ජීවිතය අවසන් මොහොතෙ දී හෝ ඔසොවා තබන කවියට තමයි, වැඩියෙන්ම මම ඇළුම් කරන්නේ. පේ‍්‍රමය ගැන ලිව්වත්, දේශපාලනික කවියක් ලියවුණත්, මේ කොතැනත් ගැවසෙන්නේ මිනිස්සු. මිනිස්සු ඇති නැති විදියට කවිය නොබෙදුණත්, මිනිස් හැඟීම් එක්ක කරන ගනුදෙනුවක දී කියවන මිනිස්සුන්ටත් සමීප කවියක් ලියන්න ගත්ත උත්සාහයක් විදියටත් අලුත් වෑයම හඳුන්වලා දෙන්න මම කැමැතියි.

කවියන් සංවේදීයි තමයි. හැබැයි මිනිස්සුන්ගේ සංවේදීකම් ටිකෙන් ටික වියැකී යන තත්ත්වයක් මේ සමාජය තුළ ඇති වෙමින් තිබෙනවා. මොකක්ද ඒකට හේතුව විදියට දකින්නෙ ඔබ ?

මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න. මම, මගෙ පවුල යනාදී විදියට හිතනවා මිසක තමන්ගෙන් බාහිරව ලෝකයට ඇළුණු හදවතක් සහිත මිනිස්සු හොයන එක කළුනික හොයනවටත් වඩා අමාරු වැඩක්. මේ ක‍්‍රමය ඇතුළේ බිහි වෙන්නේ ආත්මාර්ථකාමී මිනිස්සු. ඒක මිනිස්සුන්ගෙ වැරැද්දක්ම නෙමෙයි. කවියෝ බවට රූපාන්තරණය වෙන්නෙත් මිනිස්සුමයි. දළඹුවා සමනලයා වෙන විදියට නෙවෙයි, මිනිස්සු කවියෝ වෙන්නෙ. මේ රටේ මිනිස් තීරණ හුඟක් වෙලාවට මිනිස්සුන්ට ම පාරාවළල්ලක් වුණා. අසංවේදීකම මිනිස් හැසිරීම්වලට තාර්කික ඵලයක්. සංවේදී සුසුම්වලට කරන්න පුළුවන් දේවල් සීමිත යි.

කවියක භාෂාව දැනෙනවද මේ රටට? කවි හරි ඈතයි නේද අපේ  සමාජයේ බහුතරයකට?

කවිය රටට දැනෙනවා නම්, අපි තව දුරටත් කවි ලියන්න වුවමනාවක් නෑ. කවි දැනෙන රටක් කියන්නේ හරි සංස්කෘතික කලාපයක්. කවි නොවෙයි, කිසිම දෙයක් නොදැනෙන රටක් මේක. මහ දවාලෙ දකුණු අත කපන් ගියත්, වම් අත දන්නේ නෑ. හැබැයි, ලෝකය හොල්ලපු කවිය‍ෙ ලතින් ඇමෙරිකානු, අපි‍්‍රකානු රටවලින් බිහි වුණේ මර්දනය, පීඩනය, අරාජිකත්වය තුළින්මයි. මේ රටෙත් කවියට ආදරය කරන සුළුතරයක් ඉන්නවා. කවියන් අතෙත් වගකීමක් තියෙනවා, මිනිස්සුන්ට සමීප කවියක් ලියන්න. ‘‘ඔන්න අපි ලිව්වා, පුළුවන්නං කියවා ගනිල්ලා” වර්ගයේ කවි ලියවෙද්දී මිනිස්සු තව තවත් කවියෙන් ඈත් වෙනවා. දියාරු කවියක් ගැන නොවෙයි, මං මේ කියන්නේ.

තුන්දෙනෙක්ගෙ කවි පොත් තුනක් එකම දවසෙ එකම වෙලාවෙ එළි දැක්වෙනවා?

ඩොමාගෙයි මගෙයි බැඳීමට ඉතිහාසයක් තියෙනවා. කවිය පැත්තකින් තිබ්බත්, ජීවිතේ බොහෝ දේවල් බෙදා හදා ගන්න මිත‍්‍රත්වයක්. කලින් කවි පොත් එළිදැක්වුවෙත් එකට. ඉදිරියෙදීත් අපි දෙන්නාගේ නිර්මාණ වෑයම්වල දී මේ එකතුපහදුව එහෙමම සිද්ධ වෙයි. මේ වතාවෙ දී අපිත් එක්ක එකතු වුණ දිමුතු ප‍්‍රදීප් මිත‍්‍රයාවත් අමතක කරන්න බැහැ. මිනිස්සු කාර්යබහුල වුණ වටාපිටාවක සාහිත්‍ය වැඩවලට වුණත් විටින් විට සහභාගී වෙන එක කරදරයක්. අපි ඉදිරියේ දී උත්සාහ කරනවා, මේ කරදරයත් අවම වෙන විදියේ වැඩකට යන්න.

ලේඛකයෙන් විදියට බදු ගෙවන්න සිද්ධ වෙන කෙනෙක් ඔබ. මොකද හිතෙන්නෙ අලුත් බද්ද ගැන?

මං වෘත්තීය ලියන්නෙක් නොවෙයි. මම තව අවුරුදු පහළොවක්, විස්සක් ජීවත් වුණොත් වැඩිම වුණොත්, කවි පොත් දෙක තුනක් ලියවෙයි. සමහර විට මේ පොතෙන් පස්සේ ආයෙ නොලියන්නත් පුළුවන්. ඒ වුණත්, ලේඛකයකුගේ සොච්චම් කර්තෘ භාගයටත් විදින්න හදන හැටි නම් හරි කුජීතයි. තේරෙන භාෂාවෙන් කියන්න තියෙන්නේ, මේවා මහ හෙණ ගහන වැඩ.

ඩොමිනික් චන්ද්‍රසාලි

ඡායාරූපය – සමිත් කවීන්ද්‍ර ප්‍රනාන්දු

‘කාලය ම සිතුවිල්ලක් වූ මිනිත්තුව’  කාව්‍ය කෘතිය’ ඔබේ විඳීම් විඳවීම්වල සංයුක්ත ප‍්‍රකාශනයක් කියලයි මට හිතෙන්නෙ ?

මිනිස්සු කියන්නෙ අපේක්ෂා භංගත්වය තුලම අපේක්ෂා කරන ජීවින් කොටසක්. මමත් එ්කේ එක මනුස්සයෙක් විතරයි. මම එ්කට යමක් යෝජනා කරන්න ගත්ත උත්සාහයක්  විතරයි මේක. පේ‍්‍රමය, විචිත‍්‍රත්වය, මිනිස්සුන්ගේ ජීවිත ආශාව හඳුනා ගැනීමට මට ඕනෙ වුණා. එවැනි පදනමකින් තමයි ‘කාලය ම සිතුවිල්ලක් වූ මිනිත්තුව’ ලියවෙන්නෙ.

කවියා කියන්නෙ සංවේදී පුද්ගලයෙක්. ඒ කවියා ලියන කවි කියවන්න ඒ කවි දැනෙන්න තරම් අපේ සමාජය

සංවේදීයි කියලා ඔබ හිතනවද? මේ සමාජයට කවිය දැනෙනවා කියලා ඔබ හිතනවද?

අමුතුවෙන් දුරස් වෙලා කියල මම කියන්නෙ නැහැ.මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ කවි කියවන්නේ නැති නිසාම නෙවෙයිනේ. යම් තාක් දුරකට ආර්ට් එකෙන් ගොඩදාන්න පුළුවන්. සිනමාව, නාට්‍ය, ගීතය, ආදිය හරහා නව කතිකාවත් ඇති වෙන්න පුළුවන්. සාධනීය දේවල් මිනිස්සු අතරට ගෙනියන්න මාධ්‍යයත් බලපානවා. දැන් රූපවාහිනිය තරම් මේ සමාජය දූෂණය කරන තවත් තැනක් නැහැ. මිත්‍යාවෙන් මිනිස්සු ගිල්ලලා දානවා. රූපවාහිනීි වැඩසටහන් වල අමු ගොන්පාට් දැක්කම මුන් ආටිස්ට්ලා ද කියල හිතෙන තරම්. අපිත් කරන්නේ විවිධ කලාපවලින් මේ තරම් අරාජිකත්වයට කොනකින් හරි නව යෝජනාවක් ගේන එක. එ්ත් ඒ  විතරක් නෙවෙයි, අඩුම තරමේ කිසි දෙයක් නැත්තම් තමන්ගේ ස්ථානගත වීමවත් පැහැදිලි වෙන්න ඕනේ සහ එ්ක අනිවාර්යෙන්ම ප‍්‍රගතිශීලී විය යුතුයි. ඒ කියන්නේ තමන්ගේ කවිය හෝ මොනයම් දෙයක් ලීවත් මිනිස්සුන්ට කලින් තමන්ටත් අමතක වෙලා. නූතන කවිය අද භාෂාත්මක සහ ආකෘතික අතින් නිදහසේ හිතන්න පටන් අරගෙන ඉන්නවා. මම ඒක කීවේ තාක්ෂණික සාධක ගොනු කරගෙන. පරිකල්පනය ඉහළ යි. නමුත් හැම ආර්ට් එකක්ම දියුනුයි නම් ඇයි මේ සියලුම සංස්ථාවන් බිඳ වැටිලා. ඒ ගැනයි හිතන්න ඕනේ. මිනිස්සුත් ආර්ට් එකත් අතර සංවාදය හදාගන්න ඕනේ. කවියේ යාන්ත‍්‍රික දියුණුව උත්කර්ෂයක් උනත් සිවිල් සමාජයේ භෞතික පෙනී සිටීම වෙනස්. තව දුරටත් කවිය හෘදයාංගමද යන්න හිතන්න වෙනවා. මොකද ඒ වෙනකොටත් කවිය විෂයක් වෙලා ඉවරයි.

ඔබ කවියකුට අමතරව විශේෂයෙන්ම චිත‍්‍ර ශිල්පියෙක්. චිත‍්‍රය මේ කාව්‍ය සංග‍්‍රහයට භාවිත කළේ නැද්ද?

අජීවි සිතුවිලි වලට ඡායාමතික හැඩ එකතු කරනවා වගේ දෙයක්. ඒක ශිල්පීය ක‍්‍රමයක් විතරයි. සන්දර්භය සමීප කරන්න රූපවලට පුදුම විදිහට පුළුවන්. සෙවනැලි ජීවමාන කරන්න අදාල අවකාශයේ පිරුණු භෞතික දේට වඩා මනංකල්පිත සිතුවිලි සහ රූප ගලපා ගැනීම ගැන වැඩිපුර මම හිතුවා.

අවසන් වශයෙන් ඔබ කලාවන් (කවිය, චිත‍්‍රය,) භාවිත කරන්නෙ කුමක් අරබයා ද කියන කාරණාවට ඔබේ පිළිතුර මොකක්ද?

මූලිකව කාංසාව, නමුත් ප්‍රොඩක්ට් එකක් විදියට එලියට එනකොට ස්වරූපයන් ගැන හිතන්න වෙනවා. පවතින තත්ත්වයන් වලට යෝජනාවක් කරන්න  උවමනාව තියනවා සහ ඒ ඔස්සේ විවිධ මාවත් විවර කිරීම තමයි මගේ අපේක්ෂාව. කඩා වැටීම් බිඳ වැටීම් කම්පනයන් ආදියෙන් ඇතිවන වේදනාව නැවත නැවතත් පෙරලා අපිව පෝෂණය කරනවා.  

Cover Image: boondi.lk

Related Articles