ලොව වැඩිපුරම අකුණු ගහන ස්ථාන 10ක්

සමහර විට පෙනුමෙන් අහසේ අලංකාර රටා මැව්වාට හෙණ ගහනවා කියන්නේ නම් ඒ තරම් ප්‍රසන්න අත්දැකීමක් නොවෙයි. අකුණු ගැසීමකදී ධන හා සෘණ වශයෙන් ආරෝපණය වූ වළාකුළු දෙකක් අතර ආරෝපණ හුවමාරුවක් සිදු වී ඒ දෙක උදාසීන වීම සිදුවෙනවා, ඉතා ක්ෂණයකින් සිදු වන මේ ක්‍රියාදාමය නිසා විශාල ශක්තියක් ජනනය වනවා. සමහර විට ආරෝපිත වළාකුලක් හා පොළොව අතරත් මේ දේ සිදු වෙනවා. අපි ‘හෙණ ගැසීමක්’ ලෙස හඳුන්වන්නේ මෙයයි.

හෙණ ගැසීමක් සිදුවන විට ආරෝපණ ගලා යාම සිදු වන්නේ ඉතා විශාල විභව අන්තරයක් ඔස්සේ යි. මේ නිසා හෙණ ගැසීමකට හසු වූ මිනිසෙක් පමනක් නොවෙයි විශාල ගස්, දේපළ ප්‍රාකාර පවා විනාශ වන්නට පුළුවන්. විව්ධ දේශගුණික හා භූගෝලීය හේතු මත ලොව විවිධ ස්ථාන වලට අකුණු හෝ හෙණ ගසන්නට හැකි සම්භාවිතාව හෝ සුලබතාවය වෙනස් වෙනවා. ගැසීමේ මූලධර්ම ගැන දීර්ඝ විස්තරයක් ලිවිය හැකි නිසා එය පසු ලිපියකට තබා නාසා ආයතනයට අනුව ලොව වැඩිපුරම අකුණු හා හෙණ ගසන ස්ථාන කිහිපය ගැන තොරතුරු බිඳක් මේ ලිපියෙන් ඔබ හමුවේ තැබීමට අපි තීරණය කළා.

ලොව වැඩිම අකුණු කොටන ස්ථාන දහය- businessinsider.com

10. බොයෙන්ඩේ -කොංගෝව

බටහිර හා මධ්‍යම අප්‍රිකාවේ කොංගෝවට අයත් මෙම ප්‍රදේශයේ එක් වර්ග කිලෝමීටරයක් තුල වසරකට අකුණු ගැසීම් 127.52 ක් වාර්ථා වෙනවා. අප්‍රිකා මහාද්වීපය තුළ වැඩිම අකුණු ගැසීම් සහිත ප්‍රදේශය වන කොංගෝවේ ස්ථාන කිහිපයක්ම නාසා ආයතනයට අනුබද්ධ ආයතනයක් විසින් සිදු කරන ලද අකුණු ගැසීම හා වායුගෝලීය විද්‍යුතය පිළිබඳ සමීක්ෂණයේ වාර්තාවට අනුව ඉදිරියෙන්ම සිටිනවා.

9. බුටෙම්බෝ -කොංගෝව

අප්‍රිකානු මහා විල් සීමාවට අයත් ප්‍රදේශයේ පිහිටා ඇති කොංගෝවට අයත් මෙම නගරය හා තදාසන්න ප්‍රදේශයේ එක් වර්ග කිලෝමීටරයක ප්‍රදේශයකට සාමාන්‍යයෙන් වාර්ෂිකව අකුණු ගැසීමේ සාමාන්‍යය අකුණු පහර 129.5 ක් වෙනවා. මෙය විල් ආශ්‍රිත, උස් තැනිතලා භූමියක් නිසා අකුණු අනතුරු බහුලව සිදු වෙනවා.

අප්‍රිකානු මහා විල් වල පිහිටීම- drinklocaldrinktap.org

8. න්ගුටි -කැමරූන්

න්ගුටි කැමරූන් රාජ්‍යයේ පිහිටි ප්‍රදේශයක්. මෙහි ඉතා දැඩි අකුණු අවදානමක් ඇති අතර සාමාන්‍යයෙන් එක් වර්ග කිලෝමීටරයක් තුල වාර්ෂිකව අකුණු ගැසීම් 128.58 ක් පමණ වාර්ථා වෙනවා. මෙයට හේතුව වශයෙන් දැක්වෙන්නේ මේ ප්‍රදේශයේදී ගිනියා බොක්කෙන් නැඟෙන ශීතල සුළං ධාරා කැමරූනයේ මධ්‍යම ප්‍රදේශයෙන් නැඟෙන උණුසුම් වායුධාරා සමඟ නිරන්තරයෙන් මිශ්‍ර වීමයි.

7. එල් ටරා – කොලොම්බියාව

කොලොම්බියාවේ එල් ටරා සමකාසන්න උස් ප්‍රදේශයක්. එහි වාර්ෂික අකුණු ඝනත්වය වර්ග කිලෝමීටරයට 138.61ක් තරම් ඉතා වැඩි අගයක් ගන්නවා. විද්‍යාඥයින්ට අනුව සමකාසන්නයේ හා උස් ප්‍රදේශ වල අකුණු ගැසීම් බහුලව සිදු වෙනවා.සමකාසන්න හෝ උස් කඳුකර පෙදෙසක වුවත් වැඩි අකුණු ඝනත්වයක් ඇති වීමට ආරෝපිත වලාකුළු වලට ඒ ප්‍රදේශයට ළඟා විය හැකි වීම විය යුතුයි. එල් ටරා ඒ සුදුසුකම් සියල්ල සපුරන ලද ස්ථානයක්.

එල් ටරා හි වටපිටාව -laopinion.com.co

6. දගර් – පාකිස්ථානය

දගර් වයඹදිග පාකිස්ථානයේ, ඛයිබර් ප්ක්තුන්ක්වා ප්‍රදේශයේ ඇෆ්ඝනිස්ථාන දේශ සීමාව ආසන්නයේ පිහිටා ඇති කඳුකර නගරයක්. දගර් නගරාසන්නයේ වාර්ෂිකව වර්ග කිලෝමීටරයක් තුළ අකුණු සැර 143.11 ක් පමණ ඇති වෙනවා. මෙහි නිරන්තරයෙන් ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එයට හේතුව වශයෙන් හඳුනාගෙන ඇත්තේ මෙය හිමාලයේ බටහිර කොටස හා ඉන්දු ගංගා නිම්නය වෙන් කෙරෙන මායිමේ පිහිටා ඇති නිසා බවයි.

5. සාකේ – කොංගෝව

outsideonline.com

කොංගෝවේ පිහිටා ඇති මෙම පෙදෙස කිවු විල අසබඩ රුවන්ඩා දේශ සීමාව ආසන්නයේ පිහිටා තිබෙනවා. මෙහි වර්ග කිලෝමීටරයකට වාර්ෂික අකුණු ඝනත්වය 143.21 ක්. නාසා ආයතනයට අනුව ලොව වැඩියෙන්ම අකුණු ඇතිවන ස්ථාන දහයෙන් හයක්ම අයත් වන්නේ අප්‍රිකාවටයි. ඒවායින් බහුතරයක්ම පාහේ අප්‍රිකානු මහා විල් අසල පිහිටා තිබෙනවා.

4. කසෙරෙස් – කොලොම්බියාව

කොලොම්බියාවේ උතුරට වන්නට පිහිටි කසෙරෙස් නගරය කොලොම්බියාවේ වැඩියෙන්ම අකුණු සැර වාර්ථා වෙන නගරය ලෙස වාර්ථා පොත් වල ලි‍යැවී තිබෙනවා ගංගාවක් අසබඩ පිහිටා තිබීම මෙන්ම සමකයට ආසන්නව පිහිටීමත් මෙහි වැඩි අකුණු ඝනත්වයට හේතු වන බව විශ්වාස කෙරෙනවා. මෙහි ජීවත් වන ජනතාවට වසරකට වර්ග කිලෝමීටරයක් තුළ අකුණු ගැසීම් 172.29 ක් පමණ අත් විඳින්නට පුළුවන්.

3. කම්පෙනේ – කොංගෝව

ලොව අකුණු සැර වලට වැඩිම ප්‍රසිද්ධිය උසුලන කොංගෝවට අයත් තවත් අකුණු රජදහනක් වන කම්පෙනේ හි වාර්ෂික අකුණු ඝණත්වය වර්ග කිලෝමීටරයකට 176.71 ක් පමණ වෙනවා. ලොව සෑම විටම ගිගුරුම් සහිත වර්ෂා 2000 ක් පමණ ක්‍රියාත්මකව පවතින අතර ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් අප්‍රිකාවේ මහා විල් ප්‍රදේශයේ ඇති වන්නේ එය සමකාසන්න උස් තැනිතලාවක පිහිටි ජල තලයක් යන අකුණු කාමී ලක්ෂණ සියල්ලක්ම පාහේ සපුරා ඇති ප්‍රදේශයක් නිසායි.

2. කබරෙ – කොංගෝව

ලොව අකුණු ගැසීම් ඝණත්වය පිළිබඳ සිතියම

අකුණු ගහන කොංගෝවේ වැඩිම අකුණු ඝනත්වයක් වාර්ථා වන්නේ කබරෙ ප්‍රදේශයෙන්. අප්‍රිකානු අකුණු කලාපයේ මධ්‍යලක්ෂය ලෙස මෙම ප්‍රදේශය හඳුන්වන්නට පුළුවන්. කබරෙ ප්‍රදේශයේ වැසියෙකුට අකුණු කෙටීම ඉතාම සාමාන්‍ය සිද්ධියක් වන අතර ලොව වාර්ෂික අකුණු ඝනත්වය වර්ග කිලෝමීටරයකට 200 ඉක්මවන ප්‍රදේශ දෙක අතුරින් එකක් මෙය වනවා. මෙහි වාර්ෂික අකුණු ඝනත්වය වර්ග කිලෝමීටරයකට 205.31 ක් තරම් වෙනවා.

1.  මැරකයිබෝ විල – වෙනිසියුලාව

මැරකයිබෝ විල-news.mongabay.com

වෙනිසියුලාවේ කිවුල්දිය විලක් වන මැරකයිබෝ විල හා ඒ අවට ප්‍රදේශය ලෝකයේ අකුණු ගැසීම් බහුලම ස්ථාන අතුරෙන් ප්‍රමුඛස්ථානය ගන්නා තැන වනවා. මෙහි දිනපතාම පාහේ අකුණු සහිත වර්ෂා ඇති වන අතර එයට හේතුව ලෙස අන්දීස් කඳු වැටියෙන් හමා එන ශීත සුළං මෙහිදී විල් දියෙන් නික්මෙන උණුසුම් වායු ධාරා සමඟ මුසුවීම ලෙස හඳුනාගෙන තිබෙනවා. මැරකයිබෝ විලට ගලා එන කැටටුම්බෝ ගංගාවේ මුවදොරට ඉහළින් මේ සංසිද්ධිය හොඳින්ම බලපවත්වන අතර අවුරුද්දේ දින බහුතරයකම පැය ගණනාවක් එහි අකුණු සැර සහිත වර්ෂා ඇති වෙනවා. ප්‍රදේශවාසීන් එය හඳුන්වන්නේ ‘කැටටුම්බෝ හි නොනිමෙන වැස්ස’ ලෙසයි. මේ අකුණු සැර අතීතයේදී නැවියන් විසින් මං සලකුණු ලෙස යොදාගෙන ඇති අතර වර්තමානයේ එය නැරඹීම සඳහාම සංචරකයින් ද මේ පෙදෙසට පැමිණෙනවා. මෙහි අකුණු ඝනත්වය වර්ග කිලෝමීටරයට වාර්ෂිකව අකුණු 232.52 ක් වෙනවා.

කැටටුම්බෝ අකුණු වර්ෂාව- Alan Highton/Barcroft media

කවරයේ පින්තූරය – Greatstock/Barcroft Media

මූලාශ්‍ර: outsideonline.com

Related Articles