ඔක්තෝබර් විප්ලවයට සියවසයි

රුසියාවේ සිදු වූ සුවිශේෂී ඓතිහාසික සිදු වීමක් වූ ‘ඔක්තෝබර් විප්ලවය’ ගැන අප සියලු දෙනාම අසා ඇත. මෙම ලිපියෙන් එහි ක්‍රියාදාමය, සුවිශේෂතා පිළිබඳව සංවාදයක් ඇතිකරගැනීමට උත්සහ කරමු. ඔක්තෝබර් විප්ලවය යනු එතෙක් වැඩවසම් රාජාණ්ඩුව පලවා හැර බලයට පත් තාවකාලික ආණ්ඩුවද පරදා රුසියාවට නව ගමනක් විවර කළ ඓතිහාසික ක්‍රියාදාමයන්ගේ ආරම්භය සනිටුහන් කළ සමාජ පරිවර්තනයයි.

සාර් පාලනය යටතේ රුසියාව

ක්‍රි.ව. 1547 සිට ක්‍රි.ව. 1917 දක්වා රුසියාව වසර හාරසියයකට ආසන්න කාලයක් සාර්වරු යටතේ පාලනය වූ වැඩවසම් රාජ්‍යක් විය. 1861දි නෛතිකව ප්‍රවේණිදාස ක්‍රමය දෙවන ඇලෙක්සැන්ඩර් සාර් විසින් අහෝසි කළද එය සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමීමට සර්වරු අසමත් විය. තවද රුසියාවේ යටත් රාජ්‍යන් ලෙස පැවති උස්බෙකිස්තානය, ටජිකිස්තානය, කසකස්තානය, ලිතුවේනියාව, ලැට්වියාව වැනි ප්‍රදේශයන්හි ප්‍රවේණිදාස ක්‍රමය සම්පුර්ණයෙන්ම පැවතුණි. මිට අමතරව මෙම ප්‍රදේශ යනු මහ ජාතික රුසියානු ජාතික පිඩනයෙන් පෙළන ලද ජාතිකත්වයන් වෙසෙන ප්‍රදේශයන් විය. මේ නිසාම එකල රුසියාව හඳුන්වන ලද්දේ ‘ජාතීන්ගේ සිරගෙදර’ නමිනි. රුසියාවේ අවසන් රාජකීය නායකයා වුයේ 1894 සිට 1917 දක්වා පාලනය කළ දෙවන නිකලස් සාර්ය. (සාර් යනු අධිරාජයාය​)

දෙවන නිකලස් සාර්(Wikimedia)

1905 දී ඇතිවූ විප්ලවය මර්දනය කරන ලද්දේද දෙවන නිකලස් සාර් විසිනි. 1904දි රුසියාව ජපානය සමග යුද්ධයකට එළඹීම නිසා ඇතිවූ ආර්ථික අර්බුද හේතුවෙන් සහ සාර්ගේ අත්තනෝමතික පාලනය නිසා ජනතා නැගිටීමකට අවශ්‍ය තත්ත්වයන් සකස්ව තිබුණි. 1905 ජනවාරි මස 22 දින සාර්ට ලිපියක් භාරදීමට පැමිණි නිරායුධ පෙළපාලියකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමත් සමග ඉහත අර්බුදයන් පුපුරා යමින් ජනතා නැගිටීමක් ඇතිවිය. මෙය වැඩ වර්ජනවලින් මෙන්ම අවිගත් නැගිටීමකින්ද සමන්විත වුවත් මෙය සම්පුර්ණයෙන් මර්දනය කරන ලදී.

ශීත මාලිගය අසලදී පෙළපාලියට වෙඩි තැබීම සිත්තරකු ඇසින් (static2.mbtfiles)

රුසියාව බොහෝ කලක සිට යුද්ධවල නිරතව සිටි නිසා හමුදාවන්ද දැවැන්ත පීඩනයකට හසුව සිටි අතර ඔක්තෝබර් විප්ලවය සිදුවනවිටත් 1914 සිට ඇරඹුණු පළමුවන මහා ලෝක යුද්ධයට රුසියාව හසුව තිබුණි. වගා කිරීමට ඉඩම් නොතිබූ ගොවියන් ඉඩම් හිමියන්ගේ පීඩනයට ලක්වද, ජනතාව ආහාර හිගයෙන්ද පිඩා විඳි නිසා මෙම සියලු පාර්ශව එක් සටනක් වෙත ගෙන්වා ගැනීමට ඔක්තෝබර් විප්ලවය ‘හමුදාවට සාමය, ගොවියන්ට ඉඩම්, ජනතාවට පාන්’ යන සටන් පාඨ ඔස්සේ මෙහෙයවීය.

පෙබරවාරි විප්ලවය

මෙය රුසියාවේ ධනේශ්වර විප්ලවය ලෙස හඳුන්වන බල පෙරලියයි. ජනතා පීඩකයෙක් ලෙස රට තුළ පිළිකුලට භාජනයව සිටි රජ පෙළපත බලයෙන් පහ කොට තාවකාලික ආණ්ඩුවක් පිහිටුවන ලද්දේ 1917 පෙබරවාරි මාසයේ (වත්මන් දින දර්ශනයට අනුව මාර්තු මාසයේ 8) සිදු වූ විප්ලවයේදීය. දැවැන්ත වැඩ වර්ජන සමග සිදු වූ මෙම බල පෙරලියේදී ලක්ෂ දෙකකට අධික කම්කරු වැඩ වර්ජන දියත්විය. සාර් බලයෙන් පහ කිරීමෙන් පසුව බලයට පත් තාවකාලික ආණ්ඩුවේ බහුතරය සමන්විත වූයේ කර්මාන්ත හිමියන් සහ ඉඩම් හිමියන්ගෙනි. මෙහි ප්‍රධානියා වූයේ ජෝජි ල්වොව්(Georgy Lvov) ය.

ජාත්‍යන්තර කාන්තා දිනය දා පෙබරවාරි විප්ලවය ඇරඹේ (history)

පෙබරවාරි විප්ලවයෙන් පසු සිදු වූ විශේෂත්වයක් වුයේ ‘ද්විත්ව බලයක්’ ඇති වීමයි. එනම් අගනුවර වූ පෙට්‍රොග්‍රෑඩ් හි බිම් මට්ටමේ බහුතර බලය කම්කරුවන් සහ සෙබළුන් අත පැවතිණි. මෙම කම්කරු සෙබළ ගොවි එකතූන් ‘සෝවියට් සභා’ නමින් හැඳින්විය. මෙම සෝවියට් සභාවන් සතුව ඒ ඒ ආයතනවල බලය මෙන්ම අවි බලයද පැවතුණි.  නමුත් රටේ නායකත්වය සම්බන්ධව තවමත් ගැටළුවක් ඉතිරිව තිබුණි. පහළ නායකත්වය පීඩිත කොටස් පැවතියත් ඉහල නායකත්වය ධනේෂ්වර නායකයන් විය.

තාවකාලික ආණ්ඩුවේ ප්‍රධානින් (Wikimedia)

රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ බිහිවීම

රුසියාව තුල මුලින්ම සමාජවාදී ව්‍යාපාරයට පෙර ගොඩනැගෙන්නේ ගොවි අරගල ව්‍යාපාරයකි.  එය නරෝදික් ව්‍යාපාරය ලෙස හඳුන්වයි. මෙය ඉතා හොඳින් සංවිධානය වූ ව්‍යාපාරයක් නොවේ. මෙම ව්‍යාපාරය බිහිවුයේ දිළිඳු ගොවි ජනතාව සහ ඉඩම්හිමි කුලැක්වරු අතර ඇතිවූ ගැටීම් නිසාය. මෙහි ඉතිහාසය 1860 වැනි කාලයක් දක්වා දිවයන අතර  කුලැක්වරු සහ රජය පලවා හැර නිෂ්පාදනය ගොවින් අතර බෙදා හැරීමේ සාධාරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් සටන් කළ ව්‍යාපාරයක් විය. 1877 දී සාර් රජය විසින් මෙය සම්පුර්ණයෙන්ම තලා දමන ලදී.

මෙම සටන් ව්‍යාපාරයන්ගේ අත්දැකීම්ද, යුරෝපය තුල නැගී ආ මාර්ක්ස්වාදී ඉගැන්වීමද පාදක කරගනිමින් පසුව රුසියාව තුල මාර්ක්ස්වාදී අධ්‍යයන කව ආරම්භ වූ අතර රුසියාවට මාර්ක්ස්වාදී දැනුම් රැගෙන එන ලද්දේ සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් රුසියාව තුල අරඹන ලද්දේ ජෝජි ප්ලෙකනොව්(Georgi Plekhanov) විසිනි. ඔක්තෝබර් විප්ලවයේ නායක වූ ව්ලැඩිමීර් ලෙනින්ද විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස මෙම අධ්‍යයන කවවලට සම්බන්ධ විය.

ජෝජි ප්ලෙකනොව් (img.haikudeck)

මෙම මාර්ක්ස්වාදී අධ්‍යයන කව හරහා සංවිධානාතමක ලෙස  1898 දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය ලෙස ආරම්භ කළ අතර මෙම පක්ෂය රුසියාව තුල සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් බිහිකළ පක්ෂයයි.

පෙබරවාරි විප්ලවයට පෙර මෙන්ම පසුවද යුරෝපයේ දියුණු රටවල මෙන් රුසියාව තවමත් පැරණි වැඩවසම් සමාජ ක්‍රමය අභිබවා ගොස් නැති නිසා මුලින්ම ධනේශ්වර විප්ලවයට ඉඩ සලසා පසුව ධනවාදයේ ඉහලට පැමිණිනු පසුව සමාජවාදී විප්ලවය සිදුකල යුතු බව රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ සුළුතරයක (මෙන්ශෙවික්) මතය විය. ධනේෂ්වර විප්ලවය තවදුරටත් යුරෝපයේදී ඉටුකළ ප්‍රගතිශීලි කටයුතු සිදු නොකරන බවත් එම කාර්යයන් පවා සමාජවාදී විප්ලවය වෙත පැවරෙන බවත් විප්ලවය සමාජවාදය දක්වා ගෙන යා යුතු බවත් ප්‍රකාශ කළ ලෙනින් ඇතුළු පිරිස බහුතරය(බොල්ෂෙවික්) විය. පෙබරවාරි විප්ලවයේදී රු.ස.ප්‍ර.ක.ප. එරට ධනේශ්වර කොටස් සමග එක්ව සාර්ට එරෙහි විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් පසුව ඉහත ගැටළුව වඩාත් ප්‍රධාන එකක් විය.

ලෙනින් (jacobinmag)

අප්‍රේල් තිසිසය

බෝල්ෂෙවික්වරු බලය ලබා ගත යුතුබව අවධාරණය කරමින් ලෙනින් විසින් 1917 අප්‍රේල් මස ඉදිරිපත් කරන ලද ප්‍රවාදයන් ‘අප්‍රේල් තිසිස’ ලෙස හඳුන්වයි. එය කෙටියෙන් මෙසේයි.

1.ල්වොව් සහ සමාගමේ නව ආණ්ඩුව ධනේෂ්වර ආණ්ඩුවක් නිසා කොල්ලකාරී ආර්ථික ක්‍රමයක් ඔස්සේ දිවෙන මෙම යුද්ධය අවසන් කිරීමට ඔවුන්ට නොහැකිය. යුද්ධය අවසන් කිරීමට නම් බලය කම්කරු ජනතාවට සහ ගොවි ජනතාවට පැවරිය යුතුය.

  1. සෝවියට් සභා තුල අප පක්ෂයේ බලය සීමිත නිසා ඔවුන් අතර පතුරුවන වැරදි මත නිවැරදි කිරීමටත් නියම විප්ලවවාදී ආණ්ඩුවක් බිහිකළ හැක්කේ සෝවියට් සභා වෙත බලය ලබාදීමෙන් පමණක් බවත් ජනතාවට පැහැදිලි කළ යුතුය.
  2. ඉඩම් ජනසතු කිරීම හා සියලු බැංකු ඒකාබද්ධ කර පාලනය අදාළ සෝවියට් සභා වෙත පැවරිය යුතුය.
  3. නිෂ්පාදන කටයුතු සිදු කිරීම සහ බෙදාහැරිම සෝවියට් සභා වෙත පැවරීම හදිසි කර්තව්‍යය ලෙස සැලකිය යුතුය.
  4. රු.ස.ප්‍ර.ක. පක්ෂයේ කර්තව්‍යන්- වහාම පක්ෂ සමුළුව කැඳවීම සහ පක්ෂයේ වැඩපිළිවෙල, පක්ෂයේ නම වෙනස් කිරීම. (එනම් කොමියුනිස්ට් පක්ෂය ලෙස)
  5. නව ජාත්‍යන්තරයක් ගොඩ නැගීම. එනම් ලොව පුරා සමාජවාදය වෙනුවෙන් ක්‍රියාකරන විප්ලවවාදී පක්ෂ අතර සම්බන්ධය ගොඩ නැගීම.

1917 දී පක්ෂයේ මධ්‍යම කාරක සභාව (Marxists.org)

මින් පසුව ක්‍රමයෙන් සෝවියට් සභා තුල බලය ගොඩනගමින් විප්ලවය සඳහා අවශ්‍ය පදනම සකස් කරගැනීම සිදු විය. සෝවියට් සභා තුල මෙම යෝජනා සම්මත කරමින් කම්කරු සෙබල ගොවි ජනතාවගේ අනුමත කිරීම ඔස්සේ මතවාදී එකඟතාවකට සෝවියට් සභා ගෙන ඒමට ලෙනින් ප්‍රමුඛ බොල්ෂෙවික්වරුන්ට හැකිවිය. පසුව මෙම කාර්යය අවසන් කරමින් 1917 ඔක්තෝබර් මස 25(නොවැම්බර් 7) වනදා ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කිගේ තාවකාලික ආණ්ඩුව බලයෙන් පහ කර රාජ්‍ය බලය සෝවියට් සභා වෙත පවරන ලදී. (කෙරෙන්ස්කි පෙබරවාරි විප්ලවයෙන් පසුව අධිකරණ ඇමති ලෙසද, පසුව යුධ භාර ඇමති ලෙසද, ජුලි මසදී තාවකාලික ආණ්ඩුවේ ප්‍රධානියා ලෙසද පත්විය)

කෙරෙන්ස්කි (Wikimedia)

එහිදී ලෙනින් විසින් ජනතාව වෙත නිකුත් කළ පණිවිඩය මෙසේයි

රුසියාවේ රටවැසියන් වෙත,

තාවකාලික ආණ්ඩුව බලයෙන් පහ කරන ලදී. රාජ්‍ය බලය පෙට්‍රොග්‍රැඩ් කම්කරු පන්තියේ සහ මුර කොටුවේ ප්‍රධානියා වන පෙට්‍රොග්‍රැඩ් කම්කරු හා සෙබල නියෝජිතයන්ගේ විප්ලවවාදී කමිටුව විසින් පවරා ගන්නා ලදී.

ජනතාව සටන් කළ කාර්යය, එනම් ප්‍රජාතන්ත්‍රවාදී සාමයක් වහාම ස්ථාපිත කිරීම, පෞද්ගලික ඉඩම් අයිතිය වහාම අහෝසි කිරීම, නිෂ්පාදනය කම්කරුවන් විසින් පාලනය කිරීම සහ සෝවියට් රජයක් බිහි කිරීම යන කාර්යයන් සහතික කර ඇත.

කම්කරුවන්ගේ, සෙබළුන්ගේ සහ ගොවීන්ගේ විප්ලවය දිනේවා!

-කම්කරු සහ සෙබල නියෝජිතයන්ගේ පෙට්‍රොග්‍රැඩ් සෝවියට් සභාවේ විප්ලවවාදී මිල්ලිටරි කමිටුව

ඔක්තෝබර් විප්ලවයේ බලය ලබා ගැනීමේ පරිච්ඡේදය මෙලෙස අවසන් විය.

මුලාශ්‍ර:

  1. socialist.net
  2. marxists.org/
  3. ලෙනින් තෝරාගත් කෘති- වෙළුම 5, වෙළුම 7

කවරයේ පින්තුරය: rcpbml.org

Related Articles