Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘69 වූඩ්ස්ටොක් සැණකෙළිය: රොක් සංගීත ඉතිහාසයේ වඩාත්ම සිත් අළලන උත්සවය

Roar කියවන පාඨක ඔබ බොහොමයක් දෙනා සංගීතයට ඉතාමත්ම කැමති බවට කතා දෙකක් නෑ. එයිනුත් බහුතරයක් දෙනා අනිවාර්යයෙන්ම රොක් සංගීතයට කැමති බවට කිසිම සැකයක් අපට නැහැ. ඔබ සංගීතයට, විශේෂයෙන්ම රොක් සංගීතයට ප්‍රිය නම් මේ උත්සවය ගැන ඔබ දන්නවාත් ඇති. එ් නිසා, 1960 ගණන්වල ඉතා ජනප්‍රියත්වයට පත්වුණු රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ ඉතිහාසය වෙනස් කළ අවස්ථාවක් ලෙස සැලකෙන 1969 වූඩ්ස්ටොක් උළෙල පිළිබඳව කියැවීමට ඔබ කැමති වනු ඇතැයි අප සිතුවා.

වූඩ්ස්ටොක් පෝස්ටරය (all-that-is-interesting.com)

සාමාන්‍ය වහරෙදි “වූඩ්ස්ටොක් උළෙල” ලෙස හැඳින්වෙන වූඩ්ස්ටොක් සංගීත සහ කලා පොළ දින තුනක් පුරාවට පැවැත්වුණු සංගීත උත්සවයක්. 1969 අගෝස්තු 15 සිට 17 දක්වා දින තුනක් එක්සත් ජනපදයේ නිව්යෝක්හි කිරි ගොවිපළක පැවැත්වීමට සැලසුම් කර තිබුණත්, 18 වන දා දක්වාම දින 4ක් පුරාවට ඇදී ගිය මෙම උත්සවයට 400,000ක පමණ ජනකායක් සහභාගී වුණා.

400,000 අධික පිරිසක් සහභාගී වුණා (all-that-is-interesting.com)

“දින තුනක් පුරා සංගීතයත් සාමයත්” යන තේමාවෙන් සිව්දිනක් පුරාවට මෙම උළෙල පැවැත්වුණේ නිව් යෝක් ජනපදයේ බෙතෙල් නම් කුඩා නගරයක මැක්ස් යස්ගර් නම් ගොවියෙකුගේ අක්කර 600ක විශාල කිරි ගොවිපල ඉඩමකයි. ඇමරිකානු හා විදේශීය ලෝක ප්‍රසිද්ධ කලාකරුවන් 32දෙනෙක් ලක්ෂ 4කට වඩා අධික ජනකායක් ඉදිරියේ ගී ගැයුවා.

වූඩ්ස්ටොක් උළෙල සංවිධානය වුණේ මයිකල් ලෑන්ග්, ජෝන් රොබර්ට්ස්, ජොයල් රොසෙන්මන්, සහ ආටී කෝන්ෆීල්ඩ් නම් සිව්දෙනාගේ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙසයි. රොබර්ට්ස් සහ රොසෙන්මන් මෙම උළෙලට මූල්‍යමය දායකත්වය සැපයුවා. ලෑන්ග් සංගීත නිශ්පාදකයෙක් වුණු අතර, කෝන්ෆීල්ඩ් සංගීතඥයෙක් වුණා. ලෑන්ග් සහ කෝන්ෆීල්ඩ්ගේ අරමුණ වුණේ නිව්යෝක්හි වූඩ්ස්ටොක් නගරයේ කුඩා සංගීත ස්ටූඩියෝවක් ඇරඹීමයි. මෙම ව්‍යාපෘතියට මුදල් සොයාගැනීම සඳහා මැන්හැටන්හි විශාල ස්‍ටුඩියෝ සංකීර්ණයක් ඉදිකරමින් සිටි රොබර්ට්ස් සහ රොසෙන්මන්ගේ සහාය ලබාගැනීමට ඔවුන් තීරණය කළා. එම අදහසට එකඟ නොවුණු ඔවුන් දෙදෙනා ඒ වෙනුවට වූඩ්ස්ටොක් හි සංගීත සැණකෙලියක් සංවිධානය කිරීමේ අදහස ඉදිරිපත් කළා. ලෑන්ග් සහ කෝන්ෆීල්ඩ් එම අදහසට එකඟ වූ නිසා 1969 ජනවාරියේ දී උළෙලේ සංවිධාන කටයුතු ඇරඹුණා.

විනෝදයෙන් (all-that-is-interesting.com)

සංගීතය උත්සවයක් පැවැත්වීමට අදහස් ඉදිරිපත් වෙද්දී එය පැවැත්වීමට තීරණය වුණේ නිව් යෝක්හි වූඩ්ස්ටොක් ප්‍රදේශයේ වුවත්, සැලසුම් සකස් වෙද්දී එය නිව්යෝක්හි වෝල්කිල් හි පැවැත්වීමට තීරණය වුණා. කෙසේ නමුත් ගම්වැසියන්ගේ විරෝධය නිසා එම අදහස අහෝසි කර මිල්ස් ඉන්ඩස්ට්‍රියල් පාක් නම් අක්කර 300ක ඉඩමක් බදු ගැනීමට ඔවුනට සිදුවුණා. ඒ, උත්සවයට 50,000කට වැඩි සෙනඟක් නොඑනවා ය යන පොරොන්දුව මතයි. කෙසේ නමුත් උත්සවය පැවැත්වීමට මසකට පෙර නගරය විසින් අනුමත කරගත් නීතියකට අනුව 5000කට වැඩි සෙනඟක් එන උත්සව එහි පැවැත්වීම තහනම් වූ අතර වූඩ්ස්ටොක් උත්සවය පැවැත්වීමට ලබාගත් බලපත්‍රය ඒ අනුව අහෝසි වුණා. ඒ අනුව උත්සවය පැවැත්වීමට නියම කරගත් දිනයට මසකටත් අඩු කාලයක් තිබියදී වෙනත් ඉඩමක් සොයාගැනීමට ඔවුනට සිදු වූ අතර යස්ගර්ගේ ගොවිපළ නොසිතූ ලෙස හමු වූ නිසා සැණකෙළිය එහි පැවැත්වීමට තීරණය වුණා. බෙතෙල් නගර කමි‍ටු වලින් ද එල්ල වූ බලපෑම් නිසා ටිකට් නිකුත් කිරීමේ කවුළු සහ වැටවල් ඉදිකිරීම හෝ වේදිකාව ඉදිකිරීම යන දෙකෙන් එකක් ‍තෝරාගැනීමට සංවිධාකයකයින්ට සිදු වූ අතර, සැණකෙළිය නොමිලේ පැවැත්වීමට තීරණය කර වේදිකාව ඉදිකිරීම ඔවුන් ‍තෝරාගත්තා.

මහා වර්ෂා මධ්‍යයේ පැමිණ සිටියවුන් සංගීතය රසවින්දා (all-that-is-interesting.com)

සංවිධායකයින් සැණකෙළියට පැමිණෙතැයි බලාපොරොත්තුව සිටියේ 50,000 – 100,000ක් අතර වූ ජනකායක්. එම නිසා ස්පීකර් ආදිය සවිකිරීම සිදුවුණේ උපරිම 200,000ක ජනකායකට අවැසිවන පරිදියි. නොසිතූ ලෙස 400,000 – 500,000ක් අතර මහා ජනකායක් රට පුරා ප්‍රදේශ වල සිට බෙතෙල් නගරයට ඇදී ආවා. මෙයින් බහුතරය තරුණ තරුණියන් වූ අතර ඔවුන් බොහොමයක් දෙනා ‘හිපී’ උපසංස්කෘතිය අනුගමනය කරන්නන් වුණා. වූඩ්ස්ටොක් උළෙලේ දී වාදනය කිරීමට සැලසුම් කර තිබුණු බ්ලූස් රොක්, ජෑස් ‍ෆියුෂන්, ෆෝක් රොක්, හාඩ් රොක්, ලැටින් රොක්, සහ සයිකඩෙලික් රොක් තරුණ තරුණියන් මෙතරම් පිරිසක් ආකර්ෂණය කරන්නට ඇතැයි සැලකිය හැකියි.

වූඩ්ස්ටොක් උළෙලට පැමිණෙමින් සිටි මහා ජනකාය නිසා මහත් තදබදයක් පැවතුනා (boredpanda.com)

උත්සවය පටන්ගත්තේ අගෝස්තු 15 වන සිකුරාදායි. පස්වරුවේ උත්සවය ආරම්භ වුණේ Richie Havensගේ ගීතයකින්. පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ ගීත 11ක් ඔහු විසින් ගායනා කළා. ඔහුගෙන් පසුව වාදනය කළේ Sweetwater නම් සංගීත කණ්ඩායමයි. ඔවුන් විසින් ගීත 10ක් ගායනා කළා. ඉන්දියානු යෝගීවරයෙකු වූ ස්වාමි සචිදානන්ද තෙවනුව වේදිකාවට පැමිණි අතර ‍රැස්ව සිටි 500,000කට කිට්‍ටු තරුණ තරුණියන් අමතමින් සංගීතයත්, සාමයත් පිළිබඳව දේශනා කළා. සිව්වෙනියට ෆෝක් සංගීතඥයෙක් වූ Bert Sommer විනාඩි 40ක් පමණ වෙලාවක් පුරාවට ගීත 10ක් වාදනය කළා.

පැමිණි පිරිස් (all-that-is-interesting.com)

වූඩ්ස්ටොක් උළෙලේ පළමු දිනයේ පස්වෙනියට වාදනය කළේ අප කවුරුත් දන්නා, ගරුකරන ආසියාතිකයෙක්. මහා සංගීතඥ රවී ශංකර් විනාඩි 40ක් පුරාවට සංගීත ඛණ්ඩයන් 3ක් වාදනය කළා. සයවෙනියට Tim Hardin ගීතයන් 10කුත්, ඔහුගෙන් පසු රාත්‍රී 11 පමණ විට වේදිකාවට පැමිණි Melanie Safka ගීත 7කුත් ගායනා කළා. ඉන්පසු අති ප්‍රසිද්ධ ඇමරිකානු සංගීතඥ Woody Guthrie ගේ පුත් ෆෝක් සංගීතඥ Arlo Guthrie ඇමරිකානු ජන ගී 6කුත්, කතාවකුත් ඉදිරිපත් කළා.

රවී ශංකර් වාදනය කරමින් (all-that-is-interesting.com)

බොබී ඩිලන්ගේ කාන්තා ප්‍රතිරූපය ලෙස සැලකිය හැකි Joan Baez වූඩ්ස්ටොක් උළෙලේ දෙවනි දින, එනම් 16වන දා පාන්දර 1ට ගී ගැයීම ආරම්භ කළා. ඈ විසින් ගැයූ ගීත සංඛ්‍යාව 14ක්. දෙවනි දිනයේ පළමු සංගීත කණ්ඩායම වූ Quill වාදනය ආරම්භ කළේ පස්වරු 12 පමණ වන විටයි. ඔවුන් විසින් ගී 4කුත්, Country Joe McDonald ඔහුගේ සංගීත කණ්ඩායම වූ The Fish සමඟ මිනිත්තු 30ක් පුරාවට ගීත 10කුත් ගායනා කළා.

Country Joe McDonalds (woodstock.com)

වූඩ්ස්ටොක් උළෙලට ලතින් ඇමරිකානු ‍ෆියුෂන් රොක් සංගීතය Santana විසින් ගෙන ආවා. ඔවුන් විසින් ගීත, සහ ඩ්‍රම් සෝලෝ එකක් ද ඇතුළුව අංගයන් 8කුත්, ඔවුන්ගෙන් පසු John B. Sebastian ගීතයන් 5කුත් ගායනා කළා.

Santana වාදනය කරයි (dailymail.co.uk)

වූඩ්ස්ටොක් උළෙලේ වාදනය කළ පළමු බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායම වුණේ Keef Hartley Bandයි. ඔවුන් විසින් ඔවුන්ගේ පළමු ඇල්බමය වූ හි Halfbreedහි ඇතුලත් වූ ගීත 6ක් වාදනය කළා. ඒ අවස්ථාවේ තමන්ගේ උපකරණ නොතිබූ ඔවුන් වාදනය කළේ සැන්ටානා කණ්ඩායමේ උපකරණ වලින් බවට මතයක් තිබෙනවා.

Santana (woodstock.com)

සෙනසුරාදා සවස 6ට පමණ වාදනය කළේ සිකුරාදාට වාදනය කිරීමට සිටියත් වර්ෂාව නිසා එය ප්‍රතික්ෂේප කළ The Incredible String Band කණ්ඩායමයි. ඔවුන් වර්ෂාව මධ්‍යයේ වාදනය කිරීමට ප්‍රතික්ෂේප කෙරුණේ මයික් හෙරන්ගේ නිර්මාණයන් අවධානයෙන් ඇසිය යුතු නිර්මාණ වන නිසා බව කියැවෙනවා.

පැමිණි යුවලක් තමා විසින් ඉදිකරගත් කූඩාරමක් ඉදිරිපිට (all-that-is-interesting.com)

Canned Heat කණ්ඩායම වාදනය කිරීමට වේදිකාවට පැමිණියේ සෙනසුරාදා රාත්‍රී 7.30 පමණ වන විටයි. ඉන්පසු ඉදිරිපත් වූ Mountain කණ්ඩායම බ්ලූස් රොක් ගී 11කුත්, The Grateful Dead ඉන්පසු වේදිකාවට පැමිණ පැය 2කට කිට්‍ටු කාලයක් ගීත 5කුත් ගායනා කළා.

පැමිණ සිටි තරුණ තරුණියන් (Bored Panda)

පැමිණ සිටි පිරිස් (all-that-is-interesting.com)

වූඩ්ස්ටොක්හි තෙවනි දින වූ 17 වනදා පාන්දර 12.30ට පමණ ගායනය ආරම්භ කළ Creedence Clearwater Revival ප්‍රසංගයේ විශේෂ තැනක් ගත්තා. ඔවුන් විසින් ගීත 11ක් ගායනා කළ අතර ඒවා පැමිණි සිට පිරිසගේ මහත් ප්‍රීතියට හේතුවක් වූ බවයි පැවසෙන්නේ. 17වන දා හිරු නැගෙන විටත් ගයමින් සහ වයමින් සිටි The Who ගීත 24ක් ගායනා කළා.

පැමිණ සිටි තරුණ තරුණියන් (Bored Panda)

සැන් ෆ්‍රැන්සිස්කෝ හි ප්‍රසිද්ධම සංගීත කණ්ඩායම ලෙස සැලකිය හැකි Jefferson Airplane මීළඟට ගීත 13ක් වාදනය කළා. ඉන්පසු Joe Cocker විසින් ගීත 13කුත්, නැවතත් Country Joe සහ The Fish කණ්ඩායම විසින් ගී 14කුත් ඉදිරිපත් කරනු ලැබුවා. ඔවුන්ගෙන් පසු පිළිවෙලින් Janis Joplin ගීත 10කුත්, Ten Years After විසින් ගීත 6කුත්, අති ප්‍රසිද්ධ බොබ් ඩිලන් පෙර මෙහෙයවූ කණ්ඩායමක් වූ The Band විසින් ගීත 11කුත්, Jonny Winter විසින් ගීත 8කුත්, Sly & The Family Stone විසින් ගීත 9කුත්, Blood, Sweat & Tears විසින් ගීත 10කුත්, Crosby, Stills, & Nash විසින් ගීත 16කුත් ගායනා කළා.

Janis Joplin (woodstock.com)

Sly & The Family Stone (woodstock.com)

වූඩ්ස්ටොක් උළෙලේ සිව්වන දිනය ඇරඹුනේ Paul Butterfield Blues Band සමඟ සඳුදා පාන්දරයි. ඔවුන් ගීත 7ක් වාදනය කළා. ඉන්පසු Sha Na Na විසින් ගීත 12ක් වාදනය කළ අතර උළෙලේ අවසාන ගායකයා වූ Jimi Hendrix උදෑසන 9ට ගායනය ආරම්භ කළා. කෙසේ නමුත් ඒ වන විට පැවතුණු වර්ෂා සහිත කාලගුණය නිසා ‍රැස්ව සිටි පිරිසෙන් බොහොමයක් නික්ම ගොස් තිබුණා.

Jimi Hendrix ගායනා කරමින් (all-that-is-interesting.com)

කණ්ඩායම් 32ක් පැමිණියා වුවත් Bob Dylan, Led Zeppelin කණ්ඩායම ඇතුළු පිරිස් 21ක් සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබුණා.

වූඩ්ස්ටොක් උත්සවය නැවත වරක් 1970දී පැවැත්වීමට තීරණය කළත් යස්ගර් විසින් තම ගොවිපළ ඒ සඳහා බදු දීම ප්‍රතික්ෂේප කළා. තවත් එවැනි උත්සවයන් බෙතෙල් හි පැවැත්වීමට නොහැකි වන ලෙස නීති සැකසීමට ද නගර බලධාරීන් පියවර ගත්තා. අවට ගොවිපළ වල ගොවිමහතුන් විසින් වූඩ්ස්ටොක් කමි‍ටුවට එරෙහිව නඩු 80ක් පමණ පළ කරනු ලැබුවා.

1984 දී වූඩ්ස්ටොක් උත්සවය සිහිවීමට ස්මරකයක් එහි පිහි‍ටුවනු ලැබූ අතර 2017 වසර වූඩ්ස්ටොක් උළෙලේ 48වන සංවත්සරය වනවා.

Sources: woodstock.com

Related Articles