Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට විශිෂ්ට ජයක් අත්කරදුන් මාලදිවයින් පාර්ලිමේන්තු මැතිවරණය

මාලදිවයින් පාර්ලිමේන්තු මැතිවරණය පසුගිය 8 වන දා (අප්‍රේල් 8) පැවැත්වුණා. එහිදී මාලදිවයින් පාර්ලිමේන්තුවේ ආසන 87ක් සඳහා නියෝජිතයන් තෝරාපත් කරගැනීම සිදුවුණා. මේ වන විට එහි සියලු ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. නිකුත් වූ ප්‍රතිඵල අනුව ආසන 87න් මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (MDP) ආසන 60ක්  ලබා ගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා.

හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් විසින් නිර්මාණය කෙරුණු, වර්තමානය වන විට ඔහු නායකත්වය දරන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේ ආකාරයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගෙන තිබෙනවා. මාලදිවයින් වත්මන් ජනාධිපතිවරයා වන ඊබ්‍රහිම් මොහොමඩ් ද සෝලී අයත් වන්නේ මෙම පක්ෂයට යි. ඔහු එම පක්ෂයේ උප නායකයා ලෙස වර්තමානය වන විට කටයුතු කරනවා.

අනෙක් ප්‍රධාන පක්ෂවලට හිමි වී තිබෙන්න සුළු ආසන ප්‍රමාණයක් පමණ යි. විශේෂයෙන් හිටපු ජනාධිපතිවරයෙකු වන අබ්දුල්ලා යමීන්ගේ පක්ෂය මෙම මැතිවරණයේ දී දැඩි පරාජයකට මුහුණ දී තිබෙනවා.

ඊබ්‍රහිම් මොහොමඩ් සෝලිගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය

හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් (KECI)

2018 වසරේ සැප්තැම්බර් මාසයේ දී එරට ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එහිදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන්නේ 2018 වසරේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අබ්දුල්ලා යමීන් හා පොදු විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී යන දෙදෙනා යි.

අබ්දුල්ලා යමීන්ගේ පාලන සමය ගැන සදහන් කළහොත් එය ඉතා මතබේදාත්මක සමයක් වූ අතර අබ්දුල් ගයුම් හා මොහමඩ් නෂීඩ් යන හිටපු ජනාධිපතිවරුන් ඇතුළු විරුද්ධ පක්ෂ නායකයන් විශාල පිරිසක් සිරගත කිරීමට ඔහු  කටයුතු කරනවා. රටේ අග්‍ර විනිශ්චකාරවරයා ද බලයෙන් පහ කොට බන්ධනාගාරගත කිරීමට ජනාධිපතිවරයා තීරණය කරනවා. ඔහුගේ පාලනය සමග චීන ආණ්ඩුව ද අත්වැල් බැඳගෙන සිටි අතර, චීනය විසින් කෙරුණු විශාල ව්‍යාපෘති ගණනාවක් එම සමය තුළ මාලදිවයිනේ ක්‍රියාත්මක වෙනවා.

අබ්දුල්ලා යමීන් රාජ්‍ය බලය කොපමණ  භාවිතා කළත්, එම ජනාධිපතිවරණය ජයගැනීමට සමත් වෙන්නේ විපක්ෂයේ අපේක්ෂකයා වූ ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී යි. මැතිවරණ පරාජයත් සමග ඔහු සිය ධූරයෙන් නිත්‍යානුකූලව ඉවත්වෙන අතර ඔහුගේ ධූර කාලයෙන් පසුව සෝලි එරට ජනාධිපතිවරයා බවට පත්වෙනවා.

අර්බුද මැද පාලනය වූ මාලදිවයින

වත්මන් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි (Al Jazeera)

ජනාධිපතිවරණයෙන් පසුව අලුතෙන් පත් වූ ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි ජනාධිපතිවරයාට එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් ඔහු විසින් ජන්ද පොරොන්දු ලෙස ලබා දී තිබුණු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට යාමේ දී  විශාල ගැටළුවක් පැන නගිනවා. ඒ, මන්ත්‍රී කණ්ඩායමක් සෝලිගේ පක්ෂය වන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හැර යෑම යි. ඔවුන් එකතු වෙන්නේ හිටපු ජනාධිපතිවරයා වූ අබ්දුල්ලා යමීන්ගේ මාලදිවයින් ප්රෝග්‍රසිව් පක්ෂයට යි (Progressive Party of Maldives).  අලුතෙන් පත් වූ ජනාධිපතිවරයාට බටහිර රටවල් හා ඉන්දියාව සිය සහයෝගිතාවය දැක්වූ අතර, ඔවුන් පෙර සිටම යමීන් පාලනය ප්‍රතික්ෂේප කරමින් කටයුතු කළ බව සඳහන් කළ හැකි යි.

නව පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉහළින්ම ජයගත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

පාර්ලිමේන්තු මැතිවරණයේ ජන්ද මධ්‍යස්ථානයක් (Washington Post)

ඉහත දැක්වූ පරිදි අර්බුදකාරී වාතාවරණයක් රට තුළ නිර්මාණය වී ඇති මොහොතක යි එරට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු සුදානම් වෙන්නේ. මෙම මැතිවරණයේ දී පාර්ලිමේන්තු ආසන 87කට ප්‍රධාන පක්ෂ තුන සමග තවත් පක්ෂ විශාල ප්‍රමාණයක් හා ස්වාධින කණ්ඩායම් ගණනාවක් ඉදිරිපත් වෙනවා.

එසේ ඉදිරිපත් වූ පක්ෂ අතරින් හිටපු ජනපති මොහොමඩ් නෂීඩ්ගේ මෙන්ම වත්මන් ජනාධිපති ඊබ්‍රහිම් මොහමඩ් සෝලිගේ පක්ෂය වන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබා ගන්නවා. ඔවුන් ලබා ගත් පාර්ලිමේන්තු ආසන ගණන 65ක්. ජමූරී පක්ෂය (Jumhooree Party) ආසන 6ක් දිනා ගනිමින් දෙවන ස්ථානය ලබා ගන්නවා. දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය විමතියට පත් කරමින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පක්ෂයට ලබා ගැනීමට හැකිවෙන්නේ ආසන 5ක් පමණ යි. ඔවුන් පක්ෂ අතරින් තුන්වන ස්ථානය ලබාගෙන තිබෙනවා.

මොහොමඩ් නෂීක් හා ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි (Washington Post)

මේ ලබාගත් ජයග්‍රහණයත් සමග යමීන්ගේ රජයේ දූෂණ වංචා සෙවීමට, නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට හා ස්වාධීන අධිකරණ පද්ධතියක් බිහි කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ නව ආණ්ඩුවට අලුත් අවස්ථාවක් උදා වී තිබෙනවා. එය ඔවුන් විසින් සාර්ථකව භාවිතා කරනු ඇති බවත් ජගත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

කවරයේ පින්තූරය - ජනාධිපතිවරයා සිය ආධාරකරුවන් සමඟ (DNA India)

මුලාශ්‍රයයන් -

nytimes.com

citynews1130.com

bbc.com

Related Articles