දැඩි නීතිරීති මධ්‍යයේ පැවැත්වීමට නියමිත 2020 මහා මැතිවරණය

පසුගිය මාර්තු මාසයේ මුල් සතියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ 16 වැනි පාර්ලිමේන්තුව මහා මැතිවරණය පැවැත්වීමේ අරමුණෙන්. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මහා මැතිවරණය අප්‍රේල් 25 වැනි දින පවත්වනු ලබන බව නිවේදනය කළා. ඒ අනුව මාර්තු 12 වැනිදා සිට මාර්තු 19 වැනිදා දක්වා මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමේ කටයුතු ද සිදු වුණා. නමුත් එම කටයුතු සිදුවන අතරතුර කොරෝනා වසංගතය අප රට තුළ පැතිර යාම ආරම්භ වුණු නිසා, මාර්තු 19 වැනිදා නාම යෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසුව අප්‍රේල් 25 වැනිදා මහා මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම නිවේදනය කළා. 

මැතිවරණය ජූනි මාසයට කල් යයි 

මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව තුළ ප්‍රබලව පැතිරී ගිය කොරෝනා වසංගත තත්ත්වය අප්‍රේල් මාසයේ දී තවත් දරුණු අතර හැරෙනු ඇති බවට අනාවැකි පළ වුණා. නමුත් අප්‍රේල් මාසයේ 20 වැනිදා වන විට ලංකාවේ කොරෝනා තත්ත්වය යම් තරමකට පාලනය වී තිබුණු නිසා නැවතත් මහා මැතිවරණය පැවැත්වීම පිළිබඳව අවධානය යොමු වුණා. එහි දී මැතිවරණ කොමිසම පාර්ශව ගණනාවක් සමගින් කළ සාකච්ඡාවලින් පසුව මහා මැතිවරණය පැවැත්විය හැකි දිනය පිළිබඳව නිවේදනයක් නිකුත් කළේ අප්‍රේල් 20 වැනිදා යි. ඒ අනුව මැතිවරණ කොමිසම නිර්දේශ කළේ ජූනි 20 වැනිදා මහා මැතිවරණය පැවැත්විය හැකි බව යි.

මහා මැතිවරණය අගෝස්තු 5 පැවැත්වෙන බව නිවේදනය කරයි 

අප්‍රේල් 22 වැනිදා වන විට ශ්‍රී ලංකාව තුළින් වාර්තා වී සිටියේ කොරෝනා ආසාදිතයින් 330ක් පමණ යි. නමුත් මැයි 6 වැනිදා වන විට එය 797ක් දක්වා ඉහළ ගියා. නැවතත් සමාජය තුළින් කොරෝනා රෝගීන් හමුවීමත් සමග මහා මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට නොහැකි වාතාවරණයක් නිර්මාණය වුණා. එනිසා මැයි 20 වැනිදා මැතිවරණ කොමිසම නිවේදනය කළේ මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට නොහැකි බව යි. නමුත් ජූනි මාසයේ පළමු සතිය අවසන් වන විට යළි සමාජයෙන් කොරෝනා රෝගීන් හමු නොවන තත්ත්වයක් නිර්මාණය වුණු නිසා යළි මැතිවරණ කොමිසම පාර්ශවයන් කිහිපයක් සමග සාකච්ඡා කළා. එම සාකච්ඡා අවසන් වීමෙන් පසුව මහා මැතිවරණය අගෝස්තු 5 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා සිටියා. 

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය (Lanka Web)

අර්බුද මැද පැවැත්වුණු මුල්ම මහා මැතිවරණය මෙය නොවෙයි 

1947-2015 කාල සමයේ අප රට තුළ මහා මැතිවරණයන් 15ක් පවත්වනු ලැබුවා. එම මහා මැතිවරණයන් අතුරින් මැතිවරණ 13ක්ම කිසිදු ගැටලුවක් නොමැතිව අවසන් කිරීමට හැකියාව  ලැබුණා. නමුත් 1947 සහ 1989 යන වසරවල පැවති මහා මැතිවරණ පැවැත්වීමට සිදු වුණේ අර්බුදකාරී වටපිටාවක යි. 1947 මහා මැතිවරණය ආරම්භ වුණේ අගෝස්තු මාසයේ දී යි. නමුත් එම මාසයේ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ඇද හැලුණු අධික වර්ෂාව නිසා ගංවතුර තත්ත්වයක් නිර්මාණය වුණා. එම නිසා ඇතැම් අපේක්ෂකයින්ට සිය ප්‍රචාරක ව්‍යාපාරය පවා ගෙනයාමට අපහසු වුණා. එවර මැතිවරණයේ දී මහනුවර ආසනය සඳහා ඉදිරිපත් වුණු ටී.බී. ඉලංගරත්න, සිය චරිතාපදානය වුණු ‘යුගයක ගමන’ පොතේ 67 සහ 68 පිටුවල මෙසේ සඳහන් කර තිබෙනවා. 

1947 මහා ජලගැල්ම මගේ ඡන්ද ව්‍යාපාරයට මහත් බාධාවක් විය. මගේ ප්‍රතිවාදියා වාහනවලින් සහ සම්පත්වලින් මට වඩා ශක්තිමත් වුණු නිසා මම ඡන්ද 205කින් මැතිවරණ සටන පරාජය විය”. 

එම කෘතියෙන් මා උපුටාගත් කොටසින් පැහැදිලි වන්නේ එදා බොහෝ තරගකරුවන් ජලගැල්ම තිබිය දී ඉතාමත් අසීරුවෙන් සිය මැතිවරණ කටයුතු කර ඇති බව යි. එසේම, අධික ගංවතුර තත්ත්වයක් පැවතීම නිසා නුවරඑළිය, කොටගල, සහ ගම්පල ආසනවල ඡන්ද විමසීම නියමිතව පැවති දිනට වඩා පසු දිනයක පැවැත්වීමට ද සිදු වුණා. 1947 මහා මැතිවරණයෙන් පසුව, අර්බුදකාරී වාතාවරණයක් යටතේ මහා මැතිවරණයක් පවත්වනු ලැබුවේ 1989 වසරේ දී යි. එම මහා මැතිවරණය පැවැත්වීමට මාස 3කට පමණ පෙර පැවති ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රණසිංහ ප්‍රේමදාස ජයග්‍රහණය කළා. එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. ඒ අනුව මහා මැතිවරණය පැවැත්වීමට තීරණය වුණේ 1989 වසරේ පෙබරවාරි 15 වැනිදා යි. නාම යෝජනා ලබාදීමෙන් පසුව මැතිවරණ දිනය තෙක් පැවති කාල සීමාව තුළ දී මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටි අපේක්ෂකයන් කිහිපදෙනෙකුම නාඳුනන තුවක්කුකරුවන් අතින් ඝාතනය වීම ඉතාමත් කණගාටුදායක සිදුවීමක් වුණා. ඊට මාස 3කට පමණ පෙර 1988 ජනාධිපතිවරණය පැවති දිනයේ දී මෙන්ම 1989 මහා මැතිවරණය පැවති දිනයේ දීත් රට පුරාම ප්‍රචණ්ඩත්වය රජ කරනු ලැබුවා. එම නිසාම එවර මහා මැතිවරණයේ දී මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 20%ටත් අඩු අගයක් ගත්තා.

1947 මහා ගංවතුර (Old Ceylon)

මෙවර මහා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදු කළ යුත්තේ කෙසේ ද?

සාමාන්‍යයෙන් මහා මැතිවරණයක දී ඕනෑම දේශපාලන පක්ෂයක් සාර්ථක මැතිවරණ ප්‍රචාරණයක් දියත් කරන්නේ සිය ඡන්ද පදනම වැඩිකරගැනීමේ අරමුණෙන්. නමුත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට සිදුව තිබෙන්නේ නීතිරීති රැසක් යටතේ යි.

ප්‍රචාරක රැස්වීම් 

මෙවර මහා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකිරීමේ දී අනුගමනය කළ යුතු නීතිරීති මාලාව පසුගිය ජූනි 1 වැනිදා සෞඛ්‍යය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා. ඒ අනුව මෙවර මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ට ප්‍රචාරක රැස්වීම් පැවැත්විය හැක්කේ පහත නීතිරීති යටතේ යි.

1) ප්‍රචාරක රැස්වීමකට සහභාගි කර ගත යුතු උපරිම පුද්ගලයන් ගණන 100ක් විය යුතු යි. 

2) රැස්වීම ආරම්භ කිරීමට අවම වශයෙන් දින 3කට පෙර එහි සංවිධායකවරයා විසින් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාව දැනුවත් කළ යුතු යි. 

3) රැස්වීම සඳහා සහභාගි වන සියලුදෙනාම මුඛ ආවරණ පැළඳිය යුතු යි. එසේම ඔවුන් මීටරයක දුර පවත්වා ගැනීම අනිවාර්ය යි.

4) එකිනෙකා අතර මීටරයක දුර පවත්වා ගැනීමට ප්‍රමාණවත් ඉඩකඩ තිබෙන ස්ථානයක් රැස්වීම සඳහා තෝරාගත යුතු යි. 

5) රැස්වීමට පැමිණෙන කථිකයන් ද එකිනෙකා සමග මීටරයක දුරක් පවත්වා ගත යුතු යි.

6) රැස්වීම්වල දී අත් පත්‍රිකා බෙදාහැරීම නොකළ යුතු යි. 

7) එක් කථිකයෙකු මයික්‍රොෆෝනය භාවිතා කිරීමෙන් පසුව එය විෂබීජහරණයට ලක් කළ යුතු යි. 

8) රැස්වීමක් පැය 3ක් ඇතුළත අවසන් කළ යුතු යි. 

9) රැස්වීම සංවිධානය කරන පුද්ගලයා හෝ සංවිධානය, රැස්වීමට සහභාගී වන සියලුම පුද්ගලයන්ගේ නම්, ලිපිනයන්, සහ දුරකථන අංකයන් සටහන් කර ගත යුතු යි. 

මැතිවරණ රැළියක් (Daily Mirror)

ප්‍රචාරණ පත්‍රිකා නිවෙස්වලට බෙදා දීම 

මැතිවරණ කාල සමයේ දේශපාලන නියෝජිතයින් ඡන්දදායකයන්ගේ නිවෙස්වලට ගොස් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරනු ලබනවා. මෙවර මහා මැතිවරණයේ දී එවැනි ආකාරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ද නීතිරීති මාලාවක් පනවා තිබෙනවා.

1) වරකට ගමන් කරන ප්‍රචාරක කණ්ඩායමට සාමාජිකයින් 3දෙනෙකු පමණක් ඇතුළත් විය යුතු යි.

2) උණ හෝ ශ්වසන රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයින් එවැනි ප්‍රචාරක කණ්ඩායම් සඳහා ඇතුළත් නොවිය යුතු යි.

3)  ප්‍රචාරක කටයුතු සඳහා සහභාගි වන සියලුදෙනාම මුඛ ආවරණ පැළඳිය යුතු යි. එසේම ඔවුන් මීටරයක දුර පවත්වා ගැනීම අනිවාර්ය යි.

4) පත්‍රිකා බෙදා දෙන පුද්ගලයා සෑම නිවසකටම පත්‍රිකා බෙදා දීමට පෙර හා පසුව දෑත් විෂබීජහරණය කළ යුතු යි. 

5) ප්‍රචාරක කටයුතු සඳහා සහභාගි වන පුද්ගලයන් කිසිදු නිවෙසකට ඇතුල්වීම නොකළ යුතු යි.

6) ප්‍රචාරක කණ්ඩායම ගමන් ගන්නා මාර්ගයේ විස්තර අදාළ අපේක්ෂකයා සටහන් කර තබා ගත යුතු යි. 

මැතිවරණ කාර්යාල

මෙවර මහා මැතිවරණයේ දී අපේක්ෂකයින්ට පහත නීතිරීතිවලට අනුකූලව මැතිවරණ කාර්යාල පවත්වාගෙන යාමට සිදුව තිබෙනවා.

1) පුද්ගලයින් එකතු වීම අඩු කිරීමේ අරමුණෙන් එක් එක් අපේක්ෂකයා හැකිතරම් අවම මැතිවරණ කාර්යාල ප්‍රමාණයක් පවත්වාගෙන යා යුතු යි. 

2) අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් එම කාර්යාල විවෘත කළ යුතු යි.

3) කාර්යාල තුළට සීමා සහිත පුද්ගලයන් ප්‍රමාණයක් ඇතුළත් කර ගත යුතු යි. 

මැතිවරණ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවන අයුරු 

මැතිවරණ දිනයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුකිරීමට නිර්දේශ කර තිබෙන්නේ පහත සඳහන් ක්‍රියා පටිපාටිය අනුව යි.

1) ඡන්ද දායකයන්ට එක් දොරටුවකින් ඇතුල් වී වෙනත් දොරටුවකින් පිටව යාමට හැකිවන ආකාරයට ඡන්ද මධ්‍යස්ථානය සකස් කළ යුතු යි.

2) ඡන්ද මධ්‍යස්ථානයක් සඳහා පත්කරන ඡන්ද පොල නියෝජිතයින් ප්‍රමාණය අවම කර ගත යුතු යි. 

3) ඇතුළත සහ පිටත පෝලිම් සඳහා පොළවේ මීටර් 1ක පරතරය ලකුණු කළ යුතු යි. 

4) ඡන්ද දායකයින් සහ ඡන්ද මධ්‍යස්ථානයේ නිළධාරීන් අතර පාරදෘශ්‍ය ආරක්ෂිත තිරයක් යෙදිය යුතු යි. එම තිරයේ පහළින් සකස් කරන ලද හිඩැසකින් රාජකාරි කටයුතු කළ හැකියි. 

5) ඡන්ද මධ්‍යස්ථානයේ නිළධාරීන් සහ ඡන්ද දායකයන් උපරිම දුරස්ථභාවය තබා ගත යුතු යි. 

6) ඡන්ද මධ්‍යස්ථානයේ පිවිසුම අසල ඡන්ද දායකයින්ට අත් සේදීමේ පහසුකම් සලසා තිබිය යුතු යි. එසේම සෑම ඡන්ද දායකයෙකුම මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්ය යි.

7) ඡන්ද මධ්‍යස්ථානයේ සියලුම නිළධාරීන් මුඛ ආවරණ පැළඳ සිටිය යුතු යි. එසේම ඡන්ද මධ්‍යස්ථානයට පිවිසීමට පෙර දෑත් විශබීජහරණය කළ යුතු යි. 

8) ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරීන් ඡන්ද දායකයින්ගේ හැඳුනුම්පත් හෝ ඡන්ද පත්‍රිකා ඇල්ලීම නොකළ යුතු යි. එය ඈත සිට ප්‍රදර්ශනය කරන මෙන් ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිය යුතු යි. නමුත් එසේ ස්පර්ශ කිරීමට සිදු වුණොත් එම නිළධාරියා හැකි ඉක්මනින් දෑත් විශබීජහරණය කළ යුතු යි. 

9) ඇඟිලි වර්ණ ගැන්වීම සිදු කරයි නම් ඒ සඳහා Cotton bud එකක් භාවිතා කළ හැකියි. ඇඟිලි වර්ණ ගැන්වීම අවසන් වුණු පසු එම Cotton bud එක සංවෘත කසල බඳුනකට දැමිය යුතු යි.

10) ඡන්ද පෙට්ටිය සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කරන පෑන සෑම පැයකටම වරක් විශබීජහරණය කළ යුතු යි. 

11) කෝදුවක් මඟින් ඡන්ද පත්‍රිකාව ඡන්ද පෙට්ටිය තුළට තල්ලු කිරීම සඳහා වෙනම සේවකයෙකු යෙදවිය යුතු යි. එම කෝදුව හෝ සේවකයා වෙනස් වන්නේ නම් භාවිතයට පෙර කෝදුව විශබීජහරණය කළ යුතු යි. 

12) ඡන්ද විමසීම අවසන් වුණු පසුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කාර්යය මණ්ඩලය විසින් ඡන්ද මධ්‍යස්ථානය විශබීජහරණය කළ යුතු යි.

කවරයේ ඡායාරූපය- Dinamina 

ඔබේ අපේක්ෂකයාත්, ඔබේත් රටේත් ආරක්ෂාවට පනවා ඇති ඉහත නීති පිළිපදිනවා ද? 

මූලාශ්‍රයයන්- Election Guidelines Ministry Of Health 

Related Articles