නවීන තාක්ෂණයේ බල මහිමයෙන් දිනෙන් දින ලොව සැඟව ගොස් තිබූ සමහර අභිරහස් හෙළිදරව් කරගන්නට විද්‍යාඥයින් සමත් වෙනවා. එවැනි සුවිශේෂී වික්‍රමයක් කිරීමට පසුගිය දා ජපාන ජාතික විද්‍යාඥයින් පිරිසක් සමත් වුණා. ඒ චාර්වක දතක් ආධාර කොට ගෙන මීට වසර 3,600කට පමණ පෙර ජපානයේ ජීවත් වූ කාන්තාවකගේ මුහුණ හා හිස සාර්ථකව ප්‍රතිනිර්මාණය කිරීම යි. මේ ක්‍රියාව නිසා පුරාතන නැගෙනහිර ආසියානු ජනයා පිළිබඳව වඩා පැහැදිලි චිත්‍රයක් මවාගන්නට ලෝකයාට හැකි වී තිබෙනවා.

ඉපැරණි සිරුරු කොටස්

1998 වසරේ දී ජපානයේ තිබී ඉපැරණි ජෝමොන් සමයට අයත් කාන්තාවකගේ සිරුරු කොටස් සොයාගන්නට එරට විද්‍යාඥයින් සමත් වෙනවා. වසර 3600ක් පමණ පැරණි ලෙස හඳුනාගත් මේ සිරුරු කොටස් මඟින් අතීත ජපාන වැසියන්ගේ ස්වරූපය ඇතුළු කාරණා බොහොමයක් අධ්‍යයනය කිරීමට හැකි බැව් ඔවුනට පෙනී ගිය අතර, එකල තිබූ තාක්ෂණය ඒ සඳහා ප්‍රමාණවත් නොවූ බව ද ඔවුන් වටහා ගත්තා. මේ නිසා ඔවුන් මේ සිරුරු කොටස් මතු අධ්‍යයනයන් සඳහා සුරක්ෂිතව තැබූ අතර, පසු කාලීනව ඩී.එන්.ඒ. තාක්ෂණය යොදාගෙන ඒ පිළිබඳව පර්යේෂණ ආරම්භ කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දා මේ සිරුරු කොටස් අයත් කාන්තාවගේ මුහුණෙහි ස්වරූපය නිවැරදිව ප්‍රතිනිර්මාණය කරන්නට විද්‍යාඥයින් සමත්ව තිබෙනවා. මේ සඳහා යොදාගෙන ඇත්තේ එම සිරුරු කොටස් අතර තිබූ චාර්වක දතක ඩී.එන්.ඒ. සැකැස්ම යි. මීට අමතරව එම තැනැත්තියගේ තවත් තොරතුරු රාශියක් ඔවුන් අනාවරණය කරගෙන තිබෙනවා. මේ අනුව ඉපැරණි ජපාන ජනතාව පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ වැදගත් තොරතුරු රාශියක් ලොවට හෙළි වී තිබෙනවා.

පර්යේෂණවලට යොදාගත් සිරුරු කොටස්- The National Museum of Nature and Science, Tokyo

වැඩිදුර තොරතුරු

මෙලෙස මුහුණ ප්‍රතිනිර්මාණය කරන ලද කාන්තාව මීට වසර 3550 සිට 3960 අතර කාලයකට පෙර ජීවත් වූ අයෙක් බැව් සොයාගෙන් තිබෙනවා. මෙය ජපානයේ 'ජෝමොන්' සමය ලෙස සැළකෙනවා. මෙය නියෝලිතික සමයට සමගාමී ලෙස පැවතුණු සමයක් ලෙසට හඳුනාගෙන තිබෙනවා. උක්ත සිරුර සොයාගෙන තිබෙන්නේ ජපානයේ හොකයිඩෝ දූපතේ උතුරු කොණට ආසන්නයෙන් පිහිටි රෙබුන් දූපතේ සිදුකළ කැණීම්වල දී යි. මෙය මුළු මහත් ජපානයේම උතුරු දිග වන අතර, ඉපැරණි ශිෂ්ටාචාර පිළිබඳ හෝඩුවාවන් රැසක් සැඟවී ඇති ස්ථානයක් බවට හඳුනාගෙන තිබෙනවා.

මේ සිරුරෙහි චාර්වක දතකින් සාර්ථක ලෙස ඩී.එන්.ඒ. දාම උකහාගන්නට සමත්ව තිබෙන්නේ 2018 වසරේ දී ටෝකියෝහි සොබාදහම හා විද්‍යාව පිළිබඳව වූ ජාතික කෞතුකාගාරයේ සේවයේ නියුතු විද්‍යාඥයෙකු වන හිදේකි කන්සාවා විසිනුයි. මේ ඩී.එන්.ඒ. දාමයන් අධ්‍යනයෙන් පසු හෙළි වී ඇත්තේ මෙම කාන්තාව මියයන විට මැදිවියෙහි හෝ ඊටත් වඩා වයෝවෘධ අවදියක පසු වී ඇති බව යි. ඇගේ හිසකෙස් කුඩා මුදු වැනි කැරළිවලින් සමන්විත වන්නට ඇති බැව් හඳුනාගෙන ඇති අතර මුහුණෙහි හිරු රශ්මිය නිසා ඇති වූ මෙලනින් ලප ද තිබෙන්නට ඇති බවට අනුමාන කෙරෙනවා. මීට අමතර හෙළි වී ඇති වඩාත් වැදගත් කාරණාවක් වන්නේ මේ තැනැත්තිය වර්තමාන දර්ශීය ජපන් කාන්තාවකට වඩා ඇල්කොහොල් දරාගැනීමේ හැකියාවක් ඇති අයෙකු බැව් හෙළිවීම යි. එමෙන්ම ඇයට තෙත් කිහිළි හා තෙත් කන් කළාඳුරු තිබී තිබෙනවා. එමෙන්ම ඇගේ ආහාර වේලත් මේදය වැඩි එකක් බවට නුමාන කෙරෙනවා.

සොයාගත් තොරතුරුවල සුවිශේෂීතාව

සොයාගත් නවතම තොරතුරු අනුව මේ වසර 3600ක් පමණ පැරණි කාන්තාවගේ ශරීර ලක්ෂණ වර්තමාන නැගෙනහිර ආසියාතිකයෙකුගෙන් බොහෝ සෙයින් වෙනස් වීම සුවිශේෂී කරුණක්. මැයගේ දේහ ලක්ෂණ වඩාත් සමීප වන්නේ මධ්‍යම ආසියාතික හා ආක්ටික් වෘත්තයට අයත් පෙදෙස්වල ජීවත් වන්නන්ට යි. වර්තමාන නැගෙනහිර ආසියාතිකයින්ගෙන් 95%කටම තෙත් කන් ඉටි පිහිටන්නේ නැහැ. එමෙන්ම කැරළි සහිත හිසකෙස්, හිරු එළියට පිළිස්සුණු මුහුණ මෙන්ම දුඹුරු පැහැ ඇස් ද සාමාන්‍ය ජපන් ජාතිකයින්ගෙන් පරිබාහිර පෙනුමක් වෙනවා. මේදය අධික ආහාර දිරවීමේ වැඩි හැකියාව මෙන්ම ඇල්කොහොල් දරාගැනීමේ හැකියාවත් ආක්ටික් පෙදෙස්වල ජීවත් වන ජනතාවට පිහිටන ලක්ෂණ දෙකක්.

ඉපැරණි ජෝමොන් කාන්තාවගේ ස්වරූපය නවීන තාක්ෂණය අනුසාරයෙන් සැකසූ පසු- The National Museum of Nature and Science, Tokyo

උක්ත ලක්ෂණ අනුව ජෝමොන් ජනතාව මාළු හා මාංශ වැඩි වශයෙන් ආහාරයට ගත්, හිරු එළියෙහි වැඩ කළ ජනතාවක් ලෙස හඳුනාගත හැකියි. තව ද ඔවුන්ගේ ජාන කිටුව ජාතීන් කිහිපයක සම්මිශ්‍රණයකින් සෑදී ඇති බවට අනුමාන කළ හැකි බැව් විද්‍යාඥයින් පවසනවා. මේවාට අමතරව වර්තාමාන ජපාන ජනතාව සතුව පවතින් ජානත් හරි හරියට මේ කාන්තාව සතුව පවතිනවා. මෙය පෙර සිතා සිටියාට වඩා එකල ජනතාව ජාතීන් ලෙස සම්මිශ්‍රණය වී සිට ඇති බවට සාක්ෂියක්.

ජෝමොන් යුගය

ජෝමොන් සංස්කෘතිය සැලකෙන්නේ ජපානයේ මුලින්ම ඇති වූ දියුණුයැ යි සම්මත ශිෂ්ටාචාරය ලෙස යි. මොවුන් විසින් විසිතුරු මැටි බඳුන් නිපදවා ඇති අතර ඒ අනුව යමින් එම යුගයට උක්ත නාමය ලැබී තිබෙනවා.

දැනට සිදුකර ඇති අධ්‍යනයන්ට අනුව මේද බහුල ආහාරවලට අමතරව ඔවුන් පලතුරු, ඇට වර්ග, සහ මොලුස්කාවන් ද සිය ආහාරයට එක්කාසු කොටගෙන තිබෙනවා. මීට අමතරව ජෝමොන් ජනතාවට ඔවුනටම ආවේණික වූ ඇදහිලි ක්‍රම තිබී ඇති අතර, මියයන් කුඩා දරුවන් වැනි අය විශාල බඳුන්වල බහා භූමදාන කොට තිබෙනවා.

ජෝමොන් ජනතාව අවමංගල්‍ය චාරිත්‍ර සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. විශේෂයෙන් යමෙක් මියගිය පසු ඔවුනට අයත් ආභරණ වැනි දේ සුසානවලට දැමීම ඔවුන් විසින් සිදු කර තිබෙනවා. කුඩා දරුවන් මියගිය පසු විශාල බඳුන්වල බහා භූමදාන කිරීම ඔවුන් විසින් සිදුකර තිබෙනවා.

ජෝමොන් වරුන්ගේ විසිතුරු බඳුන්- kaen-heritage.com

ජෝමොන්වරු ගැබිණි මාතාවන් ඉතා ශුභදයී ලකුණක් ලෙස සලකා ඇති අතර ඔවුන්ගේ මැටි බඳුන් වැනි දේවල නිතරම පාහේ ඔවුන්ගේ පින්තූර දක්වා තිබෙනවා. මොවුන් විසින් සිදු කළ අසාමාන්‍ය චාරිත්‍රයක් වන්නේ ගැටවර වියෙහි පිරිමි දරුවන්ගේ දත් උගුලා දැමීම යි.

පසුවදන

ජපානයෙන් හමුවී ඇති ඉපැරණි යුගයට අයත් කාන්තාවගේ සිරුරු කැබලි පිළිබඳ වැඩිදුර අධ්‍යයනයන් අද වන විටත් සිදුවෙනවා. මෙමඟින් ජපානයේ අතීත යුගයන් පිළිබඳව තවත් තොරතුරු රාශියක් හෙළිවේයැ යි අපේක්ෂිත යි.

කවරයේ පින්තූරය - The National Museum of Nature and Science, Tokyo

මූලාශ්‍රයයන්:

Allthatsinteresting.com

Livescience.com

Iflscience.com