Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සීමිත ඉඩකඩකත් වවන්නට පහසු බෝග වර්ග 5ක්

වැල යන අතට මැස්ස ගැසීම මෙකල එතරම් හොඳ පියවරක් නොවූවත්, අධික උද්ධමනය සහ ආහාර හිඟයක් ඇතිවීමේ අබිමුව එළවළු වගාවක් සකසා ගැනීම ඉදිරි කාලීන ව ඔබේ කුසගිනි නිවා ගැනීමට උපකාරයක් විය හැකි යි.

මේ නිසා ඕනෑම පෙදෙසක, කුඩා බිම් කඩෙක හෝ රෝපණ මාධ්‍ය අඩංගු බඳුන්වල පවා පහසුවෙන් වගා කළ හැකි බෝග කිහිපයක් අපි මෙසේ ඔබ හමුවේ තබනවා.

වට්ටක්කා

මුහුදු මට්ටමේ සිට මීටර් 500 දක්වා වියළි හා අතරමැදි තෙත් කලාපයේ වගා කළ හැකි වට්ටක්කා, විටමින් A බහුල ආහාරයක්. විටමින් A, B6, C, E, Kවලින් ද අනූන මෙහි පොටෑසියම්, යකඩ, සහ තන්තු ද අඩංගුයි. හොඳින් ජලය බැස යන, PH 5.5-7.5 අතර කාබනික ද්‍රව්‍ය අඩංගු පසක වට්ටක්කා හොඳින් වැඩේ.

අඩු වියදමකින් වැඩි ආදායමක් ලබා ගත හැකි බව, හොඳින් මේරු ගෙඩි වැඩි කාලයක් සාර්ථකව ගබඩා කර ගත හැකිවීම මෙම බෝගයේ විශේෂ ලක්ෂණ ලෙස දැක්විය හැකියි.‍ මැයි, සහ ඔක්තෝබර් මාස වට්ටක්කා වගාවට වඩාත් උචිත යි.

වට්ටක්කා- freepik/jcomp

 

සෙන්ටි මීටර 20-30ක් ගැඹුරට පස පෙරළා සෙන්ටි මීටර 30 බැගින් දිග-පළල-උස ඇති වළවල් සකසා ගන්න. වළවල් දෙකක් අතර පරතරය මීටර් 2ක පමණ විය යුතුයි. බීජය තැන්පත් කර, හොඳින් දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5ක් බැගින් වළ වැසී ගොස් මඳක් ඉහළට එනතුරු යොදන්න. හෙක්ටයාරයකට බීජ කිලෝ ග්‍රෑම් 01ක අනුපාතයෙන් වගා කරන්න.

බීජ පැළ වී අවසන් වන තෙක් දිනපතා ජලය යොදන්න. පසුව දින 5-7ක ට වරක් ජලය යෙදීම සෑහේ.

වම්බටු

ප්‍රතිඔක්සිකාරක බහුල නිසා ඇස් පෙනීමට, මොළයේ ක්‍රියාකාරීත්වයටත්, කැලරි අඩු නමුත් තන්තු බහුල නිසා දේහ බර පාලනයට, රුධිර කොලෙස්ටරෝල් මට්ටම පාලනයට වම්බටු ඉවහල් වෙනවා. අප්‍රේල්, මැයි, නොවැම්බර්, දෙසැම්බර් යන මාසවල වගා කිරීමට සුදුසු මේවා පහතරට තෙත්, අතරමැදි හා වියළි කලාපවල ද, මැදරට තෙත් හා අතරමැද කලාපයේ ද, උඩරට අතරමැද කලාපයේ ද වම්බටු ඉතා සාර්ථක ව වගා කළ හැකි යි.

 වම්බටු – freepik/azerbaijan-stockers

 

හොඳින් ජලවහනය සිදුවන සැහැල්ලු පසක් සහ හිරු එළිය අඩුවෙන් වැටෙන ස්ථානයක් වම්බටු වගාවට තෝරා ගන්න. අධි හිරු රශ්මියක් වැටේ නම් ආවරණයක් යොදන්න. මීට පෙර වම්බටු, මිරිස්, තක්කාලි වැනි බෝග වගා නොකළ බිමක් නම් වඩාත් හොඳ යි. සෙන්ටිමීටර් 3x30x30 ප්‍රමාණයට වළවල් පිළියෙළ කර ගන්න. හොඳින් ජලය යොදා තෙත් කර ගත් තවානට සෙන්ටිමීටර් 4ක් පමණ උසකින් විනිවිද පෙනෙනෙ පොලිතීන් ආවරණයක් යොදා වටේට පස් දමා හොඳින් සීල් කර දින 14 ක් තබන්න. නැතහොත් පිදුරු හා දහයියා දමා ගිනි තබන්න. ඉන්පසු හෙක්ටයාරයට ග්‍රෑම් 200-300 අනුපාතයෙන් වළකට බීජය බැගින් යොදන්න.

වගා කිරීමෙන් පසු අධික ලෙස ජලය යෙදීම යෝග්‍ය නොවන නමුත් වියළි කාලගුණයක් ඇතිවිට පස වියළී යාමට නොදී සුදුසු දින පරතරයකින් ජලය යොදන්න.

බණ්ඩක්කා

බණ්ඩක්කා ග්‍රෑම් 100ක, දෛනිකව අප ලබා ගත යුතු මැග්නීසියම්, විටමින් A, විටමින් B6 14% බැගින්, සහ විටමින් C, විටමින් K 26%ක් බැගින් අඩංගු වෙනවා. බණ්ඩක්කා සතු ඇලෙනසුලු ශ්ලේෂ්මලය ආහාර ජීර්ණයේ දී කොලෙස්ටරෝල් අවශෝෂණය කර ගෙන මළපහ සමඟ පිට වෙනවා.

කොලෙස්ටරෝල් දේහයට උරාගැනීම වලකා හෘද රෝග සඳහා ඇති වීමට ඇති ඉඩ බණ්ඩක්කා අවම කරනවා. ගර්භණී කාන්තාවන්ට බණ්ඩක්කා වඩාත් සුදුසු වන්නේ එහි B9 අඩංගු නිසා යි. එය ගර්භයේ සිටින දරුවාගේ මොළයේ සහ කශේරුවේ වර්ධනයට දායක වෙනවා. පහසුවෙන් වගා කිරීමට හැකි වීමත්, ඕනෑම කාලයක වගා කළ හැකිවීමත් මේ බෝගයේ ඇති විශේෂත්වයක්.

 බණ්ඩක්කා – freepik/evening_tao

 

බීජ සිටුවීමට පෙර දිනක් පමණ ජලයේ පොඟවා ගන්න. වගා කිරීමේදී ආම්ලික හෝ ක්ෂාරීය නොවන හොඳ ජලය ගලා යන පසක, සෙන්ටි මීටර 60ක පරතරයකින් වළවල් සකසා කොම්පෝස්ට් යොදන්න. ඉන්පසු එක් වළකට බීජ 3-4ක් යොදන්න. පැළ වැඩුණු පසු එක් වළකට පැළ දෙකක් පමණක් ඉතිරි වන සේ අනෙක්වා ගලවා වෙන ම සිටුවන්න.

බීජ සිටුවා මාස 1.5ක සිට මාස 3 දක්වා කාලය තුළ අස්වනු වාර 25 ක් පමණ නෙළිය හැකි යි. දිනක් හැර දිනක් ළපටි කරල්වල නටුව පිහියකින් කපා නෙළා ගන්න.

දඹල

දඹල ග්‍රෑම් 100ක කැල්සියම් මිලි ග්‍රෑම් 440ක්, යකඩ මිලි ග්‍රෑම් 13.44ක්, තන්තු ග්‍රෑම් 25.9ක් සහ විටමින් වර්ග අඩංගු වෙනවා. ප්‍රතිශක්තිය වර්ධනයට, දේහ බර පාලනයට, ප්‍රතිදාහ පාලනයට, ෆෝලේට් නිසා ගර්භණී සමයට දඹල ගුණවත් ආහාරයක්. 

ගැඹුරට බිම පෙරළා, පස් පොඩි කරන්න. ජලය රඳා පැවතීමකින් තොරව ගලා යන ආකාරයට සකස් කර, කුඩා වළවල් සකසන්න. දැන් පැළ අතර සෙන්ටි මීටර 60ක පරතරයක් පවතින ලෙස බීජ යොදන්න. එක් වළක බීජ 2-3ක් සිටුවන්න. වළවල් අසලින් අඩි 7ක් පමණ උස ආධාරක කණු යොදා වැල ඒවායේ එතී යාමට සලස්වන්න.

 දඹල – texasrealfood.com

 

වර්ෂා කාලයේ ආරම්භයත් සමඟ දඹල වගා කිරීම වඩාත් සුදුසු යි. වියළි කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවල දී සතියකට වරක් පමණ ජලය සපයන්න. අස්වනු නෙළීම සඳහා මාස 2-3ක් පමණ ගත විය හැකි යි.

තක්කාලි

උඩරට තෙත් කලාපයේ හැර අනෙකුත් සියලු දේශගුණික කලාපවල වැවිය හැකි තක්කාලි හොඳින් නඩත්තු කළ වගාවකින් හෙක්ටයාරයකට ටොන් 20-30 පමණ  නෙළා ගත හැකි යි. විටමින් C, K අඩංගු මෙහි තන්තු අධික බව, ‍මේද නොමැති බව නිසා දේහයට වඩාත් හිතකර ආහාරයක්. පස තෝරා ගැනීමේදී මිරිස්, බටු වගා කළ භූමියක් නොවීම වඩාත් උචිත යි.

තක්කාලි – freepik/mdjaff

 

මීටර් 1 ක් පළල, මීටර් 3 ක් දිග හා සෙන්ටිමීටර් 15-20 ක් උසට තවාන් පාත්ති සකසා පාත්ති වටා කාණුව සෙන්ටිමීටර 45 ක් පළලට සකසා ගන්න. පාත්ති සකසන මතුපිට පස් හා කොම්පෝස්ට් සම ප්‍රමාණවලින් මිශ්‍රකර, සෙන්ටිමීටර් 5 ක් පමණ ඝනකම තට්ටුවක් පාත්තිය මත අතුරන්න. සෙන්ටිමීටරයක් පමණ පරතරයකින් බීජ යොදන්න. දැඩි හිරු එළිය සහ වර්ෂාව නොවැටෙන සේ ආවරණ යොදන්න.

වගාවට අධික ලෙස ජලය නොයෙදිය යුතු අතර, වියළි කාලයකට පසු වැඩිපුර ජලය යෙදුවහොත් ගෙඩි පිපිරීමට ද ඉඩ තිබෙනවා. ගස් ඇද වැටීම වලකාගැනීම සඳහා මල් පිපීම ආරම්භ වීමට කලින් ගස් අසල සිටුවා ගත් කෝටුවලට ගස බැඳ තබන්න.

කවරයේ ඡායාරූපය- සීමිත ඉඩකත් වවන්නට පහසු බෝග වර්ග 5ක්

මූලාශ්‍ර:

 ‘එළවළු වගාව’ අත්පොත - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
healthline.com
medicalnewstoday.com
boldsky.com
verywellfit.com

Related Articles