Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

5G වේගය: ලෝකයට සාපේක්ෂ ව ශ්‍රී ලංකාවේ කොහොම වේවිද?

2000 වර්ෂය මුල් භාගයේ 3G තාක්ෂණය මත ගොඩනැඟුණු 4G දැන් අපගේ එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත් වුණු ස්මාර්ට් ජංගම දුරකථන බලගන්වනවා. එනමුත් 4G රවුටර් ද සමඟ 4Gවල භාවිතය ඉහළ යාම නිසා Bandwidth එක අඩුවී වේගයත් පහත බැස තිබෙනවා. 5G සතු අතිශය වේගවත් බව, අඩු ප්‍රමාද කාලය, සහ අඛණ්ඩතාව පිළිබඳ ඉහළ විශ්වසනීයත්වය සමඟ 4G අභිබවා යන්නට ඊට හැකි වෙනවා.

5G සේවාවට වර්ග කිලෝමීටරයකට උපාංග මිලියනයක් දක්වා හැසිරවීමේ හැකියාව තිබෙන බැවින් සම්බන්ධතා බිඳවැටීම් (Connection drop)  හෝ කොපමණ උපාංග ප්‍රමාණයක් සම්බන්ධ වී ඇති ද යන්න එතරම් ගැටලුවක් නොවෙයි. මේ නිසා නගරබද ප්‍රදේශවල 3G හෝ 4Gවලට වඩා වැඩි කාර්යක්ෂමතාවක් ලබා දීමට 5Gවලට හැකියාව ලැබෙනවා.

5Gවල වාසි වශයෙන් ඉහළ download සහ upload වේග පැවතීම,  වීඩියෝ සුමට ව නැරඹිය හැකි බව, ඉහළ ගුණාත්මක බවකින් යුත් වීඩියෝ ඇමතුම් ගත හැකි බව, IoT උපාංග විශාල සංඛ්‍යාවකට අඩු ප්‍රමාද කාලයකින් ක්‍රියාත්මක විය හැකි බව, ස්මාර්ට් නගර සංකල්පයට දොරගුළු විවර වීම වැනි දෑ තිබෙනවා. මෙම වාසි වක්‍රාකාරව සෞඛ්‍යය, ආර්ථිකය වැනි ‍ක්ෂේත්‍ර කරා ළඟා වෙමින් ජීවන තත්ත්වය උසස් කරවීම සිදු වන බව Accenture වාර්තාවක් දක්වන නමුත් එයට තවත් වසර ගණනාවක් ගත වනු ඇති.

වේගය අතින් ගත් කල, 2G සතුව 9.6-14.4Kbps ද 3G සතුව 3.1Mbps ද 3.5G සතුව 14.4Mbps ද 4G සතුව 100-300Mbps ද පමණ (සෛද්ධාන්තික) අගයයන් පැවතුණා. නමුත් Mbpsවලට සමුදෙමින් 5G දැන් 10-30Gbps පමණ වේගයක් ගෙන එනවා. එනම්, තත්පරයට ගිගාබයිට් 1කට වඩා වැඩි වේගයක් (සෛද්ධාන්තිකව) ඉන් අපේක්ෂා කළ හැකි යි.

තවත් ආකාරයකින් කිවහොත් 8K චිත්‍රපටයක් 4G LTEවලට වඩා 500%ක වේගයකින් 5G සේවාව හරහා ඩවුන්ලෝඩ් කළ හැකි යි. YouTube වීඩියෝවක් 1080pවලින් buffer නොවී නැරඹිය හැකි යි. ඇප් එකක් හෝ Netflixවල episode එකක් තත්පර ගණනකින් download කරන්නටඒ හරහා හැකි වෙනවා. 4K වීඩියෝ නැරඹීම පෙරට වඩා පහසු වෙනවා.

5G සංඥාවලින් ආවරණය වන්නේ කුඩා ප්‍රදේශයකි (orange.com)

එතරම් ඉහළ වේගයක් ලැබෙන්නට නම් ඔබ ගොඩනැඟිලි බාධාවලින් ‍තොර නාගරික ස්ථානයක සිටිය යුතු අතර, මිලිමීටර් සංඛ්‍යාත පරාසයෙන් (MM wave) යුත් සබඳතාවක් භාවිත කළ යුතු වෙනවා. Low band 5G සංඥාවලින් දුර ප්‍රදේශ ආවරණය කළ හැකි නමුත් මිලිමීටර් සංඛ්‍යාත පරාසයට වඩා එහි වේගය අඩු යි. එනමුත් එය ඉතා හොඳ 4G සබඳතාවක් මෙන් දැනේවි. Low band 5G වේගය 30-250Mbps පමණ විය හැකි බවත්, Mid band 5G 100-900 Mbps විය හැකි බවත් TechTarget වෙබ් අඩවිය දක්වනවා.

Techradar වෙබ් අඩවිය අමෙරිකාවේ, එක්සත් රාජධානියේ, සහ ඕස්ට්‍රේලියාවේ 5G වේග  2021 මැයි මාසයේ දී අත්හදා බලා ඇති අතර, අමෙරිකාවේ චිකාගෝ නුවර 1.4Gbps වේගයක් ලබා තිබෙනවා. එක්සත් රාජධානියේ EE නම් දුරකථන සේවා සම්පාදක සමාගම 1Gbps වේගයක් පොරොන්දුවී ඇති නමුත් ඔවුන්ට අත්දැකීමට ලැබී තිබුණේ 200-400Mbps මධ්‍යයන්‍ය වේගයක් පමණයි. ඕස්ට්‍රේලියාව 300Mbps ක මධ්‍යයන්‍ය අගයක් ලබා තිබුණා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මිලිමීටර් සංඛ්‍යාත පරාසයෙන් යුත් Verizon ඔවුන් පොරොන්දු වූ පරිදි 1Gbps වේගයක් ලබා දෙන නමුත් ඔවුන්ගේ ආවරණ කලාප සීමා සහිත බව යි. 2.5Ghz 5G සපයන Sprintවල වේගය 200Mbps නමුත් එය වඩා ස්ථාවර සබඳතාවක් සපයා තිබුණා.

Statista දත්ත අනුව, 2021 අවසාන කාර්තුවේ දී චීනයේ ෆූජියැන් පළාතේ 295 Mbps ක මධ්‍යයන්‍ය සහිත 5G වේගයක් වාර්තා වී තිබෙනවා. TechRepublic හි පළ වූ ලිපියක් අනුව, 2020 වසරේ 5G සඳහා වූ ගෝලීය ආයෝජන අතරින් 49.4% ක අගයකට හිමිකම් කියමින් චීනය ඉදිරියෙන් ම සිටිනවා. චීන සමාගම්වලට 5G සඳහා එතරම් ආයෝජනය කිරීමට හැකි ව ඇත්තේ එරට පවතින ලිහිල් නීතිමය තත්වය හා රජයේ සහයෝගය ලැබී ඇති නිසා බව එය වැඩිදුරටත් දක්වනවා.

චීනයේ 5G තත්ත්වය ‍කොහොමද? – aljazeera.com

2019 තුන්වන කාර්තුවේ දී සමස්ත චීනයේ 4G වේගය 24Mbps වූවා. 2020 වසරේ දී ඉහළ ම 4G download speed එකකට හිමිකම් කියා ඇත්තේ කැනඩාව යි. එරට මධ්‍යයන්‍ය 4G වේගය 59.6 Mbps වූවා. දෙවැනියට සිටින දකුණු කොරියාවේ පැවති‍යේ 59.0 Mbps අගයක්.

මේ අනුව බලන කල, සෛද්ධාන්තික වේගයට වඩා අඩු අගයයන් ප්‍රායෝගික ලෝකය පුරා පැවතුණත්, 5G මගින් 4Gවලට වඩා සැලකිය යුතු වේගයක් ලබා දෙන බව පෙනී යනවා. වේගයට අමතර ව පෙර සඳහන් කළ පරිදි අඩු ප්‍රමාද කාලය සහ සබඳතාවේ අඛණ්ඩතාව වැනි විශේෂ ලක්ෂණ එම අත්දැකීම තවදුරටත් ඉහළ නංවනු ඇති.

2022 වන විට ඉන්දියාවේ 5G පැතිර යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර 2024 අවසන් වන විට මුළු ජංගම දුරකථන පාරිභෝගිකයන්ගෙන් 6% ක් පමණ ඊට යොමු වනු ඇතැයි Ericsson කළ වාර්තාවක් උපුටා දක්වමින් Indiatimes පවසනවා. 2021 අගභාගය වන විටත් අත්හදා බැලීමේ මට්ටමින් හෝ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක 5G තාක්ෂණය පැතිර ගොස් තිබුණා.

ලිබර්ටි ප්ලාසා, ගලධාරි හෝටලය අවට, තර්ස්ටන් අවට, මොරටුව සරසවිය සහ කටුබැද්ද නගරාශ්‍රිත ව, මරදාන, නාරාහේන්පිට, කෝට්ටේ, නාවල, හෝකන්දර, රත්මලාන මෙන්ම කොළඹින් එපිට මහනුවර දළදා මාලිගාව අවට, ගාල්ල ඩයලොග් ආකේඩ් එක, කරාපිටිය, කටුනායක ගුවන් තොටුපොළ වැනි ජනාකිර්ණ ස්ථාන රැසක දී ඔබටත් ඔබේ Dialog 5G දුරකථනයෙන් අධිවේගී 5G සේවාව නොමිලේ ම අත්හදා ලැබිය හැකි යි. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා dialog.lk/5g වෙත පිවිසෙන්න.

Related Articles