වසර හැත්තෑවේ දී අමෙරිකාවට අභියෝග කරන ආසියාවේ යෝධයා

“මහජන චීන ජනරජය” ප්‍රකාශයට පත් කර වසර 70ක් සපිරීම පසුගිය ඔක්තෝබර් 1 වෙනිදා ඔවුන් විසින් සමරනු ලැබුවා. චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන් එහි ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ බීජිං අගනුවර තියනන්මාන් චතුරශ්‍රයේ දී යි. 

මාවෝ සේතුං ඇතුළු චීන ජනරජය බිහි කිරීමට මුල් වූ විප්ලවවාදින්ව මෙහි දී සැමරුණු අතර ඊට අමතරව ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද නවීන යුද ආයුධ ද ප්‍රදර්ශනය කිරීම සිදුවුණා. චීන මහජන රතු හමුදාවේ අලංකාර ආචාර පෙළපාලිය ද සැමරුමේ ප්‍රධාන තැනක් ගත් අතර, චීන ජනාධිපතිවරයා විසින් කරන ලද කතාව ජාත්‍යන්තර මාධ්‍යන්ගේ ප්‍රධාන කතාබහකට ලක් වීම ද විශේෂ යි.

චීන කොමියුනිස්ට් විප්ලවය 

චීන කොමියුනිස්ට් විප්ලවය (allthatsinteresting.com)

මාඕ සේතුං (Mao Zedong) විසින් 1949 ඔක්තෝබර් පළමුවෙනිදා මහජන චීන ජනරජය ප්‍රකාශයට පත්කරනු ලබනවා. ඒ චීන කොමියුනිස්ට් විප්ලවයේ ජයග්‍රහණයෙන් පසුව යි. 

1911 චීනයේ අවසන් රාජවංශය වන චින් රාජවංශය අවසන් වීමෙන් පසුව එරට ජනරජයක් බවට පත්වෙනවා. එහි පළමු නායකයා ලෙස කටයුතු කරන්නේ 1911 දී චීන රාජවංශයට විරුද්ධව කැරැල්ල මෙහෙය වන ලද සුන් යත් සෙන් නම් චීන ජාතිකවාදී පක්ෂයේ නායකයා යි. 1921 වසරේ දී චීනයේ පිහිටවනු ලැබූ චීන කොමියුනිස්ට් පක්ෂය, චීන ජාතිකවාදී පක්ෂය සමග 1945 වසරින් පසුව දිගින් දිගටම ගැටුම් ඇති කර ගන්නවා. මෙය ගැටුම් බරපතල ලෙස උග්‍ර අතට හැරෙන අතර එය රටේ අභ්‍යන්තර යුද්ධයක් දක්වා ගමන් කරනවා. මෙහි දී චීන කොමියුනිස්ට් පක්ෂයට සෝවියට් දේශයේ උපකාර ලැබෙන අතර, ජාතිකවාදී පක්ෂයට ඇමෙරිකා එක්සත් ජනපද ආධාර හිමි වෙනවා. දෙපාර්ශවය අතර ඇති වූ යුද්ධය අවසන් කරමින් කොමියුනිස්ට් නායක මාඕ සේතුං ඇතුළු කොමියුනිස්ට් පක්ෂය ජයග්‍රහණය ලබන අතර, ජාතිකවාදී පක්ෂයේ එකල නායකයා ලෙස කටයුතු කළ චියැන්  කායි ෂෙක් ඇතුළු ජාතිකවාදින් වර්තමානයේ තායිවානය ලෙස හදුන්වනු ලබන දූපතට පැන යනවා. 

විප්ලවයේ නියමුවා මාඕ (britannica.com)

විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් පසුව 1949 ඔක්තෝම්බර් 1 වෙනිදා චීන කොමියුනිස්ට් නායකයා වූ මාඕ සේතුං මහජන චීන සමුහාණ්ඩුව පිහිටවනු ලබනවා. 

මුල් කාලයේ දී අන්තර්ජාතික සංවිධාන සියල්ලම චීනය ලෙස පිළිගන්නේ තායිවානය හෙවත් චීන ජනරජය යි. නමුත්, ක්‍රමක්‍රමයෙන් මහජන චීනයේ ශක්තිය වර්ධනය වීමත් සමග එක්සත් ජාතීන් විසින් මෙන්ම අනෙකුත් සංවිධාන විසින් ද මහජන චීනය සිය නිල චීන නියෝජිතයා ලෙස පිළිගනු ලබනවා. 

චීනයේ ගමන අද දක්වා කෙටියෙන්  

ඩෙං ෂියාඕ පෙන්ග් (britannica.com)

මහජන චීනය ප්‍රකාශ කිරීමෙන් පසුව චීනයේ කෘෂි ආර්ථිකය කඩිනමින් කාර්මිකකරණය කිරීමට මාඕ සේතුං පියවර ගන්නවා. නමුත් එය සාර්ථක වන්නේ නෑ. ඒ හේතුවෙන් චීනය උග්‍ර ආහාර අර්බුදයකට මුහුණ පානවා. එය ලෝකයේ ඇති වූ දරුණුම සාගතයක් ලෙස හඳුන්වා දිය හැකි අතර, 1959 – 1961 අතර කාලය තුළ චීන වැසියන් මිලියන 10 – 40ත් අතර ප්‍රමාණයක් මියගිය බව ද සඳහන් වෙනවා.

මාඕ සේතුංගෙන් පසු එරට නායකයා බවට පත්වෙන ඩෙං ෂියාඕ පෙන්ග් (Deng Xiaoping) චීන ආර්ථිකය නවමු දිශාවකට හරවනු ලබනවා. ඔහු විසින් ප්‍රගතිශීලි ප්‍රතිසංසකරණ රැසක් ගෙන අතර, එතෙක් සංවෘතව පැවති චීන ආර්ථිකය විවෘත ආර්ථිකයක් බවට පත් කිරීමට ද තීරණය කරනවා. ඒ 1978 වසරේ දී යි. ඒ සමගම ධනවාදී ආර්ථිකයකට අවතීර්ණ වීම ද සිදුවෙනවා. පොදු කෘෂි ආර්ථිකය වෙනස් කර පෞද්ගලික අංශයට වැඩි අවස්ථා ලබා දෙනවා. විශේෂ ආර්ථික කලාප පිහිටවා විදේශ ආයෝජන සඳහා දිරි දීම සිදුකෙරෙනවා. එම ප්‍රතිසංස්කරණ ඉතා සාර්ථක වූ අතර ඉතා ලාභ මිලට ලැබෙන කම්කරු ශ්‍රමය උදෙසා ලොව වටා ආයෝජකයන් තම ආයෝජන චීනය තුළට ගෙන එනවා.

මෙවැනි ප්‍රතිසංස්කරණ රැසක් තම ආර්ථිකය වෙනස් කිරීමට රැගෙන ආ නමුත්, සම්ප්‍රදායික කොමියුනිස්ට් දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට ඔවුන් උත්සාහ දරන්නේ නෑ. තනි පක්ෂ දේශපාලන ක්‍රමයක් තව දුරටත් පවත්වා ගන්නා චීනය, ලොව එතෙක් කිසිදු රටක් අනුගමනය නොකළ කොමියුනිස්ට් දේශපාලනය ධනවාදී ආර්ථිකයක් සමග ප්‍රථමවරට එකතු කර අත්හදා බලනවා.

මුළු ලෝකයේම කර්මාන්තශාලාව බවට පත් වූ චීනය 

බීජිං නගරය (thenational.ae)

ආර්ථික ප්‍රතිසංස්කරණ සමග චීනයේ ආර්ථික සංවර්ධන වේගය දිගින් දිගටම වර්ධනය වූ අතර, 1990 දශකය පුරා ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් වාර්තා කරනවා. චීනය 2001 දී ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයෙක් බවට පත්වෙන අතර, ඉන් චීන ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා. 

2013 වසරේ බලයට පත් වූ චීනයේ ජනාධිපති වන ෂී ජින්පිං විසින් ගෙන ආ විවිධ වැඩපිළිවෙලවල් හේතුවෙන් මේ වන විට චීනය ලොව අංක එකේ ආර්ථික බලවතා බවට පත් වෙමින් සිටිනවා. විශේෂයෙන් ඔහුගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වෙන පෙරදිග හා බටහිර යා කළ පැරණි සේද මාවත නැවතත් ගොඩනැගීමේ ව්‍යාපෘතිය වන “එක් තීරයක් එක් මාවතක්” ව්‍යාපෘතිය මේ වන විට ලෝකය පුරා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන කිහිපයක්ම මේ වන විට උපක්‍රමිකව අල්ලා ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. මේ ඔස්සේ චීනය විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ කිසිඳු අවහිරයකින් තොරව සෑම මහද්වීපයකටම අපනයනය කිරීමේ හැකියාව පවතිනවා. 

විප්ලවයේ 70 වන සමරුව (axios.com)

චීන ජනාධිපතිවරයා සිය පක්ෂය තුළ මෙන්ම රට තුළ ද තම ස්ථාවරත්වය තහවුරු කරගෙන තිබෙනවා. 2018 වසරේ පක්ෂයේ සිදු වූ ව්‍යවස්ථා සංශෝධනයකින් පසුව ඔහු මියයන තුරු ජනාධිපති ධුරය දැරිය හැකි වන සේ ව්‍යවස්ථාව සකසා ගැනීම සිදුකරනවා. ඊට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික ශක්තියට අභියෝග කරමින් වර්තමානය වන විට ඇමෙරිකානු භාණ්ඩ රට තුළ තහනම් කිරීමට හා අධික තීරු බදු මුදලක් අය කිරීම ද සිදුවෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය ද චීනය සම්බන්ධයෙන් එවැනිම ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර, මේ හේතුවෙන් ලොව ආරථික ප්‍රබලයන් දෙදෙනා අතර වර්තමානය වන විට “වෙළඳ යුද්ධයක්” නිර්මාණය වී තිබෙනවා. 

70 වන සමරුව (assets.nst.com)

අභ්‍යවකාශ තරණය මෙන්ම සඳ තරණය ජය ගැනීමෙන් ද චීනය තාක්ෂණික අතින් යෝධ පිම්මක් ඉදිරියට තබා තිබෙනවා. 2019 වසරේ දී ඔවුන් සඳ තරණය කරන අතර, සඳ වෙත සාර්ථකව යානාවක් යැවූ ලොව තුන්වන රට බවට පත් වීමට චීනයට හැකියාව ලැබෙනවා. ඊට අමතරව බලවත් නවීන යුධ උපකරණ නිර්මාණයෙන් ද ඇමෙරිකා එක්සත් ජනපදයට අභියෝග කරන ඔවුන්, පළමුවතාවට නිර්මාණය කළ සබ්මැරීනයක සිට දියත් කළ හැකි මිසයිලය ද 70 වන විප්ලව සමරුවේ දී ප්‍රදර්ශනය කරනවා.

කවරයේ පින්තූරය- thenational.ae

මූලාශ්‍රයයන්- 

Dw.com

britannica.com

aljazeera.com

Related Articles