කිසිවෙකුත් නොමැති ව සාගරය මැද දින 76ක් අතරමං වූ ස්ටීවන්

ස්ටීවන් කැලහන් කියන ඇමෙරිකානු ජාතික කුඩා පිරිමි ළමයෙක් අවුරුදු 12 දී එක්තරා සිහිනයක් ගැන හිතන්න පටන් ගන්නවා. ඒ ඔහු ම හදාගත්ත බෝට්ටුවකින් සාගරය මැඳින් වීර චාරිකාවක් යන්නට යි. ස්ටීවන් ඒ හීනය සැබෑවක් කර ගන්න පෙළඹෙන්නේ අවුරුදු 20 දී ඔහුගේ ම සැලැසුමකට අනුව ඔහු විසින් ම නිර්මාණය කරපු “නැපෝලියන් සෝලෝ” නම් තනි පුද්ගලයෙකුට ක්‍රියාකරවිය හැකි මීටර් 6.5ක් පමණ දිගින් යුතු වූ රුවල් බෝට්ටුව නිර්මාණය කිරීමෙන්.

ස්ටීවන් විසින් නිර්මාණය කරපු “නැපෝලියන් සෝලෝ” බෝට්ටුව (The Scuttle Fish)

අවුරුදු 29 දී ස්ටීවන්, නැපෝලියන් සෝලෝ බෝට්ටුවෙන් ඇන්ටාටික් සාගරය හරහා චාරිකාවක් යාමට තීරණය කරනවා. ඒ පුංචි කාලේ දැකපු හීනය සම්පුර්ණ කර ගැනීමේ අපේක්ෂාවෙන්. ස්ටීවන් නිතර ම හිතුවේ ලෝකයේ සුන්දරත්වය බැලීමට යා හැකි හොඳම ප්‍රවාහන සේවය රුවල් බෝට්ටුව බව යි. වර්ෂ 1981 දී ඇමෙරිකාවේ රෝහඩ් දූපත්වලින් ස්ටීවන් තමන්ගේ වීර චාරිකාව ආරම්භ කරනවා. ඔහුගේ චාරිකාවේ පළමු නවාතැන වුයේ බර්මියුඩාව යි. එහි දී ඔහුගේ යාළුවෙක් වුණු ක්‍රිස් ලෙටච්හෙම් සමග මහ බ්‍රිතාන්‍යයේ ක්‍රෝන්වෙල් බලා යාත්‍රා කරනවා. ක්‍රෝන්වෙල්වලින් ස්ටීවන් මිතුරාගෙන් සමුගත් අතර, ඉන්පසු ඔහුගේ ගමන් මාර්ගය වී තිබුණේ කැනරියන් දූපත්. වර්ෂ 1982 පෙබරවාරි 04 වැනි දා ස්ටීවන් සාර්ථක ව කැනරියන් දූපත් වෙත ළඟා වන්නට සමත් වෙනවා.

ස්ටීවන් කැනරි දූපතවලට ගිය අවස්ථාව (Time Toast.com)

ස්ටීවන් නැවත කැනරි දූපත්වල සිට සිය රට බලා එන්නේ 1982 පෙබරවාරි 05 වැනි දා. ස්ටීවන් නැවත එන ගමනේ දී ගමන ආරම්භයේ දී තිබූ සෞම්‍ය කාලගුණයට වඩා තරමක් රළු කාලගුණයකට මුහුණ දෙන්නට සිදුවුණා. දැඩි සුළං දහරාවන් සමග මුහුදේ රළ පෙරට වඩා දැඩි ස්වරූපයක් ගෙන තිබුණා. ස්ටීවන් රුවල් හකුලා විවේක ගන්නට තීරණය කරන්නේ රළු රළ පහර සමග යාත්‍රා කිරීම තරමක් අවදානම් කටයුත්තක් වු නිස යි. ස්ටීවන් නින්දට වැටී සිටිය දී එක්වර ම ඔහුගේ බෝට්ටුවට යටින් තදින් යමක් වැදුණා. ස්ටීවන් නින්දෙන් ඇහැරිලා බැලුවත් ඔහුට කිසිම දෙයක් දැක ගන්නට හැකි වුණේ නැහැ. තවත් වරක් පෙර පරිදි ම තදින් බොට්ටුවේ යට කොටසට පහරක් එල්ල වුණා. පහර දීම දිගින් දිගට ම සිදු වූ අතර එක්වර ම දැවැන්ත පිපිරුම් හඬක් ඇසුණා. ස්ටීවන්ගේ බෝට්ටුවට තල්මසුන් පහර දී තිබුණා. ස්ටීවන් බෝට්ටුවේ යට කොටස පරික්ෂා කර බැලු අතර එහි එක්තැනක් පුපුරා සාගර ජලය වේගයෙන් කාන්දු වෙමින් තිබුණා.

තවත් වැඩි වෙලාවක් යන්නට මත්තෙන් බෝට්ටුව ගීලිමට පටන් ගන්නා බව සිතු ස්ටීවන් බයට පත් වුණා. “උඹ දැන් මැරෙන්න යන්නේ, උඹ දැන් මැරෙන්න යන්නේ“යැ යි ස්ටීවන් තමන්ට ම කියා ගත්තා. ස්ටීවන් කොහොම හරි පියවි සිහියෙන් කටයුතු කරන්නට ඕන බව සිතා ගත්තා. බෝට්ටුවේ යට කොටසේ ඇති සිදුර වේගයෙන් කාන්දු වෙන ජලය සමග වසා දමන්නට හැකියාවක් තිබුණේ නැහැ.

ස්ටීවන්ගේ ගමන් මාර්ගය සහ “නැපෝලියන් සෝලෝ“ ගිලී ගිය ස්ථානය දැක්වෙන සිතියම (Ask a Prepper)

ස්ටීවන්ට කිරීමට ඉතිරි ව තිබුණේ ආහාර සහ ජලය ද රැගෙන ජීවිතාරක්ෂක බෝට්ටුවට ගොඩ වී දිවි ගලවා ගැනීම පමණයි. ජලය පිරී ඇති බොට්ටුවේ යට කොටසට කිමිඳුණු ස්ටීවන්ට වතුර බෝතල් කිහිපයකුත්, ආහාර ද්‍රව්‍ය කිහිපයකුත්, නිදා ගැනීමට යොදා ගන්නා කවරයකුත්, හා ඊ විදින තුවක්කුවත් සොයා ගැනීමට හැකි වෙනවා. සොයා ගත් සියලු දේ රැගෙන ස්ටීවන් ජීවිතාරක්ෂක බෝට්ටුවට හරිගස්සවා සාගරයට දමා එය තුළට පැන ගත්තා. අඩි 6ක් තරම් වූ ජීවිතාරක්ෂක බෝට්ටුවේ එක පැත්තක ලණුවක් දමා ඔහුව ම බැඳ ගත්තේ ප්‍රචණ්ඩකාරී ව තිබූ සාගර රළ නිසා ඔහුව පිටතට විසි වෙතැ යි යන බිය නිසයි.

ස්ටීවන් සහ ඔහුගේ ජීවිතාරක්ෂක බෝට්⁣ටුව නියමිත ගමන් මාර්ගයේ සිට සැතැපුම් 800ක් තරම් ඈතකට ඇඳී යන්නට වුණේ ඔහුගේ නැපෝලියන් සෝලෝ බෝට්ටුව ඔහු ඉදිරියේ ම ගැඹුරු සාගරයේ ගිලී යන අතරතුර යි.

ස්ටීවන් රැඳී සිටි ජීවිතාරක්ෂක බෝට්ටුව (reddit)

පසුදින එළිය වැටෙන විට සාගරයේ ප්‍රචණ්ඩකාරී බව අඩු වී තිබුණා. ස්ටීවන් තමන් කරන ලද ක්‍රියාව පිළිබඳ ව පසුතැවිල්ලෙන් සිතන්නට පටන් ගත්තා. ඔහුට හොඳ රැකියාවක් කරමින්, හොඳ ජීවිතයක් ගත කිරීමට තිබූ අවස්ථාව ගැන සිහි කරමින් ඔහුට ම දොස් නඟා ගන්නට පටන් ගත්තා. දහවල් වෙද්දී ඔහු සතු ව තිබූ ජලය හා ආහාර ප්‍රමාණය පරික්ෂා කර බැලූ අතර, එය ප්‍රමාණවත් වන්නේ දින කිහිපයකට පමණක් බව ඔහුට අවබෝධ වුණා.

ස්ටීවන් දින කිහිපයක් යන තුරු ඔහු සතු ව තිබු ආහාර හා ජලය පරිස්සම් කරගත්තත්, ඒවා අවසන් වු පසු ව ඔහුට ආහාරයට ගන්නට දෙයක් ඉතිරි වුණේ නැහැ. පානය සඳහා තිබුණු ජලයත් ඉවර වෙමින් තිබුණා. අනතුරින් දින14කට පසු ව ස්ටීවන්ට බලාපොරොත්තු සහගත දෙයක් ඈත දියඹෙන් දකිනන්ට හැකි වුණා. ඒ නෞකාවක්. ස්ටීවන් කොයි තරම් වෙර දමා කෑ ගැසුවත් නෞකාවට ඔහු ව දකින්න ලැබෙන්නේ නෑ. සෑම දවසක් ම උදෑසන ස්ටීවන් අවදි වන්නේ කවුරුන් හෝ ඔහු ව ගලවා ගැනීමට පැමිණෙතැ යි අපේක්ෂාව  සහිත ව යි. නමුත් හිරු මුදුන් වී දහවල් කාලය වන විට ඔහුගේ සියලු බලාපොරොත්තු බිඳ වැටී ගියා.

ස්ටීවන් විසින් ඔහු ජීවිතාරක්ෂක බෝට්ටුවේ ගත කරපු ආකාරය සිතුවමට නැඟූ අවස්ථාවක්. (the scuttle fish)

ස්ටීවන් සතු ව තිබූ අවසාන ජල කෑන් ටිකත් අවසන් වූ පසු ව ස්ටීවන් විජලනයට පත් වෙන්නට පටන් ගත්තා. ආහාර සියල්ලත් අවසන් වූ පසු ව බඩගින්න නිසා ම ඔහු පළමු දඩයම කිරීමට තීරණය කරා. ඔහු එතෙක් භාවිත නොකරපු ඊ විදින තුවක්කුව උපයෝගී කරගෙන මාළුවෙක් බිලි බා ගැනීමට සමත් වෙනවා. සාගරයේ ලුණු මිශ්‍රිත ජලය සුළඟ සමග මුසු වී ස්ටීවන්ගේ සම තුළ කා වැදී තිබුණු අතර, එයින් ඔහුගේ සම විකෘති කරන්නට සමත් වී තිබුණා. දින 46ක් පමණ ගෙවී යන විට ස්ටීවන්ගේ තත්ත්වය බරපතල වී තිබුණා. ඔහුට දඩයම් කිරීමට හැකියාවක් නොතිබුණත්, ඊ විදින තුවක්කුව භාවිතා කරමින් ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නට ඔහුට හැකි වෙනවා. ස්ටීවන් ජලය අවශ්‍යතාවය සපයා ගත්තේ ලවණ සහිත ජලය හිරු එළියට අල්ලා වාෂ්ප කිරීමෙනි.

ස්ටීවන් ගලවා ගැනීමෙන් පසු ව ඔහු මාළු ඇල්ලීමට ගත් උත්සාහය පෙන්වමින්. (Time Toast)

61 වන දිනය වෙන විට ස්ටීවන් තමන්ගේ ජීවිතය ගැන අවසන් බලාපොරොත්තු රඳවා ගන්නට උත්සාහයක යෙදෙනවා. මොකද, ඔහුගේ තත්ත්වය ටිකෙන් ටික ආසාධ්‍ය වෙමින් තිබුණා. ඔහුට තවත් ආහාර සපයා ගැනීමට තරම් ශක්තියක් රැඳී තිබුණේ නැහැ. ස්ටීවන් ඔහු මිය ගියහොත්, ඔහු රැඳී සිටින ජීවිතාරක්ෂක බෝට්ටුව ඔහුගේ සොහොන වනු ඇතැ යි සිතමින් සාගරයේ පාවෙමින් සිටියා. ඔහුගේ ඇඟේ තිබූ ඉතිරි ශක්තියවත් රඳවා ගැනීමට අධිෂ්ඨානය කර ගන්නා ඔහු, නිදා ගැනීමෙන් කාලය ගත කරා.

අවසාන දිනය වු 76 වැනි දිනය එළැඹී තිබුණා. ස්ටීවන් නිහඬ ව හිස් අහස දෙස බලමින් සිටිය දී මුහුදු ලිහිණියන් පිරිසක් ඔහුට ඉහළ අහසින් ගමන් කරනවා දකිනවා. අපහසුවෙන් අවදි ව සාගරය දෙස බැලූ ස්ටීවන් හට ධීවර බෝට්ටුවක් දැක ගන්නට හැකියාවක් ලැබෙනවා. ස්ටීවන්ට කෑ ගැසීමට තරම් ශක්තියක් ඉතිරි වී නොතිබුණු නිසා ඔහු බෝට්ටුවේ තිබූ අල්ලා ගත් මාළු සහ තවත් මාළු කටු එකතු කර මුහුදට දමනවා. ඉහළ අහසේ රැඳී සිටි මුහුදු ලිහිණියන් එක්වර ම පහතට විත් කෑගසමින් ස්ටීවන්ගේ බෝට්ටුව වටේ පියාඹන්නට වුණා. ධීවරයන් මුහුදු ලිහිණියන්ගේ කලබලය දෙස බැලූ විට ස්ටීවන්ගේ ජීවිතාරක්ෂක බෝට්ටුව දැක ගන්නට හැකි වුණා.

ස්ටීවන් ගලවා ගත් අවස්ථාව  (Mirror.co.uk)

ඔවුන් වහා ම ස්ටීවන් ව මුදවා ගන්නා අතර, ස්ටීවන් ඒ වන විටත් රෝගී වී සිටියා. විජලනයට ලක් වීම, පෝෂදායී ආහාර නොලැබීම නිසා ඔහුගේ බර ද සෑහෙන්න තරමට අඩු වී තිබුණා. ස්ටීවන් සාගරයේ රළ සමගින් ඇන්ටිගුවා දූපතේ මුහුදු සීමාව වෙත ගසාගෙන විත් තිබුණා. ස්ටීවන්ට දෙපයින් නැඟී සිටීමට සති දෙකක් ගත වූ අතර, මාසයක කාලයකින් පසු ව ඔහුගේ තත්ත්වය යථා තත්ත්වයට පත් වුණා.

ස්ටීවන් ඔහු ව ගලවා ගත් ධීවරයන් තිදෙනා සමග (The Scuttle Fish)

ස්ටීවන් පසු ව ඔහුගේ අත්දැකීම අලලා “Adrift: 76 days lost at sea” නමින් පොතක් ද ලියා පළ කළා. ස්ටීවන්ට හම්බවුණු තවත් වැදගත් ම අවස්ථාවක් වෙන්නේ “Life Of Pi” චිත්‍රපටයේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට හැකි වීම යි. මොකද, ස්ටීවන්ගේ දින 76ක ත්‍රාසජනක අත්දැකීම එම චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා විශාල සහායක් වුණා. ස්ටීවන් අද වෙද්දී නවකතාකරුවෙකු, සහ ජීවිතයේ අභියෝග දිනා ගැනීම පිළිබඳ උපදේශකයෙකු ලෙස කටයුතු කරනවා.

ස්ටීවන් “Life Of Pi” චිත්‍රපටයට සහාය දෙමින්. (The Scuttle Fish)

 

Related Articles