Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

SLS සහතිකය ගැන ඔබ දැනගතයුතු කරුණු 8

ප්‍රමිතිකරණය කියන දේ අද වෙළද පොළේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙලා. එදිනෙදා මිලදී ගැනීම් ප්‍රශ්නයකින් තොරව කරගෙන යාම සඳහා නවීන සමාජය බලාපොරොත්තු වන ප්‍රධානම අවශ්‍යතාවය ප්‍රමිතිකරණයයි.  ශ්‍රී ලාංකික වෙළදපොළ දෙස බලන විට ප්‍රමිතිකරණය මනිනු ලබන ප්‍රධාන අංගයක් SLS සහතිකය හදුන්වා දෙන්නට පුළුවන්.

SLS ප්‍රමිතිකරණය ආරම්භ වූයේ කෙසේද? මෙම ප්‍රමිතිකරණය ලබා දීමේ ක්‍රියා පටිපාටිය මොන වගේද? SLS ලාංජනය අත්‍යවශ්‍ය භාණ්ඩ මොනවද? තව දුරටත් SLS ප්‍රමිතිකරණය වෙළදපොළ තුල දියුණු කළ යුතුද වගේ ප්‍රශ්න වලට පිළිතුරක් ඉදිරිපත් කරන්නයි මේ ලිපියෙන් අපි සුදානම් වෙන්නේ. අපිට මඟ හැරුණු දෙයක් තියනවනම් comment එකකින් ඒ බව කියන්නත් අමතක කරන්න එපා.

1 ප්‍රමිතිකරණයේ ඉතිහාසය

එංගලන්තයේ ප්‍රමිතිකරණය පිළිබඳව ආයතනය BSI (Alamy)

එංගලන්තයේ ප්‍රමිතිකරණය පිළිබඳව ආයතනය BSI (Alamy)

ලෝකයේ ප්‍රමිතිකරණ ඉතිහාසය ක්‍රි:ව 1120 දක්වා ඈතට දිව යනවා. ක්‍රිස්තු වර්ෂ 1120 දී එංගලන්තයේ හෙන්රි රජු විසින් දිග මැනීම සඳහා තමාගේ අතේ දිග සම්මත ඒකකයක් ලෙස ප්‍රකාශ කරනවා .එතුමාගේ උරහිසේ සිට මැදගිල්ල දක්වා වූ දිග එංගලන්ත වෙළදපොළේ දිග මැනීමේ සම්මත ඒකකය ලෙස නීති ගත කරනු ලබනවා.

තවද ක්‍රි:ව 1215දී මැග්නා කර්ටා ගිවිසුම යටතේ රටේ සිදු වන වෙළද විෂමාචාර නැවත්වීම සඳහා එංගලන්තයේ ජෝන් රජු විසින් විවිධ ප්‍රමිතිකරණයන් හදුන්වා දී තිබෙනවා. ක්‍රම ක්‍රමයෙන් විකාශනය වූ ප්‍රමිතිකරණය වර්තමානය වන විට වෙළදපොළේ  අත්‍යවශ්‍ය ගුණාංගයක් බවට පත් වී හමාරයි. ප්‍රමිතිකරණය සඳහා විවිධ රටවල් විවිධ ආකාරයේ ක්‍රමයන් හදුන්වා දෙනවා. ඒ සඳහා සහතිකයක් නිකුත් කිරීමද බොහෝ රටවල රජය විසින් ගන්නා ලබන පියවරක්.

ඉන්දියාවේ එම සහතිකය BIS ලෙසද, ජපානයේ JISC ලෙසද, නවසීලන්තයේ SNZ ලෙසද, ඇමරිකාවේ ANSI ලෙස හා එංගලන්තයේ BSI ලෙසද හදුන්වනවා. ශ්‍රී ලංකාවේ එය හදුන්වන්නේ SLS ලෙසයි.

2 ශ්‍රී ලංකාවේ තවත් ප්‍රමිති සහතික

යුරෝපීය සංවිධානයේ රටවල් HACCP පද්ධති සහතිකකරණය භාණ්ඩ වලට ඇත්නම් පමණක් ආනයනය කිරීම සිදු කරයි (Sparks Egg Farm)

යුරෝපීය සංවිධානයේ රටවල් HACCP පද්ධති සහතිකකරණය භාණ්ඩ වලට ඇත්නම් පමණක් ආනයනය කිරීම සිදු කරයි (Sparks Egg Farm)

SLS සහතිකයට අමතරව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් විදුලි උපකරණ වල කාර්යක්ෂමතාවය තහවුරු කිරීම සඳහා නිකුත් කරන සහතිකයක් ලෙස”ශක්ති කාර්යක්ෂමතා ලේබල්කරණය” හදුන්වන්නට පුළුවන්.

ප්‍රමිති ආයතනයේ තවත් සහතික කිරීමේ ක්‍රමයක් ලෙස “පද්ධති සහතිකකරණය” ක්‍රියාත්මක වෙනවා. විදේශීය රටවලට හා ඔවුන්ගේ තත්වයන්ට දේශීය භාණ්ඩ සුදුසු යැයි නිර්දේශ කිරීම මින් සිදුවෙනවා. මෙම සහතිකරණයේ මුලික අරමුණ වන්නේ දේශීය නිෂ්පාදකයන්ට විදේශීය වෙළදපොළ තුළ ස්ථාවරත්වයක් ඇති කර දීමයි.

විශේෂයෙන් යුරෝපීය සංවිධානයට අයත් රටවල් මෙම සහතිකකරණය අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා. ISO (International  Standards Organization) සහතිකයද ජාත්‍යන්තර ප්‍රමිතිය දේශීය නිෂ්පාදන වල අඩංගු බවට ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන සහතිකයක්. නව වෙළදපොළකට ඇතුල් වීමට මෙම ප්‍රමිති සහතිකය බොහෝ සෙයින් නිෂ්පාදකයන්ට වැදගත් වෙනවා.

3 SLS සහතිකයේ ඉතිහාසය

ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනය (Newsfirst)

ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනය (Newsfirst)

ශ්‍රී ලංකාවේ නිපදවෙන භාණ්ඩ සඳහා මෙම සහතිකය ලබා දෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයි. ශ්‍රී ලංකා රජය විසින් එම ආයතනයට නිත්‍යානුකූලව එම බලය ලබා දී තිබෙන්නේ 1964 අංක 38 දරණ වගන්තියෙන්. නමුත් 1971දී තමයි මෙම නියෝගය ක්‍රියාත්මක වී තිබෙන්නේ. පසුව තවත් සංශෝධන වලට ලක් වූ නව පනතක් 1985 විශේෂ ගැසට් ප්‍රකාශයෙන් හදුන්වා දීමත් සමඟම පරණ පනත අහෝසි වී යනවා.

භාණ්ඩයක් සඳහා SLS සහතිකය ලබා දීමෙන් කියවෙන්නේ ප්‍රමිති ආයතනය දක්වා ඇති ප්‍රමිති පිරිවිතරයන් හි අවශ්‍යතා හා ගුණාංග වලට අනුකූලව ක්‍රමවත්ව නිපදවා ඇති බවත්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වරින් වර සිදු කරනු ලබන තත්ව පරීක්ෂණ ක්‍රියාවලියකට මෙම භාණ්ඩය යටත් වන බව හා භාණ්ඩයේ තත්වය සහතික කරනු ලබන බවත්ය. ඒ අනුව භාණ්ඩය වෙළදපොලට එක් කරන කාලය පුරාවටම ප්‍රමිති ආයතනයේ අවධානයට යොමු වෙනවා.

SLS සහතිකය මුලින්ම භාණ්ඩයක් සඳහා නිකුත් කිරීම ආරම්භ වුයේ 1980 ජූලි මස පලමු වන දායි. මුල් කාලයේම භාණ්ඩ 20කට පමණ සහතිකය ලබාදී තිබෙනවා.

4 ප්‍රමිති පිරිවිතර යනු කුමක්ද?

ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර වල අඩංගු අවශ්‍යතා හා ගුණාංග වලට අනුකූලව භාණ්ඩ වල තත්වය පරික්ෂා කරන බව ඉහත දක්වා තිබෙනවා. ඉතින් මොකක්ද මේ ප්‍රමිති පිරිවිතර කියන්නේ? උදාහරණයකින් එය පැහැදිලි කරගමු.

ඔබ නැවුම් පළතුරු කෝඩියල් නිෂ්පාදනය කරනු ලබනවායැයි මොහොතකට සිතන්න. නිෂ්පාදනය කරනු ලබන නැවුම් පලතුරු කෝඩියල් වලට SLS සහතිකය ලබා ගැනීමට අවශ්‍යනම් SLS 214 ප්‍රමිති පිරිවිතරයේ ඇති නැවුම් පලතුරු කෝඩියල් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය ඇතුලත් නිෂ්පාදනයක් විය යුතුයි. සබන් නිෂ්පාදනයක්නම් අයදුම් කරන විට SLS 34 දරණ ඇඟ ගල්වන සබන් සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රමිතිය ලබා ගත යුතුයි. නිපදවන්නේ බීම පැකට් නම් SLS 729 ශ්‍රී ලංකා ප්‍රමිතියට යටත් විය යුතු වෙනවා.

5 SLS සහතිකය ප්‍රධානය කිරීමේ ක්‍රියා පටිපාටිය

නිලධාරීන් විසින් කරන දීර්ඝ නිෂ්පාදනාගාර පරික්ෂාව ක්‍රියා පටිපාටියේ එක අංගයකි. (wiseGEEK)

නිලධාරීන් විසින් කරන දීර්ඝ නිෂ්පාදනාගාර පරික්ෂාව ක්‍රියා පටිපාටියේ එක අංගයකි. (wiseGEEK)

නිෂ්පාදකයා විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අයදුම්පතක් ඉදිරිපත් කිරීම තුළින් ඇරඹෙන මෙම ක්‍රියාවලිය අවසානයේ සහතිකය ලබා දීම දක්වා අවස්ථා කිහිපයකින් යුතු වෙනවා

අයදුම්පත ඉදිරිපත් කිරීමත් සමඟම ශ්‍රී ලංකා ප්‍රමිතියක් තිබේදැයි යන්න සොයා බැලීමට ප්‍රමිති ආයතනයේ නිලධාරීන් විසින් නිෂ්පාදනාගාරය පිළිබඳව පුර්ව පරීක්ෂාවක් සිදු කරනවා. එම පරික්ෂාවෙන් අනතුරුව අදාළ තත්වය තිබේනම් පමණක් නිෂ්පාදනාගාරයෙන් හා වෙළදපොළෙන් ලබා ගත් නියැදි ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලදැයි පරික්ෂා කිරීම හා නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන තත්වයන් වාර්ථාවක් ලෙස ඉදිරිපත්  කරනු ලබනවා. එම පියවරත් සතුටුදායක නම් විඝණන නිලධාරීන්ගේ අවසාන නිෂ්පාදනාගාර පරික්ෂාව සිදුවනවා.

මෙම පියවරත් සාර්ථකව අවසාන වීමත් සමඟම නිලධාරීන් විසින් සියලුම වාර්තා අවසරපත් කමිටුව වෙත ඉදිරිපත් කරනු ලබනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්, අධ්‍යක්ෂක හා මහා මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකුගෙන් කමිටුව සමන්විත වෙනවා. ඔවුන්ගේ අනුමතය මත සහතික ලාංජනය භාවිතා කිරීමට අවසරය දීම හා ගිවිසුමේ කොන්දේසි නිෂ්පාදකයාට දැන්වීම සිදු වෙනවා. ගිවිසුමේ කොන්දේසි වලට නිෂ්පාදකයාගේ කැමැත්ත ඇත්නම් පමණක් ඔහුට ලාංජනය භාවිතා කිරීමට හා ලාංජනය සහිත භාණ්ඩ වෙළදපොලට නිකුත් කිරීමේ හැකියාව ලැබෙනවා.

6 නිරතුරු පරික්ෂාව

SLS සහතිකය ලබා දීමෙන් පසුද එම භාණ්ඩය නිරතුරුව පරික්ෂාවට ලක් වේ. (Richter & Company LLC)

SLS සහතිකය ලබා දීමෙන් පසුද එම භාණ්ඩය නිරතුරුව පරික්ෂාවට ලක් වේ. (Richter & Company LLC)

නිරතුරු පරික්ෂාවට ලක් නොකරන විට ඕනෑම දෙයක තත්වය බාල වීමක් සිදු වෙනවා. එම නිසා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සහතිකය ලබා දුන් භාණ්ඩ වල තත්වය පිළිබඳව සෑම විටම අවධානයෙන් පසු වෙනවා. ගිවිසුමට අනුකූලව ඕනෑම වෙලාවක තම භාණ්ඩය පරික්ෂා කිරීමේ බලය නිෂ්පාදකයා විසින් ප්‍රමිති ආයතනයට ලබා දී තිබෙනවා.

නිෂ්පාදනාගාරයෙන්, වෙළදපොළෙන් හෝ පාරිභෝගික පැමිණිලි මගින් ලබා ගත් සාම්පල පරික්ෂා කිරීම බොහෝ වෙලාවට සිදු වන්නේ ප්‍රමිති ආයතනයේ පරීක්ෂණාගාර වල නොව ස්වාධීන පරීක්ෂණාගාරවලය. එහිදී සුළු දෝෂ ඇත්නම් නිවැරදි කිරීමට උපදෙස් ලැබෙන අතර තාවකාලිකව සහතික පත ඉවත් කිරීමකට ලක් වීමත් සිදු විය හැකියි. බරපතල ලෙස දෝෂ ඇත්නම් වහාම SLS සහතිකය අවලංගු කිරීමට කටයුතු කරනු ලබනවා.

7 SLS සහතිකය අනිවාර්ය වූ භාණ්ඩ

ඔබ දන්නවාද? බෝතල් කල පානිය ජලය සඳහා SLS සහතිකය අනිවාර්ය බව (www.123rf.com)

ඔබ දන්නවාද? බෝතල් කල පානිය ජලය සඳහා SLS සහතිකය අනිවාර්ය බව (www.123rf.com)

පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාව හා ආරක්ෂාව පිණිස SLS සහතිකය අනිවාර්ය වූ භාණ්ඩ කීපයක් ප්‍රමිති ආයතනය විසින් නම් කරලා තිබෙනවා.

ආහාර නිෂ්පාදන – නැවුම් පලතුරු කෝඩියල්, පිළිගැන්වීමට සුදානම් පළතුරු බීම, උකු කිරි, දුඹුරු සීනි, පළතුරු යුෂ සාර හා පලතුරු සිරප් සාර, ටින් මාළු, සින්තටික් කෝඩියල්

විදුලි උපකරණ – ගෘහස්ත හොට් ප්ලේට්, විදුලි බුබුළු, විදුලි ස්විච, හෝල්ඩර් හා විදුලි ප්ලග්

මීට අමතරව පානීය ජල බෝතල්, දත් බුරුසු, දන්තාලේපන, PVC නිෂ්පාදන, සිමෙන්ති හා සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදනවලට හා වානේ නිෂ්පාදනවලටත් අනිවාර්යෙන්ම SLS සහතිකය ලබා ගත යුතු වෙනවා. ආනයනය කිරීමේදී “අනිවාර්ය ආනයන භාණ්ඩ පරික්ෂා ක්‍රමය” යටතේ තවත් භාණ්ඩ වර්ග 123ක් වෙළදපොළට නිකුත් කිරීමට කලින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරික්ෂාවට ලක් වෙනවා.

8 SLS පිළිබඳව පාරිභෝගිකයන් එතරම් අවධානය යොමු නොකරන්නේ ඇයි?

SLS සහතිකය පිළිබඳව පාරිභෝගිකයන් දැනට වඩා සැලකිලිමත් විය යුතු වේ. (DKSH)

SLS සහතිකය පිළිබඳව පාරිභෝගිකයන් දැනට වඩා සැලකිලිමත් විය යුතු වේ. (DKSH)

කොතරම් ගුණාංගයන්  සලකා බලා උපරිම තත්වයේ නිෂ්පාදන වලට පමණක් SLS සහතිකය පිරිනැමීම සිදු කලත් SLS පිළිබඳව පාරිභෝගිකයා එතරම් අවධානයක් යොමු නොකරන බවක් තමයි වර්තමානයේ දක්නට ලැබෙන්නේ. ඊට හේතූන් බොහොමයක් පවතිනවා. ඒ අතරින්,

  • SLS සහතිකය පිළිබඳව මහජනයා දැනුවත් වීමට තරම් පුළුල් ප්‍රචාරයක් නොවීම.
  • SLS සහතිකය පිළිබඳව පාරිභෝගිකයා තුළ එතරම් විශ්වාසයක් නොමැති වීම.
  • රාජ්‍ය ආයතන සඳහා භාණ්ඩ මිලදී ගැනීමේදී SLS  සහතිකය ඇති භාණ්ඩ මිලදී ගත යුතු බවට චක්‍ර ලේඛයණයක් පැවතුනද ඒ පිළිබඳව රාජ්‍ය සේවකයන්ගේ නොදැනුවත් කම හා නොසැළකිල්ල.

ඉතින් SLS සහතිකය ලබා දීමෙන් නොනැවතී එය පාරිභෝගිකයන් අතර ප්‍රචාරය කර එහි වැදගත්කම පාරිභෝගිකයන්ට අවධාරණය කිරීම සිදු කිරීම මේ වන විට කාලීනව වැදගත් කටයුත්තක් වෙන බව තමයි අපිනම් හිතන්නේ.

මේ ගැන ඔබ හිතන්නේ කුමක්ද?  අපිට කියන්නත් අමතක කරන්න එපා.

Related Articles