බුද්ධිමය දේපල හෙවත් Intellectual property යනු මේ වන විට මුළු ලොව පුරාම මෙන්ම මෙරට තුළද විශාල වශයෙන් කථාබහට ලක්වන නීතිමය විෂය ක්ෂේත්‍රයකි. මෙහි විශේෂතම ලක්ෂණය වන්නේ ඒ තුලින් මිනිස් මනසෙහි හටගන්නා නිර්මාණයන් සඳහා නෛතික අයිතිවාසිකමක්, ආර්ථිකමය වාසියක් මෙන්ම ඇගයීමක් හා සුරක්ෂිත භාවයක් ලබා දීමට උත්සාහ දැරීමයි. දැනට සමස්ථ ලෝක ප්‍රාජාවම දැනුමට මුල් තැන දෙමින්, එකී දැනුම් පදනම් කරගත සංවර්ධිත ආර්ථිකයක් කරා යොමු වෙමින් පවතී (මෙය knowledge based economy නමින්ද  හැඳින්වේ). ගෝලීයකරණය හරහා විවිධ භූගෝලීය දේශ සීමාවන් හරහා මුළු ලෝකයම එකිනෙක අනුබද්ධිතව පවතින මෙවන් යුගයක මිනිස් දැනුම, අදහස් හා නිර්මාණශීලී ප්‍රකාශනයන (creative ideas and expressions) වැනි අස්පෘශ්‍ය දේපල පවා සුරක්ශිත කිරීමේ අවශ්‍යතාව අපට කිසිසේත්ම නොසලකා හැරිය නොහැක.

ජාත්‍යන්තර රාමුව හා ඉතිහාසය

ලෝක බුද්ධිමය දේපල සංවිධානය හෙවත් WIPO (World Intellectual Property Organization) වැනි ආයතන පිහිටුවාගනිමින් ලෝක ප්‍රජාව නිරතුරුවම උත්සුක වූයේ බුද්ධිමය දේපල ආරක්ෂා කොට, එකී සුරක්ශිතතාවයන් හා ඒවායෙන් ලැබෙනා ප්‍රතිලාභ හිමවියයුත්තන්ට ඒවා ලබා දීමයි. ඉපැරණි ග්‍රීක, රෝම හා මිසර ශිෂ්ටාචාරයන් තුල වාසය කළ මැටි භාණ්ඩ නිෂ්පාදකයන් තමාට ආවේණික සලකුණක් තැබීමට පුරුදුව සිටියහ. ඒවා “Potter’s Mark” ලෙස හඳුන්වන ලදි. වර්තමානයේ අප කවුරුත් හොඳින් හඳුනන වෙළෙඳ ලකුණු හෙවත් Trademarks සංකල්පයේ බීජයන් එම ශිෂ්ටාචාරයන් තරම් ඈතට දිවෙන බව ඉන් පැහැදිලි වේ. මේ අනුව පෙනී යන කරුණක් වන්නේ මිනිස් මනසෙහි හටගන්නා කලාත්මක හා නව්‍යතාවයෙන් යුතු සංකල්පයන්හී අග්‍ර ඵලය සුරක්ශිත කිරීමට හා ඒවාට ආවේණික වටිනාකමක් ලබාදීමට ඈත අතීතයෙහි පටන්ම මිනිසා විසින් ක්‍රියා කොට ඇති බවයි.

(ancient.eu)

වර්තමාන බුද්ධිමය දේපල නීතියේ පියා ලෙස හැඳින්වෙන මහාචාර්‍ය විලියම් ෆැනිස් පවා ප්‍රකාශ කරන්නේ ධනය ඉපැයීම උදෙසා දැනුම භාවිතා කරන්නාවූ යුගයක් මේ වන විටත් එළඹ ඇති බවයි. ඒ අයුරින්ම, එක් පුද්ගලයෙකුගේ දැනුම හා නිර්මාණශීලීත්වය හරහා අයුතු ලෙස ධනය ඉපැයීමට වෙනත් අය පෙළඹී සිටීමද මේ වන විට බුද්ධිමය දේපල නීති ක්ෂේත්‍රය තුල බහුලව දැකිය හැකිවේ. එවැනි ක්‍රියා කලාපයන් වැළැක්වීමද මෙම නීතී ක්ෂේත්‍රයේ එක් අරමුණකි.

ශ්‍රී ලංකාවේ නෛතික රාමුව

අනෙක් රටවල් සමග සැසඳීමේදී, ඔවුන්ට සාපේක්ෂව මෙරට තුල බුද්ධිමය දේපල නීති ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් දැකගත නොහැකිය. ඊට හේතුව නම් මෙම විෂය අප රටට අලුත් එකක් වීමයි. 2003 අංක 37 දරන බුද්ධිමය දේපල පනතද මෙරටට හඳුන්වාදී දශකයකට වැඩිය. නමුත් ප්‍රායෝගිකව ගත් කල මෙරට නීතිමය තත්වය තවමත් පවතින්නේ වර්ධනීය තත්වයක යයි කිවහැක.

නීතිමය රාමුවේ නව්‍ය භාවය හේතුවෙන් මහජනතාව සතුව මෙම නීතින් පිලිබඳව පවතින දැනුමද ඉතා අල්ප බව පෙනීයයි.  ඒ හේතුවෙන් තම නිර්මාණයන්ට හිමිවිය යුතු වටිනාකම (ආර්ථිකමය හා සදාචාරාත්මක වශයෙන්) ලබාගැනීමට ඔවුන්ට ඇති ඉඩ ප්‍රස්තාවන්ද මැකී යා හැකිය. බුද්ධිමය් දේපල අයිතීන් යනු “අනිවාර්ය අයිතීන්” (Inevitable Rights) වේ. එවැනි අයිතීන් මගහැරීයාම ඕනෑම නිර්මාපකයකු අධෛර්‍යමත්  කිරීමට හේතු වන්නකි. එබැවින් නව නිර්මාණකරුවන් වඩ වඩාත් ධෛර්යමත් කිරීම සඳහා මෙන්ම ජනතාවට නව නිපැයුම් හා නිර්මාණ හඳුන්වා දෙමින් රටේ ආර්ථිකයද දියුණු කරගැනීමට ගත යුතු පියවර ගනීමේ අවශ්‍යතාවය දිනෙන් දින ඉහල යමින් පවතී.

වෙලෙඳ  ලකුණු (Trademarks), පේටන්ට් බලපත්‍ර (Patents), ප්‍රකාශන හිමිකම් (Copyright), භූගෝලීය දර්ශක (Geographical Indications), කාර්මික සැලසුම් (Industrial Designs) යනාදී සියළුම ක්ෂේත්‍රයන් තුලින් සුරක්ෂිත කෙරෙනුයේ මිනිස් මනසෙහි හටගන්නා නිර්මාණශීලී සිතුවිලි වල කූටප්‍රාප්තියයි. විද්‍යාත්මක, කලාත්මක හා කාර්මික වශයෙන් මෙම නිර්මාණයන් බෙදා දැක්විය හැකිය. තමාටම අනන්‍ය වන අයිතිවාසිකමක් (Exclusive Rights) යම්කිසි නිශ්චිත කාල පරාසයක සඳහා ලබා දීම තුලින් නිර්මාපකයාගේ අයිතීන් හා සුභසිද්ධිය ආරක්ෂා කිරීමටද මින් පියවර ගැනේ.

(racolblegal.com)

ශ්‍රී ලංකාව තුල පේටන්ට් බලපත්‍ර ලාභියකුට තම නව නිපැයුම වෙනුවෙන් වසර විස්සක අනන්‍ය අයිතියක් හිමිවන අතර, වෙළෙඳ ලකුණක් ලියාපදිංචි කිරීම තුලින් එම ලකුණ සඳහා දස වසරක අයිතියක් ලබා ගත හැකිය. ප්‍රකාශන හිමිකම් පිලිබඳ නීතිමය තත්වය දෙආකාර වේ. කතෘන්, සංගීතවේදීන් හා ගීත රචකයන් සඳහා ජීවිතාන්තය දක්වා මෙන්ම, මරණින් පසු වසර හැත්තෑවක් දක්වාද ප්‍රකාශන හිමිකම් ලැබෙනා අතර, ගායික ගායිකාවන් හා නළු නිළියන් හට හිමිවන සම්බන්ධිත ප්‍රකාශන අයිතීන් හෙවත් Related Rights සිය ජීවිතාන්තය දක්වා මෙන්ම මරණින් පසුව වසර පනහක් දක්වාද හිමි වේ.

(scheinbergip.com)

බුද්ධිමය දේපල නීතිය යනු අනෙක් නීතිමය විෂය ක්ෂේත්‍රයන්ගෙන් වියුක්ත වූවක් නොවේ. මිනිස් නිර්මාණයන් සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව මානව හිමිකම් නීතිය සමගින් නිසඟයෙන්ම බැඳී තිබේ. ආර්ථිකමය, සදාචාරාත්මක, සංස්කෘතිකමය මෙන්ම දේශ්හපාලනික මුහුණුවරකින් මේ දෙස බැලීම ඉතා වැදගත් වන්නේ එහෙයිනි.

බුද්ධිමය දේපල පිලිබඳ අයිතීන් අනන්‍ය අයිතීන් හෙවත් වෙනත් යමෙකුට භාවිතා කළ නොහැකි අයිතීන් ලෙස ලබා දුන්නද, ඒ තුලින් වෙළෙඳපොලතුල යම් යම් ඒකාධිකාරීන් ඇතිවීම වැළැක්වීමද ඉතා වැදගත් වේ. මේ හේතුවෙන් තනි පුද්ගල අයිතිවාසිකමක් හෝ එක් ආයතනයක අයිතිවාසිකමක් සෑම විටම සමාජයේ අනිකුත් පුද්ගලයන්ගේ සහ ආයතනයන්ගේ අයිතිවාසිකම සමගින් තුලනාත්මකව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වන නෛතික රාමුව සපයා දී තිබීමද ඉතා වැදගත් වේ.

(hayes-soloway.com)

බුද්ධිමය දේපල සුරැකීම සාධරණීකරනය කළ හැකි ප්‍රත්‍යයන් හතරක් මේ වන විට හදුනාගෙන ඇත. එනම්, ස්වභාවික නීති විද්‍යාත්මක න්‍යාය හෙවත් Natural law thesis, ඒකාධිකාරයන් ප්‍රධානය කිරීමේ න්‍යාය හෙවත් Monopoly thesis, රහස් දිරිගැන්වීමේ න්‍යාය හෙවත් Prospective thesis/Exchange-of-secrets thesis සහ  ඒකාධිකාරී ප්‍රතිලාභ දිරිමත් කිරීමේ න්‍යාය හෙවත් Monopoly-Profit incentive thesis නම් වේ. නව දැනුම් සම්භාරයන් දැනගැනීමේ අයිතිය, තොරතුරු දැනගැනීමේ අයිතිය මෙන්ම සෞඛ්‍ය අයිතීන්ද ජනතාවට අහිමිවීමට ඉඩකඩ මේ තුල නැත්තේ නොවේ.

ස්වභාවික නීති න්‍යායට අනුව, ඕනෑම නව නිපැයුම් කරුවකුට හෝ නිර්මාපකයෙකුට තම නිර්මාණයන් සඳහා සුරක්ෂිතතාවයක් ලබාදීමට මුළුමහත් සමාජයම සදාචාරාත්මකව බැඳී සිටී. තම නිශ්චල, චංචල මෙන්ම බුද්ධිමය දේපල සඳහාද පවතින්නාවූ නිසඟ, ස්වභාවික අයිතිය මේ තුලින් තහවුරු කෙරේ. දිරිගැන්වීමේ න්‍යාය තුලින් අවදානය යොමු කරනුයේ ආර්ථික ප්‍රතිලාභයන් වර්ධනය කිරීම උදෙසාය. නව නිපැයුම් කරුවන් සඳහා ආර්ථික වාසි සලසා දීම තුලින් ඔවුන්ගේ නපැයුම් දිරිගන්වා, ඒ තුලින් සමස්ත ආර්ථිකයටම ප්‍රතිලාභ අත්පත් කරගැනීම මෙහි අරමුණයි.

බුද්ධිමය දේපල නීති විෂය-පථය මෙන්ම ඒ හා බැඳි අයිතිවාසිකම් පිළිබඳව මෙරට ජනතාව වඩාත් දැනුවත් කිරීම මේ වන විට අත්‍යවශ්‍ය මාතෘකාවක් බවට පත්ව ඇති අතර ඉදිරි ලිපි තුලින් ඒ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙමු.

කවරයේ පින්තුරය: raconteur.net