Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සරණාගත දරුවකු ගේ ජීවිතය වෙනස් කළ ‘Capernaum’

විනිශ්චයකරු: ඔයා දන්නවද ඔයා මෙහෙ ඉන්නේ ඇයි කියලා?

සෙයින්: ඔව්!

විනිශ්චයකරු: ඇයි?

සෙයින්: මට මගේ මාපියන්ට චෝදනා නඟන්න ඕනෑ.

විනිශ්චයකරු: ඇයි තමාගේ ම මාපියන්ට ඔයා චෝදනා නඟන්නේ?

සෙයින්: මොකද මේ ලෝකයට මාව ගෙනාපු නිසා!

ඉහත දැක්වෙන්නේ ‘Capernaum’ චිත්‍රපටයේ එන ඉතා ප්‍රබල දෙබසක්. ඔබ තව ම ‘Capernaum’ නරඹා නැතිනම් ඉහත දෙබස අරබයා චිත්‍රපටය නැරඹීමේ කුතුහලයට යම් බාධාවක් සිදු වුණා කියා අමනාප වෙන්න එපා. දෙබස ගොඩනැඟෙන්න බලපෑ පසුබිම, වඩාත් ප්‍රබල, සංවේදී කාරණා මත පදනම් වීම ඊට හේතුව යි. ඉතින්, ඔබට පුළුවන් ඒ සිදුවීම් සංයමෙන් නරඹා මේ දෙබස ගැන අලුතෙන් ම සිතන්න.

කාටවත් බලාපොරොත්තු අත් හරින්න ඉඩ නොදෙන සෙයින් – www.donga.com

සැබැවින්ම ‘Capernaum’ යනු බොහෝ දෙනා කම්පනයට පත් කළ චිත්‍රපටයක්. ඒ වගේම ඉතා වෙහෙස මහන්සියෙන් තැනූ නිර්මාණයක්.

සෙයින් අල් රෆීයා

නූතන ලෝකයේ බුන්වත් රාජ්‍යයක් වූ ලෙබනනයේ දරිද්‍රතා රේඛාවෙනුත් පහළ සිටින දරුවෙක් මත ‘Capernaum’ පදනම් වෙනවා. එවැනි දුෂ්කර රාජ්‍යයක අවම වරප්‍රසාදිත දරුවෙක් වීම තරම් ඛේදනීය ඉරණමක් තවත් නැහැ. චිත්‍රපටයේ කතා නායකයා වන දොළොස් හැවිරිදි සෙයින් අල් රෆීයා, ඒ ඛේදනීය ඉරණමේ පතුල දක්වා ප්‍රේක්ෂකයා ඇද දැමීමට සමත් වුණා. මෑත කාලීන සිනමාව තුළ විශිෂ්තට ම ළමා රංගනයක් සෙයින් අල් රෆීයා වෙතින් ප්‍රදර්ශනය වූ බව පිළිගැනෙන්නේ ඒ නිසා යි.

චිත්‍රපටයේ එන දර්ශනයක් වුවත්, මේ ජීවන අරගලය සැබෑ ලෙසම පවතිනවා – andreasnugraha390021828.wordpress.com

සෙයින් මේ විශිෂ්ට රංගනය සිදු කළේ ආයාසයෙන් නොවෙ යි. ඔහුත් සිරියාවේ සිට ලෙබනනයට සංක්‍රමණය වූ සරණාගත දරුවෙක්. යුද්ධයෙන් සුනු විසුණු වූ රාජ්‍යයක් සිට ආර්ථිකයෙන් සුනු විසුණු වූ රාජ්‍යයකට පැමිණි සෙයින් ගේ ජීවිතයේ විශාල වෙනසක් සිදු ව තිබුණේ නැහැ.

චිත්‍රපටයේ දී පවා අදාළ චරිතය වෙනුවෙන් අන්වර්ථ නාමයක් යොදා ගැනීමට අධ්‍යක්ෂිකාව නොපෙලඹීමේ හේතුව ඉන් විද්‍යමාන වෙනවා. ‘Capernaum’ තුළින් දකින සෙයින් සහ සැබෑ ලෝකයේ ජීවත් වන සෙයින් අතර කිසිදු වෙනසක් නැහැ. ඉතින්, චිත්‍රපටය වෙනුවෙන් සෙයින්ට චරිතයට ආරූඪ වීමේ අවශ්‍යතාව ඇති වුණෙත් අඩුවෙන්.

සියල්ලේ ම මිල ඔවුන් ගෙවනවා!

චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා නඩීන් ලබාකි පවසන අන්දමට ‘Capernaum’ යනු ලොව පුරා සරණාගත අර්බුදය හේතුවෙන් පීඩිතභාවයට පත් වූ ළමයින් නියෝජනය කරන නිර්මාණයක්. මෙවැනි නිර්මාණයක් තැනීමට අභිප්‍රේරණයක් ලැබුණු අන්දම විමසූ විට නඩීන් පහත අන්දමේ පිළිතුරක් ලබා දී තිබුණා.

“මේ වගේ විශාල අසාධාරණයක් දරුවන්ට අත් වෙන්න ඉඩ හැරපු තැනට අපි පත් වුණේ කොහොමද කියලා මට නිකමටවත් තේරෙන්නේ නැහැ. අපේ වැරදි, අපේ යුද්ධ, අපේ අමනෝඥ තීරණ, අපේ දෝෂ සහගත ක්‍රියා, යන සියල්ලේ ම මිල ඔවුන් ගෙවනවා!මගේ මේ කෝපය යම්කිසි දෙයකට පරිවර්තනය කිරීම හෝ තවදුරටත් සන්දර්භය තේරුම් ගැනීමේ උත්සාහයක් බවට හරව ගන්න ඕනෑ වුණා.”

නඩීන් ලබාකි – www.imdb.com

චිත්‍රපටයක් වූ පර්යේෂණය

‘Capernaum’ චිත්‍රපටයේ අන්තර්ගතය වෙනුවෙන් බොහෝ පර්යේෂණ කිරීමට නඩීන් ලබාකිට සිදු වුණා. දුෂ්කර ප්‍රදේශ, බාලවයස්කරුවන් ගේ රැඳවුම් මධ්‍යස්ථාන, බාලවයස්කරුවන් සඳහා වෙන් කළ සිර ගෙවල්, පැල්පත් පරිසරය ආදී බොහෝ ස්ථාන වල රැඳෙමින් ඇය කරුණු එක්රැස් කළා.

වින්දිතයන් සමඟ සාකච්ඡා කළා. විශේෂයෙන් ම බාල වයස්කරුවන් සඳහා වෙන්කළ රැඳවුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන ආකාරය සහ ඒවායේ තත්ත්වය සම්බන්ධයෙන් රැඳවියන් (දරුවන්) ගේ දෘෂ්ටිකෝණය විශ්ලේෂණය කිරීමට ඇය උත්සහ දරා තිබුණා.

“බොහෝමයක් සංවාද අවසානයේ දී මං මෙහෙම ඇහුවා.

ජීවත් ව සිටීම ගැන ඔබ සිටින්නේ සතුටින් ද?

ගොඩක් ළමයින් පිළිතුරු දුන්නේ නැහැ කියලා යි.

මං ඔබේ ලෝකයට අයිති නැහැ. ඇයි මං මෙතන ඉන්නේ?

ඇයි මට දඬුවම් කරන්නේ?

මං කිසිවක් කරලා නැහැ. මෙහෙ ඉන්න ඕනෑ කියලා මං ඉල්ලා සිටියේ නැහැ.

මෙතරම් දුක් විඳීමට නියමිත නම් මගේ මාපියන් මාව ජීවත් කළේ ඇයි?”

බාලවයස්කරුවන් ගේ රැඳවුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් නඩීන් සිදු කළ පර්යේෂණයේ දී ඇයට හද පාරවන අන්දමේ අදහස් අසන්නට ලැබුණේ ඒ අයුරින්.

රඟපෑම් බලාපොරොත්තු නොවූ නඩීන්

තම මාපියන්ට නඩු පැවරීමට උත්සහ දරන කුඩා දරුවෙක් හරහා පර්යේෂණයේ අන්තර්ගතය සිනමාවට ගෙන ඒමට නඩීන්ට උත්තේජනයක් ලැබුණේ මේ සංවාද නිසා යි. සෙයින් ගේ මාපියන් හරහා මුළු මහත් සමාජය ම නියෝජනය වෙනවා.

චිත්‍රපටය පුරා අපට දකින්න ලැබෙන්නේ ඉතා අව්‍යාජ රංගනයක්. නඩීන් ලබාකි පවසන අන්දමට රංගනයේ යෙදෙන බොහෝ පුද්ගලයන්ට වෘත්තීය මට්ටමේ රංගන කුසලතාවක් නැහැ. සෙයින් අල් රෆියා ඇතුළු බොහෝ දෙනකුට චිත්‍රපටයෙන් පෙන්වන සමාජ ඛේදවාචකය පිළිබඳ ව යම් අත්දැකීමක් තිබෙනවා. ඒ අත්දැකීම කැමරා කාචයට හසුකර ගැනීමට පමණක් නඩීන් ක්‍රියාකර තිබුණා.

රූගත කිරීම් අතරතුර – seventh-row.com

“මට රංගනය කියන වචනය ඇතුළේ ගැටලුවක් තිබුණා. ඔවුන් රඟපානවා දකින්න මට අවශ්‍ය වුණේ නැහැ. හැමකෙනා ම එන්නේ තමාගේ ම අත්දැකීමක් සමඟ යි. ඔවුන් ඔවුන් ම වෙනවා දකින්න යි මට ඕනෑ වුණේ. ඔවුන්ගේ ම වචන, ඔවුන් කවුරුන්ද යන්න වග විතරක් නොවෙ යි, චිත්‍රපටයේ කතාව සම්බන්ධයෙන් ඔවුන් ට ඇති අවබෝධයත් මට වැදගත් වුණා.”

ප්‍රබල ම අභියෝගය වූ සංස්කරණය

ඒ අනුව සම්පූර්ණයෙන් ම අධ්‍යක්ෂවරයා ගේ නියමය පරිදි සිදු කරන රංගනයක් ‘Capernaum’ චිත්‍රපටයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ඒ චරිතය ලබා දෙන දේවල් සඳහා සිනමාත්කමක අගයක් එක් කිරීම පමණක් සිදු වුණා. මේ ක්‍රමවේදය නිසා නඩීන් ලබාකිට විඳින්න සිදු වූ දුෂ්කරතාත් අපමණ යි.

“අපි මාස හයක් මුළුල්ලේ පැය 500 ක පමණ සංස්කරණය නොකළ දර්ශන රූගත කළා. චිත්‍රපටයේ පළමු පිටපත පැය දොළහක් පමණ දීර්ඝ යි!”

අන්තර්ගතයට හානියක් සිදු නොවන පරිදි පැය දොළහක චිත්‍රපටයක් සංස්කරණය කිරීම පහසු කාරණයක් නොවෙ යි. ඒ සඳහා සංස්කරණ කණ්ඩායමට වසර එකහමාරක් පමණ ගත වූ අතර, අවසාන පිටපත පැය දෙකක් පමණ දීර්ඝ චිත්‍රපටයක් බවට පත් වුණා. නඩීන් ලබාකි සිය සංස්කාරකවරුන් සමඟ දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී වැඩ කළ බැවින්, සංස්කරණ කණ්ඩායම සහ නඩීන් අතර ඉතා සමීප සබඳතාවක් ගොඩනැඟී තිබුණා.

හැරවුම් ලක්ෂ්‍ය

මහන්සියේ පල නෙළා ගැනීමට නඩීන්ට වැඩිකල් ගත වුණේ නැහැ. ලෝකයේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සිනමා උළෙල රැසක සම්මාන සඳහා ‘Capernaum’ නිර්දේශ වුණා. ඒ අතර ඇකඩමි සම්මාන උළෙලත් තිබෙනවා. 91 වැනි ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳ ම විදෙස් චිත්‍රපටය සඳහා ‘Capernaum’ නිර්දේශ වුවත්, සම්මානය දිනා ගැනීමට හැකි වුණේ නැහැ. නමුත්, සෙයින් අල් රෆියා ගේ විශ්මිත සහ සංවේදී රංගනය ඒ වනවිටත් ගෞරවයට පාත්‍ර වී අවසාන යි.

කෑන්ස් සිනමා උළෙලට සහභාගී වූ සෙයින් අල් රෆියා – www.abouther.com

සෙයින් ගේ ජීවිතයත් මේ චිත්‍රපටය නිසා වෙනස් වුණා. නඩීන්ට සෙයින් හමු වුණේ ඇය ගේ සමීපතමයෙක් වූ ජෙනිෆර් හරහා යි. ඒ අහඹු හමුවීම නොවන්නට සෙයින් තවමත් ලෙබනනයේ බීරූට් පැල්පත් අතර දුක් විඳිමින් සිටීමට ඉඩ තිබුණා.

“මං යාළුවෝ කට්ටියක් එක්ක සෙල්ලම් කරමින් හිටියේ. මං ජෙනිෆර්  ව දැක්කා. ඇය මගෙන් ඇහුවා රඟපාන්න කැමති ද කියලා. මට ඒ ගැන කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. ඇය මගේ වීඩියෝවක් ගෙන එය නඩීන් වෙත යවා තිබුණා.”

සෙයින් අල් රෆියා, සිය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වචනවලට පෙරළුවේ ඒ අයුරින්.

අලුත් රටක අලුත් බලාපොරොත්තු

සිරියාවේ සිට ජීවිතාරක්ෂාව පතා සිය පවුලත් සමඟ ලෙබනනයට පැමිණි මේ සරණාගත දරුවා, නඩීන්ට මුණගැසෙන විට තමා ගේ නම ලිවීමටවත් දැන සිටියේ නැහැ.

කෑන්ස් සිනමා උළෙල ට සහභාගී වී ටික කලකට පසු සෙයින් ගේ පවුලට “UNHCR (United Nations High Commissioner for Refugees) වෙතින් නිල මට්ටමේ ලිපියක් ලැබුණා. ඔවුන් නෝර්වේ රාජ්‍යයේ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියකට ඇතුළත් කර ඇති බව ලිපියෙන් දන්වා තිබුණා. 2018 අගෝස්තු මාසයේ දී සෙයින් ඇතුළු පවුල නෝර්වේ රාජ්‍යය වෙත ළඟා වුණා.

සෙයින් පසුකලෙක නෝර්වේ රාජ්‍යය වෙත සංක්‍රමණය වුණා – theworld.org

“තුන්වැනි රටක පදිංචිය ලබමින් මේ ආකාරයේ නව ජීවිතයක් ලැබීම සැබවින්ම නව ආරම්භයක්. පෙර පැවති තත්ත්වයන් තුළ ඔහු රැඳී සිටියා නම්, කරදර රැසකට මුහුණ දීමේ විශාල අවස්ථාවක් තිබුණා.”

සෙයින් ගේ අලුත් ජීවිතය හමුවේ නඩීන් ලබාකි විශාල ආත්ම තෘප්තියක් ලබන්නට ඇති.

නෝර්වේ වෙත සම්ප්‍රාප්ත වූ පසු සිය සහෝදරයන් සමඟ උදෑසනින් ම අවදි වී පාසලට යන බස් රථය අල්ලා ගැනීම සෙයින් ගේ සාමාන්‍ය දින චර්යාවේ කොටසක් බවට පත් වුණා. ලෙබනනයේ සිටියා නම් එය සිහිනයක් ම පමණ යි. 

නොමේරූ හැඟීම් ප්‍රකාශය

සිරියානු සරණාගත අර්බුදයේ උච්චතම අවස්ථා සහිටුහන් වූ 2011-2015 කාල පරාසය තුළ සතියකට සරණාගතයන් 10,000 ක් පමණ ලෙබනනය කරා ගෙන ඒමට සිදු වුණා. ආර්ථික ශක්තිය හීන වෙමින් පැවතුණු රාජ්‍යයකට එය කොහෙත් ම දරාගත හැකි සංඛ්‍යාවක් නොවෙ යි. යුද තර්ජනයෙන් ජීවිතය ගලවා ගත් නමුත්, ලෙබනනය මුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදය හමුවේ මැරි මැරී උපදින ජීවිතයක් උරුම කර ගැනීමට සිරියානු සරණාගතයන්ට සිදු වුණා. සෙයින් අල් රෆියා යනු ඒ සියලු ඛේදවාචකවල නොමේරූ හැඟීම් ප්‍රකාශය යි.

“Eternals” චිත්‍රපටයෙන් ඔහු නැවතත් සිනමාවට පිවිසුණා – samtiden.no

“නෝර්වේ කියන්නේ පරිපූර්ණ රටක්. මිනිස්සු ඉතා සන්සුන්. රණ්ඩු දබර හෝ මාර්ග තදබදයක් වත් දකින්න නැහැ. සෑම විට ම ජලය සහ විදුලිය තිබීමත් විශාල දෙයක්.”

සෙයින්ට සිය පැරණි නිවහන් සහ නෝර්වේ අතර තිබුණේ එවැනි සරල සංසන්දනයක්. නමුත්, දැන් සෙයින් 18 හැවිරිදි තරුණයෙක්. පෙරට වඩා ගැඹුරු සංසන්දනයක් කිරීමට තරම් දැන් ඔහු වයසින් මුහුකුරා ගොස් ඇති. සරලව ම ‘Capernaum’ වැනි චිත්‍රපටයක් හරහා නඩීන් ලබාකි ඉස්මතු කිරීමට උත්සහ කළ සන්දර්භය පෙරට වඩා පුළුල් ව ඔහුට වැටහෙනවා ඇති.

“මහන්සියෙන් වැඩ කරන්න. කිසි ම දෙයක් බැරි නැහැ. මට සිද්ධ වුණ දේ ගැන බලන්න. සරලව ම කිව්වොත්, විශාල සිහින දකින්න.

‘The Eternals’ චිත්‍රපටය හරහා නැවතත් සිනමාව පිවිසුණු සෙයින් අල් රෆියා, අභියෝගාත්මක ජීවිතයකට මුහුණ දෙමින් සිටින ඕනෑම දරුවකුට අභිප්‍රේරණයක් වන්නේ නිරායාසයෙන්.

කවරයේ ඡායාරූපය: චිත්‍රපටය පුරා සෙයින් අල් රෆියා ගේ හැඟීම් ප්‍රකාශනය ඉතා ප්‍රබල යි - can.newonnetflix.info
මූලාශ්‍ර:
www.unhcr.org
Seventh-row.com
www.sonyclassics.com
www.arabnews.com

Related Articles