සාර් පාලන කාලයේ සිට පැවතෙන රුසියානු මාෆියාව​

මාෆියා සංවිධාන කියද්දි අපට මතකට නිතැතින්ම එන්නේ ඉතාලි මාෆියාව යි. නමුත් ඇතැම් අංශයන්ගෙන් සලකද්දී ඉතාලි මාෆියාවටත් වඩා ප්‍රබල සංවිධානයක් ලෙස රුසියානු මාෆියාව හඳුන්වන්නට පුළුවන්.

රුසියානු සංවිධානාත්මක අපරාධ කල්ලිවල ඉතිහාසය වසර සියයකටත් වඩා ඈතට දිව යනවා. එහි ආරම්භය ලෙස සැලකිය හැක්කේ සාර් පාලන සමයේ දී උපත ලද වොරොව්ස්කෝයේ මියර් (සොරුන්ගේ ලෝකය​) නම් රහස්‍ය සංවිධානය යි. මෙහි සාමාජිකයන් වෝරි (සොරුන්) වුණා. සාර් පාලන සමයෙහි සියලු දේපළ රජයට සහ වංශවතුන්ට අයත් වූ අතර සොරකමෙහි යෙදීම මෙම බලාධිකාරයට එරෙහිව සටන් කිරීම හා සමාන වුණා. මේ අනුව සොරකමෙහි යෙදෙමින්, රජයේ බලධාරීන්ගෙන් සැඟවෙමින් ජීවත්වූ පිරිස් සාමාන්‍ය ජනයාගේ වීරයින් බවට පත් වුණා. මෙවන් “රුසියානු රොබින්හුඩ්වරුන්” පිළිබඳ ජනතාව අතර වීර කතා නිර්මාණය වුණා.

කල් යාමේ දී මෙම සොර කණ්ඩායම් සංවිධානය වීමට පටන් ගත්තා. ඔවුන් මූලික කොන්දේසි කිහිපයකට අනුකූලතාව දැක්වූවා. මේ අනුව එකිනෙකා පාවා නොදීම​, සාර්වරයාට එරෙහි වීම සහ සොරකමෙන් ලැබෙන ලාභය බෙදාහදා ගැනීම ඒ අතර වැදගත් වුණා.

සෝවියට් පාලන සමය

1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු සෝවියට් බලධාරීන් මෙම අපරාධකරුවන්ට එරෙහිව දරුණු පියවර ගැනීමට වුණා. මෙකල, මෙම නව පාලන ක්‍රමයට එරෙහිව රුසියාවේ සිවිල් යුද්ධයක් හටගත් බව අප දන්නවා. එම යුද්ධයෙන් සෝවියට් විරෝධීන් පරාජය වීමත් සමග ඔවුන් අතරින් ඉතිරි වූ සමහරෙක් ද රාජ්‍ය විරෝධී කටයුතුවල යෙදුණා. මේ අය ද රජය විසින් හඳුන්වන අලද්දේ මංපහරන්නන් ලෙස යි.

Thieves by Law චිත්‍රපටයෙන් (Alexander Gentelev)

ජෝසප් ස්ටාලින් බලයට පත්වීමෙන් පසු විරුද්ධවාදීන් මර්ධනය කිරීම වේගවත් වුණා. මේ අතර අපරාධ කල්ලිවල සාමාජිකයන් ද වුණා. ඔවුන් සිරගෙවල්වල සහ ගුලාග් සිර කඳවුරුවල රඳවනු ලැබුණා. නමුත් ඇතැම් සිරගෙවල් තුළ අපරාධ කල්ලි ඔවුන් ගේ ජාලය ප්‍රතිනිර්මාණය කරගත්තා. මෙම සිරගෙවල්වල වෙනමම උප සංස්කෘතියක් ද බිහි වුණා.

මෙම අපරාධ කල්ලිවල සාමාජිකයන් අතර ප්‍රධාන හඳුනාගැනීමේ සංකේතය වූයේ පච්ච කෙටීම යි. යම් කිසි සාමාජිකයකුගේ සිරුරේ ඇති පච්ච මඟින් ඔහු පිළිබඳ බොහෝ දේ කියැවුණා. ඔහු කුමන ආකාරයේ වරදකට සිරගෙට නියම වී ද​, ඉන් පෙර කළ රැකියාව කුමක්ද ද, කී වතාවක් සිරගත වී ඇත් ද ආදී වශයෙන් ඔහුගේ සම්පූර්ණ විස්තරයම මෙසේ පච්ච මඟින් සොයාගත හැකි වුණා.

1941 දී ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කළා. මේ අවස්ථාවේ ඇතැම් රැඳවියන්ට යුධ සේවය සඳහා අවස්ථාව ලබා දෙනු ලැබුණා. රජයට අවශ්‍ය වුණේ එමඟින් තමන්ට අවශ්‍ය පිරිස් බලය වැඩි කරගැනීම යි. ඔවුන් ඒ සඳහා රැඳවියන්ට ඇඟවූයේ යුද්ධයෙන් පසුව ඔවුන් නිදහස් කරන බව යි.

නමුත් යුද්ධයෙන් පසු ජීවතුන් අතර සිටි යුධ සේවයෙහි වූ රැඳවියන් ආපසු සිරගත කෙරුණා. මේ අතර හිටපු වොරොව්ස්කෝයේ මියර් සාමාජිකයනුත් සිටියා. ඔවුන් රජය සමග ගනුදෙනු කළ නිසා, යුධ සේවයට නොගිය සාමාජිකයන් විසින් ඔවුන් කොන් කරනු ලැබුණා. ඔවුනට “සූකා” (බැල්ල​) යනුවෙන් නමක් ද පට බඳිනු ලැබුණා.

මීළඟ වසර කිහිපයේ දී වෝරිවරුන් සහ සූකාවරුන් අතර සිරගෙවල්වල සටන් ඇති වුණා. රජයත් මේ දෙස බලා සිටියේ උනුන් කොටාගෙන විනාශ වනු දැකීමේ රිසියෙන්.

රුසියානු සිරකරුවකුගේ පච්ච (Mark Bullen)

1953 දී ස්ටාලින් මියගියා. ඉන්පසු සෝවියට් රැඳවියන් බොහෝ දෙනෙක් ස්ටාලින්ගේ මරණින් පසු නිදහස් කෙරුණා. මෙසේ සමාජයට එක් වූ ඇතැමුන් අපරාධ කල්ලි සාමාජිකයන් වුණා. ඔවුන් ආපසු විවිධ කණ්ඩායම් පිහිටුවා ගත්තා. නමුත් මෙකල රාජ්‍යය විසින් ජන ජීවිතය බොහෝ සෙයින් පාලනය කළා. එහෙයින් රඳා පැවැත්ම සඳහා මෙවන් පිරිස්වලට රජයේ බලධාරීන් සමග එක්ව කටයුතු කිරීමට සිදු වුණා.

විශේෂයෙන්ම ලියොනිද් බ්‍රෙෂ්නෙෆ් පාලන සමය වෙද්දී දූෂණය රටේ නිතර දකින්න ලැබෙන දෙයක් බවට පත් වුණා. කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන්ම පිටරටින් විවිධ දේ ගෙන්වා කළු කඩ වෙළෙඳාමේ යෙදුණා. මේ සමයේ ඔවුන් සහ වෝරි කණ්ඩායම් අතර සබඳතා ඇති වුණා.

සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු

සෝවියට් දේශයේ අවසන් වසර කිහිපය තුළ පෞද්ගලික ව්‍යාපාර සඳහා තිබූ තහනම ලිහිල් වුණා. ඒ අනුව ඉන් පෙර රහසින් ක්‍රියාත්මක වූ ඇතැම් ව්‍යාපාර එළිපිටම සිදු වුණා. මේ අනුව රටේ වෙළෙඳ කටයුතුවලින් කොටසක් විවිධ කල්ලි අතට පත් වුණා කියන්න පිළිවන්.

1991 දී සෝවියට් දේශය බිඳ වැටුණා. එහි සමූහාණ්ඩු 15 ස්වාධීන රාජ්‍යයන් බවට පත් වුණා. මෙයින් බොහෝ රටවල විශාල අවුල් ජාලයක් නිර්මාණය වුණා. රාජ්‍ය දේපල පුද්ගලීකරණය වුණ අතර ඒවා බොහෝ විට අල්ලා ගන්නා ලද්දේ විවිධ කල්ලි හෝ දේශපාලන අධිකාරියට සමීප ධනවතුන් විසින්. රුසියාවේ මේ තත්ත්වය ඉතා බරපතල වුණා. එකල රටේ බැංකු ඇතුළු විවිධ ආයතන විවිධ වෝරිවරුන් අතට පත් වුණා.

මේ අතර මධ්‍යම රජයේ බලාධිකාරය පිරිහී ගියා. රටේ ආර්ථික තත්ත්වය අයහපත් වූ අතර යුධ හමුදාවට පවා වැටුප් ගෙවීම මාස ගණන් ප්‍රමාද වුණා. මීට සමගාමීව විවිධ අපරාධ කල්ලි හටගත්තා. තත්ත්වය කෙතරම් ද කිවහොත්, පැරණි සෝවියට් දේශයට අයත් ප්‍රදේශයන් හි මෙවන් සංවිධාන 6,000ක් පමණ බිහි වූ බව සඳහන්.

බොහොමයක් ව්‍යාපාර මෙම අපරාධ කල්ලිවලට කප්පම් ගෙව්වා. වැඩි කලක් නොගොස් මෙම කල්ලි අතර ගැටුම් ද ඇති වුණා. රුසියානු අපරාධ කල්ලි ඉතා බිහිසුණු ලෙස තම ප්‍රතිවාදීන්ගෙන් පළි ගත්තා. 1990 දශකයේ මුල් කාලයේ රුසියාවේ විවිධ අපරාධ කල්ලි අතර වූ ගැටුම්වලින් අති විශාල පිරිසක් මිය ගියා. 1993 දී පමණක් මොස්කව් අගනුවර දී අපරාධ කල්ලි අතර ගැටුම්වල දී මියගිය පිරිස 1,400ක් වුණා.

විරැකියාව​, දුප්පත්කම වැනි කාරණා හේතුවෙන් අපරාධ සහ නීති විරෝධී ජාවාරම්වලට යොමු වූ පිරිස ඉහළ ගියා. මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ රුසියානු මාෆියා සංවිධානයන් හි සාමාජිකයන් නූගතුන් නොවීම යි. ඇතැම් මාෆියා නායකයින් ඉතා හොඳ අධ්‍යාපනයක් ලද විරැකියාවෙන් පෙළෙන්නන් වුණා. රුසියානු අපරාධ කල්ලි සාමාජිකයන් විවේක වේලාවට චෙස් ක්‍රීඩා කිරීමට ප්‍රිය කළ බව ප්‍රකට කියමනක් වනවා.

විදේශවලට පැතිරීම

රුසියානු මාෆියා සංවිධානයන් හි කටයුතු විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයට පැතිරුණා. එක්සත් ජනපදයට සෝවියට් සමයේ දී, විශේෂයෙන්ම 1970 ගණන්වල දී සැලකිය යුතු සෝවියට් යුදෙව්වන් පිරිසක් ළඟා වුණා. එමෙන්ම විවිධ කාලවල එක්සත් ජනපදයට පැමිණි රුසියානු සංක්‍රමණිකයන් සිටි අතර ඒ අය අතුරින් විවිධ පිරිස් අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම්වල නිරත වුණා. මුල් කාලීනව ඔවුන් වැඩි වශයෙන් කටයුතු කළේ නිව් යෝර්ක් නගරයේ බෘක්ලින් හි බ්‍රයිටන් බීච් ප්‍රදේශයේ යි. පසු කාලීනව ඔවුන් මයාමි ආදී ප්‍රදේශයන්ටත් පැතිර ගියා.

කලක් ඇමරිකාවේ ප්‍රධාන මාෆියා නායකයකු වූ ව්‍යචෙස්ලාව් ඉවාන්කොෆ්ගේ අවමංගල්‍යය (Getty Images)

මේ කණ්ඩායම් මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් සොරබඩු ජාවාරම් හි මෙන්ම අවි වෙළෙඳාමෙහි පවා නිරත වුණා. විශේෂයෙන්ම සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු රුසියාවෙන් අවි ජාවාරම් කටයුතු කිරීම සිතාගැනීමටත් වඩා පහසු කටයුත්තක් වුණා. මේ හේතුව නිසා රුසියානු මාෆියා සංවිධානයන් හි ඇමරිකාවේ නියෝජිතයන් එවන් කටයුතුවල යෙදුණා. ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් අතර කොලොම්බියාව ආදී ලතින් ඇමරිකානු රටවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රධාන වුණා.

පුටින්ගේ සමය

ව්ලැදිමීර් පුටින් බලයට පත් වීමෙන් පසු රුසියානු රාජ්‍යය යළි ශක්තිමත් වීමත් සමග අපරාධ කල්ලිවල ගැටුම් පාලනය වුණා. නමුත් ඒවායේ කටයුතු සම්පූර්ණයෙන් පාලනය නොවූ බව යි බොහෝ දෙනාගේ විශ්වාසය වන්නේ. ඇතැම් විචාරකයන් විශ්වාස කරනුයේ මෙම පිරිස් තම ක්‍රමවේදයන් වෙනස් කරගෙන ඇති බව යි.

විශේෂයෙන්ම පුටින් විරෝධීන් චෝදනා කරනුයේ පුටින් පාලනයට සම්බන්ධ වූවන් ඍජුවම මෙම කණ්ඩායම් සමග කටයුතු කරන බව යි. මෙහිදී ඇතැමුන් රුසියාව යනු “මාෆියා රාජ්‍යයක්” බවට චෝදනා කරනවා. නමුත් එම අදහස පිළිබඳ එකඟතාවයක් නැහැ. තවත් මතයක් වන්නේ රුසියානු පාලනයට සම්බන්ධ නිලධාරීන් මෙවන් කණ්ඩායම්වලට තම කටයුතු කරගෙන යාම සඳහා නිදහස ලබා දෙන බව යි. කරුණු එසේ නම් එය බ්‍රෙෂ්නෙෆ් පාලන සමයේ තිබූ තත්ත්වයට සමාන යයි අනුමාන කළ හැකියි.

Cover Image: ඩේවිඩ් ක්‍රොනෙන්බර්ග්ගේ Eastern Promises චිත්‍රපටයෙන් (Focus Features)

මූලාශ්‍රයයන්:

  • Organized Crime: Russian Mafia (The History Channel)
  • Gangster’s Paradise: how organized crime took over Russia (The Guardian)

Related Articles