“…මා කතා කරන්නේ මා වෙනුවෙන් නොව, තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදුණු අය වෙනුවෙනි. සාමකාමීව හා ගෞරවනීය  ලෙස  ජීවත් වන්නට, සමානාත්මතාවය  අත්විඳින්නට මෙන්ම අධ්‍යාපනය  ලබන්නට ඔවුන්ට ඇති අයිතිය වෙනුවෙනි…”
-මලාලා යූසෆ්සායි-

“ජාත්‍යන්තර ගැහැණු ළමුන්ගේ දිනය” පස්වන වරටත් පසුගිය එකොලොස් වැනිදා ලොව පුරා සමරනු ලැබිනි. කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් අන්තර්ජාතික දින වෙන්කර තිබියදීත් ගැහැණු ළමුන් වෙනුවෙන් තවත් දිනයක් වෙන් කර තිබීම විශේෂිත සිදුවීමකි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රථම වරට 2012 වසරේදී මෙම දිනය සමරන ලදි. එතැන් පටන් පුරා වසර පහක් මුළුල්ලේ සෑම ඔක්තෝබර් මසකම එකොලොස් වැනිදාව වෙන් කෙරුනේ ගැහැණු ළමුන්ටම අනන්‍ය වූ ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන් මුහුණ පාන අභියෝගයන් පිළිබඳව ගෝලීය වශයෙන් කතිකාවතක් ගොඩනැගීම උදෙසාය.

එක්සත් ජාතීන් විසින් මෙම දිනය නම් කිරීමේදී ඒ සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් හා ඔවුන් විශේෂයෙන්ම මුහුණ පාන අභියෝගයන් සැළකිල්ලට ගෙන ඇත. ගැහැණු ළමුන් විසින් දිනයක් වෙන් කිරීමේදී එක්සත් ජාතීන් විසින් ලිංග භේදවාදය, අසමානාත්මතාවය, ආර්ථිකමය, ආගමික හා සමාජීය කරුණු මගින් ගැහැණු ළමුන්ට සිදුවන අවාසි සහ අසාධාරණයන් මෙන්ම ප්‍රචණ්ඩත්වය පිටුදැකීමටද අවශ්‍ය පියවර වඩාත් යුහුසුළුව ගැනීමේ අවශ්‍යතාවය තරයේ අවධාරනය කරන ලදි.  

(worldschildrensprize.org/onemilliongirls)

ලොව පුරා විසිර සිටින සුවහසක් දැරියන්ගේ ජීවන තත්වය නගා සිටුවීම සහ ඔවුන්ගේ අනාගතය පැහැබර කිරීම අන්තර්ජාතික ගැහැණු ළමුන්ගේ දිනයේ අරමුණයි. එමෙන්ම, ගැහැණු ළමයෙකු ලෙස ඉපදීම පවක් හෝ ලැජ්ජාවට පත්වීමට හේතුවක් නොව, සැබවින්ම තමා ආඩම්බර විය යුතු කරුණක් බව සියළුම දැරියන්ට අවබෝධ කරවීමද එහි එක් අරමුණකි.

නායකත්වය, වගකීම්  දැරීම සහ තම ශක්‍යතාවන් හඳුනාගනිමින් ඒවා වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය අඩිතාලම සැපයීමද එහි තවත් එක් අරමුණකි. බලාපොරොත්තුවක් යනු කුමක්දැයි නොදන්නා දැරියන් වෙත බලාපොරොත්තු ළඟා කරවීම එක්සත් ජාතීන්ගේ බලාපොරොත්තුව වී ඇත.

ඔවුන් වෙනුවෙන්ම දිනයක් වෙන් කලේ ඇයි?

ලෝක ළමා දිනය සහ කාන්තා දිනය සැමරෙන නිසාවෙන් ගැහැණු ළමුන් වෙනුවෙන්ම තවත් දිනයක් වෙන් කළ යුතුද, එය සැබවින්ම අත්‍යවශ්‍ය දෙයක්ද යන්න බොහෝ දෙනෙකු විසින් නගන ලද පැනයකි. ළමා අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියට අනුව ගිවිසුම්කාර රාජ්‍ය පාර්ශවයන් සියළු දෙනා විසින් ලිංග භේදයකින් තොරව සියළුම ළමුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට බැඳී සිටී.

සම්මුතියෙහි (Convention on the Rights of the Child-CRC) දක්වා ඇති පරිදි සෑම රාජ්‍ය පාර්ශවයක්ම තම දේශ සීමාව තුළ එකී සම්මුතියෙහි සදහන් අයිතිවාසිකම් සියල්ලක්ම කිසිදු ආකාරයක  වෙන් කොට සැලකීමකින් තොරව සුරක්ෂිත කොට දීමට බැදී සිටී.

කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙන්කර සැළකීම් තුරන් කිරීමේ සම්මුතිය (The Convention on the Elimination of All forms of discrimination against Women-CEDAW) ඔස්සේද කාන්තාවන් මෙන්ම ගැහැණු ළමුන්ගේ අයිතීන් සුරැකීමට ජාත්යන්තර තලය මග සලසා දී ඇත. ජාතික තලය දෙස බැලූ කළද, කාන්තා හා ළමා ප්‍රඥප්තීන් (Childrens’ Charter, Womens’ Charter) හරහා විවිධ අයිතිවාසිකම් තහවුරු කොට දී තිබීම ඉතා සතුටුදායක තත්වයකි.

(modernsocialworker.blogspot.com)

නමුත්, ජාත්‍යන්තර හා ජාතික තලයන් මෙසේ නන් අයුරින් කොතෙක් ගිවිසුම් බලාත්මක කළද, මෙරටද ඇතුලුව ලොව බොහෝ රටවල් තුළ ගැහැණු ළමුන්ට සමාන අයිතිවාසිකම් වෙත මගනම් විවර වන්නේ නැත.

ඊට බලපාන ආගමික, සංස්කෘතික සහ සමාජයීය හේතු සාධක රැසකි. තමාට අත්යන්තයෙන්ම හිමිවිය යුතු මූලික අයිතිවාසිකම් පවා අහිමිව ගිය ගැහැණු ළමුන් විශාල පිරිසක් ලොව පුරා විසිරී සිටිති. මෙවැනි තත්වයන් කෙරෙහි දිගින් දිගටම ලෝක ප්‍රජාව විසින් අවධානය යොමු කිරීමේ ප්‍රථිඵලයක් ලෙස 2012 වසරේදී ගැහැණු ළමුන් වෙනුවෙන්ම සෑම වසරකම ඔක්තෝබර් මස එකොලොස් වැනිදාව වෙන් කරන ලදි.

 තිත්ත ඇත්ත

ඔබත් මමත් ඉතා සුව පහසු පරිසරයක සිට මේ ලිපිය කියවන්නෙමු. නමුත් මේ මොහොතේ පවා සෞඛ්‍යය, අධ්‍යාපනය, සනීපාරක්ශාව වැනි මූලික අයිතීන් පවා අහිමිව ගිය ගැහැණු ළමුන් කොතෙක් මේ ලොව සිටීදැයි ඔබ සිතා තිබෙනවාද? සුන්නත් කිරීම, ළමා විවාහ, කායික හා මානසික අපයෝජනය, ලිංගික වධහිංසනය, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය මෙන්ම ව්‍යාභිචාරය වැනි අමානුශික වධ බන්ධනයන්ට ලක් වන ළමුන් අපමණ වේ. ඇතැම් රටවල මෙවැනි ක්‍රියා නීතිවිරෝධී නොවන අතර, එසේ කිරීම මානව හිමිකම් වලට පටහැනි බව පවා විශ්වාස නොකිරීමට ඒ රටවල මිනිසුන් පෙළඹී ඇත. සුන්නත් කිරීම හා ළමා විවාහය අත්‍යවශ්‍ය ආගමික සංකේතයක් ලෙස සැළකීමට ඔවුන් පුරුදු පුහුණු වී සිටීම අතිශය ඛේදනීය තත්වයකි.

එක්සත් ජාතීන් විසින් ඉදිරිපත් කොට ඇති දත්ත සමුදායන්ට අනුව, ලොව දුප්පත් යැයි සැළකෙන ජනගහනයෙන් 70% ක්ම කාන්තාවන් හා තරුණියන් වේ. මීට මූලිකම හේතුව නිසි අධ්‍යාපනයක් නොලැබීමයි.

දියුණු වෙමින් පවතින රටවල් තුළ පාසල් යන වයසේ ළමුන්ගෙන් මිලියන 130ක ට ආසන්න ප්‍රමාණයක ළමුන් පාසල් නොයන අතර ඉන් තුනෙන් දෙකක්ම ගැහැණු ළමුන් වීම විස්මයට කරුණක් නොවන්නේය. කුඩා සහෝදර සහෝදරියන් බලා ගැනීමට, පවුලේ වැඩ කටයුතු කිරීමට යනාදී නොයෙකුත් හේතු මත ඉගෙනීමෙන් ඈත්වීමට ඔවුන්ට සිදු ව ඇත. සාක්ශරතාවය නොමැති වැඩිහිටි ජනගහනයෙන් එක් බිලියනයක් තරම් දෙනා කාන්තාවන් වීම එහි ඛේදනීය ප්‍රතිඵලය  වී ඇත.

(wendymarijnissen.wordpress.com/tag/child-marriage/)

මෙලෙස “අඩු වටිනාකමකින් යුතු මනුශ්‍ය පිරිසක්” ලෙස නොසලකා හැරීමට ලක්වීම හරහා සමාජයෙන් කොන් වීම, දරිද්‍රතාවයෙන් පෙලීම, මන්ද පෝෂණයෙන් පෙලීම හා අධ්‍යාපනයක් නොලැබූවන් ලෙස හංවඩු ගැසීමට ලක්වන ඔවුන් අවසානයේ මේ සියල්ලක්ම තමාගේ දෛවයේ ලියැවී ඇතැයි යන අදහස සිතෙහි නගාගන්නට පෙළඹෙති.

උපතේදී ඇති වන සංකූලතා, මන්ද පෝෂණය හා දරු උපතකදී භාවිතා කරන අනාරක්ෂිත සෞඛ්‍ය පුරුදු මෙන්ම කුඩා කළදීම සුන්නත් කිරීම වැනි අපරික්ෂාකාරී මිථ්‍යා දෘශ්ටික පුරුදු යනාදී හේතූන් මත අද වන විට මෙලොව අප අතර ජීවත්ව සිටිය යුතුව තිබූ ගැහැණු ළමුන් මිලියන 100ක් පමණ මරණයට පත් ව ඇත. විද්‍යා හා තාක්ෂණික අංශයන්ගෙන් කොතෙක් ඉහළට නැගුණද මෙවැනි සෘණාත්මක සංකල්ප සහ හැසිරීම් ඉවත ලන්නට අපට තවමත් නොහැකි වී ඇත්තේ මන්දැයි අප අපගෙන්ම විමසිය යුතුය.

මෙරට තුළ එතරම් අමානුෂික තත්වයක් නොමැති බව සැබෑය. නමුත් මදක් සිතා බලන්න, තවමත් අප සමාජය තුළද ගැහැණු ළමුන් දෙවැනි තත්වයෙහි ලා සළකනු ලබන්නේ නොවේද? ඇතැම් විට එවැනි තත්වයන් එසේම විඳදරාගෙන නිශ්ශබ්දව සිටින්නැයි අවවාද කරන්නේ ද තවත් කාන්තාවක්ම නොවේ ද?

අනාගතය යහපත් වීමට නම්

අපගේ අනාගතයේ භාරකාරියන් වන්නේ ඔවුන්ය. ඔවුන්ගේ මනා දිවි පැවැත්ම මෙන්ම කායික හා මානසික  යහපැවැත්ම මනුෂ්‍ය වර්ගයාගේම අභිවෘද්ධියෙහි සළකුණකි. අනවශ්‍ය කරදරයක්, අභාග්‍යයක් හෝ පවුලකට බරක් ලෙස සළකා ඔවුන්ව සමාජයෙන් කොන් කිරීම අපට නොවටින්නකි. නිසි මග පෙන්වීමක් කළහොත් මුළු මහත් සමාජයටම අගනා පාඩම් රැසක් කියාදීමට ඔවුන්ට හැකියාව ඇත. කළ යුත්තේ ඔවුනට යා යුතු මග පෙන්වීම පමණි.

ගැහැණු ළමුන් වෙනුවන් යහපත් සහ ආරක්ෂාකාරී අනාගතයක් සපයා දීම හා එය දිගින් දිගටම තහවුරු කර දීම අප විසින් පැහැර හැරිය නොහැකි වගකීමකි. අප විසින් එම වගකීම නොපිරිහෙලා ඉටු කරනු ලබන දිනයක ඔවුන්ට පමණක් නොව, මුළු මහත් මානව සංහතියටම යහපත් අනාගතයක් උදා වනු ඇත.

කවරයේ ඡායාරූපය – flickr.com/photos/travfotos