කුණු කඳු එකතු නොවුණු අපේ අතීත බඩු මිලදී ගැනීමේ රටාව

මෑතකදී කඩා වැටුණු මීතොටමුල්ල කුණු කන්ද ගැන සිතා බලන විට බොහෝ දෙනෙකුට ගැටළුවක් වූයේ එහි විශාලත්වයයි. අඩි සිය ගණනක් උසට, අක්කර ගණනක් පුරා පැතිරෙන කුණු කන්දක් වසර කිහිපයක් තුළ එක් රැස් වන්නේ කෙසේද? අපි කවුරුත් කුණු ලෙස බැහැර කරන දේවල්වලින් වැඩි ප්‍රමාණයක් අපිම මිල දී ගන්නා දේවල් නිසා අැති වන බවට තර්කයක් නැත. ඉතින් කුණු කඳු අැති නොකර අපි අතීතයේදී පරිභෝජන අවශ්‍යතා ඉටු කර ගත් අයුරු මේ ලිපිය තුළින් සලකා බැලේ. ඉන් කිහිපයක් හෝ අපේ වර්තමාන පරිභෝජන රටාවට එක් කර ගන්නේ නම් අපට බැහැර කිරීමට සිදු වන කසළ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වනු නිසැකය.

නූතන ලෝකයේ දියුණුවත් සමගම ජනතාවගේ පරිභෝජන රටාව වෙනස් විය. මීට වසර 50කට පෙර මිනිසුන් භාවිතා කළාට වඩා බොහෝ දේ වර්තමාන මිනිසුන් විසින් භාවිතා කරනු ලබයි. පරිසරයට වඩාත් හිතකර ලෙස අපගේ ජීවන රටා වෙනස් කරගන්නේ කෙසේද යන්න වර්තමාන දියුණු ලෝකයේ රටවල පවා ඉහළ මට්ටමින් පර්යේෂණ කරන මාතෘකාවකි. එයිනුත් මිනිසුන් ගේ එදිනෙදා බඩු මිලදී ගැනීමේ හා වෙළඳාම් රටාව තුළද පවතින පරිසරයට හානිකර වූ ක්‍රමවේද අවම කිරීම පරිසර හිතකාමී වෙළඳ පොළවල අරමුණ වේ.

කෘමිනාශක, වල්නාශක රහිත එළවලු මිලදී ගැනීම, නිර්මාංශ වීම වැනි කාරණා කිහිපයකට පමණක් ගොනු කළ නොහැකි පරිසර හිතකාමී ජීවන රටාවේ වෙළඳ ලක්ෂණ අප කලකට පෙර වක්‍ර අන්දමින් පාවිච්චි කරන ලද සංකල්ප ම වේ. අපි ඒ එකිනෙක ගැන මදක් සොයා බලමු.

පොලිතීන් සහ ඇසුරුම් භාවිතය අඩු කිරීම

කොළඹ නගරයේ මෙන්ම වර්තමානයේ නාගරික බල ප්‍රදේශ ගණනාවක තවමත් විසඳී නැති ගැටළුවකි කුණු බැහැර කිරීමේ ගැටළුව. කළමණාකරණය අතින් ගත් කල බොහෝ නාගරික කසල කළමනාකරණ ක්‍රම තවමත් පවතින්නේ ඉතාමත් ප්‍රාථමික මට්ටම්වලය.

ඔබ ලාංකික සුපිරි වෙළදසැලකට ගොස් එළවලු වර්ග 5ක් මිලදී ගන්නේ නම් ඔබට ඒ සදහා පොලිතින් මළු 6ක් ලැබේ. එ් පහක් එළවලු දැමීමටත්, ඒ පහ දමා ගැනීමට වෙනම මල්ලකුත් වශයෙනි. බොහෝ නිෂ්පාදන වර්තමානයේ කුඩා ඇසුරුම් වල අසුරා අැත. උදාහරණ ලෙස කලකට පෙර අපිට බිත්තර අවැසි විට බිත්තර ගණන කියා සිල්ලර කඩෙන් බිත්තර මිලදී ගත්තද අද වන විට සුපිිරි  වෙළඳ සැලේ බිත්තර එන්නේද ඇසුරුම්වලය. ෂැම්පු, රෙදි සෝදන කුඩු, කිරි පිටි ආදියද තොග විශාල ඇසුරම්වල පමණක් නොව කුඩා කුඩා පැකට්වලද බහා තිබේ.

ජර්මනියේ අඩු අපද්‍රව්‍ය සංකල්පය සහිත සුපිරි වෙළද සැලක ධාන්‍ය ගබඩා කර ඇති අයුරු (media.mnn.com)

මෙසේ මිලට ගන්නා පොලිතීන් බෑග් හා එ් අාශ්‍රිත ඇසුරුම් වර්ග පරිසරයට හානිකර වේ. ඒ ඇසුරුම් අපි පොලිතීන් ලෙස හෝ වෙනත් නොදිරන කසළ වර්ගයක් ලෙස නිවසින් බැහැර කළ යුතුය.

එදා ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ බඩුගන්නට ගියේ පොළ වෙතටය. අද කාලයේ සුපර් මාකට් යන බව හොඳින්ම දැන දැනත් කාර් එකේ මල්ලක් දාගෙන යෑමට අපි මැළි වුවද, එකල ජනයා බස් රියේ තෙරපී සැතපුම් ගණන් මග ගෙවා, නැතිනම් පයින්ම අැවිද පොළට එන විට වුවත් මල්ලක් ගෙදරින්ම රැගෙන එ්මට අමතක කළේ නැත. එක් එක් වෙළෙන්දා ලඟට ගොස් බඩු මිල අසා මිලදී ගෙන සියල්ලම දාගන්නේ එකම මල්ලකටය. හාල්, සීනි, පරිප්පු වැනි දෙවල් ගොටුවල හෝ විශාල කඩදාසි උර වල බහා තැන්පත් කෙරුණි. ඉන් පසු ඉතිරි එළවලු ආදිය කිරා කෙලින්ම තරාදියෙන් මල්ලට දමනු ලැබේ. එකල කිලෝ දෙකක සීනි ප්‍රමාණයක් වුවද දමන්නේ කඩදාසි ගොටු වලය.

හැදල හන්දිය මාළු වෙළඳ සැලක්. (රූපය රචකයාගෙනි)

වර්තමානයේ මෙන් පොල්තෙල් පැකට් වල දැමීමක්  සිදු නොවූ අතර පොල්තෙල් මිලට ගැනීමට නම් බෝතලයක් අනිවාර්යයෙන් රැගෙන යා යුතු විය.ශිතකරණ නොතිබූ එකල කරවල, හාල්මැස්සන්, උම්බලකඩ වැනි දේ දුමේ හෝ දුම් වදින ස්ථානයක ගබඩා කොට ප්‍රයෝජනයට ගැනුණි. එළවලු වැනි වර්ග නම් වඩාත් සිසිල් තැනක වියළිව තබා තිබුණි.

සීනි පරිප්පු ආදිය ඩප්පිවල හෝ ටින්වල දමා තබා ඇත. සතියට දින දෙකක් පොළ තිබුණු පැතිවල ජනයාට ශීතකරණයක් නැති වීම විශාල අඩුපාඩුවක් නොවීය. ඔවුන් පොළට ගොස් දින දෙක තුනකට සෑහෙන එළවලු, මාළු, කරවල ආදිය රැගෙන ආහ.

එදවස ජනයාගේ  මිලදී ගැනීම් රටාව දෙස බලන කල පොලිතීන් භාවිතයක් තිබුණේම නැත. එවකට බොහෝ දේ, ඇතැම් විට සෝදන කුඩු පවා කඩෙන් කිරා දුන්නේ කඩදාසි ගොටුවලටය. එබැවින් අමතර අසුරන සහ කුඩා පැකට්ටු නැත. ගෙනැවිත් ශීතකරණවල දින සති මාස ගණන් ගෙවී නොයන බැවින් එළවලු, මාළු නැවුම්ව අාහාරයට ගැනෙන සේම ඒවා සීතල කර තබා ගැනීමට අමතර විදුලියක් වැය වන්නේද නැත.

පැරණි ක්‍රමයට ඔලිව් තෙල්  මිලදී ගන්නා නවීන වෙලද සැලක් dingo.care2.com

සුලභතාවය සහ ප්‍රවාහන වියදම

එළවලු මිලදී ගැනීමේදී වර්තමාන සුපිරි වෙළඳසැල් රටාවේ නම් එළවලුවල සුලභතාවය අනුව මිල වෙනස්වීමක් දකින්නට අපහසුය. දඹුල්ලේ ගොවියා එළවලු විකුණා ගන්නට බැරිව එ්වා සතුන්ට කෑමට දමන දසුන් රූපවාහිනියේ දකින අපට ඊළඟ දිනයේ වෙළඳසැලකට ගොඩවූ විට පවා එම එළවලුවල මිල පවා එතරම් වෙනසක් නැති බව පෙනෙන්නට තිබේ.

එදවස ගමේ පොළ පවතින කාලයට ගමේ එළවලු වඩාත් ලාභදායී වේ. කාලයට අනුව වැඩි පලදාව ලැබෙන දෙයක් වේ නම් එය වඩාත් මිලෙන් අඩුය. දුරුකතර ගෙවාගෙන ගමන් ගාස්තුද එකතු වී පැමිණෙන පිටත එළවලු, පලතුරු සහ බඩුවලට වඩා ගමේ සුලබ දේ ලාබ බැවින් වැඩිමනක් ගමේ දේම මිලදී ගැනීමට නිරායාසයෙන්ම මිනිසුන් හුරු වේ.

ගමේ බඩු ගමේ අපිට

ඉහත කාරණාවට උදාහරණයක්  ලෙස උඩරට එළවලු පහතරටට එද්දී එ්වායේ මිල අධිකය. සාමාන්‍ය පහතරට ගැමියා බොහෝ විට උත්සව අවස්ථවක් වැනි විශේෂ අවස්ථාවක් හැරුණු විට පරිභෝජනය කරන්නේ පහතරට එළවලුම පමණි.එයට ප්‍රබල හේතුවක් වන්නේ මිලේ වෙනසයි. වම්බටු රාත්තලම රුපියල් දහයක් වන කල කැරට් රාත්තල රුපියල් තිහ හතලිහක් වේ. එවිට “අනේ ඔන්නොහෙ මේ පාර වම්බොටු ටිකක් මෝජු දානවා, නැත්තං ගියපාර ව්‍යාංජන හදපු නිසා මේ පාර වම්බොටු බදිනවා” කියා සිතන ගැමි කාන්තාවන් වම්බටුම රැගෙන යන්නේ කැරට් ඊළඟ වතාවේවත් මිල අඩු වේ යැයි බලාපොරොත්තුවෙනි.

අපේ රටදී එතරම් සැලකීමක් නොකළද ගුවනින් එළවලු, පලතුරු ප්‍රවාහනය කෙරෙන යුරෝපා රටවලදී ගුවන් ප්‍රවාහනයේදී සිදුවන පරිසර හානිය ගැනද අවධානය යොමු කරනු ලබයි. ඔවුන් පරිසර හිතකාමී සංකල්පයක් ලෙස ආසන්න පැතිවල වැවෙන එළවලු හා පලතුරු ලාභදායී මිලකට නිකුත් කරන අතර එය ඔවුන්ගේ හරිත සංකල්පයේම කොටසක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

ඇසුරුම් භාවිතය අඩු සුපිරි වෙළඳසැලක් (arc2020.eu)

සමාජයීය බලපෑම

ආසියාකරයේ බොහෝ රටවල අපේ ගම්වල අතීතයේදී ප්‍රචලිත වී පැවති මාර්කට් සහ සති පොළට සමාන විවෘත වෙළඳපොළ ක්‍රම දකින්නට ලැබේ.ඒවායේදී මිනිස්සු කතාබහ කරමින්, හෙට්ටුකරමින් බඩු මිල දී ගනිති. මෙයද එක්තරා සමාජයීය අවකාශයකි. සතියට දින දෙකක් මුළු ගමේම සෑම නිවසකම අයෙක් හෝ පොළට පැමිණෙන අතර එවිට එකිනෙකා මුණ ගැසී ගමේ වූ සිද්ධි ගැන කතා කරති. කාන්තාවන්ට නම් ස්වකීය පුරුදු පරිදි ඕපාදූප ආදියත්, පිරිමින්ට නම් දේශපාලනය, ක්‍රීඩා තරග ආදිය ගැනත් කතාබහ කරන්නට ඉඩක් ලැබේ. ඈතින් බැලූ කල පොළ ප්‍රදේශය පෙනෙන්නේ මහත් ගාලගෝට්ටියක් ලෙසිනි.

ගමේ කාන්තාවන් පොළට යන්නේ සරමක්, බැනියමක් ගැනීමට තම එළවලු ටික විකුණා ගැනීමට පමණක් නොවේ. ඇයට අවට විස්තර, රටේ විස්තර දැනගනිමින් ලොව ගැන අවබෝධයක් ගන්නටද පොළට යන ගමන උදව් වේ. ඩබ්. ඒ. සිල්වා මහතාගේ කැලෑ හඳ නවකතාවේ යුවතියට නාගරික තරුණයා මුණ ගැසෙන්නේත් යුවතිය සිය ගම්වැසි ගැහැණුන් සමග පොළට ගොස් සිටියදීය.

“දුරතැනක මගුල් තුලාවක් මරණයක් වුනත් ඉතිං පොලේ ගියේ නැත්තං දැනගන්න නෑනෙව”

එදවස සිල්ලර කඩයක  වුවත්, ගමේ පොළේ වුවත් පාරිභෝගිකයා සහ වෙළෙන්දා අතර සම්බන්ධය වර්තමානයේ විශාල වෙළඳ ජාලවල මෙන් දුරස්ථ එකක් නොවුණි. බොහෝ විට සියලු දෙනා සමීප හිතවතුන් වූහ.

කාලය වෙනස් වුවත් තවමත් ස්වාභාවික ඇසුරුමේම විකිණෙන තැඹිලි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල සුපිරි වෙළඳසැල්වල සිටින්නේ වෙළඳ සේවකයන්ය. ඇතැම් විට එවන් වෙළඳ සේවකයන් හොඳ යැයි බොරු වර්ණනා කරන මිල අධික බඩු බාහිරාදිය ඔවුන්ට කිසිදා පාවිච්චි කරන්නට බැරි එ්වා වේ. ඔවුන් එතරම්ම දුප්පත් අයවලුන් වෙති. නූතන ක්‍රමවේදවල පාරිභෝගිකයින් සමග සිනාසෙමින් ගණුදෙනු කළ යුතුයැයි සේවකයින්ට උගන්වා ඇති නිසාම දෝ ඔවුහු සිය කෘතිම සිනාව සෑම පාරිභෝගිකයෙක්ටම එක සේ පාති.

ශ්‍රී ලංකාවේ වුවද ඇතැම් සුපිරි වෙළඳසැල්, සාප්පු ආදියේ සේවකයන්ට දිනකට පැය ගණනාවක් සිටගෙන රාජකාරි කිරීමට සිදු වේ. ඔවුන්ට ලැබෙන්නේද යාන්තම් ජීවිතය ගැටගසා ගතහැකි තරමේ සුළු වැටුපක් පමණි.

පරිසර හිතකාමී සංකල්ප වලදී බහුතර ලාංකික අප සිතන්නට පෙළඹී ඇත්තේ පරිසරය යනු මිනිසා රහිත පරිසරය ලෙසය. නමුත් පරිසරයට මිනිසාද ඇතුළත්ය. දියුණු රටවලනම් තමන්ට මුණගැසෙන සේවකයන් ගැන පමණක් නොව භාණ්ඩයක් මිලදී ගැන්මේදී ඒ භාණ්ඩය නිපදවීමට අනවසර ශ්‍රම ශක්තිය යොදාගෙන ඇත්ද, ඒ භාණ්ඩ නිපදවන ක්‍රමවලදී අනවශ්‍ය ලෙස සේවකයින්ට බලපෑම් හිංසා කර ඇත්ද යන කාරණා ගැන පවා වර්තමානයේදී සොයා බලනු ලබයි.

අපිට අැත්තටම අතීතයට යා හැකිද?

අවුරුදු කාලයේ සුපර්මාර්කට් සහ සාප්පුවලට ගිය ඔබ වෙනදා කලිසම් හෝ හිර සාය ඇඳ සිටි සේවිකාවන් සාරියෙන් හෝ රෙදි හැට්ටවලින් සැරසී සිටින අයුරු දකින්නට ඇත. එහෙත් මීට දශක දෙක තුනකට පෙර පරිසරය සහ අවට මිනිසුන් ගැන වඩාත් සංවේදී වූ වෙළඳ රටාව එම ස්ථාන තුළ අද දකින්නට නැත.

බටහිර ජනයා දැන් නැවතත් සිය වෙළඳ රටාව හැකි පමණ වෙනස් කරගනිමින් සිටිති. ප්‍රංශයේ එක් වෙළඳ ජාලයක ධාන්‍ය වර්ග, කුළු බඩු ආදිය පොලිතීන් පැකට් ලෙස නොව කිරා බලා කඩදාසි බෑග්වලට මිලදී ගත හැකි ලෙස සකස් කොට තිබේ. එහි තෙල් වර්ග මිලදී ගන්නේ නම් බෝතලයක් රැගෙන එය මැනගෙන මිලදී ගැනීමේ පහසුවද සලසා තිබේ. බඩු මළු බොහෝ සෙයින් අඩු බැවින් එම වටපිටාවේ සේවකයින්ට වැඩි කාලයක් තම පාරිභෝගිකයින් වෙනුවෙන් කැපකරන්නට සිදු වුවද එම සුපිරි වෙළඳ එය අමතර කරදරයක් ලෙස ජාලය සිතන්නේ නැත.

පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අඩු, අවට වැවෙන නැවුම් එළවලු, පළතුරු අඩු මිලට ගන්නට ලැබෙන, හුදෙක් භාණ්ඩයක් මිලදී ගැනීමෙන් එහාට ගිය සමාජ සබඳතා සහිත වෙළඳ වටපිටාවක් පැවති අප දැන් දැන් එයට ආයුබෝවන් කියමින් සිටින්නෙමු. එහෙත් අපි බටහිරයැයි ඇතැම් සිරිත් වැළඳගන්නා විට බටහිර ජනයා දැන් නැවත පැරණි ක්‍රමවල තිබූ පාරිසරික සමාජ හිතකාමී බව වටහාගෙන නැවතත් අතීතයේ අප භාවිත කළ ක්‍රමවලට යොමුව සිටිති.

මේ සියල්ලෙන් අපට ගත හැකි අාදර්ශය නම් අප දිනකට ඉවත් කරන නොදිරන කුණු ප්‍රමාණය අවම කර ගැනීමට ඕනෑ තරම් අාදර්ශ අතීතයෙන් ලබා ගැනීමට හැකි බවයි. මේ ලිපිය කියවන පාඨක ඔබද එය ක්‍රියාත්මක කරන්නේ නම්, වැඩි පිරිසක් එය අනුගමනය කරන්නේ නම්, කඳු ගොඩ ගැසීමට තරම් කසළ බැහැර නොකෙරෙන අනාගතයක් බිහි වීමට කුඩා හෝ ඉඩකඩක් පවතී. ඉතින් අපි සියලු දෙනා අද සිට බැහැර කරන කසළ ප්‍රමාණය අවම කර ගැනීමට අදිටන් කර ගනිමු.

කවරයේ පින්තුරය: Roar/Nazly Ahmed 

Related Articles