Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අභිරහස් කතා අතර රැජින – අගතා ක්‍රිස්ටි

ලොව වඩාත්ම සාර්ථක ගත්කතුවරියන් අතර බ්‍රිතාන්‍ය ජාතික අගතා ක්‍රිස්ටිට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. එක් අතෙකින් ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් චරිතය යොදාගෙන අභිරහස් කතාන්දර රුචි පාඨකයා රස ගුලාවක ගිල්වද්දී, ඒ හා උරෙනුර ගැටිය හැකි මට්ටමට රස ජනනය කරමින් ප්‍රේක්ෂක සිත් සතන් සනසන්නට අගතා ක්‍රිස්ටි සමත් වුණා. 

උපත හා මුල් කාලය

අගතා ක්‍රිස්ටි උපත ලැබුවේ 1890 වසරේ සැප්තැම්බර් මස 15 වනදා නිරිතදිග එංගලන්තයේ ඩෙවෝන් ප්‍රාන්තයේ ටොර්ක්වේහී දී යි. ඇගේ උපන් නාමය කියැවුණේ අගතා මේරි ක්ලැරිසා මිලර් ලෙස යි. ඇය පවුලේ බඩපිස්සිය වුණා. 

කුඩා අගතා මූලික අධ්‍යාපනය ලබාගන්නට පාසලකට ගියේ නැහැ. ඒ වෙනුවට ඇයට අධ්‍යාපනය ලබාදෙන ලද්දේ ඇගේ මව යි. ඇය සිය කණිටු දියණියට හොඳින් ලිවීම හා කියැවීම කියා දුන්නා. කුඩා කල සිටම ලිවීම සඳහා ප්‍රතිභාවක් පෙන්වූ අගතා විවිධ චරිත මවමින් කුඩා කතා ලිවීමට ආශා කළා. ඇය ලියූ දේ බොහෝ අය ඉතා ආශාවෙන් කියැවූවා. සංගීතයටත් දක්ෂතාවයක් දැක්වූ ඇය 16 වැනි වියේ දී ප්‍රංශයේ පැරිස් නුවර බලා ගියේ ගායනය හා පියානෝ වාදනය ඉගෙනීමට යි.

අගතා ක්‍රිස්ටි තුරුණු වියේ දී- biography.com

1914 වසරේ අගතා කර්නල් ආචිබෝල්ඩ් ක්‍රිස්ටි හා විවාහ වෙනවා. ඔහු රාජකීය ගුවන් හමුදාවේ පියාසර නිලධාරියෙකු වූ අතර, ඇය ද පළමුවන යුධ සමයේ දී හෙද වෘත්තියට යොමු වෙනවා. මේ හේතූන් නිසා 1920 වසරේ ඇයට 30 විය එළැඹෙන තුරුම අගතා ක්‍රිස්ටිට සිය ලේඛණ හැකියාවෙන් සැලකිය යුතු මට්ටමේ ප්‍රයෝජනයක් ගන්නට ලැබෙන්නේ නැහැ.

ලේඛණ කලාවට පිවිසීම

අගතා ක්‍රිස්ටි සිය ප්‍රථම ග්‍රන්ථය එලිදැක්වූයේ 1920 වසරේ දී යි. The Mysterious Affair at Styles නම් වූ එය ධනවත් ආර්යාවක ඝාතනය කිරීමක් පිළිබඳ ලියැවුණු අභිරහස් කථාංගයක් වූ අතර, පාඨකයා අතර සෑහෙන තරමකින් ජනප්‍රිය වුණා. ඇය මේ කථාංගයෙන් පසුකාලීනව ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්වූ බෙල්ජියම් ජාතික රහස් පරීක්ෂකයෙකු වූ හර්ක්‍යුල් පොයිරෝ කරලියට ගෙනෙනවා.

අගතා ක්‍රිස්ටි හට සිය දෙවන ග්‍රන්ථය පල කරන්නට තවත් වසර කිහිපයක් ගත වුණා. 1926 වසරේ ඇය විසින් The Murder of Roger Ackroyd නම් ග්‍රන්ථය එලිදැක්වූ අතර එය එය අතිශය ජනාදරයට පත් වුණා. උක්ත ග්‍රන්ථ දෙකෙන් අනතුරුව අගතා ක්‍රිස්ටි නාමය එංගලන්ත පාඨකයින් අතර නිතර කියැවෙන නමක් බවට පත් වුණා.

දිවියේ හැලහැප්පීම් සහ නැවත පැමිණීම

එක් අතෙකින් සාහිත්‍ය ලෝකයේ හිණිපෙත්තටම ළඟා වෙද්දේ අනෙක් අතින් දැඩි සිත් තැවුල් ලබා දෙන්නට තරම් ඇගේ දෛවය අකාරුණික වුණා. 1926 වසරේ දීම ඇගේ මව මියගිය අතර කෙටි කාලයක් ගත වන විට තමන්ට වෙනත් කාන්තාවක හා සම්බන්ධයක් තිබෙන බවට ඇගේ සැමියා ප්‍රකාශ කරනවා. මේ හේතු නිසා මානසික වියවුලට පත් ඇය එක් වරම අතුරුදන් වෙනවා. දින කිහියපයකට පසු ඇය හමුවන්නේ හැරොගේට්හි හෝටලයක ලැගුම් ගෙන සිටිය දී යි. 

අගතා සිය දෙවන සැමියා මැක්ස් මැලොවන් සමග- The Hindu Photo Archive

කෙසේ නමුත් අඹු සැමි වියවුල් එතැනින් නිම නොවූ අතර අවසානයේ 1928 වසරේ දී ආචිබෝල්ඩ් ඇගෙන් දික්කසාද වෙනවා. මේත් සමග ඇගේ මානසික සෞඛ්‍යයත් යහපත් අතට හැරෙන අතර නැවත ලේඛණ කලාව අරඹනවා. කෙමෙන් කෙමෙන් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වූ ක්‍රිස්ටි 1930 වසරේ දී ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ මැක්ස් මැලොවන් හා විවාහ වෙනවා. ඔහුත් සමග පර්යේෂණ කටයුතු රාශියකට සහභාගී වීමේ වාසනාව ඇයට හිමිවන අතර, මේවා ඇසුරු කරගෙනත් ඇය පසුකාලීනව නිර්මාණ බිහිකළා. 1946 වසරේ ඇය විසින් මෙම අත්දැකීම් අලළා Come, Tell Me How You Live නම් ග්‍රන්ථයක් රචනා කළා. අගතා ක්‍රිස්ටිගේ ඉතා ජනප්‍රිය ග්‍රන්ථයක් වන Murder at the Vicarage නම් ග්‍රන්ථය එළීදක්වන්නට දෙවන වර විවාහ වී මාස කිහිපයක් ඇතුළත ඇය ක්‍රියා කරනවා.

ක්‍රිස්ටි කරලියට ගෙනා චරිත

හර්ක්‍යුල් පොයිරෝ හා ජේන් මාප්ල් යන රහස් පරීක්ෂක චරිත දෙක අගතා ක්‍රිස්ටි විසින් නිර්මිත වඩාත් ජනප්‍රියම චරිත දෙක යි. මේ චරිත දෙක  ඇගේ නවකතා හා කෙටිකතා දුසිමකට වඩා වැඩි ප්‍රමාණයක පෙනී සිටිනවා. මෙයිනුත් වැඩිම ප්‍රමාණයක දක්නට ලැබෙන්නේ පොයිරෝ චරිතය යි. ඔහු The Mystery of the Blue Train (1928) සහ Death in the Clouds (1935) වැනි කතාවල දී පාඨකයා හමුවන අතර මාප්ල් The Moving Finger (1942) සහ A Pocket Full of Rye (1953) නම් ග්‍රන්ථවල දැකගත හැකියි. මේ චරිත දෙකට අමතරව ටුපෙන්ස්, ටොමී බියස්ෆඩ්, කර්නල් රේස්, පාකර් පයින්, හා ඒරියඩ්නී ඔලිවර් ඇය විසින් නිර්මාණය කෙරුණු තවත් ජනප්‍රිය චරිත වෙනවා.

බිලියන දෙකකට වඩා අලෙවි වූ ග්‍රන්ථ

අගතා ක්‍රිස්ටි සිය දිවියේ අවසන් සමය දක්වාම ග්‍රන්ථකරණයෙහි යෙදුණා. සිය ජීවිත කාලය පුරාවට ඇය විසින් රහස් පරීක්ෂක ග්‍රන්ථ 70කට වඩා රචනා වී තිබෙනවා. මේ අතරතුර ඇය මේරි වෙස්ට්මැකොට් නම් ආරූඪ නාමයකින් Unfinished Portrait (1934) සහ A Daughter’s a Daughter (1952) වැනි ආදර කතා කිහිපයක් ද රචනා කර තිබෙනවා.

biography.com

අගතා ක්‍රිස්ටිට පසුකාලීනව ‘අභිරහස් කථාවල රැජිණ’ යනුවෙන් නාමයක් පටබැඳුණා. ඇගේ සියළු ග්‍රන්ථවල අලෙවිය මේ වන විට පිටපත් බිලියන දෙකකට වැඩියි. මෙවැනි තත්ත්වයකට ළඟාවූ කතුවරුන් හෝ කතුවරියන් ඇත්තේ අතිශය සුළුතරයක් පමණ යි.

අගතා ක්‍රිස්ටි ඉතා සාර්ථක නාට්‍ය පිටපත් කිහිපයක් ද ලියා තිබෙනවා. The Hollow (1951) සහ Verdict (1958) වැනි නිර්මාණ අති සාර්ථක වූ අතර 1952 වසරේ එළිදැක්වූ The Mousetrap නම් නිර්මාණය වසර 21ක් තුළ දර්ශන වාර 8,800ක් කරා යන්නට තරම් සාර්ථක වුණා. මීට අමතරව ඇගේ ග්‍රන්ථවලින් චිත්‍රපට කිහිපයක් ද නිපදවුණා. Murder on the Orient Express (1974) සහ Death on the Nile (1978).ඉන් කිහිපයක්.

අගතා ක්‍රිස්ටිට 1971 වසරේ නයිට් නාමය පිළිගැන්වුණු අතර 1974 වසරේ Murder on the Orient Express චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගි වූයේ සිය අවසන් ප්‍රසිද්ධ පෙනීසිටීම වශයෙනුයි. අගතා ක්‍රිස්ටි 1976 වසරේ ජනවාරි මස 12 වන දා සිය ජීවන ගමනට තිත තැබුවා.

Related Articles