වායු දූෂණයෙන් සිදුවන හානිය මේකයි

පසුගිය කාලයේ කොළඹ නගරයේ වායුගෝලය දුමාරයකින් වැසී පැවතුණු ආකාරය බොහෝ දෙනෙකුට  මතක ඇති. එම දුමාරය ඇතිවීමට හේතු වුණේ වායු දූෂණය උපරිම මට්ටමකට පැමිණීම යි. නාගරීකරණය සහ කාර්මීකරණය බහුලව සිදුවන විට නොසැලකිලිමත් ආකාරයෙන් පරිසරයට මුදාහැරෙන අහිතකර වායූන් නිසා වායුගෝලය දූෂණය වනවා. එලෙස වායූ දූෂණය උපරිම මට්ටමකට ළඟා වුණු විට මිනිසුන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වනවා. වර්තමානය වන විට අධික ලෙස කාර්මීකරණයට ලක්වුණු නගර රාශියක් ආශ්‍රිතව මෙම තත්ත්වය දක්නට ලැබෙනවා. 

වායු දූෂණය පිළිබඳව කෙටියෙන් 

ස්වාභාවිකව හෝ මිනිසාගේ මැදිහත්වීමෙන් රසායනික ද්‍රව්‍ය සහ අහිතකර වායුන් පරිසරයට මුදාහැරීම හේතුවෙන් වායුගෝලයේ ගුණාත්මකභාවය අඩුවීම වායු දූෂණය ලෙසින් හඳුන්වනවා. එහි දී ස්වභාවිකව වායු දූෂණය සිදුවන්නේ ගිනි කඳු පිපිරීම, ලැව් ගිනි ඇතිවීම, දූවිලි කුණාටු ඇතිවීම වැනි ක්‍රියාවලීන් නිසා යි. වායු දූෂණය කෘතිමව සිදුවන්නේ කර්මාන්තශාලාවලින් මුදාහරින අහිතකර වායූන්, රථ වාහනවලින් මුදාහරින අහිතකර වායූන්, කැලි කසළ දහනය, කෘෂිකාර්මික කටයුතු, බල ශක්තිය සඳහා ෆොසිල දහනය වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා යි. 

වාහනයකින් දුම් පිටවීම (Island Diesel)

වායුගෝලයේ සාමාන්‍ය සංයුතිය 

සාමාන්‍යයෙන් වායුගෝලය තුළ අඩංගු වාතය වායු වර්ග කිහිපයකින් සමන්විත යි. ඒවා වායුගෝලය තුළ අඩංගු ප්‍රතිශතයන් පහත දැක්වෙන ආකාරයට දැක්විය හැකියි. 

නයිට්‍රජන් වායුව- 78.08%

ඔක්සිජන් වායුව- 20.94%

ආගන් වායුව- 0.9300%

කාබන් ඩයොක්සයිඩ් වායුව- 0.0400%

නියොන් වායුව- 0.0018%

හීලියම් වායුව- 0.0005%

වායුගෝලයට එකතු වන අහිතකර වායූන් 

වායුගෝලයට එකතු වන අහිතකර වායූන් අතරට කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, මීතේන්, සල්ෆර් ඔක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, පොරොක්සිඇසිටීල් නයිට්‍රේට් වැනි වායූන් අයත් වනවා. එවැනි වායූන් වායුගෝලයට එකතු වීමෙන් වායු දූෂණය සිදුවනවා. එලෙස පරිසරයට අහිතකර වායූන් එකතු වීම පිළිබඳව උදාහරණ දෙකක් පහත පරිදි දැක්විය හැකියි.

1) සිගරට් දුම තුළ කාබන් මොනොක්සයිඩ් වායුව අඩංගු වීම 

2) දර සහ ගල් අඟුරු දහනයේ දී අධිකව කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවීම 

සිගරට් දුම (New Zealand Doctor) 

ස්වභාවිකව වායුගෝලයට අහිතකර වායූන් එකතු වන ආකාරය 

ගිනි කඳු, ලැව් ගිනි, සහ දිරා යන පැලෑටි කොටස් ආදියෙන් ස්වාභාවිකව වායුගෝලයට එකතු වන අහිතකර වායුන් පහත ආකාරයට දැක්විය හැකියි.

1) ගිනි කඳු- සල්ෆර් ඩයොක්සයිඩ් 

2) ලැව්ගිනි- කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, මීතේන් 

3) දිරා යන පැලෑටි කොටස්- හයිඩ්‍රජන් සල්ෆයිඩ්, මීතේන් 

ගිනි කන්දක් පිපිරීම (National Geographic)

ශ්‍රී ලංකාව තුළ වායු දූෂණය සිදුවීමට බලපාන ප්‍රධානතම සාධකය 

ශ්‍රී ලංකාවේ වායු දූෂණය වීමට බලපා ඇති ප්‍රධානතම සාධකය වන්නේ රථවාහනවලින් පිටවන අහිතකර දුම යි. ඒ සඳහා බලපාන හේතූන් කිහිපයක් මෙලෙස දැක්විය හැකියි.

1) නාගරිකව රථ වාහන ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩිවීම  

2) රථ වාහන නිසියාකාරව නඩත්තු නොකිරීම නිසා ඩිසල් වාහන මඟින් අහිතකර වායු අංශු පිටවීම, සහ පෙට්‍රල් වාහන මඟින් කාබන් මොනොක්සයිඩ් හා වාෂ්ප වන සුළු කාබනික සංයෝග පිටවීම 

3) පොදු ප්‍රවාහන බස් රථ නැවතුම්පොළවල්වල අනවශ්‍ය ලෙස රථ වාහන පණ ගන්වා නවතා තැබීම 

තව ද මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය දියුණුවීමත් සමග සිදුවුණු කාර්මික කටයුතු හේතුවෙන් පසුගිය දශකය කිහිපය පුරාවට වායු දූෂණයේ වැඩි වීමක් සිදුව තිබෙනවා. ඒ කර්මාන්තශාලාවලින් පිටවන අහිතකර වායුන් පාලනය කීරීමට නිසි ක්‍රමවේදයක් නොතිබීම, කර්මාන්තශාලා සැළසුම් කිරීමේ දී පරිසරයට සිදුවන හානි පිළිබඳව අවධානය යොමු නොකිරීම සහ යල්පැනගිය තාක්ෂණික ක්‍රම භාවිතය වැනි හේතු නිසා යි.

කොළඹ වාහන තදබදය (Daily News)

වායු දූෂණය නිසා වැළඳෙන ලෙඩ රෝග 

වායු දූෂණය නිසා කාබන් මොනොක්සයිඩ්, කාබන් අංශු, සල්ෆර් ඩයොක්සයිඩ් හා නයිට්‍රජන් ඩයොක්සයිඩ් ආදී වායූන් වායුගෝලයට එකතු වෙයි. ඒ අතරින් නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් යන වායූන් පෙණහැලිවල ඇති ආරක්ෂක පටලයට හානි කරනු ලබනවා. එම නිසා බැක්ටීරියා හා වෛරස්වලට පෙණහැලි හරහා ශරීරයට ඇතුළුවීමට අවස්ථාව ලැබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රොන්කයිටිස්, කල්ගත පුප්පුසීය පෙණහළු රෝගය, ඇදුම, පෙණහළු පිළිකා වැනි රෝගවලට ගොදුරු වනවා. ඊට අමතරව විවිධ හෘද රෝග, අඩු බර දරු උපත් ඇතිවීම, ස්ථුලතාව මෙන්ම අකල් මරණ ද සිදුවනවා. 

වායු තත්ත්ව දර්ශකය 

මානව ක්‍රියාකාරකම් සහ ස්වාභාවික හේතූන් මත අප විසින් ආශ්වාස කරන වාතයේ සංයුතිය නිතරම වෙනස් වනවා. එලෙස වාතයේ සංයුතිය වෙනස්වීම මඟින් ඇතිවන සමහර තත්ත්වයන් ශරීර සෞඛ්‍යයට අහිතකර නොවුණත් ඇතැම් තත්ත්වයන් මිනිසාට හිතකර වන්නේ නැහැ. එසේ ආශ්වාස වාතයේ සංයුතියේ වෙනස් වීම මඟින් සෞඛ්‍යයට ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගැනීම සඳහා වායු තත්ත්ව දර්ශකය නමින් විද්‍යාත්මක මෙවලමක් හඳුන්වා දී තිබෙනවා. වායු තත්ත්ව දර්ශක අගය මත සිදුවන  බලපෑම පිළිබඳව කෙටියෙන් මෙසේ දැක්විය හැකියි.

*දර්ශක අගය- 0-50

 වර්ණය- කොළ 

 බලපෑම- බලපෑමක් නැහැ 

*දර්ශක අගය- 51-100

 වර්ණය- කහ  

 බලපෑම- බලපෑම මධ්‍යස්ථ යි 

 *දර්ශක අගය- 101-200

 වර්ණය- තැඹිලි 

බලපෑම- සංවේදී කණ්ඩායම්වලට අහිතකර යි 

*දර්ශක අගය- 201-300

 වර්ණය- රතු  

 බලපෑම- සෞඛ්‍යයට අහිතකර යි 

*දර්ශක අගය- 301-400

 වර්ණය- දම්   

 බලපෑම- සෞඛ්‍යයට බෙහෙවින් අහිතකර යි 

*දර්ශක අගය- 401-500

 වර්ණය- මෙරූන්   

 බලපෑම- අන්තරාදායක යි 

වායු දූෂණයට එරෙහිව ගෙන ඇති ගෝලීය ක්‍රියා මාර්ග

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන යටතේ දේශගුණික විපර්යාසය උදෙසා අන්තර් ආණ්ඩු අනුමණ්ඩලයක් (IPCC) 1988 වසරේ දී පිහිටවනු ලැබුවා. ඉන් ලද නිර්දේශවලට අනුව විවිධ සම්මුතීන් වරින් වර සකස් කළා. 2015 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර දී අනුමත වුණු ‘පැරිස් සම්මුතිය’ අවසන් වරට සකස් කළ සම්මුතිය යි. රටවල් 196ක සහභාගීත්ව‍යෙන් එයට අත්සන් කරනු ලැබුවේ 2016 අප්‍රේල් මාසයේ දී යි.

පැරිස් සම්මුතිය අත්සන් කිරීම (ZME Science)

සම්මුතියේ පොදු එකඟතාවයට අනුව වායු දූෂණය කෙරෙහි බලපාන ප්‍රබල සාධකයක් වන පොසිල ඉන්ධන භාවිතය සීමා කිරීමට අවධානය යොමු වුණා. එසේම වායු දූෂණයට හේතු වන සියලුම ක්‍රියාකාරකම් පාලනය කිරීම එහි ඇතුළත්ව තිබුණා. එම සම්මුතියට අදාළ සැලසුම 2020 වර්ෂයේ සිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරමින්, 2040 වර්ෂය වන විට එය අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඊට අමතරව ආසියා-ශාන්තිකර ප්‍රදේශවල වායු දූෂණය වැළැක්වීම සඳහා හරිත තාක්ෂණික ප්‍රතිපත්ති 25ක් ක්‍රියාත්මක කිරීම මඟින්, වාතයේ කාබන් ඩයොක්සයිඩ් 20%කින් අඩු කිරීමටත්, 45%කින් මීතේන් දූෂණය වැළැක්වීම පිළිබඳවත් එහි සඳහන් වුණා. ඒ අනුව ගෝලීය උණුසුම අවම කිරීම සඳහා වායු දූෂණය පාලනයට මෙන්ම වායු තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා ‘පුනර්ජනනීය බලශක්ති’ ප්‍රවේශයන්ට සහ ‘හරිත තාක්ෂණයට’ පිවිසීම අත්‍යවශ්‍යය බව එමඟින් ලෝකයට පෙන්වා දුන්නා.

කවරයේ ඡායාරූපය- වායු දූෂණය සිදුවන ආකාරය (Health Europe)

මූලාශ්‍රයයන්- තිරසර පැවැත්ම උදෙසා වායු දූෂණය නියාමනය- මධ්‍යම පරිසර අධිකාරිය 

Related Articles