කලක් ලොව බලවත්ම රාජ්‍යයක් වූ ඉතියෝපියාවේ අක්සුම්

ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ ලියැවුණ ඇතැම් වාර්තා අනුව එවක ලොව බලවතුන්, එහෙමත් නැත්නම් ප්‍රධාන රාජ්‍යයන්, ලෙස සැළකුණ රාජ්‍යයන් හතරක් පැවතී තිබෙනවා. එයින් තුනක් පිළිබඳ බොහෝ දෙනා අසා තිබෙනවා මෙන්ම බොහෝ පත පොත ලියැවී තිබෙනවා. ඒ රෝමය​, පර්සියාව, සහ චීනයයි. නමුත් සිව් වැනි රාජ්‍යය පිළිබඳ වැඩි දෙනෙක් දන්නේ නැහැ. අද අප ඔබට විස්තර කරන්නේ එම රාජ්‍යය පිළිබඳවයි.

අක්සුම්, ඉතියෝපියාවේ කඳුකර ප්‍රදේශයේ පිහිටි නගරයක්. එය වඩාත් ප්‍රසිද්ධව පවතින්නේ ඉතියෝපියානු ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ලබ්ධිකයන් අතරයි. ඔවුන් සිය පූජනීයම ස්ථානය ලෙස සළකන්නේ අක්සුම් හි පිහිටි එක්තරා දේවස්ථානයක්.

ක්‍රි. ව​. පළමු සියවසේ ලියැවුණ එරිත්‍රියානු මුහුදේ පෙරිප්ලසය (Periples of the Erythrean Sea​) සඳහන් කරන පරිදි එවකට අක්සුම් යනු ලෝකයේ පැවති ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් වුණා. එම නගරය විශේෂයෙන් ම ඇත් දළ වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකට වූ බව එරිත්‍රියානු මුහුදේ පෙරිප්ලසය කියා සිටිනවා. (පෙරිප්ලසය යනු බොහෝ කොටම නාවිකයන් ගේ ප්‍රයෝජනය සඳහා වෙරළබඩ ප්‍රදේශ පිළිබඳව සටහන් වූ වාර්තා හැඳින්වීමට යෙදුණ නමයි. අතීතයේ එරිත්‍රියානු මුහුද ලෙස හැඳින්වූයේ රතු මුහුදයි. නමුත් ග්‍රීකයන් විසින් එරිත්‍රියානු මුහුද යන යෙදුම රතු මුහුද​, ඉන්දියන් සාගරය, සහ පර්සියානු බොක්ක යන සියලු ප්‍රදේශයන් සඳහා භාවිතා කළා. එහෙයින් එරිත්‍රියානු මුහුදේ පෙරිප්ලසය මෙම සියලු ප්‍රදේශ පිළිබඳ තොරතුරුවලින් යුක්තයි).

සොලමොනික රජ පෙළපත​

පුරාවෘතවලට අනුව ඉතියෝපියාවේ රාජ වංශය ඇරඹෙන්නේ ක්‍රි.පූ. 950 දී පමණ ය​. ඒ පළමුවන මෙනලික්ගෙනි. ඔහු ඊශ්‍රායලයේ සොලමන් රජු සහ ශීබා හි රැජිණගේ පුත්‍රයා ය​. මේ රාජවංශය යටතේ ඉතියෝපියාවේ ජනයා දේශීය දෙවිවරුන් සහ යුදෙව් දහම සම්මිශ්‍රණය වූ ආගමක් ඇදහූවා.

අක්සුම් ප්‍රදේශය ඉතියෝපියාවේ අගනගරය බවට පත්වන්නේ ක්‍රි.ව​. 100 දී පමණ බව සඳහන් වනවා​. ඉස්ලාමීය අධිරාජ්‍යයේ වර්ධනය වනතෙක් (ක්‍රි.ව​. 7 වන සියවස​) අක්සුම් ප්‍රබල රාජ්‍යයක් ව පැවති අතර ඉන්පසු යම්කිසි දිනෙක එම අගනගරය අතැර දමන බව සළකනවා. නමුත් අක්සුම් නගරය අතැර දැමූ දිනක් පිළිබඳ නිශ්චිත සටහනක් නැහැ.

අනෙක් අතට, රජවරුන් විසින් අතැර දැමූව ද එම ප්‍රදේශයේ ජනතාව දිගටම ජීවත් වන්නට ඇතැයි සිතන්නට පිළිවන්. ක්‍රි.ව​. 940 දී පමණ එය අගනගරයක් ලෙස භාවිතා කිරීම නැවතුණ ද ඉන් සියවස් කිහිපයක් යනතුරුම ඉතියෝපියානු අධිරාජයින් අභිෂේක කරන ලද්දේ අක්සුම්හිදී බව සඳහන් වනවා.

ගිවිසුම් කරඬුව​

බයිබලයේ සඳහන් එක් ආකර්ශනීය කතාපුවතක් වන්නේ ගිවිසුම් කරඬුව පිළිබඳ කතා පුවතයි. මෙම කතා පුවතට අනුව මෝසස් හට දෙවියන් වහන්සේ ලබා දුන් දස පනත ලියවුනු මුල්ම මැටි පුවරු, විප්‍රවාස සමයේ කාන්තාරය තුල යුදෙව්වන් හට ආහරය සදහා දෙවියන් වහන්සේ මවා දුන් මන්නා නම් ගෙඩි වර්ගය සහ මෝසස් ප්‍රාතිහාර්යය පෑමට භාවිතා කළ ආරොන්ගේ යෂ්ඨිය යන දේ රනින් තැනූ පෙට්ටියක තැන්පත් කළ බව සඳහන්. මෙය ගිවිසුම් කරඬුව (Ark of the Covenant) යනුවෙන් හඳුන්වනු ලබනවා. ඉතියෝපියානු ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ලබ්ධිකයන් විශ්වාස කරන්නේ මෙය අක්සුම් හි තැන්පත් කර ඇති බවයි. ඒ අක්සුම් හි පිහිටි සයෝන් හි අපගේ මරියතුමියගේ දේවස්ථානයේ (Church of Our Lady Mary of Zion) යි. මෙය දැකගැනීමට අවසර ඇත්තේ දේවස්ථානයේ ප්‍රධාන පූජකයාට පමණයි. ඒ හේතුවෙන් ගිවිසුම් කරඬුව මෙම ස්ථානයේ පවතින බව ඇතැමුන් සැකයට බඳුන් කරන පුරාවෘත්තයක් වන නමුත්, ඉතියෝපියානු ක්‍රිස්තියානි බැතිමතුන් එය තදින් ම විශ්වාස කරනවා.

ඉතියෝපියානු ශිෂ්ඨාචාරය​

මෑත කාලීන ඉතියෝපියානු ඉතිහාසයයේ ප්‍රධානම මග සළකුණක් වූයේ 1980 දශකයේ එරටට බලපෑ සාගත තත්ත්වයයි. මේ හේතුවෙන් ඉතියෝපියාව ගැන අදටත් ඇතැමුන් තුළ ඇත්තේ නිසරු බිමක් සහිත දුගී රටක් ය යන ප්‍රතිරූපයයි. නමුත් ඓතිහාසික ඉතියෝපියාව ඉතා වැදගත් ශිෂ්ඨාචාරයක් වුණා. එහි හදබිම වූ ඉතියෝපියානු කඳුකරයෙහි ඇතැම් ප්‍රදේශ අප්‍රිකාවේ සශ්‍රීකම ප්‍රදේශයන් අතර ප්‍රමුඛ වනවා. උප සහරානු අප්‍රිකාවේ අන් කිසිදු ප්‍රදේශයක නැති බෝග විවිධත්වයක් මෙම ප්‍රදේශයේ තිබෙනවා.

කඩා වැටී ඇති අක්සුම් හි විශාලම ශිලා ස්ථම්භය (Wikimedia Commons)

මේ හේතුවෙන් විශාල ශිෂ්ඨාචාරයකට අවශ්‍ය ආහාර පාන නිෂ්පාදනය අක්සුම් රාජධානියේ ජනතාවට එතරම් අපහසු වූයේ නැහැ. අනෙක් අතට එරට දියුණු කෘෂිකාර්මික ආර්ථිකයක් දක්නට ලැබුණා. උප සහරානු අප්‍රිකාවේ පළමුවරට නගුල භාවිතා කර ඇත්තේ ද ඉතියෝපියානු උස්බිම්වල බව සඳහන් වනවා. වසරකට කන්න දෙකක් වගාකිරීමට අක්සුම් වැසියන් සමත් වූ අතර සතුන්ට ආහාර සපයා ගැනීමට ඇති තරම් තණබිම් ද පැවතුණා. කඳුකර ප්‍රදේශවල හෙල්මලු ක්‍රමයෙන් වගා කටයුතු කරනු ලැබුණා.

ක්‍රිස්තියානිය වැළඳගැනීම

අක්සුම් රාජධානිය ක්‍රිස්තියානි දහම වැළඳ ගත්තේ ක්‍රි.ව​. හතරවන සියවසේදී එසානා අධිරාජයාගේ (320 පමණ සිට 360 දක්වා) සමයේදීයි. ඔහු එකළ නිකුත් කළ කාසිවලින් මේ බව පැහැදිලි වනවා. එසානාගේ මුල් කාළීන කාසිවල එවකට ආගමික සංකේතය වූ හිරු සහ අඩසඳ දක්නට ලැබෙන අතර එය වෙනුවට පසුකාලීන කාසිවල කුරුසියේ සළකුණ දැකිය හැකියි.

එසානා අක්සුම් රාජධානිය පාලනය කළ ශ්‍රේෂ්ඨ ම අධිරාජයෙකු ලෙස සැළකෙනවා. ඔහු ඉතියෝපියාවේ පැරණිම ක්‍රිස්තියානි දේවස්ථානය තැනවූ අධිරාජයා ද වනවා. එම දේවස්ථානය අදට දක්නට ලැබෙන්නේ නැහැ. අක්සුම් හි සියෝන් හි අපගේ මරියතුමියගේ දේවස්ථානය ද මුලින් ම ඉදිකළේ එසානා බව සඳහන් වනවා. අද වනවිට පවතින්නේ පසුකාලීනව ඉදි කළ ගොඩනැගිලි වන නමුත් ඒ ආසන්නයේ ම එසානා විසින් ඉදිකරවූ බව කියන ගොඩනැගිල්ලක නටඹුන් දකින්නට තිබෙනවා. මෙය ඒ ඉපැරණි දේවස්ථානයේ නටඹුන් ද විය හැකියි.

ඉතියෝපියානු ක්‍රිස්තියානි පල්ලිය විසින් එසානා සාන්තුවරයකු ලෙස සළකනු ලබනවා.

ශිලාස්ථම්භ​

අක්සුම් නගරයේ අනන්‍ය අංගයක් වන්නේ එහි දක්නට ලැබෙන විශාල ශිලාස්ථම්භ හෙවත් ගල් කණු ය​. මේවා අක්සුම් හි අධිරාජ්‍යයින්ගේ සොහොන් ගල් ලෙස භාවිතා වූ අතර ඒවායේ කැටයම් කොටා තිබෙනවා. මෙම කැටයම්වල දක් නට ලැබෙන්නේ දොරවල්, කවුලු, බාල්ක සහ මහල් යනාදිය සහිත තට්ටු නිවාසයක් වැනි නිර්මාණයක්. මේවා මියගිය අධිරාජයින්ට මීළඟ ආත්මයේ ජීවත් වීම සඳහා නිර්මාණය කෙරෙන නිවාස ලෙස අර්ථ දක්වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. මෙයින් උසම ශිලාස්ථම්භය මීටර 33 ක උසින් යුතු වූ අතර එහි බර ටොන් 700 ක් පමණ වේ යයි ගණන් බලා තිබෙනවා. එය කිලෝමීටර 4 ක් පමණ දුර වූ ගල් වැඩපළක සිට ගෙනවිත් තිබෙන අතර ඒ සඳහා අලි ඇතුන් ද යොදවා ගන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. කෙසේ නමුත් මේ උසම ශිලාස්ථම්භය කඩා වැටුණ අතර අදටත් එය ඒ ලෙසින් ම අක්සුම් හි දකින්නට පිළිවන්.

ඉතාලියට ගෙන ගොස්, පසුව යළි ඉතියෝපියාවට ලබා දුන් අක්සුම් හි ශිලා ස්ථම්භය (Wikimedia Commons)

මෙයින් එක් ස්ථම්භයක් ඉතාලිය විසින් 1936 දී ඉතියෝපියාව අල්ලාගත් පසු එරටට ගෙනයන ලද අතර මීට වසර දහයකට පමණ පෙර එය යළිත් ඉතියෝපියාවට භාර දීමට ඉතාලිය කටයුතු කළා. එය දැන් අක්සුම් හි නැවතත් සිටුවා තිබෙනවා.

ඉස්ලාමයේ වර්ධනය​

ක්‍රි.ව​. 7 වන සියවස මුල් කාළයේ ඉස්ලාම් දහම හඳුන්වා දුන් මුල් කාළයේ මුහම්මද් නබිතුමාගේ අනුගාමිකයන් පිරිසක් ප්‍රතිවාදීන්ගෙන් ගැලවී සිටීම සඳහා අක්සුම් රාජ්‍යය වෙත පැමිණියා. එවිට අක්සුම් පාලකයින් ඔවුනට රැකවරණය ලබා දුන්නා. මේ හේතුව නිසා ඉස්ලාම් අධිරාජ්‍යය සහ අක්සුම් අතර විශාල එදිරිවාදිකම් දකින්නට තිබුණේ නැහැ. ඉඳහිට ඔවුන් අතර ගැටුම් ඇතිවූ නමුත් ප්‍රධාන වශයෙන් දෙපක් ෂය එකිනෙකා හා ගැටීමෙන් වැළකී සිටියා.

කෙසේ නමුත් කලාපයේ නාවික වෙළෙඳ බලය අරාබීන් අතට පත්වීමත් සමඟ ම අක්සුම් පරිහානියට පත් වුණා. අවට ප්‍රදේශවල ඉස්ලාමය පැතිරීම හේතුවෙන් ඉතියෝපියානු කඳුකරය හුදෙකලා වූ නමුත් එය දිගටම ක්‍රිස්තියානි රාජ්‍යයක් සේ පැවතුණා.

අමතර මූලාශ්‍ර​:

Lost Kingdoms of Africa, Ethiopia (Documentary), BBC Four

Cover Image: Church of Our Lady Mary of Zion (Wikimedia Commons)

Related Articles