Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අයිසිස් ත්‍රස්තයන්ව මරාගෙන මැරුණු රුසියානු හමුදා නිලධාරියා

ත්‍රස්තයන් හා සටන් කරන අවස්ථාවේ ත්‍රස්ත ප්‍රහාරයෙන් බේරීමට නොහැකි බව දැන දැන තම ජීවිතය බේරා ගැනීමට ආරක්ෂිතව පසු බැසීමට හැකියාව තිබුණත්, එම අවස්ථාව පිළිබඳව මොහොතක් හෝ නොසිතමින් කටයුතු කළ මෙරට යුද හමුදාවේ තරුණ කපිතාන්වරයෙක් පිළිබඳව ඔබ අසා ඇති

දිගින් දිගටම සතුරන් හා සටන් කරමින් තම අණදෙන නිලධාරියා අමතා, තමන් සිටින ස්ථානයට ගුවන් ප්‍රහාර එල්ල කර තමන් සමගම සතුරු බලසේනා විනාශ කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

ඒ කපිතාන් සාලිය අලදෙණිය යි. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සොල්දාදුවෙකුට පිරිනැමෙන ඉහළම සම්මානය වන පරම වීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලැබූ ඔහු පිළිබඳව ලිපියක් මීට බොහෝ කාලයකට ප්‍රථම  ඔබ වෙත ගෙන ආවා

අද අපි ඉදිරිපත් කරන්න යන්නේ මෑත කාලයේ රුසියාවෙන් බිහි වූ තවත් එවන් වීරයෙක් පිළිබඳව යි. ඔහු රුසියානු සන්නද්ධ හමුදාවේ ජේෂ්ඨ ලුතිනන්වරයෙක් වන අලෙක්සාන්දර් ප්‍රොකාර්යන්කා යි (Alexander Prokhorenko). 2016 වසරේ අප්‍රේල් මස 11 වන දින රුසියානු ජනාධිපති වලැදිමීර් පුටින් විසින් රුසියානු හමුදා සාමාජිකයෙකුට ලබා ගත හැකි ඉහළම සම්මානය වන “රුසියානු ෆෙඩරේෂණයේ වීර පදක්කම”, දිවි පිදූ මෙම විරුවාට පිරිනැමෙනවා. මේ අභීත, තරුණ යුධ විරුවා පිළිබඳව යි අද ලිපිය දිග හැරෙන්නේ.

ගුවන්යානා ආරක්ෂක ගෞරව උපාධිය ලබා ගැනීම 

අලෙක්සාන්දර් ප්‍රොකාර්යන්කා (Public Radio International)

රුසියාවේ ඔරෙන්බර්ග් ඔබ්ලාස්ට්හි ගොර්ද්කි නම් ගම්මානයේ 1990 වසරේ ජුනි මස 22 වන දා උපත ලබන අලෙක්සාන්දර් මූලික පාසල් අධ්‍යාපනය අවසන් කර ගුවන් යානා නාශක මිසයිල පාඨමාලාව හදාරා ඉංජිනේරුවෙක් ලෙස රුසියානු ස්පෙට්නාස් බලකායට එක් වන්නේ 2007 වසරේ දී යි. පසුව රුසියාවේ ස්මොලෙන්ස්ක් (Smolensk) නම් හමුදා ඇකඩමියට එක් වී ගුවන් යානා ආරක්ෂක ගෞරව උපාධියක් ලබා ගන්නට සමත් වෙනවා.

සිරියානු යුද්ධයේ කණ්ඩායම් අණදෙන්නෙක් ලෙස

අවසන් ගෞරව (Sputnik International)

2015 වසරේ දී සිරියාවේ  ISIS සටන්කාමීන්ට එරෙහිව කරගෙන යන යුද්ධයට මැදිහත් වෙන රුසියාව, සිරියාව වෙත තම යුද්ධ හමුදා නිලධාරීන් හා සෙබලුන් විශාල ප්‍රමාණයක් පිටත් කර හරිනවා.

එහිදී සිරියාවේ ඓතිහාසික පැල්මයිරා ප්‍රදේශය ආශ්‍රිතව රුසියානු හමුදා හා ISIS සටන්කාමීන් අතර දරුණු ගැටුම් නිර්මාණය වෙනවා.  2016 වසරේ මාර්තු 17 වන දින තම කණ්ඩායම සමඟ ISIS ත්‍රස්තයන්ට එරෙහිව ඔවුන්ව ඉලක්ක කරමින් දරුණු ලෙස සටන් මෙහෙයවමින් ඉදිරියට ඇදුනු ලුතිනන් අලෙක්සාන්දර් ISIS ත්‍රස්තයන්ගේ වැටලීමකට හසු වෙනවා.

 ISIS ත්‍රස්තයන් තමන් සිටින ප්‍රදේශය වටකර ඇතිබව දැන ගන්නා ලුතිනන්වරයා පලායෑම පිළිබඳව මොහොතක්වත් නොසිතන අතර ඔහුගේ මූලික ඉලක්කය වන්නේ වටළා සිටින සතුරන් සියල්ල විනාශ වන ලෙස තමන් සිටින ස්ථානයට රුසියානු ගුවන් ප්‍රහාරයක් එල්ල කර ගැනීම යි. 

මෙහෙයුමේ ප්‍රධාන අණදෙන නිලධාරියාව ගුවන් විදුලි පණිවුඩ ඔස්සේ සම්බන්ධ කරගන්නා තරුණ නිර්භීත යුද නිලධාරියා පවසන්නේ දෙවරක් නොසිතා තමන් රැදී සිටින ස්ථානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර සියල්ල විනාශ කර දමන ලෙස යි.

ලුතිනන්වරයාගේ අවසන් වචන 

දේහයට අවසන් ගෞරව (Reuters)

තම අණදෙන නිලධාරියා අමතා අවසන් මොහොතේ දී ලුතිනන් අලක්සන්දාර් හමුදා නිලධාරියා විසින් ප්‍රකාශ කරන වචන කිහිපය තුළින් ඔහු හමුදා නිලධාරියෙක් ලෙස කොතරම් නිර්භීත ද යන්න පෙනී යනවා. තම දිවිය පිළිබඳව මොහොතක්වත් නොසිතූ යුද වීරයාගේ ප්‍රකාශය පහත ආකාරයට දක්වන්නට පුළුවන්. 

මොවුන් මාව වටකරගෙනයි සිටින්නේ. ඔවුන් මට පහරදෙන තුරු බලා සිටින්නට මට උවමනාවක් නෑ. කරුණාකර ප්‍රහාර නොනවත්වා එල්ල කරන්න. මාගේ නිල ඇදුම ත්‍රස්තයන් ඉදිරියේ විහිලුවට ලක්කිරීමට මට අවශ්‍ය නෑ” 

නිල ඇදුමේ ගෞරවය ද රැක ගනිමින් මම ගෞරවාන්විතව මිය යන්නම්. මේ ත්‍රස්තයන් සියල්ල මා සමග රැගෙන යා යුතු යි. එම නිසා මා සිටින තැනට ඉතා ඉක්මනින් ගුවන් ප්‍රහාරයක් එල්ල කරන්න. එය මාගේ අවසන් කැමැත්ත යි. ඒ වගේම මම මාගේ පවුලේ අයට ආදරේ බව පවසන්න. මා වෙනුවෙන් ඔවුන් රැක බලා ගන්න. මම යනවා. මම මගේ රටට ආදරෙයි

අලෙක්සන්දාර් රැදී සිටි පැල්මයිරා ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව සිරියානු සංහිදියාව සඳහා වූ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල්වරයා ප්‍රකාශ කරන්නේ මෙම ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන්ට හෝ ඓතිහාසික ස්ථානවලට කිසිදු හානියක් නොවූ බව යි.

ලොව නන් දෙසින් උපහාර 

ඔහු සිහිවීම උදෙසා නිර්මාණය කර ඇති ස්මාරකය (Twitter)

ත්‍රස්තයන් හා දරුණු සටනකින් පසු විශේෂ බලකා විසින් ලුතිනන්වරයාගේ මළ සිරුර ලබා ගන්නා අතර එය රුසියානු ආරක්ෂක අමාත්‍යංශයට භාර දෙනු ලබනවා. 2016 වසරේ අප්‍රේල් මස 29 වන දින සිරියාවේ සිට මොස්කව් වෙත සිරුර ගෙන එන අතර මෙවන් යුධ විරුවකුගේ සිරුර නැවත තම රටට ගෙන ඒමට හැකි වීම පිළිබඳව තමන් ආඩම්බර වන බව ආරක්ෂක අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරනවා.

2016 වසරේ මැයි මස 6 වන දා දක්වා අවසන් ගෞරව දැක්වීමට ඔහුගේ සිරුර ඔහුගේ උපන් නිවසේ තැන්පත් කර තිබෙන අතර විශාල අවමංගල්‍ය උත්සවයක් සමග රුසියානු හමුදාවේ අවසන් ගෞරවය එහිදී හිමිවෙනවා.

ඔහුට ගෞරවයක් ලෙස ඉගෙන ගත් පාසල ඔහුගේ නමින් නම් කිරීමටත්, ගොරෝද්කිහි එක් ප්‍රදේශයක් ජේෂ්ඨ ලුතිනන් අලෙක්සන්දාර්ගේ නමින් නම් කිරීමටත් රුසියානු බලධාරීන් කටයුතු කරනවා.

ජනතා උපහාරය (Sputnik International)

එසේම දෙවන ලෝක යුද සමයේ සේවය කළ ප්‍රංශ භටයන් දෙදෙනක් තමන්ට යුද්ධ සමයේ නිර්භීතභාවය වෙනුවෙන් ලබා දුන් පදක්කම් අලෙක්සාන්දර්ගේ පවුලේ පිරිසට ලබා දී උපහාර දක්වනවා. අවසන් වශයෙන් බොහෝ රටවල් ප්‍රකාශ කරන්නේ ජේෂ්ඨ ලුතිනන් අලෙක්සාන්දර් දිවි පුදන්නේ රුසියාව වෙනුවෙන් පමණක් නොව ත්‍රස්තවාදය පිටුදකින සියළුම රටවල් වෙනුවෙන් බව යි.

කවරයේ ජායාරූපය - ලුතිනන්වරයාට අවසන් හමුදා ගෞරවය (Reuters)

Related Articles