Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අසිරිමත් කල්පිටි අර්ධද්වීපයේ සංචාරය කිරීමේදී මග නොහැරිය යුතු තැන්

පුත්තලමට ඉහලින් ලංකාවට සම්බන්ධ පටු වෙරළ තීරයකින් සමන්විත කල්පිටිය කිලෝමීටර 100ක් පමණ දිගැති දෙපසින්ම කරදිය සපිරි භූමියකි. එක්වරම කල්පිටියට ඇතුළු වූ කල “හප්පා මාර රස්නයක් නේ තියෙන්නේ, මොන ෆන් එකක්ද මේ රස්නේ එක්ක“ යැයි සිතෙන නමුත් ඒ වැලිතලා ගිනි පුපුරු බවට පත් කරන රස්නයට සිසිල බෙදමින් දෙපසින් කලපුව සහ සමුද්‍ර තීරය සහිත කල්පිටිය සැබැවින්ම අයස්කාන්ත භූමියකි.

ඩොල්ෆින්ලා නැරඹීම

ඩොල්ෆින්ලා බැලීමට ගොස් එන පිරිසක්

පැය බාගයක පැයක මුහුදු ගමනකින් කල්පිටියේ දී සාගරවාසී ඩොල්ෆින් දැක ගැනීමට හැකිවන අතර කලපුවාසී ඩොල්ෆින් වර්ශයේ සෑම කාලයකදිම පාහේ දැක ගැනීමට හැකිය. මුහුදු ඩොල්ෆින් බහුල කාලයක් තිබේ. කල්පිටියට ඇදෙන දෙස් විදෙස් සංචාරකයෝ මෝටර් බෝට්ටු වලින් ඩොල්ෆින් සොයා පුත්තලම් කලපුව සහ යාබද සාගරය පීරා යති. රෑන් පිටින් විටෙක බෝට්ටුවට සමාන්තරව පිහිනන ඩොල්ෆින් සහ තල්මසුන් ඇසට පෙනෙන තෙක් මානයේ සිට පිනුම් ගසන්නේ නැරඹීමට එන සංචාරකයින් පිලිගන්නාක් මෙනි. කල්පිටිය වෙරළ තීරයේ ඩොල්ෆින් සහ තල්මසුන් බැලීමට රැගෙන යන සංචාරක බෝට්ටු සේවා තිබුනත් නාවික හමුදාව අනුමත කරන ආරක්ෂක කබා සහිතව හමුදාවේ අනුමැතිය ලද බෝට්ටුවක් ගමන සඳහා තෝරා ගැනීම මනාය.

කොරල් පර සහ කඩොලාන

ජෛව විවිධත්වය යැයි කී සැනින් අප මනසට එන්නේ සිංහරාජය වැනි නිවර්ථන තෙත් කලාපීය සදාහරිත වනාන්තරය. එහෙත් මහා සාගරයේ දි ගොඩබිමට නොදෙවෙනි ජෛව විවිධත්වයෙන් අනූන කලාප තිබේ. කල්පිටිය ආසන්නයේ ද එවන් වූ විවිධ වර්ණයෙන් අලංකාර මුහුදු ජීවින්ගෙන් සහ මසුන්ගෙන් සමන්විත කොරල් පර කිහිපයක්ම පිහිටා තිබේ. ඇතැම් කොරල් පර රජය මගින් සංරක්ෂණ කලාප ලෙස නම් කරන ලද ඒවාය. කලපුවේ අර්ධද්වීපයෙන් අනෙක් පස විල්පත්තු මහ වනයයි. මේ තීරයේ ඇති ලවණ පරිසරයේ ඒ පරිසරයේ සරුවට වැවෙන කඩොලාන ශාක වලින් සමන්විත වේ.

කඩොලාන පරිසරයේ මාලු බාන ධීවරයින්

දූපත් සවාරි

කල්පිටියට ඉහලින් ඉප්පන්තිවු, පෙරිය ආරිච්චලායි, ඉටුමටිවු ආදී දූපත් 12කි. ඒ අතරින් බත්තලංගුණ්ඩුව මෑත කාලයේ ජනප්‍රිය වූ දූපතකි. බත්තලංගුණ්ඩුව කරා දිනපතා උදෑසන 08.30ට මහජන බෝට්ටුවක් ධාවනය වන අතර ඒ බෝට්ටුව උදෑසන 04.30ට මීගමුවෙන් පිටත්වෙන බසය හා සම්බන්ධ වේ. ඉතා අඩු මිලට බෝට්ටු සවාරියක් ගොස් දූපත දැක බලාගෙන අවශ්‍ය නම් එවන් අයට බත්තලංගුණ්ඩු බෝට්ටු සවාරිය කදිම තෝරා ගැනීමකි.  දූපතක රැයක් පහන්කර යළි එන්නට ආශාවක් ඇති අයටත් බත්තලංගුණ්ඩු ගමන හොඳ තෝරා ගැනීමකි. බත්තලංගුණ්ඩුව යනු  මුළු  දූපතම වටා පැයකින් දෙකකින් රවුමක් ගොස් පැමිණිය හැකි තරම් කුඩා දූවකි. අනෙකුත් දූපත් ද අලංකාර ස්වභාව සෞන්දර්‍යයෙන් යුතු ඒවා වන අතර බෝට්ටු කරුවන් හා නාවික හමුදාව හා විමසීමෙන් ඒ දූපත් කරාද සංචාරය කිරීමට අවස්ථාව ලබාගත හැකිය.

මුහුදේ සිට බැලූ විට පෙනෙන අලංකාර සංචාරක නිවහනක්

තලවිල ශාන්ත ආනා දේවස්ථානය

තලවිල පිහිටි පල්ලිය යනු එහි පිහිටි සාධක අනුව ලංකාවේ පැරණිතම ක්‍රස්තියානි පල්ලිය ලෙස සැලකේ. මුල් කාලයේ ඕලන්දක්කාරයෝ නැව කැඩී අද තලවිල පල්ලිය තිබෙන තැනට ගසාගෙන ඇවිත් තිබේ. ඉන්පසු ඔවුන් දෙවියන්ට බාරයක් වී හෙමි හෙමින් කුඩා නැව යළි තනාගෙන නැවත ඕලන්දයට යාත්‍රා කොට කෘතගුණ දැක්වීම සහ බාරය ඔප්පු කිරීම පිණිස නැවත තලවිල පුදබිමට පැමිණ එහි වූ පැරණි දේවස්ථානය ගොඩනගා තිබේ. අද එතැන විශාල දේවස්ථානයකි. එය උත්සව කාලයට ක්‍රිස්තියානි බැතිමතුන් සියදහස් ගණනක් එක්රැස් වන මනරම් පුදබිමකි.

ශාන්ත ආනා මෑණියන්ගේ දෙව්මැදුර

කල්පිටිය ලන්දේසි කොටුව

කොටු තැනීම අතින් ලන්දේසීන් තරම් දක්ෂ ජාතියක් තවත් නැද්දෝ හෝ යි සිතෙන තරමට ඔවුන් ගිය ගිය තැන කොටු තනා තිබේ. කල්පිටිය කොටුව තවමත් පැරණි ආකෘතින් තවමත් සුරැකිව පවතින කොටුවකි. එහි කොටු ද්වාරයේ වූ ලී කැටයමක එය එක්දාස් හයසීය ගණන් වලදී ඉදි කරන ලද එකක් යැයි දැක්වේ. අද අප කල්පිටිය අවසානතම බස් නැවතුමට ගොස් නාවික හමුදාවේ අවසරය ඇතුව කොටුවට ඇතුළු වී ඇතුලත හාත්පස පරිසරය රිසි සේ නැරඹුවත් මීට ශතවර්ෂ ගණනාවකට ප්‍රථම අපේ මුතුන් මිත්තෝ කොටුව තුළ සිටි ඕලන්දක්කාර සතුරන්ට බැට දෙන්නට බලාගෙන කොටුවට පිටින් කඳවුරු බැඳ සිටින්නට ඇත.

ලන්දේසි කොටුවේ ද්වාරය

සරුංගල් සර්ෆින්

සුලං තදින් හමන කාලයට සුලඟ සමග පොරබදන විශාල පැරශූටයක් මෙන් සරුංගල රැසකි. එහි කෙළවරක එල්ලී සිටගෙන ජලය මත ලිස්සා යන විදේශිකයෝය. වර්ථමානයේ නම් ලාංකිකයෝද කල්පිටියේ සරුංගල් සර්ෆින් හෙවත් කයිට් සර්ෆින් හරි හරියට සිදු කරති. සුලං බලයත් නිසංසල මුහුදත් ඇති කල්පිටිය වෙරළ තීරය කයිට් සර්ෆින් වලට ජනප්‍රිය වී දැන් අවුරුදු දහයකට වඩා නැත. එක් විදේශිකයෙක් පැමිණ “ අහා මේ නම් කයිට් සර්ෆින් වලට කියාපු තැනයැ“ කියා වසර 10-12කට පෙර ගම්වැසියන් යාබද ධිවරයින් මවිත කරවමින් කයිට් සර්ෆින් ක්‍රීඩාවේ නිරත වී ඇත. එතැන් පටන් එතැන විදේශිකයින් කයිට් සර්ෆින් කරන්නට පැමිණෙන සහ දේශිය අපේ කොල්ලන් විදේශිකයින්ටත් වඩා වැඩ පෙන්වන තැනකි කල්පිටිය කයිට් සර්ෆින් කරන ස්ථානය.

(කල්පිටියේ සරුංගල් සර්ෆින්)

ධීවර කර්මාන්තය

කඩොලාන සහ කලපු ආසන්න පරිසරය ඉස්සන්ට හොඳ තෝතැන්නකි. ඒ පරිසරයේ ඉක්මනින් වැඩෙන ඉස්සන් ඇල්ලීමට කුඩා ඔරු රැගත් ධිවරයෝ නික්මෙති. එසේම වෙරළේ සිට බෝට්ටු වලින් කොරල් පර ආදී ඉසව් කරා ගොස් පොකිරිස්සන් පණ පිටින්ම අල්වාගෙන ඒමට ද කල්පිටිය ධීවරයෝ සමත්ය. උදෑසනක ගියහොත් සුළු ධීවර තොටුපල වල උඩ පනිමින් දඟලමින් පණගහන මාලු දැකගන්නට පුළුවන්කම කල්පිටියේදී තිබේ. ධීවර ජීවිතය කටුකය. හොද්දට වැටුනු මාලු අපි තලු මරමින් ආහාරයට ගත්තද සුළු පන්න ධීවරයා ගෙනයන ජීවිතය එතරම් රසවත් එකක් නොවේ.

අල්ලාගත් පොකිරිස්සන්

අල්ලාගත් මාළු

සුන්දර වෙරල අඩු වේලාවකින්

පාසිකුඩා, නිලාවැලි ආදී නැගෙනහිර වෙරළේ සුන්දර ඉසව් කරා අපිට කොළඹ සිට පිවිසෙන්නට හොඳම වාහනයක වුවද  පැය 7කට වැඩි වේලාවක් ගත වේ. එහෙත් පාන්දරම කොලඹින් පිටත්වුව හොත් බටහිර වෙරලේ සුන්දරත්වයෙන් පිරිපුන් කල්පිටිය වෙත උදා කාලයේදිම ලගා විය හැකිය. කල්පිටියේ වර්ථමානයේ සංචාරක හෝටල ගණනාවකි. ඒවායේ අඩු මිලට එහෙත් වටිනා පහසුකම් සහිත සංචාරක පහසුකම් තිබෙන බැව් අන්තර්ජාලය පිරික්සූ විට පෙනේ. කාලයකදී කල්පිටිය වෙරළ තීරය කැස්බෑවුන් බිත්තර දැමීමට එන බැවින් කැස්බෑවුන් වෙරළ සොයා එන කාලයට සාගරවාසී කැස්බෑවුන් දැක බලාගැනීමේ අවස්ථාවද කල්පිටියේ සංචාරය කිරීමේදී අපට හිමි වේ.

යෝධ සුලං පෙති ඈතට දිස්වෙන අයුරු

සුලං බලයෙන් කැරකී විදුලිය ලබාදෙන යෝධ සුලං පෙති, වෙනත් පැතිවල අප දකින ගවයින් මෙන් නිතර දකින්නට ලැබෙන බූරුවන්, කටුක පරිසරයේ වැවේ යැයි සිතිය නොහැකි තැන්වල වවා ඇති ගෝවා, බීට්රුට්, බටු මිරිස්, තක්කාලි ආදී සරුසාර වගාවන් මෙන්ම කටට රසට ආහාර ගත හැකි තැන්ද කල්පිටියේදි සංචාරකයින්ට දැකගත හැකි වේ. සංචාරකයින්ගේ සිත් ඇදගන්නා සියලු දේම එකම දිනකින් ලඟා කරගැනීමට නොහැකි වුවද අප වඩාත් ආශාකරන දේවල් හොඳින් විඳ ගැනීමට පහසු,  ලෙහෙසියෙන්ම පිවිසිය හැකි,  තවමත් සංචාරකයින් ගෙන් පිරී ඉතිරී නොගිය සුන්දර භූමියක් ලෙස කල්පිටිය හැදින්විය හැකිය.

කවරයේ පින්තූරය – www.ecoteam.lk

Related Articles