Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සබන් කැටේ කතන්දරේ

ලෝකෙ හැමතැනම, හැමදෙනාම පාවිච්චි කරන සබන් මුලින්ම හොයා ගත්තෙ කොහොමද කියලා ඔබ දන්නවද? සබන් නැතුව ජීවත් වෙන්න බැරි තරමට මේ නිශ්පාදනය මිනිස්සු අතර ජනප්‍රිය වුණේ කොහොමද කියලා බලන්නයි අද අපේ සූදානම.

මුල්ම හඳුන්වා දීම

සබන් වල ඉතිහාසය අවුරුදු 6000ක් විතර අතීතයට යනවා. නමුත් කවුරුවත්ම දන්නෙ නැහැ ඇත්තටම කොයි විදියටද සබන් කියන මේ සේදුම් නිශ්පාදනය හොයා ගත්තෙ කියලා. ඒ වුණත් මේ වටා ගෙතුණු විවිධාකාර කතන්දර නම් බොහොමයි.

පුරාවිද්‍යා කැණීම් වලින් ආදි බැබිලෝනියානුවන් සබන් නිශ්පාදනය කළ බවට සාක්ෂි ලැබෙන අතර ඊජිප්තු වාසීන් සබන් නිශ්පාදනය කරලා තියෙන්නෙ ශාක සහ සත්ත්ව තෙල්, ඇල්කලයින ලුණු (ක්ෂාර ලුණු) සමඟ මිශ්‍ර කිරීමෙනුයි.

රෝමානුවන්ට අනුව සබන් වලට “soap” යන නම ලැබෙන්නෙ රෝමයේ පිහිටි “සපෝ කන්ද” නිසයි. සපෝ කන්දෙදි සතුන් බිලි දීමේ යාගයන් පවත්වලා තියෙනවා. වර්ෂාවත් එක්ක මේ සත්ත්ව මේදය ක්ෂාර ලුණු සහිත අළු සමඟ මිශ්‍ර වෙලා ටයිබර් නදියට ගලාගෙන ඇවිත් තියෙනවා. ඒ අවට මිනිස්සු රෙදි සේදීමට ඇවිත් තියෙන්නෙ මේ ටයිබර් නදියට. වෙනදාට වඩා හොඳින් රෙදි වල කුණු ඉවත් වෙන්නෙ කොහොමද කියලා හොයා බැලුවම තමයි මේ විස්තරය ඔවුන් දැනගෙන තියෙන්නෙ.

එළු කිරි වලින් නිශ්පාදනය කළ සබන් විශේෂයක්. (www.youtube.com)

පසුකාලීනව යුරෝපීයයන් සබන් නිශ්පාදනයේදී ඔලිව් තෙල් භාවිතය ආරම්භ කළ අතර ඔවුන් එය “කැස්ටියල්” ලෙස නම් කළා. 14 වන සියවසේදී ඔලිව් තෙල් මුහුදු ජලය සමඟ මිශ්‍ර කිරීමෙන් ප්‍රංශ ජාතිකයන් විසින් තවත් සබන් විශේෂයක් හඳුන්වා දෙනු ලැබුවා.

18 වන සියවසේදිත් සබන් භාවිතා කළ පිරිසේ ලොකු වැඩි වීමක් දක්නට ලැබෙන්නෙ නැහැ. සබන් වල තිබූ අප්‍රසන්න ගන්ධය එයට එක් හේතුවක් වන්නට ඇති. නමුත් කාර්මික විප්ලවයෙන් පසුව නව සබන් නිශ්පාදන ක්‍රම හඳුන්වා දීමත්, ඒවාට සුවඳ කැවීමේ ආකාර සොයා ගැනීමත් නිසා වෙනදාට වඩා සබන් භාවිතයේ ඉහළ යාමක් දකින්නට ලැබුණා. ඉන්පස්සෙ ඇමරිකානුවොත් සබන් නිශ්පාදනය ආරම්භ කළා. වෙළඳපොළ නිශ්පාදනයක් විදියට සබන් කරලියට ආවේ 19 වැනි සියවසේදි යි.

සබන් නිශ්පාදනය

සරලයි කියලා හිතුණාට මහා පරිමාණයෙන් සබන් නිශ්පාදනය පියවර ගණනාවක් සහිත සංකීර්ණ ක්‍රියාවලියක්. මුලින්ම මේදය සහ පොටෑෂ් ද්‍රාවණය නියමිත ඝණත්වය තෙක් උණු කළ යුතුයි. මෙහිදී සිදුවන ප්‍රතික්‍රයාවෙන් සබන් සහ ග්ලිසරින් ප්‍රතිඵල ලෙස ලැබෙනවා. සබන් සහ ග්ලිසරින් වෙන් කිරීමට ලවණ සමඟ ප්‍රතික්‍රියා කරවීම මීළඟ පියවරයි.

මෙහිදි ග්ලිසරින් අඩියේ තැන්පත් වන අතර ද්‍රව සබන් ඒ මත පාවෙනවා. ඉන්පසු ග්ලිසරින් නිස්සාරණය කරන අතර අනවශ්‍ය මේද ඉවත් කර සාන්ද්‍ර කෝස්ටික් ද්‍රාවණයක් නැවතත් ද්‍රව සබන් සහිත බඳුනට එකතු කරනවා. නැවතත් මෙම ද්‍රාවණය නියමිත තත්ත්ව යටතේ උණු කිරීමෙන් පස්සෙ ජලය සහ සුවඳ කැවීමට යොදා ගැනෙන රසායනික ද්‍රවය සමඟ මිශ්‍රකර උණු කරනවා.

මේ මිශ්‍රණයේ ඉහළම ස්ථරය 70%ක් සබන් සහ 30%ක් ජලය සහිත පිරිසිදු සබන් ලෙස හඳුන්වනවා. පහළ ස්ථරයේ විශාල වශයෙන් අපිරිසිදු ද්‍රව්‍ය අඩංගු වෙනවා. පිරිසිදු සබන් වෙන් කරගෙන ශීත කිරීමෙන් පස්සෙ කැමති හැඩයකට කපා ගත හැකියි.

නිවසේදී සබන් නිශ්පාදනය කරන අවස්ථාවක්. (myhealthygreenfamily.com)

මුලදී රෙදි සෝදා ගැනීමට භාවිතා කළ සබන් පසු කාලීනව ශරීරය පිරිසිදු කිරීමටත් යොදා ගත්තා. අද වන විට නානාප්‍රකාර සුවඳින් යුතු විවිධාකාර සබන් නිශ්පාදන රැසක් වෙළඳපොලේ දක්නට ලැබෙනවා.

සාමාන්‍යෙයන් දිය නෑමකින් පසුව සම වියළි ස්වභාවයකට පත් වෙනවා. එයට හේතු වෙන්නෙ සබන් නිසා සමේ තෙතමනය අධිකව ඉවත් වීමයි. දිගු කාලීනව සමට නුසුදුසු සබන් භාවිතයෙන් වියළීම, සම රැළි වැටීම සහ සම වියපත් වීම සිදු වෙනවා.

වෛද්‍යවරුන්ගේ මතයට අනුව සබන් යනු දෛනික සම පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය වූවක් මිස සුවඳවත් කිරීමේ ද්‍රව්‍යයක් නොවෙයි. මුල්ම වරට රුව වඩවන සබන් නිශ්පාදනය කරලා තියෙන්නෙ 1878 දි පාර්ලි ප්‍රොක්ටර් සහ ජේම්ස් ගැම්බල් විසින්. ඔවුන් එය අයිවරි සබන් ලෙස නම් කළ අතර මෙම සබන් වර්ගය අදටත් වෙළඳපොළෙහි අලෙවි කරනු ලබනවා.

පළමුවෙන්ම නිශ්පාදනය කළ රුව වඩවන සබන් වර්ගය “අයිවරි.” (www.silive.com)

අධික රසායනික සංයුතියක් සහිත සබන්, ඉහළ පී.එච් (pH) අගයක් සහිත සබන් හෝ ඉහළ අම්ල සංයුතියක් සහිත සබන් භාවිතය සෞඛ්‍යයට අහිතකරයි. ඒනිසා සබන් වර්ගයක් තෝරා ගැනීමේදී මේ පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි.

නව ප්‍රවණතා

මිනසෝටා සරසවියේ පර්යේෂකයන් පිරිසක් නව සබන් විශේෂයක් හඳුන්වලා දීලා තියෙනවා. ස්වභාවික සම්පත් යොදාගෙන නිශ්පාදනය වන මෙම සබන් වර්ගය නිසා සේදුම්කාරක ද්‍රව්‍ය වලට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය අඩුකරමින් එමඟින් පරිසරයට සිදු කරන අහිතකර බලපෑම පහත හෙලීමට හැකිවේ යැයි ඔවුන් ප්‍රකාශ කරනවා.

මෙම සබන් විශේෂය සාමාන්‍ය සබන් වලට වඩා සාර්ථක ලෙස කඨින ජලයේ දිය වෙනවා. (කඨින ජලයේ විවිධ අයන වර්ග දියවී ඇති අතර සාමාන්‍ය සබන් කඨින ජලයේ දියවීම අඩුය. මේ නිසා කඨින ජලය සහිත ප්‍රදේශ වල සාමාන්‍ය සබන් සේදුම් කාරක ලෙස යොදා ගත්තද සේදුම් ක්‍රියාවලිය හරිහැටි සිදු නොවේ.) මේ නව සොයා ගැනීමට මිනසෝටා සරසවියට පේටන්ට් බලපත්‍රය ලැබී තිබෙනවා.

අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය රැසක් ජල ප්‍රභව වලට එකතු වීම OFS භාවිතයෙන් වළක්වා ගත හැකියි. (wordpress.com)

මේ සඳහා අමුද්‍රව්‍ය වශයෙන් සෝයා ඇට, පොල් සහ ඉරිඟු යොදා ගන්නා බව පර්යේෂණ කණ්ඩායම පවසා සිටිනවා. මෙමඟින් සාමාන්‍ය සේදුම් කාරක නිශ්පාදනයට යොදා ගන්නා පරිසර හිතකාමී නොවන රසායනික ද්‍රව්‍ය නිසා දිගුකාලීනව සිදුවන පාරිසරික හානි වළක්වා ගතහැකි ආකාරය ඔවුන් පැහැදිලි කරනවා.

මෙම නව සබන් විශේෂය Oleo-Furan-Surfactant (OFS) වන අතර අහිතකර ද්‍රව්‍ය අඩංගු නොවන බැවින් ගංගා සහ අනෙකුත් ජල ප්‍රභව වලට මෙමඟින් කිසිදු හානියක් වන්නේ නැහැ.

සාමාන්‍ය සේදුම්කාරක සමහර ප්‍රදේශ වල ජලයේ දිය නොවීම බොහෝ අයට ගැටළුවක් වන්නේ හිස සේදීමේදී ෂැම්පු සෝදා හරින විටයි. කඨින ජලයේ මේවා දිය නොවීම නිසා කොණ්ඩයයේත්, හිස් කබලේත් රැඳීමෙන් අහිතකර සෞඛ්‍ය ගැටළු මතු විය හැකියි. මේ සඳහා දැනට වෙළඳපොළේ පවතින සේදුම් කාරක ද්‍රව්‍ය වලට කඨින ජලයේ ඇති අයන ඉවත් කළ හැකි රසායනික ද්‍රව්‍ය එක් කර ඇති අතර එමඟින් මේ ගැටළුව විසඳුනත් මෙයින් පරිසරයට සිදුවන හානිය නම් බරපතලයි.

OFS ජලයේ දිය වූ විට දිස්වන අයුරු. (www.newswise.com)

නව OFS මඟින් කඨින ජලයේ දියවී ඇති අයන ස්වභාවිකව ඉවත් කිරීම සිදු වන නිසා අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් ජල ප්‍රභව වලට එකතු වීම වළකිනවා. මෙය සබන් වලට වගේම ෂැම්පු, රෙදි සෝදන කුඩු, සහ අනෙකුත් සියළුම සේදුම් කාරක ද්‍රව්‍ය වලට ආදේශ කළ හැකි බව ඔවුන් තව දුරටත් පැහැදිලි කරනවා.

කවරයේ පින්තුරය: wallpaperrs.com

මූලාශ්‍ර: www.todayifoundout.com, twin-cities.umn.edu, worldbeyondworld.blogspot.com, www.soaphistory.net, www.sinhalamag.com

Related Articles