Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියානු විශේෂ හමුදා ඒකකය- ඇල්ෆා ගෘප්

Federal Security Service (FSB) හෙවත් රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවාවේ අඩංගු විශේෂ බලකා අතරින් ප්‍රධානම ඒකකයක් ලෙස ඇල්ෆා ගෘප් (Alpha Group) හැඳින්විය හැකියි. රුසියානු විශේෂ බලකායේ උප ඒකකයක් ලෙස මෙය ක්‍රියා කරනවා.

රුසියානු ආරක්ෂක සේවාවේ ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් සඳහා ම නිර්මාණය වූ මෙම ඒකකය විශේෂයෙන්ම නිර්මාණය කර තිබෙන්නේ ජනාකීර්ණ නගරවල, පොදු ප්‍රවාහන සේවා මධ්‍යයේ හා ගොඩනැගිලි තුළ සතුරා බලාපොරොත්තු නොවන මෙහෙයුම් සිදුකිරීමට යි.

මෙම බලකාය නිර්මාණය කරන්නේ සෝවියට් සමයේ දී යි. එය නිර්මාණය කිරීමට දායක වෙන්නේ සෝවියට් ඔත්තු සේවය වන KGB සේවය යි. ඒ 1974 වසරේ දී යි. රුසියානු ඉහළ දේශපාලන අධිකාරිත්වයේ අණ මත ඉතා රහසිගත මෙහෙයුම්වල නිරතවෙන මෙම බලකාය රුසියානු ආරක්ෂාව වෙනුවෙන් දේශීය හා විදේශීය මෙහෙයුම් සඳහා ඉතා රහසිගත ව ඇතුළු වෙනවා.

එම මෙහෙයුම්වලට අමතරව ඉතාමත් සංකීර්ණ අවස්ථාවන්වල දී ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා ද මෙම බලකාය විස්මිත හැකියාවක් පෙන්නුම් කරනවා.

ඇල්ෆා ගෘප් නිර්මාණය වීම

ඇල්ෆා ගෘප් (The Firearm Blog)

සෝවියට් සංගමය බිඳ වැටීමට ප්‍රථම එහි ක්‍රියාත්මක වූ KGB ඔත්තු සේවයේ එවකට සිටි සභාපතිවරයා වන  යූරි ඇන්ද්‍රපොව් (Yuri Andropov)ගේ යෝජනාවක් මත ඇල්ෆා ගෘප් ආරම්භ වෙනවා. ඊට මූලිකම හේතුව වන්නේ 1972 වසරේ දී බටහිර ජර්මනියේ මියුනිච් ඔලිම්පික් උළෙලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය යි. එවැනි ත්‍රස්ත ප්‍රහාර නැවත ඇතිවීම වැළැක්වීම පිණිස එම කාලයේ දී බටහිර ජර්මනිය GSG 9 නමින් ප්‍රතිත්‍රස්ත ඒකකයක් නිර්මාණය කරනවා.

මෙයට පිළිතුරක් ලෙස සෝවියට් සංගමයේ උපදෙස් මත පාලනය වූ නැගෙනහිර ජර්මනිය තුළ හා සෝවියට් සංගමයේ අනෙකුත් සාමාජික රටවල් තුළ ශක්තිමත් හමුදා ඒකකයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය මතු වෙනවා. ඒ ආකාරයටයි ඇල්ෆා ගෘප් නිර්මාණය වෙන්නේ. එය Spetsgruppa “A”,  Directorate “A” of the FSB Special Purpose Center හෝ  Alfa ලෙස ද මෙය නම් කර තිබෙනවා.

බඳවාගැනීම හා පුහුණුව

පුහුණුව (Spec Ops Magazine)

අවුරුදු 22ත් 28ත් අතර රුසියානු තරුණයන් මේ සඳහා බඳවාගනු ලබනවා. තෝරාගන්නා භටයන් මානසික හා කායික ශක්තියෙන් ඉතාමත් උසස්, ඕනෑම අවස්ථාවකට ඔරොත්තු දෙන ආකාරයේ අය විය යුතු යි. ඊට අමතරව දරා ගැනීමේ හැකියාව හා කණ්ඩායම් හැඟීම ද පරික්ෂා කරනු ලබනවා. භටයන් තෝරා ගැනීම සඳහා සහභාගී වන්නේ ඒ සඳහා විශේෂ පුහුණුව ලැබූ විශේෂඥයන් කණ්ඩායමක්.

ඇල්ෆා ගෘප් සෙබළුන් (Reddit)

තෝරාගැනීමෙන් අනතුරුව මූලික හා විශේෂ පුහුණුව සම්පූර්ණ අවුරුදු තුනක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා. මෙම පුහුණුව සඳහා මූලික පාබල පුහුණුව, පැරෂුට් පුහුණුව, කිමිදුම් පුහුණු පාඨමාලාව, ස්නයිපර් පුහුණු පාඨමාලාව, නවීන අවි භාවිතා කිරීමේ පුහුණු පාඨමාලාව ඇතුළත් වෙනවා. ඊට අමතරව මෙම වසර තුන තුළ අනිවාර්ය විදේශ භාෂා පුහුණුව, ආත්මාරක්ෂක සටන් කලා ප්‍රගුණ කිරීම සිදුකළ යුතු යි. ඉන් අනතුරුව රුසියාව හා ලෝකය පුරා ඉතිහාසයේ සිට මෙතෙක් කල් සිදු වූ විවිධ වර්ගයේ ත්‍රස්ත ක්‍රියා පිළිබඳව විමර්ශනාත්මකව හැදෑරිය යුතු වෙනවා. මෙය සාමාන්‍ය විශ්වවිද්‍යාල පාඨමාලා අධ්‍යනයකට සමාන වෙනවා.

විශේෂ මෙහෙයුම්

දෙවන චෙච්නියානු යුද්ධයේ රුසියානු හමුදා (Time Magazine)

පළමු චෙච්නියානු යුද්ධයට ඇල්ෆා ගෘප් සහභාගී වෙනවා. ඔවුන් ක්‍රියාත්මක වූ විශේෂ මෙහෙයුමක් ලෙස 1999 වසරේ දී සිදු වූ දෙවන චෙච්නියානු යුද්ධය හැඳින්විය හැකි යි. පළමු චෙච්නියානු යුද්ධයෙන් අසාර්ථකව වී සිටි රුසියානු හමුදා දෙවන චෙච්නියානු යුද්ධයේ දී චෙච්නියානු බෙදුම්වාදීන් පරාජය කිරීමට සමත් වෙනවා. එහි දී මූලික කාර්යභාරයක් ඇල්ෆා කණ්ඩායම විසින් ඉටුකරනවා.

1995 වසරේ බඩිඔනොව්ස්ක් රෝහල් ප්‍රාණ ඇපකරු සිදුවීමේ දී චෙච්නියානු ගරිල්ලන්ට එරෙහිව සටන් කිරීමට සහභාගී වූ එක් විශේෂ බලකායක් ලෙස ඇල්ෆා ගෘප් හැඳින්විය හැකියි. 2000කට ආසන්න ප්‍රාණ ඇපකරුවන් පිරිසක් බේරා ගැනීම සඳහා විශේෂ බලකා කණ්ඩායම් මෙහෙයුමට අවතීරණය වන අතර, මෙහෙයුම හේතුවෙන් 200කට ආසන්න වූ සියලුම ත්‍රස්තයන් මරණයට පත්වෙනවා. එහි දී 150කට ආසන්න ප්‍රාණ ඇපකරුවන් ප්‍රමාණයක් ද මරණයට පත් වෙනවා.

බෙස්ලාන් පාසලේ ප්‍රාණ ඇපකරු සිද්ධිය (BBC)

2002 මොස්කව් නාට්‍යශාලා ප්‍රාණ ඇපකරු සිදුවීමේ දී ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම සඳහා සහභාගී වූ විශේෂ ඒකක අතරට ඇල්ෆා ගෘප් ද අඩංගු වෙනවා. 2002 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමේ දී නාට්‍ය ශාලාවට ඇතුළු වී සිටි චෙච්නියානු ත්‍රස්තයන් 40–50ත් අතර පිරිසක් ඝාතනය කිරීමට මෙම බලකාය ඇතුළු විශේෂ බලකා කණ්ඩායම් සමත් වෙනවා. සිවිල් වැසියන් 850ක් පමණ මෙහි දී ප්‍රාණ ඇපකරුවන් බවට පත් වී සිටි අතර, දරුණු ලෙස එල්ල කළ ප්‍රහාර හමුවේ ඔවුන් අතරින් 170ක් පමණ මරණයට පත්වෙනවා. මෙම සිදුවීමේ දී නම හෙළි නොකළ විෂ වායුවක් නාට්‍යශාලාව වෙත මුදාහැර ඉන්පසු විශේෂ බලකා, නාට්‍ය ශාලාව වෙත ඇතුළු වී ප්‍රහාර එල්ල කරනු ලබනවා.

ඇල්ෆා ගෘප් සෙබළුන් (The Independent)

2004 බෙස්ලාන් පාසලේ ප්‍රාණ ඇපකරු සිද්ධිය සඳහා ද ඇල්ෆා ගෘප් සෙබළුන් තම දායකත්වය දක්වනවා. ළමුන් 777 දෙනෙකු ඇතුළුව 1100 දෙනෙක් මේ අවස්ථාවේ පාසල තුළ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගැනීමට ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තයන් පිරිසක් කටයුතු කරනවා. මෙහි දී පාසලට ඇතුළුවෙන ඇල්ෆා කණ්ඩායම ප්‍රමුඛ විශේෂ බලකා ත්‍රස්තයන් ඉලක්ක කර දරුණු ප්‍රහාර එල්ල කරනවා. විශේෂ බලකා ප්‍රහාරවලට ප්‍රාණ ඇපකරුවන් ද ලක්වෙන අතර, මේ හේතුවෙන් ප්‍රාණ ඇපකරුවන් 334ක් වැනි විශාල ගණනාවක් මිය යනවා. ඒ හේතුවෙන් මෙම සිද්ධියේ දී රුසියානු රජයට හා විශේෂ බලකාවලට දැඩි අප්‍රසාදයක් ජාත්‍යන්තරයෙන් එල්ල වෙනවා.

වැඩිදුරටත් කියවන්න- පුටින් යටතේ රුසියාව

ඉහත දැක්වූ ප්‍රධාන මෙහෙයුම්වලට අමතරව බසාර් අල් අසාද් පාලනයට හිතැතිව රුසියාවේ ක්‍රියාත්මක වන මෙහෙයුම් සඳහා සහභාගි වෙන රුසියානු හමුදා කණ්ඩායම් සඳහා ඇල්ෆා ගෘප් ද ඇතුළත් වෙනවා.

කවරයේ පින්තූරය- Russia Beyond

මූලාශ්‍රයයන්:

special-ops.org

warisboring.com

alfagroup.org

Related Articles