Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොලිතීන් මලු වෙනුවට පරිසර හිතකාමී විකල්පයන්

ගෙවී ගිය වර්ෂයේ සැප්තැම්බර් 1 වැනි දින සිට පොලිතීන් ආහාර දවටන, රිජිෆෝම් පෙට්ටි සහ පොලිතීන් කවර භාවිතා කිරීම තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කළ බව ඔබ කාටත් මතක ඇති බවට සැකයක් නැහැ. මෙහි අරමුණ වුණේ ශ්‍රී ලංකාව පොලිතීන් රහිත රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා අපද්‍රව්‍ය බැහැර කිරීම කළමනාකරණය කිරීම සඳහා තිරසාර විසඳුමක් සොයා ගැනීම යි.

© Change

නමුත් පොලිතීන් භාවිතය තහනම් කිරීම සමග ඒ වෙනුවට සුදුසු විකල්පයක් හඳුන්වා නොදීම හේතුවෙන් බොහෝ දෙනෙකුට මුහුණ දෙන්න සිදු වුණ ගැටලුවක් තමයි, පොලිතීන් වෙනුවට භාවිතා කළ හැකි විකල්ප ක්‍රමවල හිඟතාවය. ලොව බහුල වශයෙන් ම භාවිතා කරන ඇසුරුම් වර්ගය ලෙස පොලිතීන් මලු හඳුන්වා දිය හැකි අතර ඇස්තමේන්තුගත සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ 2018 වර්ෂයේ භාවිතා කරන පොලිතීන් මලු ගණන ට්‍රිලියන 5 ක් විය හැකි බව යි. වඩාත් සරල ව සඳහන් කරනවා නම් තත්පරයක දී ලොව පුරා භාවිතා කරන පොලිතීන් මලු සංඛ්‍යාව දළ වශයෙන් 160,000 ක්.

මෙසේ භාවිතා කරන පොලිතීන් මලු ප්‍රමාණයෙන් ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොමු කරන්නේ 1% ක් වැනි කුඩා ප්‍රමාණයක් පමණ යි. එසේ ම පොලිතීන් මල්ලක් දිරා පත් වීම සඳහා අවම වශයෙන් වසර 1,000 ක් ගත වන බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. ඒ අනුව මිහිමත නිපදවන පොලිතීන් සම්පූර්ණයෙන් දිරාපත් වී යන දිනයක් ගැන සිතීම පවා නිශ්ඵල බව පැවසීමේ වරදක් නැහැ.

© EcoWatch

මේ හේතුවෙන් දිනෙන් දින ම පොලිතීන් හේතුවෙන් විනාශ වී යන මිහිකත සහ සත්ත්ව සම්පත රැක ගැනීම සඳහා පරිසර හිතකාමී විකල්පයන් භාවිතා කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් වී අවසන්. මේ පොලිතීන් භාවිතය අවම කිරීම සඳහා යොදා ගත හැකි පරිසර හිතකාමී විකල්පයන් කිහිපයක්.

(1) කඩදාසි කවර

එතරම් ශක්තිමත් නොවුණ ද පොලිතීන් වෙනුවට එදිනෙදා භාවිතය සඳහා යොදා ගත හැකි පරිසර හිතකාමී විකල්පයක් ලෙස කඩදාසි කවර හඳුන්වා දිය හැකි යි. පහසුවෙන් නැවිය හැකි කඩදාසි කවර නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් භාවිතා කරන්නේ ප්‍රතිචකීයකරණය කරන ලද කඩදාසි වන අතර පොලිතීන් භාවිතය තහනම් කර ඇති බොහෝ රටවල ප්‍රධාන ඇසුරුම් වර්ගය ලෙස කඩදාසි කවර භාවිතා කරනවා.

© Vistaprint

කඩදාසි කවර නිෂ්පාදනයේ දී රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමක් සිදු නොවන බැවින් ආහාර වර්ග තාවකාලික ව ගබඩා කිරීම සඳහා වඩාත් සුදුසු විකල්පය ලෙස එය සැලකිය හැකි යි. එසේ ම වැඩි වියදමකින් තොර ව නිවසේ දී පවා කඩදාසි කවර සකසා ගත හැකි බැවින් කඩදාසි කවර භාවිතයට හුරු වීම කිසිසේත් ම අපහසු කාර්යයක් නොවන බවට සැකයක් නැහැ.

(2) කැන්වස් මලු

ශක්තියෙන් වැඩි කැන්වස් මලු දිගු කාලයක් භාවිතා කළ හැකි කදිම විකල්පයක්. මෑත කාලීන ව පොලිතීන් මලුවලට විකල්පයක් ලෙස ලොව පුරා ජනප්‍රිය වූ කැන්වස් මලු මුල්වරට හඳුන්වා දී ඇත්තේ 17 වැනි සියවස තරම් ඈත කාලයේ දී යි. නමුත් 19 වැනි සියවස එළැඹෙන තෙක් ම එයට එතරම් ප්‍රසිද්ධියක් හිමි වුණේ නැහැ.

© Fashionable Notes

පසුව 20 වැනි සියවසේ මැද භාගයේ දී එදිනෙදා ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා ගෘහණියන් වැඩි වශයෙන් කැන්වස් මලු යොදා ගත්ත ද පොලිතීන් මලු ජනප්‍රිය වීම සමග කැන්වස් මලු භාවිතය ක්‍රමයෙන් අඩු වී ගොස් තිබෙනවා. නමුත් යළිත් වරක් කැන්වස් මලුවලට සුපුරුදු ජනප්‍රියත්වය හිමි වී ඇති අතර බොහෝමයක් සුපිරි වෙළඳසැල්වල අඩු මිලකට කැන්වස් මලු අලෙවි කිරීම සිදු කරනවා.

(3) ගෝනි මලු

හණ ගසෙන් ලබා ගන්නා කෙඳි යොදාගෙන සකසන ගෝනි මලු ද කැන්වස් මලු මෙන් ම දිගු කාලයක් භාවිතා කළ හැකි යි. එසේ ම ශක්තියෙන් වැඩි ගෝනි මලු වර්තමානයේ දී විසිතුරු රටාවන් සහිත ව අලංකාර නිමාවකින් යුතු ව නිපද වීම සිදු කරනවා.

© Jamie Wyckoff

පරිසර හිතාකාමී ගෝනි මලු පහසුවෙන් දිරාපත් වන අතර වැඩි වශයෙන් ම නිෂ්පාදනය කිරීම සිදු වන්නේ නැගෙනහිර ඉන්දියාවේ සහ බංගලිදේශයේ යි. එසේ ම ගෝනි මලු ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොමු කිරීම සිදු කළ හැකි අතර හණ ගස් සඳහා කෘමිනාශක යොදා ගැනීම ඉතාමත් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් බියකින් තොර ව ආහාර ගබඩා කිරීම සඳහා ගෝනි මලු යොදා ගත හැකි යි.

(4) යළි භාවිතා කළ හැකි ආහාර දවටන

අනුභවයෙන් පසු ව ඉතුරු වන ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා බොහෝමයක් ගෘහණියන් භාවිතා කරන ක්‍රමවේදය වන්නේ ප්ලාස්ටික් පෙට්ටි භාවිතා කිරීම යි. නමුත් ප්ලාස්ටික් පෙට්ටි වෙනුවට වීදුරු බඳුනක බහා යළි භාවිතා කළ හැකි ආහාර දවටනයකින් ආවරණය කිරීම මෑත කාලීන ව ලොව පුරා ජනප්‍රිය වී තිබෙනවා. එසේ ම පාන්, බනිස් වර්ග, චීස්, පලතුරු, කේක් සහ බිස්කට් වැනි ආහාර දැවටීම සඳහා ද මෙම ආහාර දවටන යොදා ගත හැකි බව යි සඳහන් වන්නේ.

© Bee’s Wrap

ශ්‍රී ලංකාවේ තවමත් එතරම් ජනප්‍රිය නොවන මෙම ආහාර දවටන, නිවසේ දී පවා පහසුවෙන් සදා ගැනීම සිදු කළ හැකි යි. එසේ ම පහසුවෙන් දිරාපත් වන මෙම දවටන, ඉවත දැමීමට පෙර සීතල ජලයෙන් සෝදා මද පවනේ වියළා ගැනීම මගින් කිහිප වාරයක් භාවිතා කළ හැකි බව පැවසෙනවා.

(5) සිලිකන් ආහාර මලු

මස්, මාළු හෝ පිසින ලද ආහාර ගබඩා කිරීම සඳහා ඇති කදිම විකල්පයක් වන සිලිකන් ආහාර මලු, ගබඩා කිරීමේ කාර්යය සඳහා පමණක් නොව ආහාර පිසීම සඳහා භාවිතා කළ හැකි යි. තරමක් මිල අධික වුව ද සිලිකන් ආහාර මලු සකසා ඇත්තේ වාතය ඇතුළු නොවන ලෙස වැසිය හැකි වන සේ බැවින් නරක් නොවී දිගු කාලයක් ආහාර නැවුම් තත්ත්වයේ තබා ගැනීම සඳහා සිලිකන් ආහාර මලු කදිම යි.

© Lekue

එසේ ම පොලිතීන් මලු නිෂ්පාදනයේ දී මෙන් නොව සිලිකන් ආහාර මලු නිෂ්පාදනයේ දී පෙට්‍රෝලියම්, රබර් හෝ වෙනත් කිරි වර්ග සහ පොලිවයිනිල් ක්ලෝරයිඩ් (PVC) යොදා ගැනීමක් සිදු නොවන නිසා ආහාර ගබඩා කිරීම සඳහා සෑම අතින් ම සුරක්ෂිත ක්‍රමවේදයක් ලෙස සිලිකන් ආහාර මලු සැලකෙනවා.

කවරයේ පින්තූරය : © Thinkstock

Related Articles