වික්ටර් හාරා, පපුව පාරා ගෙන ගැයූ ‘අමන්දා’

සිංහල ගීත සාහිත්‍යයේ දී නොයෙකුත් කලාකරුවන් තම දරුවන් නමින් ලියූ ගී කිහිපයක් අපට හමුවෙනවා. කරුණාරත්න අබේසේකර සිය පුතු වෙනුවෙන් ලියූ “දිලීප පොඩි පුතු”, විශාරද සනත් නන්දසිරි ශුරීන් තම දියණිය වෙනුවෙන් ගැයූ “දූ අනුරාධා” ගීතය, රූකාන්ත ගුණතිලකයන්ගේ රයිනි චාරුකා දුවට ඇසෙන්නට ගැයූ ‘අන්ඥා මුන්ඥා’ ගීතය ද එම ගී අතරින් කිහිපයකි. මේ සියලුම ගීතයන් තම දරුවන් උදෙසා පියවරුන්ගේ ඇති දාරක ප්‍රේමය මනා ලෙස නිරූපණය වූ බවට කිසිදු සැකයක් නැත. මේ ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ, මෙසේ තම දියණිය වෙනුවෙන් ගැයූ එහෙත්, හුදු දාරක ප්‍රේමයට එහා ගිය ගීතයක් ගැන යි. ඒ ගීතය විකටර් හාරා සිය දියණිය නිසා ගැයූ අමන්දා ගීතය යි.

වික්ටර් හාරා යනු 1973 චිලී රාජ්‍යයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව කෘර ලෙස වධ බන්ධනයට ලක් කර, අමානුෂිකව ඝාතනය කරන ලද ගායකයෙක්. ඔහුගේ අතින් මේ ගීතය නිර්මාණය වන්නේ, ඔහු ලංඩනයේ සංචාරයක යෙදී සිටින අතරතුර ඔහුගේ දියණිය වන අමන්දා, දියවැඩියා රෝගයෙන් පෙලෙන බවට ලද ආරංචිය හේතුවෙනුයි. මේ ගිතයේ ඇති අපූරත්වය නම්, දියණියගේ නම ගීතයේ අඩංගු වූවාට, ගීතයේ දියණියක් ගැන සදහන් නොවීම යි. එම ගීතය දාරක ප්‍රේමයට එහා ගිය ගීයක් බව ගිතය කියවා බැලීමෙන් තේරුම් ගත හැක.

අපි දැන් ඒ ගීතයේ සිංහල පරිවර්තනය බලමු.

මට නුඹ සිහිවේ අමන්දා //.

ඒ තෙත් වීදියේ

මැනුවෙල් දහදිය හෙලූ

කර්මාන්ත ශාලවට නුඹ දිවයන හැටි

මට සිහිවේ, අමන්දා…

ඒ පුළුල් හිනාව,

නුඹේ හිසකෙස් අග දිලිහෙන වැහි බිංදු

ඒ කිසිවක් නුඹට වැදගත් නැත.

නුඹ දිවයයි ඔහු හමුවිමට.

ඔහු හමුවීමට…

ඔහු හමුවීමට…

ඔහු හමුවීමට…

මිනිත්තු පහක් ගත විය,

සැබැවින්ම ආත්මය ජිවමාන කළ ඒ මිනිත්තු පහක්…

වැඩබිමට යන්නට අණ කරන

විසිල් හඬ පැතිරුණා

නුඹ නැවත පියවර තැබුවා

ඒ මිනිත්තු පහ නුඹව මලක් සේ පිබිදුවා.

මට නුඹව සිහිවේ අමන්දා…

වැඩ බිම වෙත දුවන් ඒ තෙත බරිත වීදියේ

මැනුවෙල් සොයා ඔබ දිව යන අයුරු

ඒ පුළුල් හිනාව,

නුඹේ හිසකෙස් අග දිලිහෙන වැහි බිංදු

ඒ කිසිත් වැදගත් නැත නුඹට

නුඹ දිවයයි ඔහුව සොයන්නට

මැස්සෙක්ට හෝ වරදක් නොකරන හේ

මහා කඳු සමග සටන් වැදුණු හේ

මිනිත්තු පහකින් සියල්ල නිම විය

රැකියාවට අණ කරන

විසිල් එක පැතිරිණි

ගිය අය බොහෝ දෙනෙක් පැමිණියේ නැත

මැනුවෙල් ද පැමිණියේ නැත.

මට නුඹව සිහිවේ අමන්දා…

තෙත් විදියේ, මැනුවෙල්ගේ වැඩ බිමේ

දිවයන අයුරු යළි යළිත් සිහිවේ…

ස්පාඤ්ඤ බසින් ලියැවුණු මේ මුල් ගීතය ඉංග්‍රීසියටත්, ඉන්පසුව සිංහලටත් පරිවර්තනය කිරීමේ දී මුල් ගීතයට හානි වීමට හැකියාවක් ඇත. වික්ටර් හාරා, චිලී දේශයේ තඹ ආකරවල තම ජීවනෝපාය සඳහා නොයෙකුත් දුක් ගැහැට විඳින ආකරය පිළිබඳ තම ගිටාරය ඔස්සේ මිනිසුන්ගේ හදවත් අවදි කළේ ඉතා ලයාන්විත අයුරිනි. මෙහි එන අමන්දාගේ සැමියා හෝ හිතවතා වන මැනුවෙල් සේවක අයිතීන් වෙනුවෙන් හඬ නැගු කෙනෙකි. මැනුවෙල් යනු මැස්සෙකුටවත් හානි නොකළ කෙනෙකි. එහෙත් ඒ කාරුණික මිනිසා, සේවක අයිතීන් වෙනුවෙන් කිසිවිටකවත් පසුබට වූයේ නැත. ඒ උදෙසා තමන්ට වඩා උසස් කන්දක් මෙන් වූ හිමිකරුවන් සමග සටන් කිරීමට ඔහු පෙළඹුණේ ය. එහෙත් ඒ වෙනුවෙන් ඔහුට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. විකටර් හාරා, ඒ මැනුවල් සදා ජිවමාන කරයි. එහෙත්, අමන්දා සිය සගයා සොයමින් වැහි බේරෙන මාවතේ ඇවිද යයි. 

මේ ගීතයේ අමන්දා තෙවරක් ඔහුට සිහියට නැගේ. මුලින්ම අමන්දා, මැනුවෙල් සොයා යන විට ඔහුට සිහි වේ. දෙවෙනුව, මැනුවෙල් සටනට ගිය විට ඔහුට අමන්දා සිහි වේ. අවසන, මැනුවෙල් මියගිය පසු අමන්දාව සිහි වේ. මේ යනු ගැහැණියක්ගේ ජීවිතයේ අවස්ථා තුනක්. ඒත් ඈ ඊට නිසලව මුහුණ දෙන්නේ අනිත් අයට ද ආදර්ශයක් වෙමිනි.

මේ ගීතයේ එන අනෙක් වැදගත් සංකේතය වන්නේ විසිල් හඬ යි. විසිල් හඬ යනු කම්හල් හිමියන් පිඩිතයින් පාලනය කරන මෙවලම යි. එම යකඩ හඬට මිනිසුන් කෙතරම් හීලෑදැ යි මේ ගීතය කියා පානු ඇති.

මේ ගිතයේ එන නම් අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි. පෙර කී පරිදි අමන්දා යනු වික්ටර් හාරාගේ දියණිය යි. එමෙන්ම විකටර් හාරාගේ මවගේ නමත් අමන්දා යි. එමෙන්ම විකටර් හාරාගේ පියාගේ නම මැනුවෙල්. වික්ටර් හාරාගේ පියා කිසිවිටකත් කුඩා වික්ටර් කෙරෙහි පිය සෙහෙහස දැක්වූ කෙනෙක් නොවී ය. ඔහු අධික ලෙස බීමට ඇබ්බැහි වූ නූගත් පුද්ගලයකි. ඔහු වික්ටර්, අධ්‍යාපනය සඳහා යොමු කිරිමට උත්සුක වූයේ නැති අතර, ඒ වෙනුවට ඔහු වික්ටර්ට රැකියාවක් කරන ලෙස බල කළේ ය. එමෙන්ම, වික්ටර්ට වයස අවුරුදු හයේ දී ඔහු සිය පවුල හැර ගියේ අමන්දාට සියලු බර පටවමින්. අමන්දා ඒ සියලු බර කරට ගත්තා පමණක් නොව, විකටර්ට ගීත ගායනා සඳහා යොමු කර වුයේ ද ඇය යි. තම මව ද, වික්ටර්ට වයස අවුරුදු 15 දී මියයයි. ඒ අනුව වික්ටර් සිය දයාබර මෑණියන්ව මේ ගීතයෙන් සිහි කරන අතර, කිසිවිටෙක තමන්ට කරුණාව නොදැක්වූ පියා ද උසස් විප්ලවවාදියෙක් කරන්නේ සමහර විට වික්ටර්ට අනුව මැනුවෙල්ලට එසේ විය හැකිදැ යි ඇති වන විස්සෝපයට ද, එසේත් නැත්නම් සැබැවින්ම තම පියා උදෙසා වික්ටර් හාරාට ඇති වන ආදරයටදැ යි පැහැදිලි නැත. ඒ කුමක් වුවත්, වික්ටර් හාරා යනු සැබෑ මානවවාදියෙකු බව මනාව පැහැදිලි ය. 

ඒ අනුව වික්ටර් හාරා, සිය දියණිය හා මෑණියන් හරහා මතු වන දාරක ප්‍රේමයට හා මාතෘ ප්‍රේමයට එහා ගිය අගනා පණිවිඩයක් ඒදා චිලී දේශයේ දුක් විඳින මිනිසුන් වෙත ගෙනාවේ ය. ඒ හරහා මිනිසුන් අවදි කරවීමටත් සමත් වූ වික්ටර් හාරාගේ මෙම හඬ පසුව, ජනාධිපතිවරයා වූ අයියන්දේ පාලනය එවකට ඇමරිකාව සතුව පැවති තඹ ආකර කිසිදු වන්දියක් නොගෙවා ජනසතු කිරීමට ඉවහල් විය. 

හඬකට කළ හැකි දේ ඉතා ඉහළ බව මේ වික්ටර් හාරාගේ “මට ඔබ සිහිවේ අමන්දා” ලොව පුරා වෙසෙන දුක් විදින මිනිසුන් වෙත සදාකාලිකව නිහඬව පවසනු ඇත.

Related Articles