විශ්වය පිළිබඳ විශ්මිත කරුණු කිහිපයක්

ඔබ ඉපදුණු ගම් ප්‍රදේශයේ එහෙමත් නැතිනම් දැනට ජීවත් වන ප්‍රදේශයේ අස්සක් මුල්ලක් නෑර ඔබ දන්නවාද? සිදුවෙන සියළු සිද්ධීන් ගැන ඔබ දැනුවත් ද? සියළු දෙනාගේම පිළිතුර ‘නැහැ’ කියන එකයි. එසේ නම් මේ රට තුල අපි නොදන්නා, ඇසුවොත් අමන්දානන්දයට පත් වන කරුණු කාරනා කොයි තරම් ඇතිද? මේ ලෝකය තුළ එවැනි කරුණු මිලියන ගණනක් ඇති. එහෙමනම් මේ මුළු විශ්වය තුළ ඇති එවැනි දේ ගැන අපිට හිතාගන්නටවත් බැහැ නේද? වර්තමාන තරුණ පරපුරේ බොහෝ දෙනා සක්වල ගැන, විශ්වය ගැන අපූර්ව කරුණු කාරනා දැන ගැනීමේ, ඉගනීමේ, අධ්‍යනය කිරීමේ නොතිත් ආශාවෙන් පසු වෙනවා. විශ්වය කියන්නේ රස ගුලාවක්. මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ඒ සප්ත මහා සාගරය වැනි අපූර්ව කරුණු කරනා වලින් දිය දෝතක් පමණයි.

විශ්වයේ සුවඳ

popsci.com

සාමාන්‍යයෙන් මේ නම් අමුතු කතාවක්. විශ්වයේ සුවඳ කෙලින්ම හෝ ගගනගාමී ඇඳුමක් තුළින් විඳිය නොහැකියි. ඒ වගේම එය තැනින් තැනට වෙනස් වෙන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් සක්වල චාරිකාවකින් පසු ගගනගාමීන් විසින් ප්‍රකාශ කර ඇත්තේ සමස්ථයක් වශයෙන් ‘බදින ලද මස්, උණු කරන ලද ලෝහ හා වෙල්ඩින් දුම් වලින් නැඟෙන සුවද’ වැනි සුවඳක් ඔවුන්ගේ ඇඳුම් වලට කාවැදී තිබුණු බවයි! . මෙයට හේතුව මිය යමින් සිටින තරු වලින් පැන නැඟෙන අතුරුඵලයි. මේව විශ්වය පුරාම පැතිරී පවතිනවා.

විශ්වයේ ලොකුම ඇල්කොහොල් සංචිතය

විශ්වයේ මෙවැනි පාවෙන විශාල ඇල්කොහොල් වලා තිබෙනවා- mentalfloss.com

විශ්වයේ ලොකුම ඇල්කොහොල් සංචිතය පිහිටා ඇත්තේ කොහේද? ඇමෙරිකාවේ? රුසියාවේ? නැහැ අපේ පෘථිවියට ඈතින් විශ්වයේ ස්ථානගත වී තිබෙන ඇල්කොහොල් වලාවක් ඒ වාර්තාවට උරුමකම් කියනවා. ඇත්තෙන්ම මේ වලාවේ විෂ්කම්භය අප සෞරග්‍රහමණ්ඩලය මෙන් 1000 ගුණයක්! මෙහි අන්තර්ගත ඊතයිල් ඇල්කොහොල ප්‍රමාණයෙන් සාමාන්‍ය ඇල්කොහොල් වීදුරු සෙප්ටිලියන 400ක් (400×1024 )පිරවිය හැකියි. දැන් ඉතින් වීදුරු, බූලි ඔසවාගෙන දුවන්න ලැහැස්ති වෙන්න එපා. ඒ ස්ථානයට ආලෝකයේ වේගයෙන් ගමන් කළත් ළඟා වෙන්නට වර්ෂ 10,000ක් ගත වෙනවා.

දැවෙන අයිස් වලින් සෑදුණු ග්‍රහලොවක්

futurism.com

Gliese 436 b කියන්නේ නෙප්චූන් ග්‍රහ ලෝකය තරම් ප්‍රමාණයන් විශාල, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 33ක් පමණ ඈතින් පිහිටි ග්‍රහලෝකයක්. මෙය පිහිටා ඇත්තේ සිංහ රාශියේ පිහිටි තරුවක් කේන්ද්‍රගත කොටගෙන සෑදුණු සෞරග්‍රහමණ්ඩලයක ග්‍රහලෝකයක් ලෙසයි. මේ ග්‍රහලෝකයේ මතුපිට ඉතාම වැඩි පීඩනයක් හා සෙල්සියස් අංශක 300 ක් තරම් වන දැඩි උෂ්ණත්වයකුත් පවතිනවා. මෙ පීඩනය නිසා මෙහි ඇති ජල වාෂ්ප අයිස් ලෙස මෙම උෂ්ණත්වයේදීද පවතින අතර ද්‍රව අවස්ථාවකට ලක් නොවී වාෂ්ප බවට පත් වනවා. මේ නිසා මේ ග්‍රහ ලොව ‘පිළිස්සෙන අයිස්’ සහිත ග්‍රහලෝකය හැටියට හඳුන්වනවා.

කළු කුහරයක් වීමට නම්

phys.org

කළු කුහරයක් සෑදෙන්නේ සමහර විශාල තාරකා විනාශ වී ඒවායේ පදාර්ථ ප්‍රමාණය ඉතම කුඩා ප්‍රදේශයකට එක් රැස් වීම නිසායි. මෙසේ එක් රැස් වීම නිසා එම පදාර්ථ වල ඒකක ඝනත්වය ඉතා ඉහළ යන අතර වියෝග ප්‍රවේගය හෙවත් යම් වස්තුවක් හෝ ශක්තියක් එක් ස්ථානයක් මතුපිට සිට එහි ගුරුත්වයෙන් මිදීම සඳහා ගත යුතු අවම ප්‍රවේගය ආලොකයේ ප්‍රවේගයද​ ඉක්මවා යනවා. මෙසේ වෙන්නේ ගුරුත්වාකර්ෂණ බලයන් ඉහළ යාම නිසයි. ආලෝකයද ඉවතට පැමිණීම නතර වූ තැන එම ප්‍රදේශය කළු පාටින් පෙනෙනවා. පෘථිවිය කළු කුහරයක් වීම සඳහා සිය පදාර්ථ සංකෝචනය කරගත්තොත් එහි පදාර්ථ පැතිරුණු ප්‍රදේශයේ අරය අඟලකින් තුනෙන් පංගුවක්  පමණ වෙනු ඇතැයි ගණන් බලා තිබෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් කළු කුහරයක් වන්නටනම් ඔහු ප්‍රෝටෝනයකටත් වඩා කුඩා විය යුතුයි.

තාරකා වල උපත හා විපත

(විශ්වයේ ඇති මෙවැනි වලාවන් තාරකා වල තිඹිරි ගෙදර හැටියට ක්‍රියා කරනවා. -oceudesophie.blogspot.com)

තාරකාවල උප්පත්තිය හා විපත එක් වරම සිදු නොවුණත්, අපේ ක්ෂීරපථයට අයත් තාරකාවල උප්පත්තිය හා සුපර්නෝවා සිද්ධීන් අධ්‍යනය කිරීමෙන් පසු තාරකා විද්‍යාඥයින් පවසන්නේ එක් දිනකට මේ විශ්වයේ තාරකා මිලියන 275ක් පමණ උපත ලබන අතර ඒ හා සමාන ප්‍රමාණයක් මි‍යැදෙන බවයි. ඉතින් වර්ෂයකට එම ප්‍රමාණය කොතරම්ද කියලා ගණනය කර බලන්න.

සුපර්නෝවාවක් -theatlantic.com

ක්ෂීරපථ අවුරුද්දක්

ක්ෂීරපථය තුළ අප සෞරග්‍රහමණ්ඩලයේ ගමන් මඟ -astronomy.stackexchange.com

පෘථිවියේ අවුරුද්දක් දළ වශයෙන් දින 365ක් වෙනවා. ඒ කියන්නේ පෘථිවිය සූර්යයා වටා එක වටා පරිභ්‍රමණය වෙන්නට ගත වෙන කාලයයි. ඔබ දන්නවාද අපේ සෞරග්‍රහමණ්ඩලයටත් එවැනි ‘අවුරුද්දක්’ තිබෙන බව? සෞර්ග්‍රහමණ්ඩලයට අපි අයත් වෙන ක්ෂීරපථය වටා ගොස් නැවත සිටි තැනට පැමිණීම මෙම ‘ක්ෂීරපථ’ හෝ ‘සෞරග්‍රහමණ්ඩල’ අවුරුද්ද හැටියට සළකන්න්ට පුළුවන්. ඒ සඳහා පෘථිවි අවුරුදු වලින් අවුරුදු මිලියන 230ක් ගත වෙනවා.ඒ කියන්නේ  අප සෞරග්‍රහමණ්ඩලය ක්ෂීරපථයේ අද ඇති ස්ථානයේ අවසන් වරට තිබෙන විට යාන්තම් ඩයිනෝසරයන් මේ ලොව පහළ වුණා පමණයි.

දවස දිගු වෙයි

sciencealert.com

පෘථිවියේ දවසක් ගත වීමට යන කාලය කොපමණදැයි යමෙකුගෙන් ඇසුවොත් පැය 24ක් කියා පොඩි ළමයෙක් වුණත් කියාවි. නමුත් වර්තමානය වන විට පෘථිවි දවසක් පැය 24කට මිලි තත්පර 2.5ක් වැඩියි සහ එය ක්‍රමයෙන් වැඩි වෙනවා. එනම් පෘථිවියේ භ්‍රමණ ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඇත්තෙන්ම ගත වන සෑම ශතවර්ෂයක් පාසා පෘථිවි දිනය මිලි තත්පර 1.4කින් වැඩි වෙනවා!. ඩයිනෝසරයන් මිහිපිට සිටි සමයේ පෘථිවි දිනයක් පැය 23ක් වන්නට ඇති අතර ක්‍රිව 1820 දී එය හරියටම පැය 24ක් වී තිබුණා.

පල්සර

www.wired.it

පල්සර යනු චුම්භක ප්‍රේරණයට ලක් වූ නියුට්‍රෝන තාරකායි. මේවා සිතාගැනීමට වත් නොහැකි තරම් වේගයෙන් භ්‍රමණය වන අතර විකිරණ කදම්බ ඉවතට විදිනවා. දැනට හඳුනාගෙන ඇති වේගවත්ම පල්සරය PSR J1748-2446ad නම් වන අතර එය ආලෝක වර්ෂ 18,000ක් ඈතින් ධනු රාශිය තුළ පිහිටා තිබෙනවා. මෙය සාමාන්‍ය තරමේ නියුට්‍රෝන තාරකාවක් වුවත් තත්පරයට 716 වතාවක් තරම් වේගයෙන් භ්‍රමණය වෙනවා. මේ වේගය ආලෝකයේ ප්‍රවේගයෙන් 4න් පංගුවක් තරම්. මේ සිදුවීම ඇත්තෙන්ම දැනට පිළිගත් සමහර න්‍යායයන් කඩා ඉහිරවන්නක්.

අපේ ක්ෂීරපථය හා ඇන්ඩ්‍රොමිඩා ඝට්ටන පථයක

ඇන්ඩ්‍රොමිඩා චක්‍රාවාටය -popgive.com

අපේ සෞරග්‍රහමණ්ඩලය පිහිටා තිබෙන ක්ෂීරපථය හා අපේ අසල්වාසියා වන ඇන්ඩ්‍රොමිඩා චක්‍රාවාටය එකිනෙකා ගැටෙන පථයක ගමන් කරමින් තිබෙනවා. නමුත් මෙය අසා කිසිවෙකුත් කළබල විය යුතු නැහැ. එය සිදු වන්නට නියමිත තවත් අවුරුදු බිලියන 3ක පමණ කාලයකට පසුවයි.

අඟහරුගේ පිහිටි සෞරග්‍රහමණ්ඩලයේ උසම කන්ද

za.pinterest.com

අප සෞරග්‍රහමණ්ඩලයේ පිහිටි උසම කන්ද අයත් වන්නේ අඟහරුටයි. ඔලිම්පස් මොන්ස් ලෙස නම් කර ඇති මෙහි උස කොතරම්ද යත් පෘථිවියේ උසම කන්ද වන එවරස්ට් මෙන් 2.5 ගුණයකටත් වඩා උසයි. උසින් මීටර 24,000ක් හෙවත් අඩි 80,000ක් උස මෙය දළ වශයෙන් ශ්‍රී ලංකාවේ සමනල කන්ද මෙන් 10 ගුණයකටත් වඩා උසයි. ගිණි කන්දක් ලෙස හඳුනාගෙන ඇති මෙහි මේ තරම් උසක් ගණනය වීමට හේතුව අඟහරුගේ මුහුදක් නැති වීම කියා කෙනෙක් තර්ක කරාවි. නමුත් මෙය එවරස්ට් කන්දේ උසත් මරියානා ආගාධයේ ගැඹුරත් එකතු කළ විට එන අගය වන මීටර 19882 ටත් වඩා මීටර 4012 ක් උසින් වැඩියි.

කවරයේ පින්තූරය -BBC.com

මූලාශ්‍ර

thefw.com

iflscience.com

Related Articles