Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුරාණ ලෝකයේ රණශූර කාන්තාවෝ: ඇමසන්

සාහසික සහ ආක්‍රමණකාරී ලෙස යුධ වැදුණු, යුධයේ පහසුව උදෙසා සිය දකුණු පියයුර කපා පුළුස්සා දැමූ කාන්තා රණශූරයින් පිරිසක් ගැන ග්‍රීක මිත්‍යාකතා වල සඳහන් වෙනවා. ඔවුන්ව හැඳින්වූයේ “ඇමසන්” යන නමින්. ඇත්තෙන්ම මෙවැනි කාන්තා රණශූරන් පිරිසක් සිටියා ද? ඔවුන් සිදුකළායැ යි ප්‍රසිද්ධ සාහිත්‍යයේ කියැවෙන දේ ඔවුන් සැබවින්ම සිදුකරන්නට ඇත් ද? මේ ලිපිය ඒ ගැන විමසා බලනවා.

තුවාල ලැබූ ඇමසන්වරිය – රෝමයේ කපි‍තෝලයේ ප්‍රතිමාවක්  (Wikimedia)

ඇමසන් කාන්තාවන් හා බැඳි මිත්‍යා

ප්‍රසිද්ධ විශ්වාසයන්ට අනුව, ඇමසන් රණශූර කාන්තාවන් අශ්වයන් පිට යුද්ධයට ගිය, පුරුෂයින් හා සම, නිර්භීත, බලවත්, සහ අභිමානවත් ගෝත්‍රයක්. යුධයට අධිපති ග්‍රීක දෙවියා වූ ඒරස්ගේ දියණියන් ලෙස ග්‍රීක දේවකතාවල සඳහන් වන මොවුන් දුන්න, හෙල්ලය, සහ පොරවෙන් සටන් කිරීමේ නිපුණ බව ග්‍රීක සාහිත්‍යය සඳහන් කරනවා. මොවුන් දුන්නෙන් විදීමේ පහසුව උදෙසා තමන්ගේ දකුණු පියයුර කපා දමා, තුවාලය පිළිස්සූ බවත්, ඔවුනට උපන් පිරිමි දරුවන්ගේ ලිංගේන්ද්‍රියන් ඉවත්කළ බව හෝ මරණයට පත්කළ බවත්, ඔවුන් බහුතරයක් දෙනා සමලිංගික කාන්තාවන් වූ බවත් තවත් ප්‍රසිද්ධ මතයක්.

දුනුදිය අදින ඇමසන්වරිය – මැටි බඳුනක් මත පින්තාරුවක්  (Ancient Pages)

කෙසේ නමුත්, මෑතකදී අනාවරණය වුණු තොරතුරු වලට අනුව, ඇමසෝනියානුවන් ගැන ප්‍රසිද්ධ සාහිත්‍යයේ සඳහන් කරුණු බොහොමයක් අතිශ්‍යයෝක්තියට නැඟූ දේ හා අසත්‍යයන් බවයි පැහැදිලි. එහෙනම් ඇමසන් රණශූර කාන්තාවන් පිළිබඳ සත්‍යය මොකද්ද?

ඉලියඩ්, ග්‍රීක දේව කතා, සහ ඇමසන් කාන්තාවන්

ක්‍රි. පූ. අටවන සියවසේ පමණ හෝමර් විසින් රචිත ඉලියඩ් කාව්‍යයේ, ඉන් වසර සිය ගණනකට පෙර සුළු ආසියාවේ ජීවත් වූ බවට සැලකෙන ඇමසන් නම් රණශූර ගෝත්‍රයක් ගැන සඳහන් වෙනවා. එහි “මිනිසාගේ සමානයින්”, හෝ “මිනිසාගේ එදිරිවාදියා” ලෙස අර්ථ දැක්විය හැකි උභයාර්ථවාචී පදයකින් ඇමසෝනියානුවන්ව හඳුන්වා තිබෙනවා. ඉලියඩ්හි සඳහන් වන ආකාරයට, රණශූර පුරුෂයින්ට තමාට වඩා දුර්වලයෙකු මරාදමන්නේය යන හැඟීමෙන් තොරව, ඔවුන් හා යුද වැදී ඔවුන්ව මරා දැමීම පුරසාරම් දෙඩිය හැකි තරමට ඇමසන් කාන්තාවන් විශිෂ්ට රණ ශූරයින්ව සිට තිබෙනවා.

යුධ වදින ඇමසන් කාන්තාවන් නිරූපනය වන, 4 වන සියවසේ ග්‍රීක මල් බඳුන් පින්තාරුවක් (Deagostini – Getty Images)

“ඇමසන්” යන නාමය සෑදුණු ආකාරය පිළිබඳව බොහෝ විවේචනයන් තිබෙනවා. පියයුර සඳහා වන “මේසෝස්” වදන ඉදිරියෙන් “ඇ” ප්‍රත්‍යය යෙදීමෙන් “පියයුර රහිත” යන අර්ථය දෙන “ඇමසන්” වදන බිහිවූවාය යන්න එක් මතයක්. අනෙක් මතයන් වන්නේ එය “එක්ව වසන” යන අරුත් දෙන “අම-සූසායි” යන වදනින් හෝ, “බඳපටි පළඳින” යන අරුත් දෙන “අම-සූනායිස්” යන වදනින් බිඳී ආ බව යි.

ග්‍රීක මිත්‍යා කතාවලත් ඇමසන් කාන්තාවන් ගැන සඳහන් වනවා. හර්කියුලීස්ට කිරීමට නියම වුණු වැඩ දොළසෙන් නමවැන්න වන්නේ ඇමසන්වරියන්ගේ ‍රැජින වූ හිපොලිතේගේ බඳ පටිය ‍රැගෙන ඒම යි.

හෙරඩොටස්ගේ ඇමසන් කාන්තාවන්

යුධ පුහුණුව ලබන ඇමසන් රණශූර කතුන් (Princeton University Press Blog)

පස්වන සියවසේ විසූ ග්‍රීක ඉතිහාසඥ හෙරඩොටස් සිය සටහන් වල ඇමසන් කාන්තාවන් ගැන සඳහන් කරනවා. හෙරඩොටස්ගේ සටහන් වලට අනුව අමසෝනියානු අගනගරය වී ඇත්තේ තර්මොඩන් ගං ඉවුරේ පිහිටි තෙමිස්කයිරාව යි. ඔවුන් පර්සියාව තරම් ඈත දුරකට භූමිය ගවේශනය කොට නව නගර බිහිකළ බව හෙරඩොටස් සඳහන් කරනවා. සිය ගෝත්‍රය පවත්වාගෙන යෑම උදෙසා වසරකට වරක් අසල්වාසී ගෝත්‍රයක පුරුෂයින් සමග සංවාසය කළ මොවුන්, එයින් උපන් පිරිමි දරුවන් ඔවුන්ගේ පියවරුන් වෙත යැවූ බවත්, ගැහැණු දරුවන්ව රණ ශූරයින් ලෙස පුහුණුකිරීම සඳහා හදාවඩාගත් බවටත් තව දුරටත් සඳහන් වෙනවා.

ඇකිලිස්, ඇමසන් ‍රැජිනක වූ පෙන්තසිලේ පරාජය කරයි (respublica.al)

පසු කලෙක තර්මොඩන්හි සටනින් ග්‍රීකයින්ට පැරදුණු ඇමසන් කාන්තාවන් සිරකරුවන් ලෙස අල්ලාගෙන ග්‍රීක් නැවකට දමා පිටත්කර යැවුවත්, ඔවුන් විසින් නැවේ ග්‍රීකයින් සියල්ල මරාදමනු ලැබ නැව පැදවීමට අසමත්ව කළු මුහුදේ සිතියානු වෙරළකට ගසාගෙන එනවා. එහි ගොඩබට මොවුන් පළමුව සිතියානුන් හා යුධ කළ නමුත්, පසුව ඔවුන් හා මුසුව විවාහ වූ බව සඳහන්. ස්ටෙප්ස් තණබිම් වෙත පැමිණි මොවුන්ගෙන් පැවත එන්නන් පසුව හැඳින්වෙන්නේ සොරොමාතේ ජනයා ලෙස යි. හෙරඩෝටස් සඳහන් කරන ආකාරයට සොරොමතේ කාන්තාවන් පිරිමින් හා සමාන ඇඳුම් ඇඳ අසුපිට දඩයමේ ගොස් ඇති අතර, ඔවුන් විවාහයට සුදුසු බව සැලකුණේ ඈ විසින් පළමුව යුධයේ දී පුරුෂයෙකු මරාදැමීමෙන් අනතුරුව යි.

ඇමසන් සංස්කෘතිය

ඇමසෝනියානු සංස්කෘතිය එකල පුරුෂ-මූලික සංස්කෘතිය වඩා බොහොම වෙනස් බව කියැවෙනවා. ඔවුන්ගේ රාජ්‍ය පාලනය ‍රැජින මූලික කාන්තාවන්ගෙන් සිදුවූ බව කියැවෙන අතර, දැරියන් කුඩාකල සිටම අසුන් පිට යෑමටත්, අසුන් මෙල්ල කිරීමටත්, දුන්න සහ ඊතලයත්, පොරවත්, හෙල්ලත්, පළිහත් පරිහරණයේ හුරු කෙරුණා.

1882 දී මුද්‍රිත පොතක ඇමසන් ‍රැජිනක රූපනය කර ඇත්තේ මෙසේයි. (Ivy Close – Alamy)

ඇමසන් කතුන් නිරූපනය වන පැරණි චිත්‍ර බොහොමයි. ඒවාට අනුව ඔවුන් ඉතා රූමත්, ක්‍රියාශීලී, සහ ධෛර්යයසම්පන්න කාන්තාවන්. ඇතැම් චිත්‍ර වලට අනුව ඇමසන් කාන්තාවන් සිය සිරුරේ පච්ච කෙටීම සිරිතක් කොටගෙන තිබෙනවා.

හෙරඩොටස්ගේ වාර්තාවන්ට අනුව ඇමසන් කතුන් ගංජා වැනි ශාක මත්ද්‍රව්‍යයක් භාවිතයට හුරුව සිට තිබෙනවා. එම ශාකයේ කොටස් දමා විශාල ගිනි මැලයක් අවුලවන මොවුන්, එම ධූමය ආඝ්‍රානය කර මත් වී, ගිනි මැලය වටා ගී ගයමින් නැටූ බව ඔහුගේ සටහන්වල සඳහන්.

ඇමසෝනියානුවන් සොයාගැනේ

පාදයන්හි සර්පයෙකු, මුවෙකු, හා තවත් මෝස්තර පච්ච කොටා තිබේ (pinterest)

හෙරඩෝටස්ගේ සටහන් වලින් පසු වසර දහස්ගණනක් යනතෙක් ඇමසන් කාන්තාවන් ගැන කිසිදු සඳහනක් නැහැ. නමුත් 1990 මුල් භාගයේ දී කසකස්ථාන දේශසීමා ආසන්නයේ රුසියානු යූරල් ස්ටෙප්ස්හි කැණීමක් අතරතුරේ වසර 2000ක් පමණ පැරණි සොහොන් බිමක් අනාවරණය කරගැනෙනවා. එහි දී එම බිමෙහි භූමදාන කර තිබූ සොරොමතේ, සහ ඔවුන්ගෙන් පැවත එන සාමේශියානු සිරුරු 150ක් පමණ ගොඩගැනෙනවා. මේ අතරේ තිබී හමුවන්නේ සිය ආයුධ ද සමග මිහිදන් කර තිබූ රණශූර කාන්තාවන් පිරිසකගේ සිරුරු කොටසුයි.

ඇමසන් කාන්තාවක් ග්‍රීකයෙකු හා සටනේ (pinterest)

මෙයින් එක් තරුණ කාන්තාවකගේ සිරුර නිරන්තර අසුපිට යෑම නිසා ඇද වූ පාදයන්, වම්පසින් කිරිච්චියක් සහ දකුණු අතින් ලෝකඩ තුඩු සහිත ඊතල 40ක් දැමූ කොපුවක් දරා සිටියා. තවත් කාන්තාවක් මියගොස් තිබුණේ ඇගේ සිරුර තුළට කාවැදුණු ඊතලයක් නිසා යි. මේ කාන්තාවන්ගේ සාමාන්‍ය උස අඩි 5යි අඟල් 6ක්. එය, එකල සාමාන්‍ය කාන්තාවකගේ උසට සාපේක්ෂව සැලකිය යුතු තරමේ ඉහළ උසක්. මේ, ග්‍රීක් ඉතිහාසයේ සඳහන් වන ඇමසන් රණශූර කාන්තාවන් විය යුතුයැ යි බොහොම දෙනා විසින් අනුමාන කෙරුණේ මේවාත්, තවත් බොහෝ සාධකයනුත් සලකා බැලීමෙන් අනතුරුව යි. මේ ඔවුන් වුවත්, නැතත්, ඇමසන් රණශූර කතුන් පිළිබඳ ජනප්‍රවාදයන්ට මුල්වන්නට ඇතැයි සිතිය හැකි අන්දමේ රණශූර කාන්තාවන් නම් කලෙක ජීවත්ව තිබෙන බවට මෙය සාධකයක්.

මූලාශ්‍රයයන්:

Ancient History Encyclopedia

Smithsonian.com

National Geographic

Greeka.com

Public Broadcasting Service (PBS)

CNN

Cover image: xena.png (GeekTyrant)

Related Articles