පැවිදි කම සැමට විවර කළ අමරපුර මහ නිකායේ ආරම්භය

සිරිලක සංඝ සමාජය තුල අමරපුර නිකායේ ආරම්භ වීම තුල එතෙක් සියම් මහ නිකායට අමතරව තවත් නිකායක් ලක්දිවට පහල විය. බුදු දහම වැනි ලෝකෝත්තර විමුක්තිය පිණිස වූ දහමක් එසේ නිකාය දෙකකට බෙදුනේ ගිහි කල කුල බේදය මහණකමටත් එබිකම් කරන්නට වූ නිසාය.

සියම් නිකායේ පැවිදි කරවීමේ නීතිය

22 අමරපුර මහ නිකායේ වර්ථමාන මහානායක කොටුගොඩ ධම්මාවාස මහනාහිමි අක්තපත්‍රය ජනාධිපති තුමන් අතින් ලබා ගනිමින්. (siyathanews.lk)

සියම් නිකායේ වුව ද ඕනෑම අයෙකුට සාමනේර බව ලබා ගැනීමට බාධාවක් නැති මුත් එහි උපසම්පදාවට පත් වීමේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස පැන වූ නීතියක් මගින් ගොවිගම කුලයෙන් පරිබාහිර අයට උපසම්පදාවට පත් වීමට නොහැකි ය. එකල කීර්ති ශ්‍රී රාජසිංහ රජ කල අඩු කුලයේ පිරිස් පැවිදි වී උපසම්පදාව ලැබුවත් රජු සහ ප්‍රභූන් හමුවේ ඔවුන් ගිහි කල පරිදි ඒ රදළ පැලැන්තිවලට ගරු කරන්නටත් හුනස්නෙන් නැගී සිටින්නට පවා පටන් ගෙන තිබේ. අවසන සංඝයා වහන්සේ ගේ ගරුත්වය ආරක්ෂා කරගනු වස් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ගේ මැදිහත්වීමෙන් උපසම්පදා කිරීමේ දී භික්ෂුවගේ කුල ගොත් විචාරීමේ සම්මතයක් පැණ වී තිබේ. එහෙත් සියමෙන් වැඩම වූ උපාලි හිමි සහ සරණංකර සංඝරාජ හිමි මූලික වී උපසම්පදා කර්මය සිදු කළ මුල්ම සංඝ පිරිස අතර ගොවිගම කුලයෙන් පරිබාහිර හිමිවරුන් ද වූහ. සිටිනාමළුවේ ධම්මජෝති හිමි සියම් නිකායේ මුල්ම උපසම්පදා කර්මයෙන් උපසපන් දකුණු පලාතේ ශාසනික සේවයට උරදුන් කීර්තිධර භික්ෂු රත්නයකි.

වැලිතර ඥානවිමල තිස්ස හිමිපානෝ

මහනුවර යුගයේ දී වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමිපාණන් ගේ මූලිකත්වයෙන් 1753 දී  සියම් රට (වත්මන් තායිලන්තය) උපාලි නම් තෙරණුවෝ වැඩම කරවා උපසම්පදා කර්මය නැවත ආරම්භ කරන ලදී. එහි දී වැලිවිට සඝරජ හිමිපාණෝ  බෞද්ධ වෙහෙර විහාර වලට අරක් ගෙන ස්වකීය ලාභය පිණිස මහණ වූ පිරිස් වලින් සසුන බේරා ගැනීමට කටයුතු කළේ ය.

බෝවල ධම්මානන්ද හිමි වැලිවිට සරණංකර සඝරජ හිමිපාණන්ගේ කාලයේ මාතර ප්‍රදේශයේ විසූ විචක්ෂණ තෙර නමකි. උන්වහන්සේ යන එන ගමනේ දී වැලිතර ප්‍රදේශයේ දී දක්ෂ කොලුවෙකු දැක දෙමාපිය අවසර ගෙන ඒ දක්ෂ දරුවා නුවර මල්වතු මහා විහාරයේ වැලිවිට ශ්‍රී සරණංකර සඝරජ හිමිපාණන් වෙතින් පැවිද්ද ලබා දුන්නේය. සඝරජ හිමිපාණෝ ලියූ ධර්ම පුස්කොළ පොත් පවා සිය ගෝල හිමිනමක වූ වැලිතර ඥාණවිමලතිස්ස හිමිපාණන් වෙතයැ ලෙස පවරා ලියා දී තිබීමෙන් ඥානවිමල තිස්ස තෙරණුවෝ දක්ෂ සිසුවෙකු වී බැව් නිගමනය කළ හැකි ය.

එහෙත් වැලිතර ඥාණවිමල තිස්ස සාමනේර තැනට උපසම්පදා ව ලැබීමට ක්‍රමයක් නැති විය. පරම්පරා කුලගොත් අනුව නියම වී ඇති ඇතැම් නීති රීති වැලිවිට ශ්‍රී සරණංකර සඟරජ හිමිපාණන්ට වුව සිය ගෝලනම වෙනුවෙන් වෙනස් කළ  නොහැකි ය. එබැවින් ඥානයෙන් සහ මහණ කමින් සුදුසුකම් ලැබුව ද වැලිතර ඥානවිමල හිමිපාණන්ට උපසම්පදාව ලබා නොගෙනම යළිත් දකුණු ලක වැලිතර ගමට වැඩම කරන්නට සිදු විය. 1778 වර්ෂයේදී සඝරජ සරණංකර හිමිපාණන් අපවත් වූ හෙයින් ඇතැම් විට තුරුණු වැලිතර සාමණේරයන්ට මල්වතු විහාරයේ වැඩ සිටීමේ යම් ගැටළු ඇති වන්නට ද ඇත.

මුහුදු ගමන සහ බුරුමයට වැඩම වීම

මෙකල වැවිලි ආර්ථික කටයුතු හේතුවෙන් 19 වන ශත වර්ශයේ දී  පහතරට ගොවි නොවන කුලවල ජනතාව වටා ද සැලකිය යුතු ධන බලයක් සමාජ බලයක් විය. ඔවුන් අතර මුදලි මුහන්දිරම් වරු ද විය. එවක පහතරට සාමාන්‍ය ජනයා සතුව තිබූ සිවිල් බලය වැඩි වීම හේතුකොට ගෙන ඔවුන්ගේ ආගමික ශාසනික කටයුතු වල ද දියුණුවක් ඇති විය.

සොයිසා විජය ශ්‍රී වර්ධන ජයතිලක රාජපක්ෂ මුදලිවරුන්ගේ ධන පරිත්‍යාගයෙන්  ඥානවිමල තිස්ස හිමි ඇතුළු සාමණේර පස් නමක් සියම කරා 1799 ගාලු වරායෙන් නැව් නැංගේය. ඒ යන ගමන සඝරජ වැලිවිට සරණංකර හිමිගේ සන්නසක් සහ උපසම්පදාව ඉල්ලූ සන්නස් පත්‍ර ද දූත පිරිස සතු වූ බැව් වාර්තාවල සඳහන් වේ.  ඉන්දියාව හරහා යාත්‍රා කළ මෙම පිරිසට ඉන්දියාවේ දී බුරුම වෙළෙන්දෝ පිරිසක් හමු වූ පසු සියමට යන්නට ගිය ගමන බුරුමයට වෙනස් විය.

බුරුමයට අද කාලයේ දී නම් අහස් යාත්‍රාවේ බලයෙන් ගුවන් තොටින් නැග පිවිසිය හැකි වුවත් එදා ගමන බුරුමයට කණ්ඩායම සැපත් වන විට 1800 අවුරුද්ද ද උදා වී තිබුණි. ඥානවිමල තිස්ස හිමිපානෝ ඇතුළු පිරිස මදක් එහි ධර්ම කාරණා ආදිය අධ්‍යයනය කොට උපසම්පදාව ලබා ගත්තේ ය. ඉන් පසු එහි වූ පාඨග්‍රන්ථ ආදිය කියවා ධර්ම ශාස්ත්‍රීය කටයුතු ආදියෙහි වසර දෙකක කාලයක් නිරත වූ පිරිස 1802 දී ලංකාව බලා පිටත් වූයේ බුරුම ජාතික හිමි නමක් ද කැටුව ය. වඩාත් ලෙහෙසියෙන් වචනයෙන් විස්තර කළ ද මෙය බැරෑරුම් කාර්යයකි. පසු කලෙක මේ ගමන් විස්තරයන්හී මෙම පිරිස වරක් කුණාටුවකට යාත්‍රාව හසු වූ කල මුහුදේ ගිල්වා එන්නට තැනූ බවක් ද  සඳහන් වේ.

පිඩුසිගා වඩින බුරුම භික්ෂූන් පිරිසක් (3.bp.blogspot.com)

මෙරට උපසපන් කර්මය ආරම්භ කිරීම

1803 දී මාදු ගඟේ තොටුපළ දී මෙම භික්ෂු පිරිස විසින් උපසම්පදා කර්මය නැවත ආරම්භ කරන ලදි. එහිදී ඕනෑම කුලයකින් පැවිදි බිමට පිවිසි තෙර නමකට උපසම්පදා බවට පත්වීමට අවකාශ ලැබෙන ලදි. නැවතත් නැව් නැග බුරුමයට ගිය ඥානවිමල තිස්ස හිමිපාණෝ බෞද්ධ ග්‍රන්ථ රැසක් අධ්‍යයනය කොට ඒවාද රැගෙන වසර දෙකකට පසු ලංකාවට වැඩම කළ සේක.

එදවස බුරුමය පාලනය කල  බුරුම රජතුමාගේ ගෙන්ද බුරුම සඟරජ හිමිපාණන් වෙතින් සන්නස් පත් ද ඥානවිමල තිස්ස හිමිපාණන් ට හිමි වූයේ උන්වහන්සේගේ  ශාසනික සහ දහම කෙරෙහි වූ කැප වීම හේතුකොට ගෙන ය. ඥානවිමල තිස්ස හිමිපාණන් වහන්සේ පසුව පහතරට දානපතීන් ගේ දායකත්වයෙන් අවස්ථා කිහිපයක දී හිමිවරුන් බුරුමයට වැඩම කොට ත්‍රපිටක ධර්මයත් ආශ්‍රිත ග්‍රන්ථ ආදියත් රැගෙන පැමිණි බැව් වාර්ථාවන් හි සදහන් වේ.

සියමේ අමරපුර නම් එවකට හැඳින් වූ දේශයෙන් උපසම්පදා කර්මය රැගෙන ආ බැවින් මෙය අමරපුර නිකාය ලෙස හැදින්විණි. මේ උපසම්පදා කර්මය සමඟ එවකට බුරුම සහ සියම් දේශවල පැවති ශාසනික චාරිත්‍ර වාරිත්‍ර අපගේ ශාසනය හා සම්බන්ධ විය. දානය පිළිගැන්වීමේ චාරිත්‍ර, පිරිකර පිලිගැනීම, වස් පිංකම් උත්සව පැවැත්වීම, පෙරහැර පැවැත්වීම, ආදී ශාසනික සේවාවන් සහ සංඝ සමාජය කෙරෙහි සියම් සහ බුරුම රටවල ආභාෂය ඇතැයි මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතා පෙන්වා දී තිබේ.

අමරපුර උපසම්පදා තහනම

පහතරට මාදු ගඟේ අමරපුර මංගල උපසම්පදා කර්මයෙන් කිපුණු සිංහලයන්ගේ ද මිෂනාරි  ක්‍රිස්තියානි පාර්ශවයේ ද බලපෑම මත රොබට් බ්‍රවුන්රිග් ඉංග්‍රීසි ආණ්ඩුකාර තැන විසින් තහනම් නියෝගයක් පනවන ලදි. ඥානවිමල තිස්ස හිමිපාණෝ  විසින් වැඩම කරන්නට යෙදුන නව නිකායේ උපසම්පදාව සියලුම කුල වලට එක සේ විවෘත වීම නිසා අලුතින් ශාසනික ප්‍රබෝධයක් ඇතිවන සෙයක් සෑම දෙසින්ම පෙනෙන්නට විය.

එවකට මෙරට ආර්ථිකයෙන් විශාල පංගුවක් අයත් ව තිබූ කුරුඳු වගා කිරීම හා ඒවා සැකසීමේ ශිල්පයේ කෙළ පැමිණියෝ සලාගම කුලයේ අය වූහ. සිය අඩු කුල ජනයාට ශාසනයට ඇතුලු වන්නට මහත් වැර වෑයමින් විවර කළ ද්වාරය බ්‍රවුන්රිග් ගේ නියෝගයෙන් වැසී යන්නට ඉඩ දීමට මෙම කුරුදු නිමැවුම්කරුවෝ එකහෙළා  විරුද්ධ වූහ. ඉංග්‍රීසි රජයට කුරුඳු සැපයීමේ සියලු මාර්ග ස්වදේශිකයින් විසින් අත්හිට වූයේ මහා වැඩවර්ජනයක් ආරම්භ කරමිනි.

එවකට ස්වදේශීය කුරුඳු කලාපයේ සිරිවර්ධන මුදළිදු ප්‍රබල චරිතයක් විය. ඔහුට ශාරිරික පීඩා කරන බවට තර්ජනය කළත් ඔහු ලන්දේසි කල 1733 දී මෙවන් කුරුඳු වැඩවර්ජනයක් ඇති වූ කලබගෑනිය මැනවින් ඉංග්‍රීසි මහතුන්ට විස්තර කරන්නට හේ  සමත් විය. අවසානයේ බ්‍රවුන්රිග් ගේ නියෝගය අවලංගු කරන්නට ඔහුටම සිදු විය.

මහනායක පදවි රුචි නොකළ ඥාණවිමල තිස්ස හිමිපාණෝ

1815 දී ඉංග්‍රීසින්ට මුලු ලංකාවම යටත් වූ පසු පත් වූ කීර්තිමත් ඉංග්‍රීසි ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස් මහතාණෝ බුරුම රජුගේ සහ සඝරජුගේ සන්නස් පත් බලා ඥාණවිමලතිස්ස හිමිගේ අවසරයකින් තොරව උපසපන් කර්මය කළ නොහැකැ යි අණක් නිකුත් කළේ ය. එයට එවකට සැදැහැවත් බෞද්ධ මුදලිවරුන්ගේ බලපෑම පැහැදිලිවම හේතු විය. ප්‍රායෝගිකව මෙයින් අනාගතයේ විය හැකි අවැඩ කල්පනා කළ  හිමිපාණෝ මැදිහත් වී උන්වහන්සේට දුන් බලය අවලංගු කොට අමරපුර නිකාය තුළ  නායක අධිකාරි බලය අඩු කරන්නට ක්‍රියා කොට තිබේ.

ශාසනික සේවාව සහ නිකාය බෙදීම

අමරපුර නිකායෙ මහ තෙර නමක් වූ වාදිසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපානෝ

මෙම සමස්ථ අමරපුර නිකාය ඇති වීමත් ඒ හරහා පහතරට බොදු ප්‍රබෝධය ඇති වීමත් රාජ අනුග්‍රහයෙන් හෝ රජය මැදිහත් වී කරන ලද ක්‍රියාකාරකමක් නොවේ. මහජනතාව මතින්ම පැන නැගි අවශ්‍යතාවයක් ඔවුන්ගේ මුදලිවරුන්ගේ ධන පරිත්‍යාගයෙන් සවිමත්ව ක්‍රියාවට නැගුණු ක්‍රියාදාමයකි.

පසු කලෙක 19වන සියවස අගභාගයේ දී කොළඹ කේන්ද්‍ර කොටගෙන වාදිසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණෝ බිහි වන්නේ අමරපුර නිකායෙනි. නමින් පාතරට වුව ද හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණෝ මල්වතු විහාරයෙන් බිහි වූ සියම් නිකායික මහ තෙර නමකි. බෞද්ධ වීම නිගාවකැ යි සැලකූ කලෙක කොලොම්තොට බෞද්ධ වෙහෙර විහාරස්ථාන, විද්‍යාල ඇති කොට බොදු පුබුදුව ශක්තිමත් කරන්නට මෙම සමකාලීන හික්කඩුවේ සුමංගල සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිවරු ප්‍රමුඛ මහා සංඝයා කටයුතු කළෝ ය. නිකාය කුල සිරිත් අනුව සුළු වෙනස්කමක් ඇතත් භික්ෂූන් වශයෙන් ඔවුහු ජාතික තලයේ දී එකඟව ක්‍රියා කළෝ ය.

කෙසේ වෙතත්, අමරපුර නිකාය මගින් ඇති වූ නව ශාසනික ද්වාරය ලක් බුදු සසුනට නව මානයක් එක් කළේ ය.  රාජ අනුග්‍රහයම ලැබෙන තෙක් පමා නොවී රාජ්‍ය මැදිහත්වීමකින් තොරව බුද්ධාගමේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීම තුළින් සුදුසුකම් ඇති සැමටම මහණ උපසම්පදා අවස්ථාව ලබා ගැනීමේ භාග්‍යය එයින් උදා විය.

කවර පොටෝව: witness-this.com

Related Articles