“There should be a limit on war – යුද්ධ කිරීමටද සීමාවක් ඇත”

පුරා 30 වසරක් ශ්‍රී ලංකාව තුළ පැවති යුදමය තත්වය 2009 වර්ෂයේදී නිමා වීමත් සමග මෙරට ආර්ථික, සමාජීය හා දේශපාලන සන්දර්භයන් දැඩි වෙනසකට බඳුන් විය. නමුත් පසු කාලීනව පැන නැගුණු විශාල ගැටලුවක් වූයේ මානුෂීය මෙහෙයුමක ස්වරූපයෙන් දියත් වුවද එහිදී දඬුවම් ලැබිය හැකි වැරදි සමූහයක් සිදු වූයේද යන්නයි. “සුදු කොඩි නඩුව”, “විදුලි පුටුව” සහ “හයිබ්‍රිඩ් අධිකරණය” මෙන්ම “ජිනීවා යෑම” වැනි වචන පවා දේශපාලන කරළියේ අතිශය ජනප්‍රිය මාතෘකා බවට පත් වීමත් සමගම ඒ කෙරෙහි පැවති මහජන අවධානය ද ඉහළ යන්නට විය. මානව හිමිකම් මෙන්ම ඒ හා අත්‍යන්තයෙන් බැඳී ඇති අනෙකුත් නීතීන් පිළිබඳව රටේ පොදු මහජනතාවගෙන් බහුතරයක් දෙනා නොදැන සිටීම හේතුවෙන් ඉතා පහසුවෙන් ජනතාව වෙත විවිධ මතවාදයන් ඉදිරිපත් කරන්නටත්, ඒ හරහා විවිධ වාසි ලබාගන්නටත් මෙරට දේශපාලකයන් හට අවස්ථාව සැලසුනු බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුත්තකි.

Roar පාඨක ඔබව මෙතැන් පටන් ගෙන එනු ලබන ලිපි පෙළ මගින් “යුද නීති” හෙවත් යුද්ධයක් සිදු කළයුතු ආකාරයන් පිළිබඳව අන්තර්ජාතිකව පිළිගත් නීති රීති මෙන්ම ඓතිහාසික සිරිත් විරිත් රැගත් “අන්තර්ජාතික මානුෂවාදී නීතිය” පිළිබඳව දැනුවත් කිරීම මාගේ අරමුණයි.

මොකක්ද මේ IHL?

අන්තර්ජාතික මානුෂවාදී නීතිය හෙවත් IHL (International Humanitarian Law) යනු යුධමය තත්වයක් තුළින් හටගත හැකි අයහපත් ප්‍රතිඵල හැකිතාක් අවම කරගැනීම සදහා බලපැවැත්වෙන මූලධර්මයන් සමුදායකි. යුද්ධයක නිරත විය හැකි ආකාරයන් මෙන්ම ඒවායේදී භාවිත කළ හැකි ක්‍රමෝපායයන් සඳහා මෙතුළින් සීමා පනවා ඇති අතර, තවදුරටත් යුධ කටයුතු වල නිරත නොවන පුද්ගලයින්ටද විශේෂ ආරක්ෂාවන් සපයා දී ඇත.

(rightsecretariat.ps)

මානව හිමිකම් (Human Rights) යනු මීට හාත්පසින්ම වෙනස් වූවකි. මනුෂ්‍යයෙක් ලෙස මෙලොව උපදින ඕනෑම පුද්ගලයෙක් හට මානව හිමිකම් අත්‍යන්තයෙන්ම හිමි වුවද ඕනෑම රටක යුධමය වාතාවරණයක් ආරම්භ වීමත් සමග එයට සම්බන්ධ වන පාර්ශවයන්ගේ මානව හිමිකම් අවලංගු වන අතර, ඒ වෙනුවට ඔවුන්ගේ අයිතිවාසිකම් හා වගකීම් පාලනය වනුයේ මානුෂවාදී නීතිය හරහා වේ. උදාහරණයක් ලෙස, යම් රටක යුධමය වාතාවරණයක් හට පසු ඒ හා සම්බන්ධ වන පුද්ගලයින්ගේ ජීවත් වීමට ඇති මානව හිමිකම (Right to live) අහිමි වේ. නමුත් හේතු සහගත නොවන අන්දමින් කිසිවෙකුත් මරණයට පත් කිරීමට මානුෂවාදී නීතියෙන් ඉඩක් ලබා දී නැත.

ඉතිහාසය

මානුෂවාදී නීතියේ ඉතිහාසය වර්ෂ 1864 දක්වා ඈත අතීතයට දිව යන්නකි. 1862 වර්ෂයේදී යුරෝපයෙහි පැවැති අති බිහිසුණු යුද සමය සියැසින් දැක කම්පනයට පත්වුණු හෙන්රි ඩ්යුනාන්ට් නැමැත්තාගේ ප්‍රධානත්වයෙන්, 1864 වර්ෂයේදී රටවල් දොළහක සහභාගීත්වය අැතිව පළමු ජිනීවා සමුළුව පැවැත්වීමත් සමගම මානුෂවාදී නීතිය නිසි පරිදි බලාත්මක කෙරුණු අතර, 1928 දී බලාත්මක කෙරුණු හේග් සම්මුතීන් හරහා ද මානුෂවාදී නීතිය වඩ වඩාත් ශක්තිමත් කෙරුණි.

සොල්ෆරීනෝහි මතකය හෙවත් “A memory of Solferino” නමින් ඔහු විසින් තම අත්දැකීම් අළලා ලියන ලද කෘතිය තුළින් හෙන්රි යෝජනා කර සිටියේ යුද සමයේදී තුවාල ලබන පුද්ගලයන්ගේ යහපත පිණිස රටවල්වල එකතුවෙන් පොදු සංවිධානයක් පිහිටුවා ගත යුතු බවයි. ඒ හරහා ජිනීවා සම්මුතීන් කෙටුම්පත් කිරීමට මග පෑදුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාතික රතු කුරුස සංවිධානය පිහිටුවීමටද මග සැලසුණි.

(humanityinwarblog.com)

එම යුධ සමයේදී ස්විට්සර්ලන්තය විසින් දරන ලද ස්වාධීන ප්‍රතිපත්ති සමුදායට දක්වන ගෞරවයක් වශයෙන් රතු පැහැති පසුබිමක ඇති සුදු පැහැති කුරුසයක වන ස්විට්සර්ලන්ත ජාතික ධජයෙහි ඇති වර්ණයන් මාරු කොට (එනම්, සුදු පැහැති පසුබිමක් මත ඇති රතු පැහැති කුරුසයක් ලෙස) රතු කුරුස සංගමයේ ධජය නිමවන ලදි.

(blogs.icrc.org)

IHL හා සබැඳි ජිනීවා සමුළු

ඒ අනුව 1949 වර්ෂයේදී පහත දැක්වෙන වපසරියන් හතර යටතේ ජිනීවා සම්මුති කෙටුම්පත් කෙරුණු අතර, ඒවා අන්තර්ජාතිකව පිළිගෙන බලාත්මක කොට තිබේ:

  1. යුද පිටියේදී තුවාල ලබන හා අසනීප වන සොල්දාදුවන්ගේ සුවපත් කිරීමේ සම්මුතිය
  2. යුද සමයන්වල සයුරේදී තුවාල ලබන හා අසනීප වන සොල්දාදුවන් සුවපත් කිරීමේ සම්මුතිය
  3. යුද සිරකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය
  4. යුද සමයන්හීදී සිවිල් වැසියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සම්මුතිය

මීට අමතරව, 1977 වසරේදී යුද වින්දිතයන්ගේ ආරක්ෂාව පිණිස (protection for victims of armed conflicts) ජිනීවා සම්මුති සඳහා අමතර ප්‍රොටොකෝල දෙකක් හඳුන්වා දුන් අතර ඉන් පළමුවන ප්‍රොටොකෝලය රටවල් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර සිදුවන යුධමය තත්වයක් හෙවත් අන්තර්ජාතික සන්නද්ධ අරගල (International armed conflicts) වෙත බලපැවැත්වෙන අතර, ඉන් දෙවැනි ප්‍රොටොකෝලය අන්තර්ජාතික නොවන හෙවත් යම් රටක අභ්‍යන්තරයේ සිදුවන සන්නද්ධ අරගල (Non-international armed conflicts) වෙත බලපැවැත්වේ. ජිනීවා සමුළු හා ප්‍රොටොකෝල අතුරින් දෙවැනි ප්‍රොටොකෝලය හැර අනික් සියල්ලටම ශ්‍රී ලංකා රජය අත්සන් කොට මෙරට තුළ බලාත්මක කොට ඇත.

අන්තර්ජාතික මානුෂවාදී නීතියෙහි තවත් වැදගත් ලක්ෂණයක් වනුයේ ජිනීවා සම්මුතීන් හතර හරහා ආරක්ෂා වන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස පමණක් නොව, තවත් වපසරීන් රැසක් ආවරණය වන පරිදිද නීති පනවා තිබීමයි. ඒ අනුව, යුදමය තත්වයන්ට මැදි වන ප්‍රදේශයන්හි පවත්නා සංස්කෘතිකමය වටිනාකමක් ඇති නටඹුන් ආරක්ෂා කිරීමේ සම්මුතිය (1954), ජෙෙව විද්‍යාත්මක ආයුධ පාලනය කිරීමේ සම්මුතිය (1972), රසායනික අවි පාලනය කිරීමේ සම්මුතිය (1993) යනාදී ඊට සමගාමී සම්මුතීන් රාශියක් ද පනවා ඇත.

යුධ අපරාධවලට එරෙහිව නිසි දඬුවම් පමුණුවන අන්තර්ජාතික යුධ අධිකරණය හෙවත් ICCය (International Criminal Court) යනු රෝම ගිවිසුම යටතේ (Statute of Rome) යටතේ ක්‍රියාත්මක වන වෙනත් යාන්ත්‍රණයක් වන නමුත් එහි ක්‍රියාකළාපයන් IHL හා ජිනීවා සම්මුති සමග නිසඟයෙන්ම බැඳී ඇත.

frontlinemindanaobalita.blogspot.com

අන්තර්ජාතික මානුෂවාදී නීතිය, චාරිත්‍රමය යුද නීති හා එහි භාවිතය මෙන්ම එම නීතීන් ශ්‍රී ලංකාව තුළ බලපැවැත්වෙන ආකාරය පිළිබඳව ඉදිරි ලිපි තුළින් කථා කරමු.