Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ළදරු සිරුරුවලින් බෝනික්කන් සෑදූ රුසියානුවා

ලොව වෙසෙන විවිධාකාර මිනිසුන්ට නොයෙක් ආකාරයේ ආශාවන් තිබෙනවා. මින් බොහොමයක් සම්මත සමාජ ක්‍රමයට පටහැනි නොවූ ‘සාමාන්‍ය’ ගණයට වැටෙන ඒවා වන අතර, ලොව බොහෝ දෙනා විසින් ජුගුප්සාජනක ලෙස සලකන ඉතාම විකාර රූපී ආශාවන් ඇති අයවලුන් ද කලාතුරකින් අපට හමුවනවා.
කුඩා කල සිට බුද්ධිමතෙකු මෙන්ම ඉතිහාසය පිළිබඳ පෘථුල දැනුමක් තිබෙන අයෙකු ලෙස නම් දරා සිටි රුසියානු ජාතික ඇනටොලි මොස්ක්වින්ටත් විවිධාකාරයේ ආශාවන් තිබුණා. ඉතිහාසය පිළිබඳ ගැඹුරටම අධ්‍යයනය කිරීම ඔහුට තිබූ ‘සාමාන්‍ය’ පන්නයේ ආශාවක් වන අතර, ප්‍රදේශයේ සුසාන භූමි පිළිබඳ අධ්‍යයනය කිරීමත් ඊට ඇතුළත් වුණා. ඔහුට තිබූ තරමක් අසාමාන්‍ය නමුත්, විකාර රූපී නොවන තවත් විනෝදාංශයක් වූයේ විශාල රෙදි බෝනික්කන් තැනීම යි. කෙසේ නමුත්, මාධ්‍යවේදියෙකු ද වන මොහුගේ මේ ආශාව පසුපා සැඟවී තිබූ විශාල අභිරහසක් 2011 වසරේ දී හෙළි වුණා. ඒ, මොහුගේ මේ ‘බෝනික්කන්ට’ යම් කාලයක දී ඇත්තටම පණ තිබූ බව යි.

අසාමාන්‍ය අත්දැකීමක්

ඇනටොලි මොස්ක්වින්- soserial.wordpress.com

1966 වසරේ රුසියාවේ නිෂ්නි නොව්ගොරොද් හි උපන් ඇනටොලි මොස්ක්වින්, කවුරුත් අතර ජනප්‍රියව සිටියේ විද්වතෙකු ලෙස යි. භාෂා 13ක් හොඳින් හැසිරවීමේ හැකියාව තිබූ ඔහුට ඉතිහාසඥයෙකු හා මාධ්‍යවේදියෙකු වන්නට එය වඩා පහසුවක් වුණා. මොස්ක්වින් වැඩි කාලයක් ගත කළේ ප්‍රදේශයේ සුසාන භූමිවල යි. ඔහු ඒවායේ ඉතිහාසය මෙන්ම ප්‍රවෘත්තිමය අගය පිළිබඳව සැලකිළිමත් වන්නේ යැයි සිතූ බොහෝ දෙනා ඒ පිළිබඳව කුකුසක් නොදැක්වූ අතර, ඊට ආධාර උපකාර ද කළා. බොහෝ දෙනා ඒවායේ ඉතිහාසය පිළිබඳ වැඩිමනක් කරුණු මොස්ක්වින්ගෙන් අසා දැනගන්නට ද ප්‍රිය කළා. එමෙන්ම, ඔහු විසින් ‘යෝධ රෙදි බෝනික්කන්’ සෑදීම ද බොහෝ දෙනාට රහසක් නොවූ අතර, ඔවුන් මේ විද්වතාගේ අත්කම් හැකියාව පිළිබඳව ද පැහැදුණා.

මොස්ක්වින් නිතරම පුවත්පත්වලට විවිධාකාරයේ ලිපි ඉදිරිපත් කළා. මේ අතර වැඩිමනක්ම වූයේ සුසාන භූමි හා සබැඳි ඉතිහාසය යි. හදිසියේම 2011 වසරේ ඔක්තෝබර් 26 වැනි දා පුවත්පතකට ලියූ ලිපියක ඔහු අමුතුම පන්නයේ ‘හෙළිකිරීමක්’ සිදුකරනවා. ඒ ඔහු 13 වියැතිව සිටින විට ලත් අත්දැකීමක් පිළිබඳව යි.
1979 වසරේ එක් දිනෙක පාසල් ඇරී එමින් සිටිය දී කළු හැඳගත් කිහිපදෙනෙකු විසින් ඔහු නවතා තිබෙනවා. ඔවුන් 11 වි‍යැති නතාෂා පෙත්‍රෝවා නම් දැරියකගේ අවමංගල්‍යයට සහභාගී වෙමින් සිට ඇති අතර කුඩා මොස්ක්වින් ග්‍රහණය කරගෙන, පෙත්‍රෝවාගේ සිරුර සහිත පෙට්ටිය විවර කොට, ඔහු එහි හොවා එහි දෙතොල් සිපගන්නා ලෙස බල කර තිබෙනවා. අනතුරුව මියගිය දැරියගේ මව මොස්ක්වින්ගේ අතට මංගල මුදුවක් දමා, අනතුරුව දැරියගේ අතටත් මුදුවක් දමා තිබෙනවා.
සිය ලියමනෙහි වැඩිදුරටත් කරුණු දක්වමින් මොස්ක්වින් පවසා ඇත්තේ තමන් නතාෂා හා වූ විවාහයට කැමති වූ බව යි. ඉන් අනතුරුව තමන් ප්‍රාතිහාර්යයන් කෙරෙහි විශ්වාස කරන්නට පටන්ගත් බවත් ඔහු පවසා තිබුණා. මෙහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් ඔහුගේ ක්‍රියා පටිපාටීන්වල අසාමාන්‍යතාව පිළිබඳව ලෝකයාට මුලින්ම ඍජු ඉඟියක් ලැබුණේ මේ සිද්ධියෙනුයි.

ආශාව පසුපස

නව යොවුන් වියෙහි තරුණයෙකු බවට පත් වූ පසු මොස්ක්වින්ට මළසිරුරු සිපගැනීමේ ආශාව තදින් දැණුනා. මේ සඳහා සුදුසු සිරුරු සොයා ප්‍රදේශයේ සුසාන භූමි සියල්ලේම කරක් ගසන්නට ඔහු තීරණය කරන්නේ මේ අනුව යි. ඔහුගේ අධ්‍යාපනික පසුබිම හා ප්‍රතිභාව කිසිදු කරදරයකින් තොරව මේ කර්තව්‍යය කරගෙන යන්නට ඔහුට උපකාරී වුණා.

මොස්ක්වින් හා ඔහුගේ ‘බෝනික්කන්’ සමහරක්- Russian Interior Ministry/dailymail.co.uk

කෙටිකලෙකින් ම මොස්ක්වින් සුසානභූමි පිළිබඳ ‘විශාරදයෙක් වුණා. ඔහු ඒ පිළිබඳ සටහන් ලියන්නට ගත්තා. මේ නිසා ප්‍රදේශයෙ බොහෝ දෙනා තුළ ඉතිහාසඥයෙකු ලෙස ගෞරවයක් හා පිළිගැනීමක් ඔහු පිළිබඳ ඇති වුණා. කෙසේ නමුත්, ඇත්තෙන්ම ඔහුගේ අභිප්‍රාය වූයේ රූමත් ළදරු, ළමා මෙන්ම යොවුන් තරුණියන්ගේ සුසානයන් කරා ගොස්, ඒවා බිඳ ඒ සිරුරු සිපගැනීම යි. මින් වඩාත් සිත්ගත් සිරුරු නිවෙස කරා ගෙන ගොස් මමිකරණය කොට තබාගන්නට ද ඔහු ක්‍රියා කළා. මෙය ලොවට රහසක් වූවත්, ඔහු ලියූ ලිපිවල වක්‍රාකාරයෙන් එය කිහිප විටෙක දී ම ඔහු කියා තිබෙනවා. කෙසේ නමුත්, කිසිවෙකුට ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු වූයේ නැහැ. මොස්ක්වින්ට අනුව 2005-2007 කාල වකවානුව තුළ දී පමණක් ඔහු සුසානයන් 752ක් ‘අධ්‍යයනය’ කර තිබෙනවා. ඔහු ඒ සියල්ලගේ ම සම්පූර්ණ විස්තර සොයාගෙන තිබුණේ කාලගුණයෙන් හා අනෙකුත් ආකාරවලින් එල්ල වූ බාධක රාශියක් මැඩගෙන යි. මේවා අනුසාරයෙන් ඔහු ලියූ රසවත් ලිපි බොහෝ දෙනා ආශාවෙන් කියැවූවා.

මොස්ක්වින් හසුවෙයි

කලක පටන් නිෂ්නි නොව්ගොරොද් හි තරුණියන් හෝ කුඩා දැරියන් වළදැමූ සුසානයන් හාරා දැමීම් හෝ සිරුරු සොරකම් කරගෙන යාමි කිහිපයක්ම වාර්තා වුණා. කෙසේ නමුත්, මේවා කරන්නේ කවුරුදැ යි යන්න අනාවරණය වූයේ නැහැ. 2009 වසර පමණ වන විට මේ තත්ත්වය වඩාත් බරපතළ වුණා. මේ නිසා මේ පිළිබඳව සොයා බලන්නට ප්‍රදේශයේ පොලීසිය ද වැඩි උනන්දුවකින් කටයුතු කළා. එනමුදු, වසර 2ක් ගත වන තුරුත් සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ.

2011 වසර වන විට මේ සොරකම ඉතාමත් බරපතල ව සිදු වූ අතර, ප්‍රදේශයේ වූ මුස්ලිම් සුසානභූමි හාරාගෙන සිරුරු සොරකම් කරගෙන යාම බහුලව සිදුවන්නට ගත්තා. මේ ඔස්සේ වැඩි අධ්‍යනයන් සිදුකරන්නට පොලිසිය පටන්ගත් අතර, එහි දී සොහොන්ගල්වලට හානි නොකර එහි පින්තූර අළුතෙන් පින්තාරු කරන අයෙකු පිළිබඳව හෝඩුවාවක් ඔවුනට ලැබුණා. රැක සිට මෙම සොරා අල්ලාගන්නට ඔවුන් සමත්වන අතර, සියල්ලන් පුදුමයට පත් කරමින් එලෙස පොලිස් භාරයට පත් වී සිටියේ ඇනටොලි මොස්ක්විනුයි.

මොස්ක්වින් බෝනික්කෙකු ලෙස සකසන ලද දැරියක්- wickedhorror.com

වහාම ඔහුගේ නිවස්නය පරීක්ෂා කෙරුණු අතර, එහි දී මමිකරණයට ලක්කර බෝනික්කන් ලෙස හැඩගන්වා තිබූ ගැහැණු මළසිරුරු 29ක් සොයා ගන්නට ඔවුන්ට හැකි වෙනවා. මේ සියල්ල ම වයස අවුරුදු 3 සිට 25 දක්වා වූ අයවලුන්ගේ වුණා.

මොස්ක්වින් සහ බෝනික්කෝ

ඒ වන විට 45 වියැතිව සිටි ඇනටොලි මොස්ක්වින් ඉහත කී මමිකරණය කරන ලද සිරුරු රෙදි යොදා ගෙන බෝනික්කන් ලෙස හැඩ ගන්වා තිබුණා. මේවා ස්පර්ෂ කළ විට විවිධ හඬ හා සංගීත රාවයන් නැඟෙන ලෙස ඔහු සකසා තිබූ අතර, සුසාන භූමිවලින් ගලවා ගත් පින්තූර ද එම පරිශ්‍රයේ වුණා. මීට අමතරව, ඒ ඒ සිරුරු අවට විවිධ සෙල්ලම් භාණ්ඩ ද තබා තිබුණා. සමහරක් සිරුරුවලට ඔහු ප්ලාස්ටික් ඇස් සවිකර තිබූ අතර, රූපවාහිනිය ඉදිරියේ වාඩි කර තිබුණා.

පොලිසියෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ මොස්ක්වින් පවසා සිටියේ තමන්ට තනිකමක් දැනෙන නිසා මෙලෙස සිදුකළ බව යි. ඔහුට දරුවෙකු දරුකමට සාදාගන්නට උවමනාව තිබූ මුත් ආදායම් මද බව නිසා ඊට නීතියෙන් අවසර නොලැබුණු බව, ඔහු වැඩිදුරටත් පවසා සිටියා. එමෙන්ම මළසිරුරුවලට නැවත පණ දීමට හැකි ක්‍රමයක් අනාගතයේ සොයාගනු ඇතැ යි තමන්ට විශ්වාසයක් තිබෙන බව ද ඔහු සඳහන් කළා. සිරුරු නරක් වීම වැළැක්වීමට ඔහු බේකින් සෝඩා ද්‍රාවණයක් යොදාගෙන තිබූ අතර, සියලු දෙනාගේ ම උපන්දින ද සමරා තිබුණේ තමන්ගේ ම දරුවන් ලෙස සලකාගෙන යි.

මොස්ක්වින් අද- news.com.au

මොස්ක්වින්, සොහොන් කැඩීම ඇතුළු චෝදනා ගණනාවක් ගොනු කෙරෙමින් ඉදිරිපත් කෙරුණු අතර, එහි දී ඔහු මානසික වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණා. එහි දී ඔහු යම් මානසික ආබාධයකින් පෙළෙන බැව් තහවුරු වූ අතර, සිරගතව සිටිය දී ම ඊට ප්‍රතිකාර ලබන්නට නියම කෙරුණා. වසර ගණනාවක් ප්‍රතිකාර ලැබීමන් පසු 2018 වසරේ අග භාගයේ පටන් වෛද්‍යවරුන් ඔහු නිවසේ සිට ප්‍රතිකාර ලබා ගත හැකි මට්ටමට පත් වී ඇති බැව් ප්‍රකාශ කළා.

Related Articles