පැරණි ලෝක පුදුමයන් එදවස පැවතුණේ කොහොමද?

ග්‍රීක ජාතික දේශ ගවේෂකයින් විසින් රචිත ග්‍රන්ථ සහ කාව්‍ය කෘතීන් අධ්‍යයනය කිරීමේ දී හඳුනාගත හැකි සම්භාව්‍ය පුරාතන යුගයේ දී ගොඩ නැංවූ අපූර්ව ඉදි කිරීම් හතක්, පැරණි ලෝක පුදුමයන් ලෙස හඳුන්වන අතර මෙවැනි ලේඛනයක් මුල් වරට සකසා ඇත්තේ ක්‍රිස්තු පූර්ව පළමු හෝ දෙවැනි සියවසේ දී වුවත් වර්තමානයේ පිළි ගන්නා පැරණි ලෝක පුදුමයන් හත පිළිබඳව නිශ්චිත අවසානයකට එළැඹී ඇත්තේ පුනරුද සමයේදීයි. හොරෝඩටස් නම් ග්‍රීක ඉතිහාසඥයා විසින් මුල් කාලයේ දී සැකසූ ලේඛනයක් අදටත් ඊජිත්තුවේ ඇලෙක්ස්‍රාන්ඩ්‍රියා කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.

වර්තමානයේදී දක්නට ඇති එකම පැරණි ලෝක පුදුමය වන ගීසාහි මහා පිරමීඩය (wallpapercave.com)

මෙම ලෝක පුදුමයන් හතෙන් වර්තමානයේදී දක්නට ඇත්තේ ගීසාහි මහා පිරමීඩය පමණි. අනෙකුත් ලෝක පුදුමයන් සියල්ලම පාහේ විවිධ හේතූන් නිසා විනාශ වී ඇති අතර ඇතැම් ස්ථාන පිහිටියේ කොහේද යන්න ගැන පවා නිශ්චිත තොරතුරු හමුවී නැහැ. නමුත් ඉතිහාසඥයන් අනුමාන කරන ආකාරයට ඉපැරණි ලෝක පුදුමයන් සෑම එකක්ම පාහේ මධ්‍යධරණී සහ මැද පෙරදිග කලාපය ආශ්‍රිතව පිහිටා තිබෙනවා.

ගීසා හි මහා පිරමීඩය

ඊජිත්තුවේ ගීසා නගර මායිමේ පිහිටා ඇති ගීසාහි පිරමීඩ ත්‍රිත්වයෙන් පැරණිම සහ විශාලම පිරමීඩය, ගීසා හි මහා පිරමීඩය ලෙස හඳුන්වනවා. එය සැලකෙන්නේ ඉපැරණි ලෝක පුදුමයන් හත අතරින් විනාශ නොවී පවතින එකම ඉදි කිරීම වශයෙන්. ක්‍රිස්තු පූර්ව 2580 – 2560 අතර කාලය තුළ මෙය ඉදි කරන ලද්දේ හතර වැනි රාජ වංශය තුළ සිහසුන දැරූ කූෆු නම් පාරාවෝ රජුගේ සොහොන් කොත ලෙසයි. අඩි 481ක උසකින් යුතු ගීසාහි මහා පිරමීඩය වසර 3,800 කට අධික කාලයක් තිස්සේ මිනිසා විසින් නිර්මාණය කරන ලද උසම ඉදි කිරීම ලෙස සලකනු ලැබුවා.

ගීසා හි මහා පිරමීඩය අතීතයේ දී පැවති ආකාරය (dkfindout.com)

අතීතයේ දී ගීසා හි මහා පිරමීඩය ශෛලමය වැස්මක් මගින් ආවරණය කර තිබුණා. එම ශෛලමය වැස්ම නිර්මාණය කර තිබුණේ හොඳින් ඔප දමන ලද සුදෝසුදු හිරිගල් යොදා ගෙනයි. හාවඩ් විශ්ව විද්‍යාලයේ ඊජිප්තු නෂ්ටාවශේෂ අධ්‍යයනය පිළිබඳ පුරාවිද්‍යාඥ ජැකලින් විලියම්සන් පවසන්නේ එම හිරිගල් කාන්තාරයට වැටෙන හිරු එළිය සංකේතවත් කරමින් මනාව ඔප දමා කැටයම් කර තිබෙන්නට ඇති බවයි. වර්තමානයේදී දක්නට ඇත්තේ එම හිරිගල් ආවරණයට යටින් පිහිටි ශෛලමය ගර්භය පමණක් වුවද අදටත් පිරමීඩ පාදම වටා කැඩී ගිය හිරිගල් කොටස් දක්නට ලැබෙනවා.

බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය

බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානයේ පිහිටීම පිළිබඳව අදටත් නිශ්චිත තීරණයකට එළැඹී නොමැති වුවත් පුරාවිද්‍යාඥයින් අදහස වන්නේ එය වර්තමාන ඉරාකයේ හිලා හෝ නෙනෙවා නගර ආශ්‍රිත ව පිහිටා තිබෙන්නට ඇති බවයි. පැරණි ග්‍රීක ඉතිහාසඥයින් වන බොරෝසස් සහ ජොසීෆස් ඔවුන්ගේ ලේඛනවල දක්වා ඇති ආකාරයට ක්‍රිස්තු පූර්ව 605 – 562 අතර කාලය තුළ නව-බැබිලෝනියානු පාලකයෙකු වූ දෙවැනි නෙබ්‍යුකද්නසාර් රජතුමා විසින් ගොඩ නංවන ලද මෙය ක්‍රිස්තු වර්ෂ පළමු වැනි සියවසේ දී හඳුනා නොගත් හේතුවකින් විනාශ වූ බව සැලකෙනවා. නමුත් ලේඛනවල හැරෙන්නට බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය පැවති බවට වෙනත් කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් තවමත් හමුවී නැහැ.

ඉතිහාසඥයින්ට අනුව බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය පැවති ආකාරය (planeta-best.ru)

පැරණි ලේඛනයන් හි සඳහන් ආකාරයට දෙවැනි නෙබ්‍යුකද්නසාර් රජතුමා විසින් මෙම උයන නිර්මාණය කරන ලද්දේ ඔහුගේ බිසව වූ මීඩියා (එනම් වර්තමාන ඉරානයේ වයඹ දිග පෙදෙස ආශ්‍රිත ව පැවති ශිෂ්ටාචාරයක්) හි ඇමටිස් රැජින වෙනුවෙන්. බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය නිර්මාණය කිරීමට මූලික හේතුව ලෙස සැලකෙන්නේ ඇමටින් රැජිනට ඇගේ උපන් දේශයේ පැවති හරිත පැහැ කඳු වැටි සහ සානු දක්නට නොලැබීමේ සාංකාව මග හැරීමයි. බොහෝමයක් ලේඛනයන් හි මෙය වෘක්ෂලතා පිරුණු ආරෝහණ පිළිවෙළට පැවති ස්තර කිහිපයකින් යුත් උයනක් ලෙස විස්තර කර තිබෙනවා. එසේ ම ඇතැම් ලේඛනවල සඳහන් වී ඇත්තේ මෙය මැටියෙන් සැකසූ ගඩොල් මත ගොඩ නංවන ලද හරිත පැහැ කඳු වැටියක් මෙන් පෙනුන බවයි.

එෆසස් හි පිහිටි ආටිමස්ගේ දෙවොල

ආටිමස් දෙවඟන (yathra123.blogspot.com)

වර්තමාන තුර්කියේ සෙල්කක් නගරය ආසන්නයේ පැවතුණු ආටිමස්ගේ දෙවොල ක්‍රිස්තු වර්ෂ 401 දී පමණ ගොතික්වරුන් විසින් විනාශ කර දැමීමට පෙර තෙවරක් සම්පූර්ණයෙන්ම යළි යළිත් ගොඩ නංවන ලද බව මූලාශ්‍රයන්හි දක්වා තිබෙනවා. වර්තමානයේදී මෙම දෙවොලේ පාදම සහ මූර්ති ශේෂ අදාළ ප්‍රදේශය ආශ්‍රිතව දකින්න පුළුවන්.

දඩයමට, වනාන්තරවලට, කඳු වැටිවලට, චන්ද්‍රයාට සහ දුනු ශිල්පයට අධිපති ග්‍රීක දෙවඟන ලෙස සැලකෙන ආටිමස් වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම දෙවොල මුල් වරට ඉදි කරන ලද්දේ ක්‍රිස්තු පූර්ව 3300 – 1200 අතර කාලය තුළදීයි. නමුත් එය ක්‍රිස්තු පූර්ව 7 වැනි සියවසේ දී පමණ ගංවතුරක් හේතුවෙන් විනාශ වූ අතර නැවත ක්‍රිස්තු පූර්ව 550 දී පමණ ගොඩ නංවන ලද දෙවොල ක්‍රිස්තු පූර්ව 356 දී හෙරොස්ට්‍රාසස් විසින් ගිනි තබා විනාශ කළා. පසුව තෙවැනි වතාවට ක්‍රිස්තු පූර්ව 323 දී ගොඩ නැංවීම අරඹන ලද දෙවොලයි පැරණි ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන්නේ.

තුර්කියේ පිහිටි ආටිමස්ගේ දෙවොලේ අනුරුවක් (en.wikipedia.org)

වර්ග අඩි ලක්ෂය ඉක්ම වූ බිම් පෙදෙසක පැතිරුණු දෙවොල අඩි හැටක් පමණ උස රන් හෝ රිදී ආලේපිත කුලුනු 127 ක් පමණ මත ඉදිකර තිබුණා. මූලික වශයෙන් කිරිගරුඬ යොදා ගනිමින් නිමවූ දෙවොල තුළ ආටිමස් දෙවඟන සඳහා පූජාසනයක් ඉදිකර තිබුණු අතර ඇතැම් මූලාශ්‍රයන්හි සඳහන් වන්නේ ආටිමස්ගේ පිළිරුවට අමතරව වෙනත් දේව රූපද දෙවොල තුළ තැන්පත් කර තිබුණු බවයි. එසේම දෙවොලේ වහල විවිධ සිතුවම් යොදා ගනිමින් අලංකාර කර තිබෙනවා.

ඔලිම්පියා හි සියුස් ප්‍රතිමාව

ග්‍රීක ජාතික මූර්ති ශිල්පියෙකු වූ ෆීඩියස් විසින් ක්‍රිස්තු පූර්ව 435 දී ගොඩ නංවන ලද සියුස් දෙවිඳුන්ගේ මෙම හිඳි පිළිමය තැන්පත් කර ඇත්තේ ග්‍රීසියේ ඔලිම්පියාහි පිහිටා ඇති සියුස් දෙවිඳුන්ගේ දේවාලයේයි. අඩි 43 ක පමණ උසකින් යුතු මෙම ප්‍රතිමාව නිර්මාණය කිරීම සඳහා මූලික වශයෙන් ඇත් දළ යොදාගෙන ඇති අතර අනෙකුත් අලංකරණ කටයුතු සඳහා රන්වන් කැටයම් ලෑලි, කළුවර ලී සහ නොයෙක් වර්ණ මිණි කැට භාවිතා කර තිබෙනවා.

ඔලිම්පියා හි සියුස් ප්‍රතිමාවේ උපකල්පිත සිතුවමක් (dkfindout.com)

ක්‍රිස්තු වර්ෂ 5 වැනි සහ 6 වැනි සියවස් අතර කාලයේදී කොටස්වලට ගලවා කොන්ස්තන්තිනෝපලයට ගෙන ආ මෙම ප්‍රතිමාව එහිදී යළි ප්‍රතිෂ්ඨාපනය කරන ලද අතර පසු කාලීන ව ගිනි ගැනීමෙන් විනාශයට පත් වුණා. යළි ඉදි කිරීමක් සිදු නොවූ මෙම ප්‍රතිමාව පිළිබඳ විස්තර ඇතුළත් මූලාශ්‍රයන් වන්නේ පැරණි ග්‍රීක ලේඛන සහ ප්‍රතිමාවේ රුව රැගත් කාසි පමණයි.

මෝසස්ගේ සොහොන් කොත

පුරාණ පර්සියාවේ ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයෙකු වූ මෝසස් සහ ඔහුගේ නැගණිය මෙන්ම බිරිඳද වූ දෙවැනි ආටිමීසියා වෙනුවෙන් ඉදිකරන ලද මෙම සොහොන් කොත පිහිටියේ එවකට හැලිකානාසෙස් නමින් හැඳින් වූ වර්තමාන තුර්කියේ බොඩ්රම් නම් නගරයේයි. ක්‍රිස්තු පූර්ව 351 දී පමණ ගොඩ නංවන ලද මෙය සාම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කර තිබෙන අතර ක්‍රිස්තු වර්ෂ 1494 දී භූමි කම්පාවක් හේතුවෙන් විනාශයට පත්වුණා.

මෝසස්ගේ සොහොන් කොතේ උපකල්පිත සිතුවමක් (famouswonders.com)

කඳු මුදුනක මුළු නගරයම පෙනෙන ආකාරයට ගොඩ නැංවූ මෙය උද්‍යානයක් මධ්‍යයේ පිහිටි බව කියවෙනවා. එසේම සොහොන් කොත මත ශෛලමය වේදිකාවක් පැවති අතර එයට පිවිසීම සඳහා නිර්මාණය කරන ලද පියගැට පෙළ දෙපස සිංහයින්ගේ සහ දෙවි දේවතාවන්ගේ ප්‍රතිමා පැවති බවද ඓතිහාසක ලේඛනයන්හි සඳහන් වෙනවා. එසේම වේදිකාවේ සිව් කොණේ අසු පිට නැගි රණ ශූරයින්ගේ ශෛලමය මූර්තීන් දක්නට ලැබුණා. වේදිකාව මධ්‍යයේ වූ ස්මාරකය ගොඩ නංවා තිබුණේ කිරිගරුඬ යොදා ගෙනයි. සම්පූර්ණ සොහොන් කොත අඩි 135 ක පමණ උසකින් යුක්ත වන්නට ඇති බවයි ඉතිහාසඥයින්ගේ මතය වන්නේ.

රෝඩ්ස් හි මහා ප්‍රතිමාව

හීලියෝස් නම් හිරු දෙවිඳුන් (museum-joanneum.at)

ක්‍රිස්තු පූර්ව 292 – 280 දක්වා කාලය තුළ ග්‍රීක ජාතිකයන් විසින් ඔවුන්ගේ හිරු දෙවියන් වූ හීලියෝස් වෙනුවෙන් ඉදි කරන ලද අඩි 110 ක පමණ උසකින් යුක්ත පිළිමයක්, රෝඩ්ස් හි මහා ප්‍රතිමාව ලෙස හැඳින්වෙනවා. එය ඉදිකර තිබුණේ රෝඩ්ස් වරායට මුහුණලායි. නමුත් ඇතැම් පැරණි ග්‍රීක කවි පන්තීන් හි සඳහන් වන ආකාරයට මෙය දෙවිවරුන්ගේ රජු වන සියුස්ට කරන උපහාරයක් ලෙස ඔහුගේ මන්දිරය පිහිටි ඔලිම්පස් කඳු වැටියට මුහුණලා ඉදි කර තිබෙනවා. ඉදි කිරීමෙන් වසර 56 කට පසු ව මෙය ක්‍රිස්තු පූර්ව 226 දී සම්පූර්ණයෙන්ම විනාශ වූයේ භූමිකම්පාවක් හේතුවෙන්.

ඉතිහාස පොත්වල සඳහන් වන ආකාරයට හීලියෝස් දෙවිඳුන්ගේ මෙම ප්‍රතිමාව නිර්මාණය කිරීම සඳහා මූලික වශයෙන්ම යකඩ පොලු සහ පිත්තල තහඩු යොදාගෙන තිබෙනවා. එය පිහිටියේ අඩි 50 ක් පමණ උසකින් යුතු කිරිගරුඬ පාදස්ථලයක් මතයි. සම්පූර්ණයෙන්ම ශෛලමය ගඩොල් යොදාගෙන පුරවන ලද මෙම පාදස්ථලය මත පිහිටි පිළිමය අඩි 108ක පමණ උසකින් යුතුවුණා. ඇමෙරිකාවේ නිව් යෝක් හි පිහිටි ලිබර්ටි ප්‍රතිමාව මේ ඇසුරෙන් ඉදි කරන ලද්දක්.

රෝඩ්ස් හි මහා ප්‍රතිමාවේ සිතුවමක් (wikimedia.org)

ඇලෙක්ස්‍රාන්ඩ්‍රියා හි ප්‍රදීපාගාරය

අඩි 394 – 449 අතර උසකින් යුක්ත වූ ඇලෙක්ස්‍රාන්ඩ්‍රියාහි ප්‍රදීපාගාරය ගොඩ නංවන ලද්දේ ක්‍රිස්තු පූර්ව 280 – 247 අතර කාලය තුළදී ඊජිප්තු ජාතිකයන් විසින්. දෙවැනි ටොලමි රාජ්‍ය සමයේ දී එය නිර්මාණය කර තිබුණේ නයිල් ගංගාවේ යාත්‍රා කරන නැව් සඳහා මග පෙන්වීමටයි. භූමිකම්පාවක් හේතුවෙන් ක්‍රිස්තු වර්ෂ 956 දී දැඩි ලෙස හානියකට පත්වූ ඇලෙක්ස්‍රාන්ඩ්‍රියා හි ප්‍රදීපාගාරය ක්‍රිස්තු වර්ෂ 1303 – 1323 අතර කාලයේ දී සම්පූර්ණයෙන්ම විනාශවී ගියා.

ඇලෙක්ස්‍රාන්ඩ්‍රියා හි ප්‍රදීපාගාරයේ උපකල්පිත සිතුවමක් (secretelezeilor.ro)

මධ්‍යධරණී මුහුදේ සිදුකරන ලද කැනීම් කටයුතුවලදී ඉතිහාසඥයින් ප්‍රදීපාගාරයේ රුව සහිත කාසි සොයාගෙන ඇති අතර ඒවායේ දැක්වෙන ආකාරයට සමස්ත ඉදිකිරීම සමචතුරස්‍රයක හැඩයෙන් යුතු පාදමක්, අටපට්ටමක් හැඩැති මධ්‍යම කොටසක් සහ සිලින්ඩරයක් මෙන් පෙනෙන ඉහළ කොටසක් යන ආකාරයට කොටස් තුනකින් යුක්තවී තිබෙනවා.

ඒ සියල්ලටම ඉහළින් පැවතී ඇත්තේ දෙවැනි ටොලමි රජුගේ හෝ මහා ඇලෙක්සාන්ඩර් අධිරාජ්‍යයාගේ ප්‍රතිමාවකුයි. ප්‍රදීපාගාරයේ ස්වරූපය සම්බන්ධයෙන් වඩාත් සම්පූර්ණ තොරතුරු සඳහන් වන්නේ ක්‍රිස්තු වර්ෂ 1166 දී ඇලෙක්ස්‍රාන්ඩ්‍රියාවට ගිය අරාබි ජාතික Abou Haggag Youssef Ibn Mohammed el-Balawi el-Andaloussi නම් දේශ ගවේෂකයාගේ ලේඛනවලයි.

Maerten van Heemskerck නම් චිත්‍ර ශිල්පියාගේ සිතුවමක පසුබිමේ පැරණි ලෝක පුදුමයන් දක්වා ඇති අයුරු (en.wikipedia.org)

මූලාශ්‍ර: en.wikipedia.org, history.com, ancient.eu

Related Articles