Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගිලිහී යන හෙළ අංගම්පොර සටන් කලාව

ආත්මාරක්ෂාව සඳහා සටන් ඉගෙන ගැනීම හෝ ක්‍රියා කිරීම යන්න ප්‍රතික්ෂේප කරන ලොව එකම සටන් කලාවයි, අංගම් ශාස්ත්‍රය. තම ජීවිතය බේරා ගැනීමට වඩා එහා ගිය පොදු අරමුණක් තමයි මේ සටන් කලාව තුළ තියෙන්නෙ. ඒ නිසයි ඔවුන් ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමට පෙර තම රට ජාතිය බේරා ගන්නවාය යන දිවුරුමක් දෙනු ලබන්නේ.

අංගම් ශාස්ත්‍රයේ න්‍යෂ්ටිය වන කුණ්ඩලිනී ශක්තිය

භෞතික ශරීරයේ දියුණුවට වඩා ලබාගත හැකි වන මානසික ශක්තියයි, අංගම් ශාස්ත්‍රයේ න්‍යෂ්ටිය වශයෙන් හඳුනා ගනු ලබන්නේ. යටි බඩ සහ කොඳු නාරටිය අතර එක් වුණු ශක්ති ප්‍රභවයක් ඕනෑම පුද්ගලයෙකු සතුව පවතී. භාවනා කිරීම තුළින් මනා සංවර්ධනයක් ඇති කර ගැනීමෙන් පසුව කොඳු නාරටිය දිගේ එම ශක්තිය උඩට පැමිණීම ආරම්භ වන බවයි ඔවුන්ගේ මතය. එසේ මතුවන ශක්තිය තව තවත් වර්ධනය කර ගැනීම සඳහායි ප්‍රභාස්වර දැහැන, කාලමූල දැහැන, කුණ්ඩලිනී මුලාශ්‍ර දැහැන වැනි දැහැන් භාවිතා කරනු ලබන්නේ. එවැනි දැහැන්වලට එළැඹීම මඟින් අරමුණු කරන්නේ සටන් ශිල්පියාගේ මානසික ඒකාග්‍රතාව වර්ධනය කර ගැනීමයි. කුණ්ඩලිනී ශක්තිය නිවැරදිව හැසිරවීම මඟින් ඒ ශක්තිය තවත් කෙනෙකු වෙත ආරෝපණය කිරීමේ හැකියාව ලැබෙනවා. එනම් මෙහිදී කාලය හරහා සැරිසැරිය හැකියි.

කුණ්ඩලිනි ශක්තිය නිවැරදිව අවදි කර ඒ ශක්තිය තව කෙනෙකු වෙත ආරෝපණය කළ අයුරු හොඳින්ම දැකගත හැකි වන්නේ මුල්ලේරියා සටනේදී යි. මුල්ලේරියා සටනේ දී දොඩම්පේ ගණිතයා පෘතුගීසීන්ගේ පැමිණීම කුණ්ඩලිනී ශක්තිය අවදි කරගැනීම තුළින් බලා සිටිනවා. ඉන් පසුවයි පෘතුගීසින්ට පහර දෙන ආකාරය ඔවුන් තීරණය කර ඇත්තේ.

මෙම කුණ්ඩලිනී ශක්තියේ බලයෙන් තමන් මිය යන ආකාරය වුව ද දැකගත හැකියි. නමුත් එය එසේ දැනගත් පසු එය වැළැක්වීම නුසුදුසුයි. එයයි ඔවුන්ගේ විනය.

මුල්ලේරියා සටනේ අංගම්පොර

angampora.com

මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුණේ මේ අංගම් ශිල්පීන්ගේ දක්ෂතා නිසා බවයි ඉතිහාසය පවසන්නේ. මුල්ලේරියා සටනේ දී අංගම් ශිල්පින් පෘතුගීසින් හට පහර දී ඇත්තේ තුන් පැත්තකින් වට කිරීමෙනුයි. පාරා වළලු, සක්කාරම් වළලු හා ගිනි විදීම් වැනි උපක්‍රම භාවිතා කිරීම නිසයි මෙහිදී පෘතුගීසින් 1600ක් මිය යාමටත් සිහලුන් 300 ක් පමණ පමණක් මිය යාමටත් හේතු වුයේ.

මුල්ලේරියා සටන සිදු වූ අවස්ථාවේ ‍රජුගේ අශ්වයාගේ බද යටින් ගොස් සතුරු සේනාවේ සෙබළුන් මරා දැමීමට හැකියාව මෙන්ම කකුලේ මහපොට ඇඟිල්ලේ කඩුව සිර කරගෙන උඩු කරනමකින් සතුරාගේ බෙල්ල කපා දැමීමට සමත් සෙබළුන් ද සිට තිබෙනවා. මේ නිසයි 1562 වර්ෂයේ අගෝස්තු 23 වන දින සටන දිනා ගැනීමෙන් අනතුරුව රජු අංගම්පොර පරම්පරාවට ගම්වර ද සන්නස් මඟින් ලබා දී තිබෙන්නේ.

ඌරා ළිඳේ මහ සටන

සටන්කරුවන් තම පරම්පරාවෙන් උගත් දැනුම උරගා බැලීමටයි ඌරා ළිඳේ මහ සටන පවත්වන්නේ. මේ සටනට සුදුසුකම් ලබන්නේ ඒ ඒ පරම්පරාවල සිටින අති දක්ෂ සටන්කරුවන් පමණයි. ගැඹුර අඩි 10 ක් සහ විෂ්කම්භය අඩි 15 ක් වන ලෙසයි මේ ළිඳ සකසන්නේ. සටනට එළඹෙන ශිල්පින් දෙදෙනාගෙන් එක අයෙකු බිය වී සටන නැවැත්වීමට අවශ්‍ය වුවත් ගොඩට ආ නොහැකි ලෙසයි මේ ළිඳ සකසන්නේ. රාත්‍රී 9 ට ඇරඹෙන මේ සටන පවතින්නේ ගුරුකුල 2 ක් අතර නම් එක් අයෙක් මරු දකින තෙක් වුවත් සටන පැවතෙන බවයි ඉතිහාස කතා දක්වන්නේ.

1818 කැරැල්ලෙන් පසු අංගම්පොර සටන්කරුවන්ට වුණ දේ

pinterest.fr

1818 කැරැල්ලේ දී දුටු හෙළ අංගම්පොර සටන්කරුවන්ගේ දක්ෂතා ඉවසාගත නොහැකි වූ සුදු ජාතිකයන් හට ඕනෑ කළේ අංගම්පොර කලාව ද පරම්පරා පිටින් විනාශ වනු දැකීම යි. 1818 කැරැල්ලෙන් පසු ඔවුන් අංගම්පොර ශිල්පීන් මුරුසියට පිටමන් කළ අතර එහිදී වස දී ඔවුන් මරා දමනු ලැබුවා. ලංකාවේ ඉතුරු වුණු සෙසු අංගම්පොර සටන්කරුවන්ව දණහිසෙන් පහළට වෙඩි තබා මරා දැමීමට නියෝග කළා.

එපමණක් නොව, තවත් ඉතුරු වුණු අංගම්පොර පරම්පරාවෙන් පැවත එන්නන් සිටී ද යන්න දැන ගැනීමට ඔවුන්ට අවශ්‍ය වුණා. මේ නිසයි වයස අවුරුදු 16 ට වැඩි සියලුම තරුණයන් උඩුකය නිර්වස්ත්‍රව සිටිය යුතු බවට නීතියක් ගෙන ආවේ. ඒ අනුව සටන් ශිල්පීන් හඳුනාගත් ඔවුන් එම සටන්කරුවන්ගේ අංග ඡේදනය කර පුරුෂභාවය නැති කිරීමට උත්සාහ කළා. ඔවුන්ට අවශ්‍ය වුණේ සටන් පරම්පරාවම විනාශ කර දැමීමයි.

ජෝන් ඩොයිලිගේ මාර්ගයෙන් අංගම්පොර පරම්පරාවන් පිළිබඳ සියලු විස්තර සෙවූ බ්‍රිතාන්‍යයන් වෙල්ලස්ස කැරැල්ල දිනවීමට මහත් සහයක් වූ සුදලිය පරම්පරාව, මරුවල්ලිය පරම්පරාව ගැන සියලුම විස්තර සොයා ගැනීමට සමත් වුණා. එම පරම්පරාවන් කොටු කරගැනීමේ උපක්‍රමයක් ලෙසයි සුදලිය හා මරුවල්ලිය පරම්පරා වල පුද්ගලයන් කුරුඳු තැලීමට යා යුතු බවට නීතියක් ගෙන ආවේ. ඒ මත අංගම්පොර ශිල්පින් අත්අඩංගුවට ගැනුණා.

නැටුමට එක් වූ සටන් කලාව

mma.bg

සුදු ජාතිකයන්ගේ කරදර හමුවේ තම සටන් කලාව ආරක්ෂා කරගැනීමේ අරමුණෙනි, සටන්කරුවන් සටන් ශිල්පය නැටුම් කලාවට එක් කිරිමට තීරණය කළේ. ඒ අනුව සටන් කලාවේ මූලික ලක්ෂණ නැටුමට එක් කළ ඔවුන් කොටි නැටුම, වලස් නැටුම, සිංහ නැටුම මෙන්ම ගජබා වන්නමට ද මේ ලක්ෂණ එක්කහු කළා.

ඕනෑම නර්තනයක නැටුම් ශිල්පියාගේ ඇඳුම් කට්ටලයේ මේ සටන් කලාවේ සන්නාහ කට්ටල වල කොටස් දැකගත හැකි වෙනවා. මේ මඟිනුයි මේ වනතෙක් අංගම් සටන් කලාව රැඳී පවතින්නේ.

ඒ කෙසේ වුවත් වර්තමානය වන විට හෙළයේ තිබුණු පිවිතුරු අංගම් සටන් කලාව ඒ ආකාරයෙන්ම නම් දැකගත හැකි වන්නේ නැහැ. සටන් ශිල්පය ලංකාව තුළින් තුරන් වීමේ තත්ත්වයකුයි දැකගත හැකි වන්නේ. බොහෝ විට සිදු වන්නේ අංගම් පොර සටන් ශිල්පය මුදලට විකිණීමකුයි. සටන් පරම්පරා වල ඉතුරුව සිටින සියල්ලෝ එක් වී සටන් සංගායනාවක් හෝ සිදු කර ශිල්පය රැක ගැනීමයි මේ වකවානුවේ කළ යුතුව ඇත්තේ.

කවරයේ කතාව-  youtube.com 

 

Related Articles