කාම්බෝජයේ විහාර නගරය : ඇන්කෝර් වට්

උතුරු දිග කාම්බෝජයේ සීම් රීප් ප්‍රාන්තයේ පිහිටා ඇති පුරාණ ඛ්මේර් අධිරාජ්‍යය හෙවත් යසෝධරාපුර අග නගරය වූ ‘ඇන්කෝර්’, අග්නිදිග ආසියාව සතු වන ඉහළ වැදගත්කමකින් යුතු පුරාවිද්‍යාත්මක භූමියක් සේ හැඳින්වීමේ වරදක් නැහැ. වර්ග කිලෝමීටර් 400 කට අධික බිම් කඩක් පුරා විහිදී ඇති එය සතු ව සොඳුරු වනාන්තර ප්‍රදේශයක් ද පවතින අතර එහි දී 9 – 15 වැනි සියවසේ දී ප්‍රබල හින්දු-බෞද්ධ රාජ්‍යයක් ලෙස නැගී සිටි ඛ්මේර් අධිරාජ්‍යයේ නටඹුන් රාශියක් දැක ගත හැකි යි. ලොව විශාලතම ආගමික ස්මාරකය වන ‘ඇන්කෝර් වට්’ විහාරස්ථානය පිහිටා ඇති එය 1992 වර්ෂයේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද නම් කර තිබෙනවා.

© Yükle

ක්‍රිස්තු වර්ෂ 1113 – 1150 කාල සීමාවේ දී ගොඩ නංවන්නට ඇතැයි සැලකෙන ‘ඇන්කෝර් වට්’ අක්කර 500 (හෙක්ටයාර් 200) ක පමණ භූමි ප්‍රමාණයක් ආවරණය කරන අතර ඛ්මේර් (කාම්බෝජියානු) බසින් එහි අර්ථය වන්නේ ‘විහාර නගරය’ යන්න යි. ගොඩ නගන ලද මුල් කාලයේ දී එය විෂ්ණු දෙවියන් වෙනුවෙන් කැප කරන ලද දෙවොලක් ලෙස භාවිතා කරන ලද නමුත් 14 වැනි සියවසේ දී පමණ එය බෞද්ධ විහාරයක් බවට පරිවර්තනය කර තිබෙනවා. පසු කාලීන ව එය යුද හමුදා බලකොටුවක් ලෙස ද භාවිතා කර ඇති බව සඳහන් වෙනවා.

‘ඇන්කෝර් වට්’ විහාරස්ථානය සමන්විත වන්නේ අඩි 213 (මීටර් 65) ක් උසැති මධ්‍යම කුලුනක් වට කර ගොඩ නගන ලද කුඩා කුලුනු සතරකින් සහ ප්‍රාවර බිත්ති (enclosure walls) මාලාවකින්. එහි පිරිසැලැස්ම (layout), හින්දු මිථ්‍යා සාහිත්‍යයේ සඳහන් වන හිමාල කඳුවැටියට එපිටින් පිහිටා ඇති දෙවිවරුන්ගේ නිවහන වන මේරු පර්වතයේ ප්‍රතිනිර්මාණයක් ලෙස සැලකෙනවා.

© National Geographic

ලොව විශාලතම නගරය මැද විහාරයක්

‘ඇන්කෝර් වට්’ විහාරය පිහිටා ඇති ‘ඇන්කෝර්’ නුවර සියවස් කිහිපයකට පෙර ඛ්මේර් අධිරාජ්‍යයේ අග නගරය ලෙස සලකන ලද අතර එහි විහාරස්ථාන සිය ගණනක් පැවති බව සඳහන්. එසේ ම මිලියනකයට අධික ජනගහනයක් වාසය කළ ‘ඇන්කෝර්’ නුවර සැලකෙන්නේ කාර්මික විප්ලවයට පෙර ලොව පිහිටි විශාලතම නගරය ලෙස යි.

© Soknam Phon

මෑතක දී සිදු කරන ලද වාසර ලේසර් පරිලෝකන පර්යේෂණයක් (airborne laser scanning research) මගින් පහසුවෙන් පුද්ගලයින් 500,000 ක් පමණ රඳවා ගත හැකි නගර මධ්‍යයක් සහ තවත් පුද්ගලයින් රැසකට වාසය කළ හැකි පසු බිමක් (hinterland) ‘ඇන්කෝර්’ නුවර සතු ව පැවති බව අනාවරණය වී තිබෙනවා. එසේ ම ‘ඇන්කෝර් වට්’ විහාරයට සැතපුම් 25 (කිලෝමීටර් 40) ක් පමණ උතුරු දෙසින් පිහිටි ‘මහේන්ද්‍රපර්වත’ නම් අතුරුදන් වූ නගරයක් සොයා ගැනීමට ද ඔවුන් සමත් වී ඇති බව වාර්තා වෙනවා.

දිය අගලක්, සර්පිල ආකෘතියක් සහ සැඟවුණු සිතුවම්

© Eric Wienke

‘ඇන්කෝර් වට්’ විහාරය වට වී ඇත්තේ සැතපුම් 3 (කිලෝමීටර් 5) ක පමණ පරිධියකින් යුතු වන අඩි 650 (මීටර් 200) ක් පමණ පළල දිය අගලකින්. අඩි 13 (මීටර් 4) ක් පමණ ගැඹුරු එය භූ ජල මට්ටම ප්‍රමාණය ඉක්මවා ඉහළ යාම හෝ පහළ යාම වළක්වමින් ‘ඇන්කෝර් වට්’ විහාරයේ අත්තිවාරම ස්ථායී ව පවත්වා ගැනීම සඳහා උපකාර කරන්නට ඇති බව සැලකෙනවා.

© Cindy Tong

සිංහ රූ ද්විත්වයක් මැදින් දිව යන ශෛලමය දියමංකඩක් අවසානයේ පිහිටි ‘ඇන්කෝර් වට්’ විහාරයේ ප්‍රධාන දොරටුව මුහුණලා ඇත්තේ බටහිර දෙසට යි. එම දොරටුව අවට පිහිටි වැලිගල් සහ කබොල් ගල් යොද ගනිමින් නිර්මාණය කරන ලද කුලුනු 8 ක නටඹුන් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇති අතර එම කුලුනු, ‘ඇන්කෝර් වට්’ විහාරය සම්පූර්ණයෙන් ම ගොඩ නැංවීමට පෙර පූජාසන ලෙස භාවිතා කරන්නට ඇති බව විශ්වාස කරනවා. බටහිර දෙස පිහිටි ප්‍රධාන දොරටුවට අමතර ව නැගෙනහිර දෙසට මුහුණලා පිහිටි දෙවැනි දොරටුවක් ද විහාරස්ථානය සතු වෙනවා. බෑවුමක් සහිත පියගැටපෙළක් තරණය කර පිවිසිය යුතු විහාරයේ හදවත බඳු ‘මධ්‍යම කුලුන’ මුදුනේ දී විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිමාවක් දැක ගැනීමට ලැබෙනවා.

© Phil Bagnall

මධ්‍යම කුලුන සතු සැඟවුණු සිතුවම් කිහිපයක් අනාවරණය කර ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී තිබෙන අතර කුලුනේ එක් කුටියක සමාඝාත සංගීත භාණ්ඩ (percussion instruments) වාදනය කරන සාම්ප්‍රදායික බ්මේර් වාද්‍ය වෘන්දයක දසුනක් ඇති බව සඳහන්. එම කුටියේ ම ඇති තවත් සිතුවමකින් දැක්වෙන්නේ  විහාර සේ දිස්වන ගොඩනැගිලි ද්විතවයක් මැදින් අසුන් මෙහෙය වන පිරිසක්. මෙවැනි සැඟවුණු සිතුවම් 200 ක් පමණ ‘ඇන්කෝර් වට්’ විහාරය සතු යි.

මෙයට අමතර විහාරස්ථානයට සමීපයේ ඇති සැතපුමක් පමණ දිගින් යුතු හැඩයෙන් සර්පිලාකාර වැලි ආකෘතියක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී තිබෙනවා. එය 12 වැනි සියවසේ මැද හෝ අග භාගයේ කෙටි කාල සීමාවක් සඳහා පැවති ආකෘතියක් බව යි ඔවුන් විශ්වාස කරන්නේ. එවැනි ආකෘතියක් ගොඩ නගා ඇත්තේ ඇයි දැයි යන ගැටලුවට තවමත් නිශ්චිත පිළිතුරක් නැහැ.

විෂ්ණු දෙවිඳුන් සහ සූර්යවර්මන් රජු

‘ඇන්කෝර් වට්’ විහාරය ගොඩ නංවා ඇත්තේ දෙවැනි සූර්යවර්මන් නම් රජු විසින්. සිය මාමා මරණයට පත්කර​ රජකම පැහැර ගන්නා ලේ පිපාසිත රජෙකු වූ ඔහු පාලන බලය අල්ලා ගැනීම සඳහා වියට්නාමයට පහර දුන් බව ඉතිහාසයේ සඳහන් වෙනවා‍.

© Matthew Klein

ආරක්ෂකයෙකු ලෙස සැලකෙන විෂ්ණු දෙවියන් සඳහා ඉමහත් ගරුත්වයක් දැක් වූ දෙවැනි සූර්යවර්මන් රජු, ඔහු වෙනුවෙන් පුදපූජා පැවැත්වීම සඳහා ‘ඇන්කෝර් වට්’ නිර්මාණය කර ඇති බව සඳහන්. එසේ ම විෂ්ණු දෙවියන් කිරි මුහුද කලතන ආකාරය දැක්වෙන පේකඩ පුවරු ද ‘ඇන්කෝර් වට්’ හි දී දැක ගැනීමට ලැබෙනවා. එම පේකඩ පුවරු ‘ඇන්කෝර් වට්’ සතු විශිෂ්ටතම කලා නිර්මාණ බව යි විද්වතුන්ගේ මතය වන්නේ.

කවරයේ පින්තූරය : © Reubenteo Photography

Related Articles