මිසර වැසියන් ඇදහු මරණයේ දෙවියා – අනූබස්

ඊජිප්තු ශිෂ්ටාචාරය බොහෝ ඇදහිලි විශ්වාස පදනම් කර ගත්තක් බව අප හොඳින් දන්නවා. මරණය සහ මරණයෙන් මතු ජීවිතයක් පිළිබඳ විශ්වාස පදනම් කරගත් ඔවුන්ගේ පිරමීඩ, සිතුවම් සහ පිළිම නිර්මාණ ආදිය ඊජිප්තු ශිෂ්ටාචාරය අධ්‍යයනයේ දී මඟ නොහැර ම බැහැ. මෙම සිතුවම් සහ පිළිම නිර්මාණ අතරේ බොහෝ විට කුරුල්ලන් හෝ වෙනත් සත්වයන්ගේ හිස කොටස මිනිස් රූපවලට ඈඳා තිබෙනු දැකිය හැකි යි. මෙවැනි රූප බොහොමයක් පුරාණ මිසර වැසියන් ඇදහූ දෙවිවරුන්ගේ රූපකායන් බව සොයා ගෙන තිබෙනවා. ඒ අතර එන සුනඛ හිසක් සහිත “අනූබස්” (Anubis) දේව රුව බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ යි.

අනූබස් යනු කවුද?

අනූබස් (Anubis) යන්න ග්‍රීක වචනයක් වන අතර එය Anpu නම් ඊජිප්තු වචනයෙන් බිඳී ආ එකක්. අනූබස් හි ග්‍රීක අර්ථය “සොහොන්පල්ලා” හෙවත් සොහොන් ආරක්ෂා කරන්නා යන අර්ථය දෙනවා. Anpu යන්න භාවිත කර ඇත්තේ දිරා පත්වන යන අර්ථයෙන්. මමිකරණය සහ මරණින් මතු ජීවිතය බාර දෙවියන් ලෙසයි ඔවුන් අනූබස් සැලකුවේ. ඊජිප්තු ඉතිහාසය තුළ හමු වන පැරණි ම දෙවි කෙනෙක් වන අනූබස් දෙවියන් පිළිබඳ ඉතිහාසය එතරම් ක්‍රමවත් සහ ස්ථාවර එකක් නොවේ. පළමු ව ඔහු හැඳින්වුණේ මිසර දේව මණ්ඩලයේ ඉහළින් ම සිටින මහා දෙවි “රා” ගේ පුත්‍රයකු ලෙසයි. රා යනු හිරු දෙවියන් සහ සියල්ලේ මැවුම්කාර දෙවියන් ලෙස හඳුන්වනවා. ඒ වන විට අනූබස් හඳුන්වා ඇත්තේ මරණයේ දෙවියන් ලෙස වුවත් පසු කාලීන ව එම තනතුර “ඔසිරිස්” ට හිමිවනවා.

ඊජිප්තු දෙවිවරුන් ලෝකය මැවීමේ කතාව මෙතනින් කියවන්න.

අනූබස් සම්බන්ධ වඩාත් පිළිගත් කතා පුවත ලෙස පිළිගැනෙන්නේ ක්‍රි.ව. 46 -120 යුගයේ විසූ ග්‍රීක දාර්ශනික ප්ලුටාක් ඉදිරිපත් කර ඇති කතා පුවතයි. එයට අනුව ඔසිරිස් යනු ඊජිප්තුව පාලනය කළ පළමු රජතුමා වන අතර ඔහු “ගෙබ්” සහ “නුට්” ගේ දරුවන් සිවු දෙනාගෙන් කෙනකු වනවා. ගෙබ් සහ නුට් යනු නිවුන් සහෝදර සහෝදරියන් වන බව ද මෙහිදී සඳහන් කළ යුතු යි.

ඔවුන්ගේ සෙසු දරුවන් තිදෙනා වන්නේ “සෙත්”, “නෙප්තිස්”, සහ “අයිසිස්” ය. නෙප්තිස් වැඩිවිය පැමිණි පසු සහෝදර සෙත්ව සහ අයිසිස්  සහෝදර ඔසිරිස් ද විවාහ කරගත්තා. නමුත් ඔසිරිස්  දාව නෙප්තිස්ට ද දරුවකු බිහි වූ අතර ඇය සිය සැමියාට සහ අයිසිස්ට කළ ද්‍රෝහිකම හෙළිවේ යැයි බියෙන් අලුත උපන් දරුවා අතහැර දැමුවා.

ඊජිප්තු දෙවිවරුන්ගේ පවුල් සටහන – pinterest.com

 

මිසර ඉතිහාසයේ අයිසිස් ප්‍රකට වී ඇත්තේ ඇයගේ දාරක ස්නේහය නිසා යි. ඇය තම සැමියාට සහ නෙප්තිස්ට දා ව ඉපදුණු දරුවා සොයා ගත් අතර හදා වඩා ගැනීම ද කළා. ඇය ඔහුට නම් තැබුවේ අනූබස් ලෙස යි. අනූබස් එතැන් පටන් ඇගේ පක්ෂපාතී ආරක්ෂකයා බවට පත්වුණා.

මමිකරණය ඇරඹෙයි

අයිසිස්ගේ සැමියා වන සෙත් මෙම සිදුවීමෙන් බලවත් නොසතුටට පත්වුණා. තමන්ගේ බිරිය වන නෙප්තිස් සමඟ සංවාසයේ යෙදීම නිසා සෙත්  ඔසිරිස් මරා දැමීමට සැලසුම් කෙරුවා. එක් දිනක් පැවති භෝජන සංග්‍රහයක දී සෙත්, රජු වෙනුවෙන් සකස් කළ මිනී පෙට්ටියක් ප්‍රදර්ශනය කළා.

ඔහු එම අවස්ථාවට පැමිණි අනෙකුත් අමුත්තන්ට එයට නැග වැතිර බැලීමට ආරාධනා කළා. ඒ තරගයක් සඳහා යන මුවාවෙන්. කිහිප දෙනකු ම එය උත්සාහ කළත් ඔවුන්ගේ ශරීර ප්‍රමාණයට එය ගැළපුණේ නැහැ. මේ නිසා අවසානයේ ඔසිරිස් එයට නැග වැතිරුණා. එවිට ම ක්‍රියාත්මක වූ සෙත් ඇතුළු කණ්ඩායම පෙට්ටියේ පියන වසා ලෝදිය සහ උණු ඊයම් වක්කර එයට මුද්‍රා තැබුවා.

අනූබස් විසින් මමිකරණය සිදු කිරීම දැක්වෙන සිතුවමක් – cleopatraegypttours.com

 

මෙම සිදුවීමෙන් පසු නයිල් නදිය ගොඩ ගලා ඔසිරිස්ගේ සිරුර සහිත පෙට්ටිය මුහුදට රැගෙන ගිය බව සඳහන් වනවා. මෙය ඔසිරිස්ගේ රහස් සැඟවීමට “නූ” දෙවියන් කළ ක්‍රියාවක් බවයි කියැවෙන්නේ. අයිසිස් තම සැමියා වන ඔසිරිස්ගේ මරණය සැලවීමෙන් පසු ඔහුගේ සිරුර සොයා යනවා. එය මධ්‍යධරණී මුහුදේ වර්තමාන ලෙබනනය දෙසට පාවී ගිය බව සඳහන්. අවසානයේ දේහය සොයා ගන්නා අයිසිස් එය ආපසු ඊජිප්තුවට රැගෙන එනවා.

ඔසිරිස් මරාදැමීමට සෙත්ට හැකිවුණත් ඔහුගේ සිරුර ද සම්පුර්ණයෙන් විනාශ කර දමන තුරු ඔහු සම්පුර්ණයෙන් පරාජය කළා යැයි සැලකෙන්නේ නැති බව වටහා ගත් සෙත් ද ඔසිරිස් ගේ සිරුර සොයනවා. මේ නිසා අයිසිස් එය සඟවා තබා ගැනීමට කටයුතු කරනවා. හිරු දෙවි රා ඔසිරිස්ගේ දේහය කල්තබා ගත හැකි ලෙස මමිකරණය කිරීමට පවරන්නේ අනූබස්ට යි. අනූබස්ට සහ “හෝරස්” (ඔසිරිස් සහ අයිසිස් ගේ පුත්‍රයා) එක් ව ඔසිරිස්ගේ දේහය රෙදිවලින් ඔතා බෙහෙත් ගල්වනවා.

මමිකරණය සිදුවූ ආකාරය ගැන මෙතනින් කියවන්න.

කුඩා හෝරස් ඇකයෙහි තබාගෙන සිටින අයිසිස් – thenotsoinnocentsabroad.com

 

ඊජිප්තු විශ්වාසවලට අනුව මරණින් මතු ජීවිතයක් පවතින අතර එම ජීවිතයේ දී මරණයට පත්වූ පුද්ගලයාගේ ආත්මය පවතින්නේ පැරණි සිරුර තුළ යි. මේ නිසා සිරුර සදාකාලික ව ම විනාශ නොවී පවත්වා ගැනීමට අවශ්‍ය බව ඔවුන් විශ්වාස කළා. සෙත් ද කිහිප වරක් ම විවිධ සතුන් ලෙස වෙස්වලාගෙන පැමිණ ඔසිරිස්ගේ මමිකරණයට ලක් කරන දේහය සොරකම් කිරීමට කටයුතු කළා. එම සෑම අවස්ථාවකදී ම අනූබස් ඔහු පරාද කළ බව සඳහන්. අවසාන අවස්ථාවේ දී අනූබස් සෙත් සිරගත කළත් පසුව සිරෙන් පැන යාමට ඔහු සමත් වනවා.

ඊජිප්තුවේ පාලනය පිළිබඳ ව සෙත් සහ හෝරස් අතර වසර 80ක් පුරාවට ගැටුම් හටගන්නා අතර ඊජිප්තුව කොටස් දෙකකට බෙදා ඉහළ කොටස සෙත් විසින් ද පහළ කොටස හෝරස් විසින් ද පාලනය කිරීමට පසුව තීරණය වනවා. එය සාර්ථක නොවීම නිසා අවසානයේ හෝරස්  ඊජිප්තුවේ සම්පුර්ණ පාලනය සියතට ගන්නවා. පාරාවෝ රජවරුන්ගේ පාලනය ඇරඹෙන්නේ හෝරස්ගෙන් පසු ව යි. හෝරස් රජකමට අධිපති දෙවියන් ලෙසින් ද නම් වනවා.

හොරස් සහ සෙත් තෙවන රැම්සිස් රජුට ආශිර්වාද කරන ආකාරය දැක්වෙන කැටයමක් – worldhistory.org

පාරදීසයටද පාතාල ලෝකයට ද?

ඔසිරිස්ගේ දේහය මමිකරණය අනූබස් සිදු කළ නිසා එතැන් පටන් මමිකරණය සහ මැරුණු පුද්ගලයන් මරණින් මතු ජීවිතය උදෙසා රැගෙන යාමේ කාර්යය සිදු කරන්නේ අනූබස් බවට මිසර වැසියන් විශ්වාස කළා. මමිකරණයට ලක් කළ සිරුරු විනාශ වීමට නොදී ආරක්ෂා කිරීම ද ඔහුට පැවරුණු තවත් කාර්යයක් බවයි “මළවුන්ගේ පුස්තකයේ” සඳහන් වන්නේ.

ඊජිප්තු විශ්වාසයන්ට අනුව ජීවිතය යනු ස්වර්ගය වෙත යන ගමනේ එක් නවාතැනක් පමණ යි. මෙය පසු කාලීන ව බිහි වූ කිතුනු දහම හා පැමිණි වචනයක් වුවත් ඊජිප්තු වැසියන් එය හැඳින්වුයේ පාරාදීසයක් (Field of Reeds ලෙස ද හඳුන්වයි) ලෙස යි. මෙයට ළඟා වන ආත්මවලට ලෙඩ දුක් දොම්නස් සහ මරණයෙන් තොර ජීවිතයක් ගත කළ හැකි බව විශ්වාස කළා. එයට පිවිසිය හැක්කේ කා හටද යන්න තීරණය කරන්නේ එහි පිවිසුම් දොරටුව මුර කරන දෙවියන් බවයි පැවසෙන්නේ.

සියල්ලන්ගෙන් සපිරි පාරාදීසය මිසර වැසියන් ඇඳ තිබූ හැටි – egyptianocculthistory.blogspot.com

යමකු මිය ගිය පසු ආත්මය තම සිරුර තැන්පත් කර ඇති සොහොනෙන් නිදහස් වී සත්‍යයේ ශාලාව වෙත පැමිණෙනවා. මෙහි දී තරාදියකට දමා ඔහුගේ හදවතේ බර සමඟ සත්‍යයේ පිහාටුවේ බර සංසන්දනය කෙරෙන බව සඳහන්. හදවතේ බර වැඩි වුවහොත් ඔහු පාතාල ලෝකයට යොමු කෙරෙනවා. කිඹුල් හිසක් සහිත දෙවි කෙනකු ඔහුගේ හදවත කා දමන අතර ඔහුගේ ආත්මය ද එවිට විනාශ වනවා.

පිහාටුවේ බර වැඩි නම් ඔහු පෙර කියූ පාරාදීසයට කැටුව යනවා. මෙම විනිශ්චය කිරීමේ කටයුත්ත සිදුකරන්නේ අනූබස් බවයි පැවසෙන්නේ. එසේම පාතාල ලෝකයට අධිපති දෙවියා ලෙස සිට ඇත්තේ ද ඔහු ම යි. අනූබස් ඔසිරිස් මමිකරණය කර ඔහුට නැවත පණ ලබාදී පසු ව ඉහත තනතුරට පත් කරනවා. අනූබස් එතැන් පටන් ඔසිරිස්ගේ දකුණු අත ලෙස ආත්ම සඳහා විනිශ්චය ලබා දීමේ කාර්යයේත් පාතාල ලෝකයේ ආරක්ෂකයාගේ කාර්යයේත් නිරත වන බව යි මිසර ඉතිහාසයේ දැක්වෙන්නේ.

අනූබස් විනිශ්චය ලබාදීම වම්පසිනුත් සහ පාතාල ලෝකයට අධිපති ඔසිරිස් රජු දකුණු පසිනුත් දැක්වේ – worldhistory.org

අනූබස්ගේ පෙනුම

අනූබස්ගේ හිස කොටස කළු පැහැ සුනඛ පෙනුමක් ගත්ත ද එයින් සැබවින් ම නිරුපණය කෙරෙන්නේ කැණහිලකුගේ (Jackal) හිසක් වනවා. කැණහිලුන් හෙවත් කැලෑ බල්ලන් නයිල් ගංගා ආශ්‍රිත ප්‍රදේශවල බහුල ව හමු වූ සත්ව කොට්ඨාශයක්. මුල් කාලයේ ඊජිප්තුවේ පැවති විවෘත මිනිස් සොහොන් හාරා ඒවායේ තිබූ මළකුණු කා දැමීමට මෙම සතුන් කටයුතු කළා. එවිට මරණින් මතු ජිවිතයක් වෙත යාමට නොහැකි නිසා  වඩාත් ආවරණය වූ සොහොන් නිර්මාණය කිරීමට මිසර ජනතාව පෙලඹෙනවා.

කැණහිලුන් මිය ගිය සිරුරු කා දැමීම වැළක්වීමට නම් කැණහිලුන්ට සමාන පෙනුමැති දෙවි කෙනෙක් අවශ්‍ය බව මිසර වැසියන් විශ්වාස කරන්නට ඇති. මේ නිසා සොහොන් ආරක්ෂා කිරීමේ වගකීම පැවරුණු දෙවියන් කැණහිලකුගේ හිසක් සහිත ව මවා ගන්නට ඇතැයි පුරාවිද්‍යාඥයන් පවසනවා.

කැණහිලුන් ස්වභාවයෙන් දුඹුරු පැහැයට හුරු ලොම්වලින් සමන්විත වුවත් අනූබස්ගේ හිස සඳහා කළු වර්ණය යොදා ගත්තේ මරණය සංකේතවත් කිරීමට බව ද විශ්වාස කෙරෙනවා. කළු වර්ණය සශ්‍රීකත්වය පෙන්වීමට ද යොදා ගන්නවා. ඒ කළු පස පොහොර සහිත පසක් වීම හේතුවෙන්. එම අර්ථයද අනූබස්ගේ පෙනුමට ගැළපෙනුයේ අනූබස් යනු නපුරු දෙවි කෙනකු නොවී මරණින් මතු ජීවිතය සඳහා ආත්මය කැටුව යන ගමන් සගයෙක් වීම නිසා වන්නට ඇති.

ක්‍රි.පූ 332–30 කාලයට අයත් අනූබස්ගේ කුඩා ප්‍රතිමාවක් – metmuseum.org

 

අනූබස්ගේ ප්‍රතිමා පසු කාලීන පාරාවෝ රජවරුන්ගේ සොහොන් බිම් තුළ සුලබ ව දැකිය හැකි යි. ලෝක ප්‍රකට ටුටන්කාමන් සොහොන්ගෙයින් Anubis Shrine නමින් හඳුන්වන කැණහිලකු ලෙස නිර්මාණය කළ විශාල ප්‍රමාණයේ ප්‍රතිමාවක් හමු වීම මේ අතරින් සුවිශේෂයි. මෙය සොහොනක් මත පිහිටුවා තිබුණු අතර බටහිර දිශාවට හිස යොමු කරමින් සිටින ආකාරයටයි ඉදිකර තිබුණේ.

මීට අමතරව කැණහිලකුගේ හිසක් සහිත ක්‍රි.පු. 400 – 30 කාලයට අයත් කුඩා ප්‍රමාණයේ අනූබස් ප්‍රතිමා ද ඊජිප්තුවේ විවිධ ස්ථානවලින් හමු වී තිබෙනවා. මමිකරණය සම්බන්ධ සිතුවම්වල දී ද අනූබස්ගේ රුව සහිත සිතුවම් විශාල වශයෙන් දැකිය හැකි යි.

ටුටන්කාමන් සොහොන්ගෙයින් අනූබස් ප්‍රතිමාව සොයාගැනීම සහ එය වර්තමානයේ දිස්වන ආකාරය – pinterest.com

ඊජිප්තු සොහොන් ගෙවල් පිහිටා ඇති Saqqara ප්‍රදේශයේ Anubeion නම් අනූබස් දෙවියන්ට වැඳුම් පිදුම් කළ ස්ථානයක් මුල්වරට සොයා ගැනෙනවා. මෙහි තිබී මමිකරණය කළ සුනඛ සහ කැණහිලුන්ගේ සිරුරු ද හමුවූ අතර පසුව බොහොමයක් ප්‍රදේශවල මෙවැනි වැඳුම් පිදුම් කළ ස්ථාන හමු වුණා. විශේෂයෙන් පුරාණ ඊජිප්තුවේ පාලන ප්‍රදේශ වන 12 වන සහ 17 වන නෝම (Nome) වලදී විශාල ලෙස භූමිදානය කළ සුනඛ මමී හමු වූ බව වාර්තා වනවා.

ග්‍රීක දෙවිවරුන්ටත් ඊජිප්තු අභාෂය

ඊජිප්තු ශිෂ්ටාචාරය ක්‍රිස්තු පූර්ව 3000 – 300 අතර පැවතුණු අතර පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය ඇරඹෙන්නේ ක්‍රිස්තු පූර්ව. 700 දී පමණ යි. ඒ වන විටත් ගොඩනැගී තිබූ ඊජිප්තු ශිෂ්ටාචාරයේ සෘජු බලපෑම ග්‍රීසියට ලැබුණා. බොහොමයක් ග්‍රීක දෙවියන් නිර්මාණය වූයේ ඊජිප්තු දෙවිවරුන්ගේ ආභාසයෙන් බව පැහැදිලි යි.

උදාහරණයක් ලෙස ඩයනයසස් (Dionysus) නම් ග්‍රීක දෙවියාගේ සහ ඔසිරිස්ගේ සමානකම් බොහොමයක් තිබෙනවා. ඔසිරිස් දෙවන වර උපත ලැබීමට පෙර සැලකුවේ සශ්‍රීකත්වයට අධිපති දෙවියන් ලෙස වන අතර ඩයනයසස් ද සශ්‍රීකත්වයට අධිපති දෙවියන් වුණා. ඩයනයසස් ද දෙවරක් උපත ලැබූ අයෙක් වීම විශේෂත්වයක්. මෙලෙස ඊජිප්තු සහ ග්‍රීක දෙවිවරුන් අතර සමානකම් පැවතියත් ඔවුන් අතර ප්‍රධාන වෙනස වූයේ ග්‍රීක දෙවිවරුන්ගේ පෙනුම මනුෂ්‍යයන්ට බොහෝ සෙයින් සමාන වීම යි.

ග්‍රීක අනූබස් දෙවියන් හෙවත් හර්මානුබස්ගේ ප්‍රතිමාවක් – realmofhistory.com

 

අනූබස්ගේ කාර්යයභාරය පැවරුණු ග්‍රීක දෙවියා වන්නේ හර්මානුබස් ( Hermanubis) යි. මොහුගේ නම නිර්මාණය වී ඇත්තේද අනූබස්ගේ නම සහ ග්‍රීක දෙවි කෙනකු වන හර්ම්ස් (Hermes) ගේ නම එකිනෙක එකතු කර ගෙන යි. හර්ම්ස් යනු ධනය, වාසනාව ආදියට අධිපති ග්‍රීක දෙවි කෙනකු වන අතර ග්‍රීක දේව මණ්ඩලයේ පණිවිඩකාර දෙවියන් වන්නේ ද මොහු යි. හර්මානුබස් සතුව හර්ම්ස් ගේ අතේ ඇති caduceus නම් යෂ්ටියත් අනූබස්ගේ මෙන් කැණහිලකුගේ හිසකුත් පවතිනවා. හර්මානුබස් ද ආත්ම සඳහා මඟ පෙන්වීමේ කාර්යයේ නියුතු වු දෙවි කෙනකු ලෙසයි දැක්වෙන්නේ.

මහා ඇලෙක්සැන්ඩර් රජු ක්‍රිස්තු පූර්ව 332 දී ඊජිප්තුව ආක්‍රමණය කළ අතර එයින් පසු එහි පැවති රෝම අධිරාජ්‍යය යටතේ හර්මානුබස් දෙවියන් ප්‍රචලිත වූ බව කියවෙනවා. ඇලෙක්සැන්ඩර් රජුගේ ජනරාල්වරයකු වන Ptolemy I Soter ක්‍රි.පූ 305 – 306 කාලයේ දී පාරාවෝ තනතුර හෙබවූවා. ඔහුගෙන් පසු ක්‍රිස්තු පූර්ව 30 පමණ දක්වා Ptolemyවරුන් පාරාවෝ තනතුරට පත්වූ අතර පසුව පාරාවෝ යන්න බැහැර කෙරුණා. මෙම රෝමානු පාලන තන්ත්‍රය යටතේ ඊජිප්තු ඇදහිලි විශ්වාසවලට ඉඩ ලැබුණා මෙන්ම ඒවායේ අභාෂය ග්‍රීක ඉතිහාසයටද පසු කාලීන ඒබ්‍රහම්වාදී ආගම් නිර්මාණයට ද බලපෑවා.

කවරයේ ඡායාරූපය - Assassin's Creed: Origins පරිගණක ක්‍රීඩාවේ ඡායාරූපයක්

තොරතුරු worldhistory.org

egyptianmuseum.org

cleopatraegypttours.com

mythopedia.com

historymuseum.ca

journeytoegypt.com

realmofhistory.com 

Related Articles