Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක අවසානය ගැන පුරෝකථන : පළමු දිගහැරුම

වර්තමානයේ සිටින විද්‍යාඥයින් පමණක් නොව අතීතයේ සිටි විද්වතුන් මෙන් ම ආගමික නායකයන් ද මතු යම් දිනෙක ලෝකය අවසන් වන ආකාරය ගැන නොයෙකුත් මත පළ කර තිබෙනවා. මේ අතරින් මෑත කාලීන ව වඩාත් ජනප්‍රිය වූයේ මායාවරුන්ගේ දින දසුන හා සබැඳි මතය යි. එය ඇරඹුණේ සුමේරියානුවන් විසින් අනාවරණය කර ගන්නා ලද නිබිරු නම් ග්‍රහලෝකයක් පෘථිවිය දෙසට ඇදී එන බව විශ්වාස කිරීම හේතුවෙන්.

ඒ අනුව 2003 මැයි මාසයේ දී ලෝකය අවසන් වීමට නියමිත ව පැවතුණ ද එය සිදු නොවීම නිසා ලෝක අවසානය 2012 දෙසැම්බර් 21 වැනි දිනට කල් ගියා. නමුත් නාසා ආයතනය ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ මායාවරුන්ගේ දින දසුන 2012 දෙසැම්බර් 21 වැනි දිනෙන් අවසන් වීම, සාමාන්‍ය දින දර්ශනයක් සෑම වසරක ම දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වීම මෙන් ම සරල සිදුවීමක් බව යි.

මෙක්සිකෝවේ ඇස්ටෙක් (Aztec) ශිෂ්ටාචාරයේ සුර්ය දින දර්ශනය. ඇස්ටෙක් විශ්වාසය අනුව සෑම අවුරුදු 52කට වරක් ලෝක විනාශය සිදු විය හැක. (sheltervg4.com)

නමුත් සෑම දෙයක් ම යම් දිනෙක විනාශයට පත් වීම ලෝක ස්වභාවය යි. ඒ අනුව පෘථිවිවාසීන් විද්‍යා සහ තාක්ෂණ අංශයන්ගෙන් කොතරම් ඉහළ තලයකට පැමිණි සිටිය ද 2012 දෙසැම්බර් 21 වැනි දින සිදු නොවූ ලෝක විනාශය මතු යම් දිනෙක සිදු වන විට ඔවුන්ට එය වැළැක්විය නොහැකි බවට නම් සැකයක් නැහැ. එයට මූලික ම හේතුවක් වන්නේ ලෝක විනාශය සිදු වන ආකාරය නිශ්චිත නොවීම යි. ලෝක විනාශය සිදු වන අයුරු අවිනිශ්චිත වුව ද ඒ සම්බන්ධයෙන් මෙන් ම පෘථිවි තලයෙන් මිනිසා ව තුරන් වී යා හැකි ආකාරය ගැන නූතන විද්වතුන් පළ කර ඇති පුරෝකථන කිහිපයක් ගැන තොරතුරු යි මේ.

ලෝක පාලනය කෘත්‍රිම බුද්ධියක් යටතට

කෘත්‍රිම බුද්ධිය භයානක අවධියකට පැමිණීම තේමා කරගත් “I,Robot” චිත්‍රපටයේ රාමුවක්. (20th Century Fox)

ක්‍රමයෙන් තාක්ෂණය දියුණු වීමත් සමග නිපදවන ලද බොහෝමයක් කෘත්‍රිම බුද්ධීන්ට තනි ව සිතා කටයුතු කිරීමට සහ පරිසරයට අනුව හැඩ ගැසීමට හැකි බව නොරහසක්. මෙය මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම මෙන් ම අනාගතය ද දැඩි සේ අවිනිශ්චිත බවට පත් කර තිබෙනවා. දශක දෙකකට පෙර ස්වයංක්‍රීය ව පදවාගෙන යන වාහන ‘නයිට් රයිඩර්’ කතා මාලාවට පමණක් සීමා වුවත් වර්තමානයේ දී නතර කළ යුතු ස්ථානය සහ මංතීරු මාරු කිරීම පවා තනි ව තීරණය කරමින් ස්වයං පැදවීම සිදු කරන වාහන මෙන් ම අසන ලද පැනයන් වටහා ගනිමින් නිවැරදි ව පිළිතුරු ලබා දීමට සමත් සිරි, ඇලෙක්සා සහ කෝටානා වැනි ඩිජිටල් යෙදවුම් ද සෑම දෙනා අතර ම ජනප්‍රිය යි.

කෘත්‍රිම බුද්ධිය මිනිසුන් අභිබවා යන බවට භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකිං අනතුරු අඟවයි (Getty Images)

එසේ ම මේ සෑම කෘත්‍රිම බුද්ධියක් ම විද්‍යාත්මක පර්යේෂණයන් යටතේ දිනෙන් දින ම දියුණු වන්නේ එදිනෙදා කටයුතු පහසු කරමින් වුවත් එසේ ගත වන සෑම දිනක් පාසා ම කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් මනුෂ්‍ය ප්‍රජාවට ලක් වන්නේ දරුණු අවදානමකට යි. න්‍යායික භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් පවසන්නේ “මා විශ්වාස කරන අන්දමට ජීව විද්‍යාත්මක මොළයකින් මුදුන්පත් කර ගත හැකි දේ සහ පරිගණකයකින් ලබා ගත හැකි දේ අතර ගැඹුරු වෙනසක් නැහැ. මේ නිසා න්‍යායාත්මක ව පරිගණකයට මිනිස් බුද්ධිය අභිබවා යාමට හැකි යි. වර්තමානයේ දී කෘත්‍රිම බුද්ධිය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. එහි ප්‍රතිලාභ ඇති බවට සැකයක් නැහැ. නමුත් එය ප්‍රබල ස්වයංපාලක අවි ආයුධ වැනි අවදානම් ද මනුෂ්‍ය ප්‍රජාව වෙත ළඟා කරනවා. ඒ නිසා අනාගතයේ දී මිනිසාගේ අරමුණු හා ගැටෙන කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය වීමෙන් සමස්ත මිනිස් ප්‍රජාව ම නැති වී යාමේ අවදානමක් පවතිනවා.”

මෙම අවදානම මග හරවා ගැනීම සඳහා මේ වන විටත් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අනුභූතී අවදානම් අධ්‍යයන මධ්‍යස්ථානය (Centre for the Study of Existential Risk) පර්යේෂණ ආරම්භ කර තිබෙනවා. ඔවුන්ගේ මූලික අරමුණ එළැඹෙන දශක කිහිපය තුළ දී කෘත්‍රිම බුද්ධිය මගින් මිනිසාට ඇති වන අවදානම් හඳුනාගෙන ඒ මගින් ඇති විය හැකි අනපේක්ෂිත විනාශයන් වළක්වා ගැනීම යි.

පිටසක්වළ ආක්‍රමණයක්

පිටසක්වල ජීවින් අපව ආක්‍රමණය කරයිද?
(amirulasa95.deviantart.com)

මෑත කාලීන ව නිර්මාණය වූ බොහෝමයක් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පාදක වුණේ පිටසක්වළ ආක්‍රමණයක්. නිමක් නොමැති විශ්වයේ කොහේ හෝ සිට පෘථිවිය දෙසට නෙත් යොමාගෙන සිටින පිටසක්වළ ජීවීන්, පාලනයෙන් මිදුණු ශිෂ්ටාචාරයක ලක්ෂණ පෙන්නුම් කරමින් පෘථිවි වාසීන් තමන්ට තර්ජනයක් වන බව පෙනෙන විට එය මැඩ පැවැත්වීම සඳහා ප්‍රබල ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. පෙන්සිල්වේනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයීයය සාමාජිකයන් සහ නාසා ආයතනයට අනුබද්ධ විද්‍යාඥයන් දක්වන මෙම අදහස්වලින් පෙනී යන්නේ අනාගතයේ කිසියම් අවස්ථාවක දී පෘථිවි වාසීන් සහ පිටසක්වළ ජීවීන් අතර ගැටුමක් ඇති වේ යැයි ඔවුන් අපේක්ෂා කරන බව යි.

නාසා ආයතනයේ ග්‍රහතාරකා විද්‍යා අංශයේ ෂෝන් ඩෝමගල්-ගෝල්ඩ්මාන් සහ ඔහුගේ සගයන්, පෘථිවි වාසීන් සහ පිටසක්වළ ජීවීන් අතර ගැටුමක් ඇති වුවහොත් එයින් පසු ව ඇති විය හැකි ප්‍රතිඵල ලැයිස්තුවක් සකස් කර තිබෙනවා. එය සැකසීමේ අරමුණ වන්නේ සත්‍ය වශයෙන් ම පිටසක්වළ ආක්‍රමණයක් පැමිණියහොත් පෘථිවි වාසීන්ට එ් සඳහා සූදානම් වීම පහසු කිරීම යි. මෙම ලැයිස්තුවේ දක්වා ඇති ප්‍රතිඵල, හිතකර, මධ්‍යස්ථ සහ හානිකර ලෙස තුන් ආකාර යි.

පිටසක්වල ජීවිය සෙවීමට කැපවුණ SETI Institute විසින් නිර්මිත “ඇලන් දුරේක්ෂක පෙළ”
(http://wwwcdn.skyandtelescope.com)

මේ අතර ඇති වඩාත් ම හානිකර ප්‍රතිඵලය වන්නේ හදිසි අනතුරක් ලෙස හෝ පිටසක්වළ ජීවින්, මනුෂ්‍ය ප්‍රජාවට හානි කිරීම යි. ඒ අනුව මිනිසා පිටසක්වළ ජීවීන්ගේ ගොදුරක් වීම, පිටසක්වළ ජීවින් මිනිසුන් ව වහලුන් බවට පත් කිරීම හෝ වසංගතයක් මගින් සමූල ඝාතනය කිරීමේ හැකියාවක් පවතිනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස පෘථිවියෙන් මිනිසා තුරන් වීම හෝ පිටසක්වළ ජීවීන්ගේ විනාශකාරී භෞතික විද්‍යා පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස පෘථිවිය, වාසය කළ නොහැකි ස්ථානයක් බවට පත් විය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. මෙය මග හරවා ගැනීමට පහසු ම ක්‍රමයක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ගනුදෙනු කරන්නේ කවුරුන් සමග ද යන්න පැහැදිලි ව තහවුරු කර ගන්නා තෙක් පිටසක්වළ ජීවින්ට සංඥා ලබා දීම නතර කළ යුතු බවයි.

ජෛව සැසීම හෙවත් biohacking

බොහෝමයක් රෝගවලට පිළියම් සැපයීම සඳහා මේ වන විටත් විද්‍යාඥයින් සුපිරි මකුණන් (superbugs) නිර්මාණය කිරීම සඳහා යොමු වී ඇති බව රහසක් නෙමෙයි. මෙවැනි නවීන ජීව විද්‍යාත්මක තාක්ෂණයක් ඇති කිරීම සඳහා විද්‍යාඥයින් දැනට පවතින ක්ෂුද්‍රජීවීන්ගේ ජාන කේතයන් පවා වෙනස් කිරීම සිදු කරනු ලබනවා. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ එම ක්ෂුද්‍රජීවීන් තමන්ට අවැසි කටයුත්ත සඳහා යොදා ගැනීම පහසු කිරීම යි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2016 මාර්තු මාසය වන විට විද්‍යාගාර තුළ දී කෘතීම ජීවින් නිෂ්පාදනය කිරීමට පවා විද්‍යාඥයින් සමත් වී තිබෙනවා.

මීළඟ වසංගතය පර්යේෂකාගාරය තුළින්ම නිපදවේද? (ovariancancernewstoday.com)

වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා මෙය ඉතාමත් හොඳ පියවරක් වුවත් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අනුභූතී අවදානම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මෙයින් අනාගතයේ දී අතිශය දරුණු ප්‍රතිඵල ඇති විය හැකි බව යි. වර්තමානයේ බොහෝමයක් පර්යේෂණ මගින් අධ්‍යයනය කරන්නේ වෛරස් වැනි ස්වයං ප්‍රතිගුණන හැකියාවන් සහිත ක්ෂුද්‍රජීවීන් පිළිබඳ ව වන අතර එවැනි ජීව විශේෂයක් යම් හෙයකින් විද්‍යාගාරයෙන් පිටතට ගියහොත් ගෝලීය වසංගතයක් ඇති වීමේ ඉහළ අවදානමක් පවතිනවා. ඒ නිසා ම ඔවුන් ජෛව ඉංජිනේරු විද්‍යා පර්යේෂණ නියාමනය කෙරෙහි ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී තිබෙනවා.

විනාශකාරී ග්‍රාහක ගැටුමක්

(survivingtheaftermath.com)

මහත් විනාශයක් ගෙන දෙන ආකාරයේ ග්‍රාහක ගැටුමක් සිදු වීමේ ඉහළ සම්භාවිතාවයක් නොමැති වුවත් අනාගතයේ දිනෙක එය යථාර්ථයක් බවට පත් වීමේ හැකියාවක් නැතුවා ම නෙමෙයි. 2017 ජනවාරි මාසයේ දී ප්‍රමාණයෙන් දස මහල් ගොඩනැගිල්ලක් හා සමාන ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ඇදී ගිය අයුරු කාටත් මතක බවට සැකයක් නැහැ. බොහෝමයක් තාරකා විද්‍යාඥයින්ගේ මතය වන්නේ පෘථිවි වාසීන් සතු තාක්ෂණය ග්‍රාහක බලපෑමක් නතර කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බැවින් ඒ සඳහා සූදානම් වීම කාලය නාස්ති කිරීමක් බව යි.

විශ්වය පුරා විසිරී ඇති ග්‍රාහක සියල්ලක් ම පාහේ නිර්මාණය වී ඇත්තේ ග්‍රහලෝක බිහි වීමේ දී ඇති වන අමුද්‍රව්‍ය සහ අභ්‍යාවකාශ සුන්බුන් එක් වීමෙන්. එවැනි ග්‍රාහක බොහෝමයක් හිරු වඩා පරිභ්‍රමණය වෙමින් අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුළ සැරිසරනවා. වසර මිලියන ගණනකට පෙර පෘථිවිය මත වාසය කළ ඩයිනසෝරයන් වඳ වී ගියේ ද කිලෝ මීටර් 10 ක පමණ විශාලත්වයකින් යුක්ත ග්‍රහකයන් පෘථිවිය හා ගැටීම හේතුවෙන් බව යි සැලකෙන්නේ.

ඩයිනසෝර්යන් වඳ වී ගියේ උල්කාපාත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බව විද්‍යාඥයින් තර්ක කරයි (bg.woowals.com)

නාසා ආයතනයේ ගොඩාඩ් අභ්‍යවකාශ පියාසැරි මධ්‍යස්ථානයේ අචාර්ය ජෝසප් නත් සඳහන් කරන අන්දමට යම් හෙයකින් එවැනි ගැටුමක් වර්තමානයේදී ඇති වුවහොත් එහි ප්‍රතිඵලය වන්නේ අති විශාල සුනාමි රළක් ඇති වී සමස්ත වෙරළ පද්ධතිය ම විනාශ වී යාම සහ එයින් පෘථිවි වායුගෝලයට මුහුදු ජලය විසි වීමෙන් ඕසෝන් ස්තරය විනාශ වී පෘථිවි වාසීන් පාරජම්බුල විකිරණවලට නිරාවරණය වීම යි. නමුත් මෙවැනි ග්‍රාහක ගැටුමක් සිදු වීමේ සම්භාවිතාවය එතරම් ඉහළ නොවන නිසා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අනුභූතී අවදානම් අධ්‍යයන මධ්‍යස්ථානය එයට ලබා දී ඇත්තේ අඩු වැදගත්කමක්.

න්‍යෂ්ටික සංග්‍රාමයක අවසන් ප්‍රතිඵලය

අප හා සතු ආයුධ වලින්ම අප වැනසේද? (diedrich-andreas.de)

දත්ත පෙන්වා දෙන ආකාරයට මේ වන විට ලෝකයේ බලවත් ම ජාතීන් 9 ක් සතු ව ඇති න්‍යෂ්ටික අවි ගණන 15,000 ඉක්මවනවා. නමුත් යම් හෙයකින් පෘථිවි තලය මත න්‍යෂ්ටික සංග්‍රාමයක් ඇති වුවහොත් සම්පූර්ණයෙන් ම ලෝකය විනාශ කිරීම සඳහා අවැසි වන්නේ න්‍යෂ්ටික අවි 100 ක් පමණක් වන බව යි පැවසෙන්නේ. මෙම අදහස 1983 දී ලෝකයට ඉදිරිපත් කරන ලද්දේ කාල් සේගන් ඇතුළු තාරකා භෞතික විද්‍යාඥයින් පිරිසක්. ඒ අනුව න්‍යෂ්ටික සංග්‍රාමයක දී සමස්ත පෘථිවිය වසාගෙන දැවැන්ත අග්නි කුණාටු හමා යනු ඇති අතර මේ ගිනිදැල්වලින් නැගෙන දුම් හා දූවිලි එක්ව වියනක් සේ පැතිරී පෘථිවියට හිරු කිරණ වැටීම වළක්වනු අැත. එසේම අපරිවර්තී ගෝලයට ඇතුළු වී ඕසෝන් ස්තරයද විනාශ කරමින් පවතින විකිරණශීලී දූවිලි නිසා පෘථිවි වාසීන් පාරජම්බුල හා වෙනත් හානිදායක විකිරණවලට නිරාවරණය වනු ඇත.

මෙවැනි න්‍යෂ්ටික සංග්‍රාමයකින් පසු ව මනුෂ්‍ය ප්‍රජාව නොනැසී පැවතීමේ හැකියාවක් ඇතත් පෘථිවිය වාසය සඳහා තව දුරටත් සුදුසු ස්ථානයක් නොවනු ඇති බව යි ගෝලීය විනාශකාරී අවදානම් ආයතනය (Global Catastrophic Risk Institute) ප්‍රකාශ කරන්නේ. නමුත් මෙම අවදානම අවම කර ගත හැකි අයුරු ඔවුන් පෙන්වා දෙනවා. ඒ අනුව දැනටමත් ඔවුන් ලෝකයේ බලවත් රාජ්‍යයන් සමග න්‍යෂ්ටික අවි භාවිතය නතර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරන අතර එක්සත් ජාතීන් සමග එක් ව හැකි පමණින් තෙවැනි ලෝක සංග්‍රාමයකට පවතින ඉඩකඩ අවම කිරීම යි ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ.

 

කවරයේ පින්තූරය : YouTube/TechnoTiger

Related Articles