Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බදු ගැහීමෙන් දුම් පානයට තිත තැබිය හැකි ද?

දුම් පානය කියන්නේ ලෝකයේ මත්ද්‍රව්‍ය භාවිත කරන ජනප්‍රියතම ක්‍රමය කිව්වොත් වැරැද්දක් නැහැ. ලෝකයේ කිසිම රටක දුම්පානය හෝ දුම්වැටි අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කර නැහැ වගේම, දුම්පානයෙන් සම්පූර්ණයෙන්ම තොර වූ රටක් තබා නගරයක්වත් නැති තරම්.

අවුරුදු දහස් ගණනක් පුරාවට දුම් පානය විවිධ ආකාරවලින් සිදු වී තිබෙනවා. කොහොම වුණත් අද වන විට දුම් පානයේ දී ප්‍රධාන වශයෙන්ම යොදාගන්නා දුම්කොළ (Nicotiana tabacum) වාණිජව වගා කර යොදාගැනීම ඇරඹුණේ 16 වැනි සියවසේ දී උතුරු ඇමෙරිකානු මහාද්වීපයේ. එදා සිට මේ වන තෙක්ම ඉතාම ලාභදායී වාණිජ වගාවක් විදිහටත්, වෙළඳ භාණ්ඩයක් විදිහටත් දුම්කොළ භාවිත වෙනවා.

ඇමෙරිකාවේ මුල්කාලීන දුම්කොළ වගාවක සිතුවමක් (fineartamerica.com)

ලෝකයේ වළක්වා ගත හැකි මරණ වැඩිම ප්‍රමාණයකට හේතුව මේ දුම් පානය විදිහට යි ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දෙන්නේ. පිළිකා, හෘදයාබාධ, පෙනහළු රෝග සහ අක්මා රෝග ඇතුළු මරණය දක්වා යා හැකි ගැටලු ගණනාවකට දුම් පානය ඍජුවම දායක වන බව පර්යේෂණ විශාල ගණනකින් තහවුරු වෙලා තිබෙනවා. මීට අමතරව තවත් රෝග, අපහසුතා, ආබාධ සහ ගැටලු ගණනාවකටත් දුම් පානය හේතු වෙනවා.

මේ නිසාම දුම් පානය අවම කිරීමට විවිධ උත්සාහයන් අද සෑම රටකින්ම දැකගන්න පුළුවන්. ඒ අතරින් ප්‍රධානම ක්‍රමයක් වෙන්නේ විශාල බද්දක් අය කරමින් දුම්වැටිවල මිල ඉහළ නැංවීම යි. අපේ රටෙත් මේ වැඩේ ජයටම කෙරෙනවා. නමුත් ඇත්තෙන්ම එය ඵලදායී ක්‍රමයක් ද?

ශ්‍රී ලංකාවේ රජයට හදිස්සියට අත මාරුවක්

ශ්‍රී ලංකාව කොහොමත් බදු ගහන්න හරිම ප්‍රසිද්ධ රටක්. ආනයනික වාහනවල, ඉන්ධන වගේ දේවල්වල ඉඳලා හැමදේකටම පාහේ යම් බද්දක් පනවන අපේ රටේ දුම්වැටිවලටත් අධික බද්දක් අය කරනවා. ශ්‍රී ලංකාව ලොව දෙවැනියට වැඩිම දුම්වැටි බද්ධක් අය කරන රට බව පර්යේෂණ බුද්ධි තොරතුරු ඒකකය හෙවත් Research Intelligence Unit (RIU) මඟින් 2018 මාර්තු මාසයේ නිකුත් කරන ලද වාර්තාවක දැක්වුණා. මෑතකාලීනව තවත් රුපියල් 3.80කින් බදු වැඩි කිරීමත් එක්ක සමහර විට අපි දැන් ලෝකයෙන්ම පළමුවැනියා වෙන්නත් ඇති.

දුම්වැටි සහ මධ්‍යසාර පානවලට බදු ගැහීම අපේ රටේ දී සලකන්නේ කෙටිකාලීනව රාජ්‍ය ආදායම වැඩි කරගන්න පුළුවන් පහසුම ක්‍රමයක් විදිහට යි. පාවිච්චි කරන අය මිල කීයක් වුණත් ගන්න නිසා මේවාට පවතින බදු ක්ෂණිකව ඉහළ දැමීමෙන් රජයේ ආදායමත් ක්ෂණිකව වැඩි කරගන්න පුළුවන්. වාහන, ඉන්ධන වගේ තවත් ක්ෂණිකව බදු ගැසිය හැකි දේවල් තිබුණත් ඒවා දේශපාලනික වශයෙන් සංවේදී නිසා භාවිත වෙන්නේ බැරිම තැනක දී විතරයි. මධ්‍යසාර සහ දුම්වැටි බදු වැඩි කිරීම්වලට වැඩි විරෝධයක් එල්ල වෙන්නේ කලාතුරකින්.

බදු ගහන්න ලේසිම දෙයක් තමයි සිගරට් (pakistantoday.com.pk)

දුම්වැටි අලෙවිය පහළ දමන්න බදුවල දායකත්වය

රජයේ ආදායම වැඩි කරගන්න හොඳ ක්‍රමයක් වුණත් ඒ සාධකය මතම දුම්වැටිවල බදු ප්‍රමාණය තීරණය කරන එක සදාචාරාත්මකව නම් හොඳ මදි. සාමාන්‍යයෙන් දුම්වැටි භාවිතය වඩාත්ම අධෛර්යමත් කරන අරමුණෙන් තමයි බදු අය කළ යුතු කියලයි සමාජ මතය තිබෙන්නේ.

ක්ෂණිකව බදු ඉහළ නැංවීමත් එක්ක දුම්වැටිවල මිල සැලකිය යුතු ලෙස ඉහළ යන නිසා රට පුරාම දුම්වැටි අලෙවියේ පහත වැටීමක් සිදුවන බව පැහැදිලිවම දැකගන්න පුළුවන්. 2016 අවුරුද්දේ දුම්වැටියක මිල රුපියල් 35 සිට 50 දක්වා එකවර වැඩි කිරීමත් එක්ක රටේ දුම්වැටි පරිභෝජනය 29%කින් අඩු වුණු බව වාර්තාවල දැක්වෙනවා.

මෙය සාමාන්‍යයෙන් ලෝකය පුරාම කරන ලද පර්යේෂණවල දකින්න ලැබුණු දෙයක්. සාමාන්‍ය පිළිගැනීම වන්නේ දුම්වැටියක මිල 10%කින් ඉහළ දැමීම පරිභෝජනය 5-7% අතර ප්‍රමාණයකින් පහළ වැටීමට හේතු වන බව යි. රුපියල් 35 සිට 50 දක්වා රුපියල් 15 කින් ඉහළ දැමීම 43%ක වැඩි වීමක් නිසා ඒ සූත්‍රයෙන් පුරෝකථනය කරන අගය නිවැරදි බව පරිභෝජනය 29%කින් පහත වැටීමෙන් පෙනී යනවා.

දුම් පානය අධෛර්යමත් කරන්න හොඳ ක්‍රමයක් ද?

පරිභෝජනය එකවර අඩු වන නමුත් එකවර බදු ඉහළ දැමීම නිසා දුම්කොළ සමාගම්වලින් අය කරන මුළු බදු ප්‍රමාණය නම් පහත වැටුණා. මේ නිසා රජයේ බදු ආදායමේ පහත වැටීමක් දකින්න ලැබුණා විතරක් නෙවෙයි, එකවර විශාල ප්‍රමාණයකින් බදු ඉහළ දැමීමෙන් පසු ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාවේ වාර්තාවලිනුත් පෙන්නලා තිබුණේ නව බදු ප්‍රතිශත එක්ක ඔවුන්ගේ බදුවලින් පසු ආදායම සැබැවින්ම ඉහළ යන බවක්.

දුම්වැටි මිල ඉහළ ගියාට සමාගම්වල වටිනාකමේ අඩු වීමක් නැහැ (lk.duinvest.com)

මේ නිසා වැඩිදුර නොහිතා දුම්වැටිවල මිල පමණක් වැඩි කරන එකෙන් අලෙවිය එකවර පහත වැටුණත් දිගුකාලීනව එය ප්‍රයෝජනවත් ද කියන එක නම් විවාදාත්මක යි. දුම්කොළ නිෂ්පාදන ප්‍රචාරණයට ශ්‍රී ලංකාවේ බාධක බොහොමයක් තිබුණත් ආදායම වැඩි වීමත් එක්ක බොහොම සූක්ෂමව, නිර්මාණාත්මකව මේ සමාගම් සිය ප්‍රචාරණ කටයුතු සිදුකරලා තවත් පිරිසක් තමන්ගේ නිෂ්පාදනවලට හුරු කරගන්න ඉඩක් තිබීම ගැන මෙහි දී අනිවාර්යයෙන්ම සැලකිලිමත් වීම අවශ්‍ය යි.

කෙටිකාලීන අවශ්‍යතාවන්ට බදු වැඩි කිරීම ඇත්තටම දිගුකාලීනව දුම්වැටි පරිභෝජනයත්, ඒ නිසාම එයින් රටට ඇති වන පීඩාවනුත් වැඩි කරන්නට හේතු විය හැකියි. 2016 දී බදු ඉහළ දැමීමත් එක්ක කොළඹ කොටස් වෙළඳපොළේ CTCහි කොටස් මිල පහත වැටුණත්, වසර දෙකක් ගත වෙන්නත් පෙර වාර්තාගත කොටස් මිලක් ලබාගෙන ශ්‍රී ලංකාවේ වටිනාම සමාගම බවට පත් වෙන්නත් ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාවට හැකි වීම මෙයට හොඳ සාක්ෂියක්.

බදු අය කිරීම දුම් පානය ක්ෂණිකව අධෛර්යමත් කිරීමට ඉතාම වැදගත් වන බව පැහැදිලි යි. එහෙත් එතරම් නොසිතා බදු වැඩි කිරීමේ සැබෑ ප්‍රතිඵලය ගැන දැන් ඔබට වැටහීමක් ඇති. මේ නිසා නිතරම සැබෑ අරමුණ වන දුම් පානය පහත හෙළීම කරා යන්න අවශ්‍ය හොඳම මාර්ගය තෝරාගැනීම හරිම වැදගත්. එකවර පරිභෝජනය පහළ ගියාට ඒකෙන් සමාගමේ ආදායම වැඩි වෙනවා නම් තේරුමක් නැහැ නේද?

වඩාත්ම සාර්ථක ක්‍රමය වන ඒකාබද්ධ වැඩපිළිවෙලක්

දුම් පානය සාර්ථකව අඩු කරගත් ඕස්ට්‍රේලියාවේ ප්‍රවේශයේ ප්‍රතිඵල (cancercouncil.com.au)

ලෝකය පුරාම දුම්වැටි භාවිතය අවම කරන්න විවිධ රටවල් ගෙන ගිය වැඩපිළිවෙලවලින් වඩාත්ම සාර්ථක වූ ක්‍රමය වන්නේ බදු ගැන පමණක් නොහිතා තවත් පැති කිහිපයකින් මෙයට පියවර ගැනීම යි. එහි දී දුම්වැටි පැකට්වල අවවාද සහිත රූප අඩංගු කිරීම විශාල සාර්ථකත්වයක් ලබා තිබෙනවා. ශ්‍රී ලංකාවෙත් දැන් නීතිමය වශයෙන්ම පැකට්ටුවේ 80%ක මේවා අඩංගු විය යුතු වීම ඉතාම හොඳ ප්‍රවණතාවක්.

කොහොම නමුත් සිගරට් වෙන් වෙන්ව විකිණීම සුලභ ශ්‍රී ලංකාව වගේ රටකට මෙය පමණක් ප්‍රමාණවත් නැහැ. විකුණන ස්ථානවල අවවාද සහිත දැන්වීම් පැවතීම, විකුණන අවස්ථාවේ දී ඒ ගැන පාරිභෝගිකයා වාචිකව දැනුවත් කිරීම වගේ දේවල් අනිවාර්ය කිරීමත් ඊට අමතරව අවශ්‍ය යි. ඒ වගේම දුම්වැටි ප්‍රචාරණය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමත්, නිර්මාණාත්මකව එයට පොළඹවා ගන්නා ක්‍රමවලට එරෙහිව දැඩිව කටයුතු කිරීමත් දුම්වැටි භාවිතය දිගුකාලීනව අවම කරන්න නම් හරිම වැදගත් වෙනවා.

e-සිගරට් වැනි දේත් නියාමනය අවශ්‍ය යි (medicalnewstoday.com)

නිෂ්පාදිත දුම්වැටිවලට මේ වාරණ පනවන අතරේම එය මඟ හරින අනෙක් ජාවාරම්වලටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය යි. තමාටම දුම්වැටි සාදා ගත හැකි කඩදාසි, දුම්කොළ මෙන්ම e-දුම්වැටිවලටත් නිසි ලෙස බදු හා වෙළඳ බාධක ක්‍රියාත්මක කිරීම, දුම්වැටි නීතියට පිටින් ගොස් නිපදවීම් සහ හොරෙන් ආනයනය කිරීම්වලට දැඩි දඬුවම් ලබා දීම, දුම් බීමේ ආදීනව ගැන සමාජය දැනුවත් කිරීම වගේ හැම අංශයකින්ම සිදු කෙරෙන ඒකාබද්ධ වැඩපිළිවෙලකින් තමයි සැබෑ සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන් වෙන්නේ.

ශ්‍රී ලංකාවටත්, ශ්‍රී ලංකා රජයටත් දුම් පානය අවම කිරීමේ සැබෑ උවමනාවක් තිබෙනවා නම් බදු මත පමණක් යැපීම අවම කරලා මේ වගේ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අතිශයින්ම වැදගත්.

කවරයේ රූපය : (fee.org)

මූලාශ්‍රයයන්:

Related Articles