කුණු කන්දක් තුළින් ඇති වූ මල් වත්ත – ඒරියල් ෂරොන් උද්‍යානය​

නාගරික ප්‍රදේශවල තිබෙන ප්‍රධානතම ගැටළුවක් වන්නේ කැළි කසල නැත්නම් කුණු බැහැර කිරීම යන ප්‍රශ්නයයි. මෙම ගැටළුව එක් රටකට පමණක් සීමා වුන දෙයක් නෙවෙයි. ඊශ්‍රායලයත් එම ප්‍රශ්නයට මුහුණ දුන් එක් රටක්. එහි වූ එක්තරා කුණු කන්දක් ගැනත්, මොන වගේ තත්ත්වයකද මෙම කුණු කන්ද තිබුණේ යන්නත්, එමඟින් නගරයට​ ඇති කළ අයහපත් බලපෑම ගැනත්, ගැටළුවට විසදුම් සෙවූ ආකාරය ගැනත් වගේම එය උද්‍යානයක් දක්වා පරිවර්තනය වූ ආකාරයත් මෙම ලිපියෙන් දන ගැනීමට හැකි වනවා.

ඊශ්‍රායලයේ පාරිසරික අර්බුදය

nocamels.com

ඊශ්‍රායලයේ  තිබෙන ටෙල් අවිව් ( Tel Aviv) නගරයේ හයිරියා (Hiriya Garbage Dump) යන නමින් කුණු කන්දක් ඇති වී තිබුණා. මෙම කුණු කන්ද ගැන අවධානය යොමු කිරීමේදී එය වර්ෂ 1952 දක්වා දිව යනවා. ඒ වගේම වර්ෂ 1998 වන විට මෙම කුණු කන්දේ දිග සැතපුම් භාගයක් පමණ වූ අතර උස මීටර් 80 ක් පමණ වූ බව සඳහන්.. මෙම වකවානුවේදී දිනකට මෙම කුණු කන්දට බැහැර කළ​ කැළි කසල ප්‍රමාණය ටොන් තුන්දහසක් පමණ වනවා.

මෙම කුණු කන්ද හේතුවෙන් ටෙල් අවිව් නගරයට ඇති වූ කරදර බාධක විවිධාකාරයි.. ඒ අතරින් නගරයේ භූගත ජල පද්ධතිය  හා  වායු ගෝලය ඉතාමත් දැඩිව දුෂණයට ලක් වී තිබෙනවා. එමෙන්ම මෙම නගරයේ බෙන් ගුරියන් (Ben Gurion) නමැති ජාත්‍යන්තර ගුවන් තොටුපළක් පිහිටා තිබෙන අතර කුණු කන්දේ කැළි කසල ආහාරයට ගත් පක්ෂීන් හේතුවෙන් ගුවන් තොටුපලේ ගුවන් යානා ගොඩ බැස්සවීමට බාධා ඇති වුණා කියලත් සඳහන් වනවා. එමෙන්ම 1998 වර්ෂය වන විට මේ ආකාරයට එකතු වුණ කැළි කසල ප්‍රමාණය ටොන් මිලියන 25කට වඩා අධිකයි කියලයි සඳහන් වන්නේ.

මේ ආකාරයට මෙම කුණු කන්ද හේතුවෙන් සිදු වූ තත්ත්වයට​ වහා පිළිතුරු සෙවූ ඊශ්‍රායල රජය කුණු කන්දට කුණු දැමීම නතර කොට ප්‍රතිචක්‍රීකරණය කිරීමට කටයුතු සුදානම් කළා. ඒ වර්ෂ 1998 දීයි.

ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය

inhabitat.com

මෙම කුණු කන්ද ප්‍රතිචක්‍රීකරණය සිදු කිරීම ආරම්භ කර තිබෙන්නේ 2001 වසරේදීයි. ඒ වගේම 2014 වර්ෂය වන විට එය උද්‍යානයක් බවට පත් කිරීමේ හැකියාව ඊශ්‍රායල රජයට ලැබුණා.. ඒ අනුව 2014 වර්ෂයේදී පමණ Hiriya Garbage Dump මැදපෙරදිග පිහිටා තිබෙන නවීනතම තෙත් බිම් උද්‍යානය බවට පත් කිරීම සිදු කළා. මෙම තෙත් බිම නම් කරලා තියෙන්නේ ඒරියල් ෂරොන් උද්‍යානය (Ariel Sharon Park) කියලයි. ඒ හිටපු ඊශ්‍රායල අගමැති ඒරියල් ෂැරෝන් සිහිවීමටයි.

ඒරියල් ෂරොන් උද්‍යානය (Ariel Sharon Park)

inhabitat.com

මෙම උද්‍යාන භුමිය වසර 19 කට පෙරාතුව කැළි කසල වලින් ගහණ ප්‍රදේශයක්. නමුත් මේ විදියට උද්‍යානය ප්‍රතිචක්‍රීයකරණය කොට උද්‍යානයක් බවට පත් කිරීමේදී ඇති වී තිබෙන වෙනස්කම් නම් පුදුමයක්. ඒ වගේම දුඟද හමමින්, නිල මැස්සන් පිරි තිබූ බිමේ අද වන විට විවිධ ආකාරයේ මල් වර්ග මෙන්ම සමනලුන් හා මි මැස්සන්ගෙන් පිරී පවතිනවා.

ඒ වගේම උද්‍යානයේ මුළු භූමි ප්‍රමාණය​ ලෙස අක්කර 2000 ක් පමණ පවතින බව දැක්වෙනවා. ඒ වගේම මෙහි තිබෙන සුවිශේෂී ලක්ෂනයක් වන්නේ අක්කර 150ක විශාලත්වයෙන් යුත් කැළි කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවා තිබීමයි. අද වන විටත් ඊශ්‍රායලයේ තිබෙන නගර 18ක පමණ කුණු ප්‍රතිචක්‍රීකරණය මධ්‍යස්ථානය වන්නේ ද මෙයයි. ඒ වගේම දිනකට ප්‍රතිචක්‍රීකරණයට භාජනය කරනු ලබන කැළි කසල ප්‍රමාණය නිවාසවලින් එකතු කරන කසළ ටොන් 3000 කුත්, කර්මාන්ත ශාලාවලින් ඉවත් කරන කසළ ටොන් 2000 කුත් පමණ වනවා. එමෙන්ම කුණු කන්දේ කැණීම් කිරීමක් සිදු කර තිබෙනවා. එසේ කැණීම් කිරීමෙන් අනතුරුව ඉදි කරනු ලැබුවා වූ ළිං 80ක් මඟින් ජීව වායුව නිපදවීමද සිදු කරනු ලබනවා.

සංචාරකයින්ගේ පැමිණීම

timesofisrael.com

එරියල් ෂරොන් උද්‍යානය​ නැරඹීමට පැමිණෙන සංචාරකයින් නම් බොහෝමයි. මෙසේ පැමිණෙන සංචාරකයින් සඳහා පහසුකම්ද සපයා තිබෙනවා. ඒ අතර මං තීරු, පාපැදි මංතීරු, ජල පොකුණු, වගාබිම්, ආසන 50,000 කින් සමන්විත රංග භූමියක්‌ද වනවා.

හයිරියා කුණු කන්ද සම්බන්ධයෙන් 2011 වසරේදී කෙටි චිත්‍රපටයක්ද නිර්මාණය කර තිබෙනවා. එය නමින් The Hiriya Project: A Mountain Change’ නම් වුණා. ඒවගේම මෙම චිත්‍රපටය එක්‌සත් ජාතීන්ගේ දේශගුණ වෙනස්‌වීම් පිළිබඳ සම්මුතිය (UNFCCC) මගින් පැවැත්වූ පිවිතුරු නගර සංවර්ධනය තරගාවලියේදී පළමු තැන දිනා ගැනීමේ භාග්‍ය උදා කර ගත්තා.

පහතින් ඔබ දකින්නේ එම චිත්‍රපටයයි.

කැළි කසල ගැටලුව කියන්නේ හැමෝටම පොදු ගැටළුවක්. නමුත් ඊශ්‍රාලයේ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය ගැන අවධානය යොමු කිරීමේදී පසක් වන්නේ කුණු ගැටලුව විසදුම් වලින් තොර වුවක් නොවන්නක් බවයි.

Cover Image: ඒරියල් ෂරෝන් උද්‍යානය​. ඈතින් ටෙල් අවිව් නගරය දිස් වේ (Pic: Duby Tal, Albatros)

Related Articles