Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Game of Thrones කොරියන් වර්ෂන් එක

2016 වසරේ දකුණු කොරියාවේ වැඩිම රේටින් ප්‍රමාණයක් හිමි කරගෙන විශාල වශයෙන් සම්මානයට පාත්‍ර වුණු, වසරේ ජනප්‍රියම ටෙලි කතා මාලාව “ඩිසෙන්ඩන්ට්ස් ඔෆ් ද සන් (Descendants of the sun)” කතා මාලාවෙන් අනතුරුව එහි ප්‍රධාන චරිත දෙකක්, නැවතත් කොරියානු ටෙලිවිෂනයේ ආන්දෝලනාත්මක වෙනසක් සිදුකරන්න යි යන්නේ. ලොව පුරා තරුණියන්ගේ හදවත දිනාගත් සොන්- ජුන්- කී (Song-joon-ki) සහ පිට පිටම තරුණයන්ගේ ආකර්ෂණය දිනාගත් කිම්- ජි- වොන් (Kim- ji-won) ප්‍රධාන චරිත නිරූපණය කරන නවතම කතා මාලාව, “Arthdal Chronical” ජුනි මස පළවෙනි ශනිදා දින සිට කොරියානු පුංචි තිරයට සම්ප්‍රාප්ත වුණා.

ඉතිහාස, ෆැන්ටසි සහ ආදරණීය කතා ගණයට අයත් වෙන මේ කතාව අපි එදිනෙදා දකින ඉතිහාසගත රජ කතාවකට එහා ගිය නවතම මුහුණුවරකින් නිෂ්පාදනය කර තිබීම විශේෂයක්. මේ කතාව පුරා යන්නේ, ගෝත්‍ර කිහිපයක් අතර සිදුවන සිදුවීම් මාලාවක්. මේ ටෙලි කතාව අධ්‍යක්ෂණය කරන්නේ සුප්‍රසිද්ධ දකුණු කොරියානු අධ්‍යක්ෂක කිම්- වොන්-සොක් විසින් වීම තවත් සුවිශේෂී කාරණාවක්. තවමත් විකාශය වෙලා තියෙන්නේ මෙහි එපිසෝඩ් 4ක් පමණක් වුණත්, රේටින් ප්‍රමාණය නම් ඉතා ඉහළ මට්ටමක පවතිනවා. කතාව බලන්න පටන් ගත්තොත් නම් ඊළඟ කතා කොටස බලනකන් ඉවසිල්ලක් නැති වෙනවා කියන එක නම් විශ්වාස යි! සෑම සති අන්තයකම කතා කොටස් දෙකක් විකාශය වන අතර, එදිනම ඉංග්‍රීසි උපසිරැසි සමග අන්තර්ජාලයේ පළ කෙරෙනවා.

කොරියානු කතාවලට කැමැත්තක් දක්වන සියලු දෙනාටම කම්මැලි නැතුව බලන්න පුළුවන් කතා මාලාවක් විදියට මේ කතාව හඳුන්වන්න පුළුවන්. කතාව කෙටියෙන් කියනවා නම්, යුන්-සම් (සොන්- ජුන්- කී) ඉපදෙන්නෙම ආසල් කියන ගෝත්‍රයට විපතක් රැගෙන එන දරුවෙක් විදියට. ඒත් එයාගේ අම්මාගේ ආදරය නිසා කොහොම හරි ආපදාවලින් බේරිලා හැදී වැඩෙන්න එයාට පුළුවන් කමක් ලැබෙනවා. පුංචි කාලේ දී ‘වහන්’ කියන ගෝත්‍රයට වෙලා හැදිලා වැඩෙන මේ දරුවා, ලොකු-මහත් වෙලා ඉරණමේ හැටියට නැවතත් එයා අයිති ආසල් ගෝත්‍රයට ඇතුළු වෙනවා.

ටා ජෝන් කියන්නේ ආසල්වල ඉන්න යුධ වීරයෙක්. එයාගේ අරමුණ ආසල් ගෝත්‍රය රාජධානියක් බවට පත් කරගෙන ඒකෙ පළවෙනි රජු වෙන්න. එයා ඒ අරමුණ ඉටු කරගන්න, කරන්න ඕනේ හැම දෙයක්ම කිසිම පසුතැවීමකින් තෝරව කරන කෙනෙක්. එයා තමයි මේ කතාවේ හතුරා කිව්වත් වැරද්දක් නෑ.

ටාන්යා කියන්නේ වහන් ගෝත්‍රයේ ඊළඟ නායිකාව. ඇය ඉපදුණේත් යුන්- සම්ගේ ඉරණමට සමාන ඉරණමක් එක්ක. වහල්කමට අරගෙන යන තම ගෝත්‍රයේ ජනතාව බේරාගන්න හදන ඇයට තේරෙනවා, මොකක්ද ඇගේ අරමුණ කියලා. ජනහිතවාදී නායිකාවක් වෙන්න ඇය, පුළුවන් හැමදේම කරනවා.

කතාවේ මූලිකවම අන්තර්ගත වෙන්නෙ මේ තුන්දෙනාගේ ක්‍රියාවන් ගැන යි. සතුට, දුක, ජය, පරාජය ඒත් එක්කම ආදරය කියන හැම හැඟීමක්ම මේ කතාවට අඩුවක් නැතුව එකතු කරන්න තිර රචක කිම්-යොන්-හ්යුන් සහ පාක්-සන්-යොන්ග් දෙදෙනා සමත් වෙලා තියෙනවා. මෙහි නිෂ්පාදන මිල ඩොලර් මිලියන 33.7ක්.

මේ කතාවේ ප්ලොට් එකයි, පසුබිමයි කතාවේ ප්‍රධාන චරිතවල තියෙන පොඩි පොඩි සමානකම් නිසා ලෝකය පුරා සිටින ජනතාවගේ අදහස “ගේම් ඔෆ් ත්රෝන්ස්- කොරියන් වර්ෂන්” එක තමයි මේ කියලයි. හැබැයි දැනට ආරංචි වෙන විදියට රේටින් හොඳ නිසා කොරියාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකෙම රසික රසිකාවියන්ගේ අවධානය දැන් යොමුවෙලා තියෙන්නේ මේ කතාවට කියලයි. ප්‍රධාන චරිත දෙකට අමතරව තවත් ජනප්‍රියම නළු නිළියන් රැසක් මේ කතාවට රංගනයෙන් දායක වෙනවා.

කතාව ඉවර වෙන්නේ යුන්-සම් රජ වෙලා ද? නැතිනම්, ටාජොන් රජ වෙලා ද? මේ දෙන්නම නැතුව අන්තිමට ටාන්යා රජ වෙයි ද කියන්නත් කියන්න බෑ. ඒකට නම් ඉතින් කතාව ඉවර වෙනකන් බලන්නම වෙනවා. මේ ලින්ක් එකෙන් ගිහින් ඔන්ලයින් මේ කතාව නරඹන්න ඔයාටත් පුළුවන්.

Related Articles