Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිගට ඇදෙන ඝාතන රැල්ලේ අවසානය කොතනද?

නාඳුනන තුවක්කුකරුවන් පැමිණ වෙඩි වරුසා එල්ල කර මිනිසුන් මරන යුග ගණනාවක් පසුගිය කාලයේ අප රටේ පැවතුණා. 88-89 භීෂණ කාලයේ දී ‘නාඳුනන තුවක්කුකරුවා’ යන වදන මේ රටේ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණා.

දැන් මාස කිහිපයක සිට නාඳුනන තුවක්කුකරුවන්ගේ ඝාතන රැල්ලක් සමාජයේ යළිත් ක්‍රියාත්මක ව පවතිනවා. නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි තැබීම් රැල්ල සමාජය භීතියට පත් කර තිබෙනවා.

ගල්කිස්ස අධිකරණය – vymaps.com 

උසාවිය තුළත් වෙඩි තැබීම්

දැන් යළිත් වරක් නාඳුනන කල්ලියක් හෝ කල්ලි ගණනාවක් හිස ඔසවා තිබේ. මේ මිනීමරුවෝ ඇතැම්විට යතුරුපැදිවලින් එති. තවත් සමහරු කාර්වලින් හෝ වෑන්වලින් හෝ එති. එසේ ඇවිත් වෙඩි වරුසා එල්ල කර පුද්ගලයකු හෝ කිහිප දෙනකු මරා පළා යති. මේ මිනීමැරුම් සිදුවන්නේ මුළු රටම නිදිගත් මහා රාත්‍රියේ නොව දෙනෝදාහක් වීදි බැස සිටින මහා දවාලේය. ඔවුන් මිනීමැරුම් සිදුකර පළා යන්නේද පැමිණි යතුරුපැදියෙන් හෝ කාර් එකෙන්මය.

පොලිසිය පවසන්නේ, වෙඩි තැබීමේ සිද්ධිවල පැහැදිලි වැඩි වීමක් ඇති බවයි. පොලිසියේ දත්තවලට අනුව මැයි 30 සිට අගෝස්තු 01 වැනිදා දක්වා වාර්තා වන වෙඩි තැබීමේ සිද්ධි සංඛ්‍යාව 17කි.

අනතුරු ව පසුගිය අගෝස්තු 4 දා වාර්තා වුණේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ ද වෙඩි තැබීමක් සිදුකර ඇති බව යි. දැඩි ආරක්ෂිත විධිවිධාන සහිත උසාවියක් තුළට තුවක්කු ගෙන ගියේ කෙසේ ද යන පැනය ඒ සමඟ ම බොහෝ දෙනා තුළ ඇති බුණා. අධිකරණයේ විත්ති කූඩුවට නැග සිටි පුද්ගලයකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, එම පුද්ගලයාට එම වෙඩි ප්‍රහාර වැදී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසා සිටියා.

වෙඩි තැබූ සැකකරු පලා ගොස් ඇත්තේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින්ට ද වෙඩි තබමිනු යි. සැකකරු අල්ලා ගැනීමට හැකි නොවූ අතර පසුව එතැන ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් දෙදෙනාගේ වැඩ තහනම් කළ බව ද වාර්තා වුණා.

 චිකාගෝ වෙඩි තැබීමක්- pinterest.com

චිකාගෝ ක්‍රමයේ අපරාධ

රටේ හැමතැන ම අවි දරාගත් පොලීසිය ඇතුළු ආරක්ෂක හමුදා සාමාජිකයන් දැකගත හැකි යි. හදිසි නීති තත්ත්වයක් ද ක්‍රියාත්මක යි. නමුත් පසුගිය දිනවල වෙඩි වරුසාවලින් මිනීමැරුම් සිදුකර අපරාධකරුවන් පලා ගොස් ඇත්තේ ආරක්ෂක දැලෙන් රිංගා ගනිමින්. චිකාගෝ ක්‍රමයට සිදුවන අලු‍ත් ඝාතන රැල්ලේ නිශ්චිත අපරාධකරුවන් රාශියක් තව ම නිදැල්ලේ සිටිනවා.

චිකාගෝ ක්‍රමයට සිදුවන අපරාධ ලෙස ලෝකය පුරා හඳුන්වන්නට වුණේ 1800 අගභාගයේ සහ 1900 මුල් කාලයේ අමෙරිකාවේ ඉලිනොයිස්හි චිකාගෝ නගරයේ සිදුවූ පාතාල මිනීමැරුම් නිස යි.තුවක්කුකරුවන් තම සතුරන් වෙඩි තබා මරා දැමීම  දිනපතා සිදුවුණා. එය පාතාල ලෝකයේ රජදහනක් බවට පත්ව තිබූ නගරයක් වශයෙන් හංවඩු ගැසුණා.

එම නගරයේ අවිගත් පිරිස් වාහනවලින් හෝ යතුරුපැදිවලින් හෝ පැමිණ මහ දවල් තම සතුරු කල්ලිවල පිරිස් වෙඩි තබා ඝාතනය කර පලා යාම එකල සුලබ සිද්ධියක් වුණා. මෙම ත්‍රාසජනක මිනීමැරුම් ගැන හොලිවුඩ් චිත්‍රපට රාශියක් නිෂ්පාදනය වුණා. මේ දිනවල වෙඩි තැබීම් පිළිබඳ CCTV දර්ශන නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ යතුරු පැදිවලින් මුහුණු ආවරණය කර ගෙන පැමිණෙන තුවක්කුකරුවන් බියකින්, සැකයකින් තොරව සාහසික ලෙස සිය ඉලක්ක ගොදුරුකර ගෙන ආපසු පලා යන ආකාරය යි.

 අපරාධයක් සිදුවුණු ස්ථානයක්- dailymirror.lk

දින 30කට ඝාතන 21ක්

පසුගිය මැයි 30 සිට ජුනි 30 දක්වා ගතවූ දින 30ක කාලයේදී පුද්ගලයන් 21 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිස් වාර්තාවලින් පැවසෙනවා. ආරක්ෂක අංශ පවසන්නේ ඝාතන සිදුවීම් සියල්ල පසුපස ඉන්දියාව හා ඩුබායි වැනි රටවලට පලා ගොස් සිටින ලාංකික ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටින බව යි. කොළොන්නාව, පෑලියගොඩ, කටුබැද්ද, පට්ටිය හන්දිය, මෝදර, ඇළකන්ද, තංගල්ල, අහංගම, අලුත්ගම, පානදුර, පිටකොටුව ඇතුළු ප්‍රදේශ රැසක වෙඩි තැබීම් වාර්තා වුණා.

 අපරාධයකට යොදා ගත් ගිනි අවියක්- dailymirror.lk

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුම්

මෙම ඝාතනවලට ප්‍රධාන හේතුව විශාල ලාබයක් සහිත මත්ද්‍රව්‍ය ජාවාරම යි. ජාවාරම්කරුවන් අතර පෞද්ගලික ගැටුම්, ගනුදෙනු ආරවුල්, ඔත්තුකරුවන්ගේ ප්‍රශ්න හා පොලීසියේ තොරතුරුකරුවන්ට එරෙහි වෛරය ඇතුළු හේතු ඝාතනවලට හේතු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

ඉකුත් මැයි 30 වැනිදා මෙම ඝාතන රැල්ල ආරම්භ වූයේ පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම අසල වෙඩි තැබීමකින්. මෙම වෙඩි තැබීම සිදුවූයේ බස් නැවතුමේ හා ඒ අවට දෙනෝදාහක් ඉදිරියේදී යි. එහිදී දෙදෙනකුට වෙඩි තැබූ අතර එක් තරුණයෙක් මරණයට පත් වුණා. එම ඝාතනයට සම්බන්ධ බවට සැකසහිත ප්‍රධාන සැකකරු ගම්පහ දී පොලිස් වෙඩි ප්‍රහාරයකින් පසුගිය ජුලි 4 දා අලුයම මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ දර්ගා නගරය සහ ඇල්පිටිය යන ප්‍රදේශවල පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු බව සඳහන්.

බැස්ටියන් මාවත වෙඩි තැබීම- mawbima.lk 

ඝාතන සිද්ධි කිහිපයක්

නාඳුනන තුවක්කුකරුවන් කොළොන්නාව මංසන්ධිය අසල දී ජුනි 30 වැනි දා එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරණයට පත්වුණා. ඊට පෙර දින 29 වැනිදා මහ දවල් මොරටුව කටුබැද්ද හන්දිය අසලදී කුඩා වෑන් රථයක ගමන් කරමින් සිටි දෙදෙනකුට යතුරුපැදියක පැමිණි දෙදෙනකු වෙඩි තබා තිබුණේ දෙනෝදහසක් මිනිසුන් බලා සිටියදී යි. වෙඩි තැබීමෙන් ඝාතනය වුණු දෙදෙනා වුණේ මෙරිඤ්ඤ සීමන් නිලන්ත පුෂ්පකුමාර හෙවත් පිංවත්තෙ උක්කුවා සහ පානදුර කැඳෑවල මොහොමඩ් අරෆත් නැමැති පුද්ගලයෙක්. ඝාතනය වූ උක්කුවා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වසර 17 ක් බන්ධනාගාරගත ව සිට මීට මසකට ඉහත දී නිදහස ලබා පැමිණි කෙනෙක්. පොලිසිය පවසන්නේ ඩුබායි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පානදුර සලිඳු නමැත්තා කටුබැදදේ ඝාතනය මෙහෙයවා ඇති බවට අනාවරණය වුණු බව යි.

තවත් නාඳුනන තුවක්කුකරුවකු කැලණිය දුම්රියපොළ අසල මාර්ගයේදී යතුරුපැදියක ගමන් කරමින් සිටි සැමියා, බිරිඳ හා දරුවා ඉලක්ක කර පසුගිය ජුනි 26 වැනිදා වෙඩි තබා තිබෙනවා. වෙඩි පහරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වූ අතර දරුවා තුවාල ලැබුවා. මියගිය පුද්ගලයා අරුණ කාන්ත අත්තනායක නැමැති 31 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු සේවයෙන් නෙරපූ පොලිස් කොස්තාපල්වරයෙක්. මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබුම සිදුව ඇති අතර මත්කුඩු ජාවාරමකට අදාළ මුදල් ආරවුලක් මරණයට හේතුව බවයි වාර්තා වන්නේ. ඝාතනයට ලක්වූ හිටපු කොස්තාපල් අරුණ නැමැත්තා පාතාල ක්‍රියාකාරිකයකු වූ ඩී. මංජු නැමැත්තා ඝාතනය කිරීමට තුවක්කුකරුවකු රැගත් යතුරුපැදිය පදවා තිබුණු බවට තොරතුරු හෙළිව තිබෙනවා.

ඊට පෙර දිනක නාඳුනන වෙඩික්කරුවකුගේ ප්‍රහාරයට ලක්වූ පලතුරු වෙළෙන්දකු පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේදී මිය ගියා. ඔහු හඳුන්වන්නේ අඹ ශානා නමින්. ශානා වෙළෙඳපොළේ දෙවැනි තට්ටුවේ සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔහු කොළඹ කෙසෙල්වත්ත පදිංචිකරුවෙක්.

 මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඝාතනය – silumina.lk

ඝාතන රැල්ලේ 22 වැනි ඝාතන අපරාධයට ගොදුරු වුණේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හිටපු උපසභාපති සහ ප්‍රාදේශීය සභා මන්ත්‍ර සුමුදු රුක්ෂාන් පින්තු යි. සුමුදු රුක්ෂාන් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා සාහසික වෙඩි පහරට ලක්වන්නේ මුල්ලේරියාව බැංකුව හන්දියේදි යි. මෝටර් බයිසිකලයකින් පැමණි දෙදෙනෙක් මේ වෙඩි තැබීම සිදුකර පලා යනවා.

මෝටර් රථයක් පසු පස හඹා ආ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මොරටුව කටුබැද්ද බණ්ඩාරනායක මාවතේදී ජුනි 29 දා දහවල් ටී 56 අවියකින් කළ වෙඩි තැබීමකින් එම මෝටර් රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් මිය ගියා.  

 කටුබැද්ද ද්විත්ව ඝාතකයන් පලා යන අන්දම දැක්වෙන සීසීටීවී දර්ශන -dinamina.lk

ජුනි මාසයේ තවත් ඝාතන 13ක්

පසුගිය ජුනි මාසය තුළ පාතාල සන්නද්ධ කණ්ඩායම්, පුද්ගලයන් 13 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
මෙම ඝාතන 13 න් 11 ක්ම බස්නාහිර පළාතේ සිදු ව තිබෙනවා. එම ඝාතන සියල්ලමත් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ආරවුල් මත සිදු වූ ඒවා බවයි පොලිසිය පවසන්නේ. පසුගිය ජූලි 26 සිට අගෝස්තු 01 වැනිදා දක්වා කාලය තුළ පුද්ගලයන් 8 දෙනකු ද වෙඩිතැබීම්වලින් මරණයට පත් ව තිබෙනවා.

 මැනිං වෙළෙඳපොළට පැමිණි තුවක්කුකරුවා – dinamina.lk

පොලිසියට වැඩ වැඩියි

පාතාල මර්දනය කිරීම සඳහා යොදවා තිබූ කොළඹ, පෑලියගොඩ, මිරිහාන, කළුතර අපරාධ කොට්ඨාසවල නිලධාරීන්, දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තැබීම් සම්බන්ධයෙන් විමර්ශන සඳහා යොදවා තිබෙනවා. තවත් පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් විරෝධතා මර්දනයට, හා දේශපාලනඥයන්ගේ ආරක්ෂාවට යෙදවීම නිසා පාතාල මර්දනයට පොලිස් නිලධාරීන්ගේ විශාල හිඟයක් පවතින බවයි පොලිසිය පවසන්නේ. කෙසේ වුවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම ඝාතන සිද්ධි පිළිබඳ පරීක්ෂණ නිවැරදිව සිදුවන වන බවයි.

“පොලිස් නිලධාරීන් ඉන්ධන පිරවුම්හල් 1300කට ආසන්න සංඛ්‍යාවක් ආවරණය සඳහා යොදවා තිබෙනවා, ඒවායේ ගැටුම් පාලනය සඳහා වෙනම පොලිස් නිලධාරීන් යොදවන්න වෙලා තියෙනවා. ගෑස් බෙදා හරින ස්ථානවල සාමය පවත්වා ගැනීම සඳහා වෙනම නිලධාරීන් යොද වන්න වෙලා තියනවා.” යයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

පොලිස් අත්අඩංගුවට ගැනීම්

සාමාජය තුළ ඇතිවී තිබෙන අවුල්කාරී වාතාරණය සංවිධානාත්මක අපරාධකරුවන් ප්‍රයෝජනයට ගැනීමට උත්සහ ගන්නා බවට නිරීක්ෂණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා. ඔහු පවසන්නේ මෙම ඝාතනවලට සම්බන්ධ සැකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනි අවි සොයා ගැනීමට ද හැකි වී ඇති බව යි.

රත්මලාන සිල්වා මාවත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී ජුලි 27 වැනිදා පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ යුවළක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඔවුන් පොලිස් දැලට හසුවුණේ කටුනායක ගුවන්තොටපුලේ දී ඩුබායි බලා පිටත්ව යාමට පැමිණි විට යි.

ඩුබායිහි රැදී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලයකට මෙම සැකකාර යුවළ සම්බන්ධ බව පොලිසිය ප්‍රකාශ කරනවා. පසුගිය ජුනි 06 වැනිදා මෝදර පුද්ගල ඝාතනයේ සැකකරුවන් තිදෙනකු ද පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

කවරයේ ඡායාරූපය -ඝාතන රැල්ලේ අවසානය කොතනද? - deccanherld.com

මූලාශ්‍ර:
bbc.com
deshaya.lk
divaina.lk
lankadeepa.lk

Related Articles