සාමයට අත වනා මරු කැඳවාගත් ඊශ්‍රායල් අගමැති – යිසාක් රබීන්

වරෙක ඊශ්‍රායල් ජනතාව විසින් “හිට්ලර්” ලෙසත් “මව්බිම පාවාදෙන්නා” ලෙසත්  හඳුන්වන ලද, 1992 වසරේ දී ඊශ්‍රායලයේ අගමැති ධූරයට පත් වූ යිසාක් රබීන් අන්ත දක්ෂිණාංශික මතදාරී ඊශ්‍රායල් ඝාතකයෙකු අතින් මරණයට පත්වෙනවා. කම්කරු පක්ෂයේ ආධාරකරුවන් ඉතාමත් ආදරය හා ගරු කළ, ලිකුද් ඇතුළු දක්ෂිණාංශික පක්ෂ ආධාරකරුවන්න්ගේ දැඩි විවේචනයට පාත්‍ර වූ මේ අගමැතිවරයා ඝාතනය වූ ආකාරය පිළිබඳව යි මේ ලිපිය ලියවෙන්නේ 

යිසාක් රබීන් නම් හමුදා ප්‍රධානියා 

තරුණ යිසාක් රබීන් ( static.timesofisrael.com)

ඊශ්‍රායල් හිටපු හමුදා ප්‍රධානියෙක් වන යිසාක් රබීන්, කම්කරු පක්ෂය නියෝජනය කරමින් දෙවන වතාවට ඊශ්‍රායලයේ අගමැතිවරයා බවට පත්වන්නේ 1992 වසරේ ජූලි මාසයේ දී යි. 1964 වසරේ දී ඊශ්‍රායල් ආරක්ෂක බලකායේ (IDF) ප්‍රධානියා බවට පත් වූ යිසාක් රබීන්, 1967 වසරේ ජූනි මාසයේ දින හයක් පුරා ඊශ්‍රායලය හා ආරබි රටවල් අතර පැවති බිහිසුණු සය දින යුද්ධයේ ජයග්‍රහණය ඊශ්‍රායලයට අත්පත් කර දීමට මූලික වූ ඊශ්‍රායල ප්‍රධාන හමුදා නිලධාරියා ලෙස හැඳින්විය හැකියි. ඔහුගේ හා එම කාලයේ ඊශ්‍රායල් ආරක්ෂක ඇමතිවරයා වූ මෝෂේ දයාන්ගේ නිවැරදි තීරණ ලොවක් මවිත කළ මේ යුද ජයග්‍රහණයට හේතු වුණා. යුද්ධය පැවතියේ ඉතා කුඩා කාලයක් පමණක් වුවත් එය මැද පෙරදිග දේශපාලනික සිතියම උඩු යටිකුරු කිරීමට සමත් වෙනවා. 

මෝෂේ දයාන් සමඟ සය දින යුද්ධයේ (jpost.com)

මේ ඔස්සේ ඊජිප්තුවේ ගාසා තීරයත් ‘සිනායි’ කතරත් ඊශ්‍රායලය අතට පත්වෙනවා. සිරියාවේ ගෝලාන් කඳුවැටියත් ඊශ්‍රායලය අත්පත් කර ගන්නවා. ජෝර්දානයේ බටහිර ඉවුර හා නැගෙනහිර ජෙරුසලම ද ඊශ්‍රායලයේ පාලනයට නතු වෙනවා. එම පෙදෙස්වල සිටි පලස්තීනුවෝ පලා යන අතර ඉතිරි වූ පලස්තීනුවන් පලවා හරිනවා. තවත් බොහෝ පිරිසක් ඝාතනයට ලක් වෙනවා. සය දින යුද්ධය මෙහෙයවූ ආකාරය නිසා හමුදා ප්‍රධානි යිසාක් රබීන් එරට වැසියන්ගේ වීරයෙක් බවට පත්වෙනවා.

වැඩි දුරටත් කියවන්න – සය දින යුද්ධය – ඊශ්‍රායලයට එල්ල වූ අනපේක්ෂිත ප්‍රහාරය

සය දින යුද්ධය මෙහෙය වූ ඔහු 70 දශකයේ මැද භාගය වන විට ඊශ්‍රායලයේ අගමැතිවරයා බවට පත්වෙනවා. පළමු ධූර කාලයෙන් පසු ඔහු නැවතත් 1992 දී ඊශ්‍රායලයේ අගමැති ධුරයට තේරී පත්වෙනවා.

නයි මුගටි සාමදානය – ඔස්ලෝ සාම ගිවිසුම

යසස් අර්ෆත්, බිල් ක්ලින්ටන්, හා යිසාක් රබීන් (middleeasteye.net)

ඊශ්‍රායලය විසින් සය දින යුද්ධයෙන් අල්ලාගත් කොටස්වල අයිතිය වෙනුවෙන් එදා සිට සටන් වැදී සංවිධානය වන පලස්තීන විමුක්ති සංවිධානය, එම කොටස්වලට පැන පහර දී පලායාමේ ගරිල්ලා සටන් උපක්‍රමය භාවිතා කරනවා. දිගින් දිගටම මෙම ප්‍රදේශවල පවතින්නෙන් නොසන්සුන්තාවයක්.

1992 දී ඊශ්‍රායලයේ අගමැති ධූරයට තේරී පත් වූ යිසාක් රබීන් එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ මෙහෙයවීම මත එවකට පලස්තීන විමුක්ති සංවිධානයේ නායකයා වූ යසර් අර්ෆත් සමග සාම ගිවිසුමකට එළඹීමට සුදානම් වෙනවා. 

ඊශ්‍රායල් රජයට මෙතෙක් කලක් ලොව සිටි අංක එකේ ත්‍රස්තයා වූ යසර් අර්ෆත්ගේ සංවිධානය පිළිගැනීමට සිදුවෙනවා. ඊශ්‍රායලය විසින් මෙතුවක් කල් රටක් වශයෙන් පිළිනොගත් පලස්තීනයේ අයිතීන් පිළිගැනීමට ද මේ ඔස්සේ සිදුවෙනවා. 1993 වසරේ දී යිසාක් රබීන් හා යසර් අර්ෆත් අතර සාම ගිවිසුමක් අත්සන් තැබෙන අතර එය හඳුවන්නේ ඔස්ලෝ සාම ගිවිසුම ලෙස යි.

යුදෙව්වන් විරෝධය  

ලිකුද් පාක්ෂිකයන්ගේ විරෝධය (jpost.com)

මෙම සාම ගිවිසුම අන්ත දක්ෂිණාංශික අදහස් දැරූ ඇතැම් විරුද්ධ මතදාරී පුරවැසියන්ට අනුව දේශය පාවාදීමක් ලෙස හැඳින්විය හැකියි. සාම සම්මුතිය දැඩිව විවේචනය කළ පුද්ගලයෙක් වූ, ලිකුද් පක්ෂය මෙහෙයවන ලද වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රධානත්වයෙන් රට පුරා විරෝධතා රැල්ලක් ආරම්භ වෙනවා.

මෙම විරෝධතවල දී විරෝධතාකරුවන් විසින් යිසාක් රබීන් යනු “නූතන හිට්ලර්” ලෙසත්, කම්කරු පක්ෂය යනු “නාසීන්” බවත් හඳුන්වමින් සටහන්කර ඇති විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවල නිරත වෙනවා. මෙම අවස්ථාව ඊශ්‍රායල් ඉතිහාසයේ දේශපාලන ක්ෂේත්‍රය ගිනියම් කළ අවස්ථාවක් බව විචාරකයන් විසින් පෙන්වා දෙන අතර විරෝධතාවල දී පුද්ගලයන් අමතමින් ඔවුන්ගේ හදවතටම ආමන්ත්‍රණය කිරීමට බෙන්ජමින් නෙතන්යාහු සමත් වෙනවා.

“යුදෙව් අපට තියෙන්නේ මේ රට පමණ යි. ජීවිතය පුදා හෝ මාතෘ භූමිය ආරක්ෂා කළ යුතු යි” ලෙස සෑම විරෝධතාවක දීම නෙතන්යාහු විසින් ප්‍රකාශ කෙරෙනවා. බොහෝ විරෝධතාවල විරෝධතාකරුවන් පොලීසිය හා ගැටුම් ඇති කරගන්නා අතර, එවැනි අවස්ථාවල පොලිසිය විසින් පහර දී විරෝධතාවයන් විසුරවාහැරීම් හා අත්අඩංගුවටගැනීම් සිදු කරනවා.

සාමයට අත දිගු කිරීම හේතුවෙන් බටහිර ජාතීන්ගේ නොමඳ ප්‍රසංශාවට ලක්වෙන අගමැතිවරයා 1994 වසරේ දී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබනවා.

අන්තවාදී යුදෙව්වෙකුගේ වෙඩි පහරකට 

උඩ සාක්කුවේ තිබූ”Shir LaShalom” ගීත කොළය (americamagazine.org)

යිසාක් රබීන් අගමැතිවරයා තම ජනතාව ඇමතීම සඳහා 1995 වසරේ නොවැම්බර් 4 වන දින හමුවකට සහභාගි වූ අතර ඔහු එදින ජනතාව සමග යුදෙව් සාම ගීතයක් වන “Shir LaShalom” ගායනා කරනවා. ජන හමුව අවසන් වී වේදිකාවෙන් බැස තම පෞද්ගලික මෝටර් රථය දෙසට ගමන් කිරීමේ දී, යිගාල් ආමීර් නම් අන්තවාදී යුදෙව්වෙක් යිසාක් රබීන් ඉලක්ක කරමින් වෙඩි උන්ඩ තුනක් පිටුපස සිට නිකුත් කරනවා. ඒ ඔහු සතුව තිබූ Beretta 84F අර්ධ ස්වයංක්‍රිය පිස්තෝලය යොදා ගනිමින්. මෙම උන්ඩ තුනෙන් දෙකක් අගමැතිවරයාගේ පෙනහළු ප්‍රදේශයට  කිඳා බසින අතර බරපතල තත්ත්වයේ පසු වූ අගමැතිවරයාව ටෙල් අවිව්හි ප්‍රධාන රෝහලට ඇතුළත් කරනවා. එසේ ඇතුළත් කර විනාඩි කිහිපයකින් අගමැතිවරයා මිය ගිය බවට රජය විසින් නිල වශයෙන් නිවේදනය නිකුත් කෙරෙනවා. ඉන් දින දෙකකට පසුව ඔහුගේ අවසන් කටයුතු සිදු වූ අතර රටවල් විශාල ප්‍රමාණයක රාජ්‍ය නායකයන් ගණනාවක් ඔහුට අවසන් ගෞරව දැක්වීම පිණිස ඊශ්‍රායලය වෙත පැමිණෙනවා.

බෙන්ජමින් නෙත්යන්යාහුට මිනීමැරුම් චෝදනා 

වැළපෙන පවුලේ සාමාජිකයන් (myjewishlearning.com)

ඔහු මියගිය බව අසා ඔහුගේ ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් රෝහල ඉදිරිපිටට රැස්වෙන අතර මෙම මිනීමැරුමට ආධාර අනුබල ලිකුද් පක්ෂය නියෝජනය කළ බෙන්ජමින් නෙතන්යාහු ලබා දී ඇති බවත් මෙම මරණයට ඔහු වගකිව යුතු බවත් ප්‍රකාශ කරමින් විරෝධතාවල නිරත වෙනවා.

කෙසේ නමුත් වෙඩි තැබූ පුද්ගලයා පොලීසියට ප්‍රකාශ කරන්නේ යුදෙව්වන් පාවාදුන් නිසා අගමැතිවරයාට වෙඩි තැබූ බව යි. බෙන්ජමින් නෙතන්යාහු මිනීමැරුමට වරදකරුවෙක් නොවුණත් බොහෝ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ නෙතන්යාහු විසින් ජනතාව සාම ගිවිසුමට එරෙහිව උසී ගැන්වීම මෙම ඝාතනයට වක්‍රව හෝ බල පා ඇති බව යි. මියගිය අගමැතිවරයාගේ බිරිඳ ද රූපවාහිනී සාකච්ජාවක දී නෙත්යාහුට මෙම චෝදනාව එල්ල කරන අතර තම සැමියා “හිට්ලර්” ලෙස හඳුන්වන ලද්දේ ඔහු ඇතුළු ලිකුද් පාක්ෂිකයන් විසින් බව ඇය විසින් ප්‍රකාශ කරනවා.

වැඩිදුරටත් කියවන්න – පස්වැනි වතාවටත් ඊශ්‍රායලයේ අගමැති ලෙස පත් වූ බෙන්ජමින් නෙතන්යාහු

අගමැතිවරයාගේ ඝාතනයෙන් පසුව ඉදිරි මැතිවරණය දක්වා භාරකාර අගමැතිවරයෙක්  කම්කරු පක්ෂයෙන් පත්වෙන අතර 1996 වසරේ ජූනි මාසයේ දී පැවති මහා මැතිවරණයෙන් බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ ලිකුද් පක්ෂය ජයග්‍රහණය කරන අතර ඊශ්‍රායල් අගමැතිවරයා ලෙස නෙතන්යාහු පත්වෙනවා.

කවරයේ පින්තූරය -wamu.org

Related Articles