Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජෝතිෂ්‍යයේ කතාව සරලව

ජෝතිෂ්‍යය යනු ලංකාවේ බොහෝදෙනාට උපන් මොහොතේ සිට මරණය දක්වා ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවකටම බලපෑම් කරන්නක් බවට පත්ව තිබේ. නම් තැබීම, හිසකෙස් කැපීම, ඉඳුල් කටගෑම, අකුරු කියවීම, සිට මරණය දක්වා ජෝතිෂ්‍යය මිනිස් ජීවිතවලට සැලකිය යුතු බලපෑමක් ඇතිකරයි. මෙසේ බලපෑමක් කරනු ලබන ජෝතිෂ්‍ය ශාස්ත්‍රය පිළිබඳව කෙටි හැදෑරීමකට යොමුවෙමු.

astrostyle

ඉතිහාසය

ජෝතිෂ්‍ය ශාස්ත්‍රය සහ ඒ ආශ්‍රිත විශ්වාසයන් මිනිස් සමාජයට එක්වන්නේ වසර දහස් ගණනකට පෙර ය. මේ පිළිබඳ සාක්ෂි පුරාණ මිසර, බැබිලෝනියානු, මොහෙන්ජෝ දාරෝ සහ හරප්පා යන ශිෂ්ටාචාර වලින් හමුවේ. ඊජිප්තුවේ ගීසාහි පිරමිඩ ත්‍රිත්වය නිමවා ඇත්තේ ද ඔරායන් තරු රටාවේ බඳ පටියට අනුරූප වන ලෙසිනි. ඊජිප්තුව පාලනය කළ පාරාවෝ මියගිය පසු මමිකරණය කරන ලද සිරුරු තැන්පත් කර තිබූ පිරමිඩ කුටි තුළ බිත්තියේ අංශක 45ක ආනතියකින් සිදුරක් තනා ඇත්තේ ඒ තුලින් තරු අතරට පිවිසිය හැකි යැයි විශ්වාසය තිබූ නිසාය. “මට නොමැරී සිටිනු පිණිස නොනැසෙන තරු ඇත මා රඳවා තබන්න”, ඒ කුටි තුළ සටහන් කර තිබූ වැකියකි.

fnord23

එවන් විශ්වාස පමණක් නොව අතීතයේ සිට ගමනාගමනයට මාර්ගය සොයාගැනීමට ගොඩබිම මෙන්ම මුහුදේ දී ද තාරකා උපයෝගී කරගන්නා ලදී. එසේම ඊජිප්තු වැසියන් සිරියස් තාරකාව පෑයිම සහ නයිල් ගඟ පිටාර ගැලීම අතර සබඳතාවක් ද නිරීක්ෂණය කරන ලදී. මේ ආකාරයේ හේතු නිසා තාරකා ග්‍රහලෝක යනු මිනිස් ජීවිතවලට බලපෑම් කරන වස්තුන් බවට ලොව පුරා මිනිසුන් විශ්වාස කිරීම අතීතයේ පටන් සිදුවිය.

කේන්දරය

හඳහන නැත්නම් කේන්දරය සාදන්නේ ද තාරකා සහ ග්‍රහයන් ඇසුරු කරගෙන යි. ඊට තරු රටා 12ක් ද, ග්‍රහයන් 7ක් ද, රාහු සහ කේතු ද ඇතුළත් ය. රාහු සහ කේතු යනු පෘථිවියේ සහ චන්ද්‍රයාගේ කක්ෂ ඡේදනය වන ස්ථාන දෙක වේ. අනුපිළිවෙලින් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘෂ්චික, ධනු, මකර, කුම්භ, මීන තාරකා රාශි 12 යි. රවි (සූර්යයා), චන්ද්‍ර, බුධ, සිකුරු, කුජ (අඟහරු), ගුරු (බ්‍රහස්පති), ශනි (සෙනසුරු) ග්‍රහයන් සත්දෙනා යි.

serendib.btoptions

කේන්දරය සෑදීමේ දී පෘථිවිය කේන්ද්‍රය කරමින් ලග්න 12 සමාන කෝණික ආපාතනයන්ගෙන් අවකාශයේ සලකුණු කරනු ලබයි. එනම් එක් ලග්නයක් සඳහා අංශක 30ක කෝණික ආපාතනයක් අවකාශයේ ඇත.  දිනකට පැය 24ක් ඇති නිසා සෑම පැය දෙකකට වරක්ම එක් රාශියක් පසුවේ.

m24.co.il

යමෙකුගේ ලග්නය කුමක් ද යන්න තීරණය වන්නේ ඔහු/ඇය උපදින මොහොතේ නැගෙනහිර ක්ෂිතිජයෙන් නැගෙමින් තිබෙන තරු රාශිය අනුව ය. උදෑසන 7.12ට දරුවෙකු උපත ලබන විට නැගෙනහිර ක්ෂිතිජයෙන් පායමින් තිබෙන්නේ කුම්භ රාශිය යැයි සිතමු. එවිට එම දරුවාගේ ලග්නය කුම්භ වේ. එසේම කේන්දරය සෑදීම සඳහා උපන් වේලාවේ දී ඉහත කී ග්‍රහයන්ගේ පිහිටීම ද සලකුණු කරගත යුතුය.

කේන්දර සටහනේ සැකැස්ම

කේන්දරයේ ලග්නය සහ ග්‍රහ පිහිටීම සලකුණු කරනු ලබන්නේ ඉහත සටහනේ ය. මධ්‍යයේ අදාළ පුද්ගලයාගේ ලග්නයත්, එක් එක් පලාපලයන්ට අදාළ ග්‍රහයන් ඉහල සිට වාමාවර්තව ලකුණු කරනු ලබයි. 1 සිට 12 දක්වා ලකුණු කර ඇති කොටු සඳහා ඊටම අදාල වන පලාපලයන් ඇත.

1. පුද්ගල ස්වභාවය/ බුද්ධිය

2. තැන්පත් ධනය/ විවාහ ජීවිතය

3. ශරීර ශක්තිය/ වැඩිමහල් සොහොයුරන්

4. මව/ මව් පාර්ශවය/ නිවාස දේපල

5. ධනය ලැබීම/ පවුල් ජීවිතය

6. සතුරන්/ ලෙඩ රෝග

7. විවාහය/ හවුලේ කරන කටයුතු

8. මාරක ස්ථානය

9. ධර්මස්ථානය/ වාසනාව

10. රැකියාව/ කම්කරුවන්

11. ධනය හා සමාජ තත්ත්වය/ බාල සොයුරන්

12. මෝක්ෂය/ වැයවීම/ රෝහල්ගත වීම

මෙම ලක්ෂණ මෙසේ තෝරාගත්තේ ඇයි ද යන්න ගැටළුවකි. එසේම සියලු නක්ෂත්‍රකරුවන් එකම ලක්ෂණ භාවිතා කරන්නේ ද යන්න ප්‍රශ්නාර්ථයකි.

කේන්දරය සැදීමේ දී ඉහත කොටු 12ට අදාළ ලක්ෂණ මෙන්ම ඒ සෑම කොටුවකටම අදාළ රාශියක් ද පවතියි. එක් එක් ග්‍රහයාගේ ලක්ෂණ අනුව අදාල පලාපලය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ කියවීම සිදුකරයි. අදාල පුද්ගලයාගේ ලග්නය වන රාශිය 1 කොටුවට ලැබෙන සේ වාමාවර්තව ඒ සෑම කොටුවක් සඳහාම රාශියක් නම් කරනු ලැබේ. ඉන්පසුව ග්‍රහයන්ගේ පිහිටීම ලකුණු කරනු ලබයි. මේ සඳහා ජෝතිෂ්‍ය පොතකින් හෝ එම වසරට අදාල ලිතකින් උපකාරය ලබාගත හැක. එහි වසරේ සියලුම වේලාවන් සඳහා ලග්න, ග්‍රහ පිහිටීම් තොරතුරු ඇතුළත්ය.

උදාහරණයක් ලෙස ක්‍රි.ව. 2018 ජුනි මස 25 වන දා උදෑසන 7.35ට නැගෙනහිර ක්ෂිතිජයෙන් නැගෙමින් තිබුයේ වෘෂ්චික රාශිය යැයි උපකල්පනය කරමු. ඒ මොහොතේ උපදින දරුවකුගේ ලග්නය වෘෂ්චික වේ. එසේම ග්‍රහයන්ගේ පිහිටීම ද ජෝතිෂ්‍ය ප්‍රකාශනවල සඳහන් වන අයුරින් සටහන් කරගනු ලැබේ. එවිට ලැබෙන කේන්ද්‍ර සටහන මෙසේ යයි සලකන්න.

කේන්දර සටහන

ඒ අනුව එම දරුවාගේ පලාපල දළ වශයෙන් මෙසේ පැවසිය හැකිය. රවී, බුධ, කුජ යෝග වීම නිසා බුද්ධිමත් වේ. කාර්යයශූර වේ. ගුරු, සිකුරු දෙවැන්නේ තැන්පත් වීමත් ගුරු තමන්ගේම රාශියක සිට බලවත් වීමත් නිසා තැන්පත් ධනය වර්ධනය වේ. දෙමව්පියන්ගේ ධනයට හිමිකම් කියයි. එසේම 10 වැන්නේ සෙනසුරු යෝග වීම ජන්ම ඒරාෂ්ටකයකි. ඉන් ඉතා බරපතල ප්‍රථිපල ඇතිවේ. එහෙත් ගුරු දෙවැන්නේ බලවත්ව සිට 9 වැන්න දකින බැවින් (2 කොටුවට සම්මුඛව 9 වැනි කොටුව පිහිටා තිබීම) එම අපලය දුරු වී යයි. සමස්තයක් ලෙස උපන් අවස්ථාවේ ග්‍රහ පිහිටීම අනුව උත්සාහයෙන් උනන්දුවෙන් ක්‍රියා කරන ප්‍රසිද්ධ කෙනෙක් බවට පත්වේ.

ඉහත ප්‍රකාශ කර ඇත්තේ ජෝතිෂ්‍යවේදියෙකු විසින් පැවසිය හැකි අදහසකි. මේ ආකාරයෙන් පලාපල අනාවරණය කිරීම පිළිබඳ විවිධාකාර න්‍යායයන් ඔවුන් අතර වේ. එම න්‍යායයන් පිළිබඳ ඔවුන් එකිනෙකා අතර පවා කිසිදු එකඟතාවක් නොමැත. තම තමන්ගේ සිතැඟි අනුව සුභ වේලාවන් ඇතිවීම, අසුභ වේලාවන් ඇතිවීම, අනතුරු නිශේධනය වීම, ධනය ලැබීම, රාජ යෝග උදාවීම පිළිබඳ මත ඉදිරිපත් කරයි. මෙය අත්හදා බැලීමට එකම කරුණකට අදාලව ජෝතිර්වේදීන් කිහිපදෙනෙකුගෙන් උපදෙස් පැතිය යුතුය. මැතිවරණ සමයන්හි ජයග්‍රහණය කරනු ලබන පුද්ගලයා කවරෙක් ද යන්න, එකිනෙකට වෙනස් හේතූන් ඉදිරිපත් කරමින් ජෝතිර්වේදීන් පිල් දෙකකට බෙදෙන අයුරු සිහි කරගැනීමද සුදුසුය.

ඔවුන් ඔවුන්ට ආවේණික ඕනෑම ක්‍රමයකින් අනාවැකි පළ කිරීමේ නිදහස ලබා දෙමින්  ඔවුන්ව ප්‍රශ්න කිරීම සඳහා ගැටළු කිහිපයක් මෙසේ ඉදිරිපත් කරමු. එවිට මෙය විද්‍යාවක් බවට ඔවුන් කරනු ලබන ප්‍රකාශය පිළිබඳව සැලකිල්ලට භාජනය කළ හැක.

1. ජෝතිෂ්‍ය පදනම් වී ඇත්තේ තාරකා රාශීන් ලෙස හඳුන්වන දෘෂ්ටි සංසිද්ධීන් මතය. රාශීන් ලෙස හඳුන්වන දෙයක් ස්වභාවයේ නොමැති අතර මිනිසා විසින් දෘෂ්ටිය අනුව නිර්මාණය කරගෙන ඇති රටාවන් කිහිපයකි. මේ ගැන ජෝතිෂ්‍යට ඇති පැහැදිලි කිරීම කුමක්ද?

එසේම, අංශක 360කට රාශීන් පෘථිවිය වටා ගමන් නොකරන අතරම පෘථිවිය තමන් වටා භ්‍රමණය වේ. පෘථිවිය පරිභ්‍රමණය වන්නේ සූර්යයා වටා යි. ඔවුන් මෙය පැහැදිලි කරන්නෙ කෙසේද?

ඊටම අදාළ මීළඟ ප්‍රශ්නය නම් මෙම තරු රාශීන් ලෙස හඳුනාගන්නා දෙය සෑදී ඇති තාරකාවන් ද්විමාන තලයක පිහිටි තාරකාවන් නොවේ. (එම රාශීන් සෑදී ඇති තාරකාවන්ට පෘථිවියේ සිට ඇති දුර එකිනෙක වෙනස්ය) එම තාරකා පිහිටා ඇත්තේ ත්‍රිමාණ තලයක වන අතර අපට එය දිස්වන්නේ එක් තලයක පිහිටන ලෙසය. එසේ නම් ජෝතිෂ්‍ය පදනම්ව ඇත්තේ දෘෂ්ටි මායාවක් මතය. මෙය පැහැදිලි කරන්නෙ කෙසේද?

2. තරුවක සිට ආලෝකය පෘථිවියට පැමිණීමට වර්ෂ සිය ගණනක් ගත වේ. යම් මොහොතක දරුවෙකු උපදින විට පායන රාශිය යනු සැබෑ ලෙසම ඉන් වසර සිය ගණනකට පෙර එම තාරකාවලින් නිකුත්වූ ආලෝකය නිසා ඇතිවූවකි. එසේනම් අදාළ දරු උපත සිදුවන මොහොතේ දී දිස්වන්නේ එම මොහොතට අදාළ රාශියේ ආලෝකය නොවේ. එම දරු උපතට අදාළ රාශිය දිස්වන්නේ තවත් වසර ගණනාවක් ගතවූ පසුව ය. එහිදී ද එකවර මොහොතට අදාළ ආලෝකය පෘථිවියට ළඟා නොවේ. (වෙනස් දුරින් එම තාරකාවන් පිහිටන නිසා) මෙය පැහැදලි කරන්නෙ කෙසේද?

3. ආලෝක වර්ෂ සිය ගණනක් දුර සිට පැමිණෙන ආලෝකය පෘථිවියට පැමිණෙන විට එහි තීව්‍රතාවය බෙහෙවින් අඩුවේ. මෙම ඉතා දුර්වල ආලෝකයට කළ හැකි බලපෑම කුමක්ද?

එසේම, රෝහලක කාමරයක් තුළ උපදින විටදී එම දරුවාට ආලෝකය ලෙස ලැබෙන්නේ කාමරය තුළ විදුලි ආලෝකය පමණක් වන විට තාරකාවක ආලෝකයට කළ හැකි බලපෑම කුමක්ද?

එසේම ග්‍රහයන්ගේ ආලෝකය යනු සූර්යයාගෙන් ලබන ආලෝකයේ පරාවර්තනය යි. එම ආලෝකයට බලපෑමක් කළ හැකිවන්නේ කෙසේද?

4. මෙම තාරකා රාශීන් සහ ග්‍රහයන් හට මිනිසාට බලපෑම් කළ හැකි බව පැවසුවත්, එම බලපෑම වන්නේ කුමන බලයක් නිසාද යන්න පැහැදිලි කළ හැකිද? ඒ ගුරුත්වාකර්ෂණ බලයක්ද? චුම්භක, විද්‍යුත් හෝ වෙනත් කුමන ආකාරයක බලපෑමක්ද?

එසේම පෘථිවියේ උපග්‍රහයා වන චන්ද්‍රයා සැලකු ලෙස, බ්‍රහස්පති, අඟහරු, සෙනසුරු ග්‍රහයන්ගේ උපග්‍රහයන්ගේ බලපෑම් නොසකාහැර ඇත්තේ ඇයි?

5. ගුරුත්වාකර්ෂණ නියමය අනුව ඉතාමත්ම දුරින් පිහිටි තාරකාවක් නිසා බලපෑමට වඩා උපදින දරුවා අසල සිටින හෙදිය, වෛද්‍යවරයා, සහ අනෙකුත් වස්තූන් නිසා ඇතිවන බලය විශාල වේ. [F = G(m1m2 /r2)] මෙය පැහැදිලි කරන්නෙ කෙසේද?

6. අනෙක් ගැටළුව නම් මෙම රාශි 12 සහ ග්‍රහයන් 7 දෙනා පමණක් සලකන්නේ ඇයි ද යන්නයි. ඊට අමතරව රාශීන් විශාල ප්‍රමාණයක් පවතී. එම රාශින්ගේ බලපෑම නොසලකා හැර ඇත්තේ කුමක් නිසාද?

7. රාහු සහ කේතු නම් කර ඇත්තේ කුමන පදනමකින්ද? ඊට කළහැකි භෞතික බලපෑම කුමක්ද?

8. කේන්දරය සටහනේ 1,4,7,10 යන රාශීන් තුළ කිසිදු ග්‍රහයෙක් නොපිහිටන අවස්ථාවන් හතර කේන්දරය පාලු වීම ලෙස ඔවුන් හඳුන්වයි.

යුරේනස් සහ නෙප්චුන් නොසලකා ඇත්තේ ඇයි? යුරේනස් සහ නෙප්චුන් සැලකුවේ නම් හතර කේන්දරය පාලුවීම සිදු නොවේ. (සමහරක් ජෝතිර්වේදීන් මෙම ග්‍රහයන් ද සලකා කේන්ද්‍ර සාදයි) එම නොසලකා හැරීම සමග කරනු ලබන අනාවැකි නිවැරදි වන්නේ කෙසේද?

9. ජෝතිෂ්‍යයේ දී වසර/ මාසය/ දිනය/ වෙලාව යන දේ මූලික වශයෙන් සැලකිල්ලට ගනු ලබයි. නමුත් වසර මාසය දිනය යන්න මිනිසා විසින් නාමකරණය කර ඇති ස්වභාවයේ නොපවතින දෑ වේ. සිකුරාදා ලෙස හඳුන්වන දිනය සිකුරාදා බවට ඔප්පු කළහැකි ක්‍රමයක් නැත. ඉරිදා සහ සඳුදා යනු වෙනස් නම් දෙකක් යොදන ලද එකම දිනයන් දෙකකි. ජෝතිෂ්‍ය මෙය පැහැදිලි කරන්නෙ කෙසේද?

10. රාශීන් සහ ග්‍රහයන් සඳහා විවිධ ගුණාංග ලබා දී ඇත්තේ කෙසේද? ඕනෑම කෙනෙක් හට තමන්ගේ අභිමතය පරිදි එක් එක් රාශීන් සහ ග්‍රහයන් සඳහා ගුණාංග ලබා දී අනාවැකි කීමේ හැකියාව ඇත. තාරකා සහ ග්‍රහයන් යන භෞතික වස්තුන්ගෙන් එවන් ගුණාංග නිරුපණය කරනු ලබන්නේ කෙසේද?

11. තාරකා රාශි නිර්මාණය කර ගැනීම ද තාරකාවන් එකිනෙක යාකර ඇත්තේ අභිමතය පරිදි ය. අපට අවශ්‍ය නම් වෙනස් ආකාරයකින් තාරකා යා කිරීමෙන් වෙනත් සතුන්, වස්තූන්ගේ නිරුපණයන් ලෙස හැඳින්විය හැකිය. උදාහරණයක් ලෙස සිංහ රාශිය සුනඛ රාශිය ලෙසද නිර්මාණය කර ගත හැකිය. චීනයේ රාශි චක්‍රයේ ඇත්තේ මියා, හරකා, කොටියා, බළලා, මකරා, සර්පයා, අශ්වයා, එළුවා, වඳුරා, කුකුලා, බල්ලා, ඌරා ලෙසයි.

එසේනම් ජෝතිෂ්‍ය ලෝකයට පොදු ධර්මයක් නොවේද? එය තම තමන්ගේ අභිමතය මත ගොඩනැගු මිත්‍යාවක්ද?

blogs.sas

12. වෛද්‍ය විද්‍යාවේ දියුණුව විසින් ස්වභාවික දරු උපතක් වෙනුවට සැත්කම් මගින් දරු උපත් සිදුකරයි. ඒ අනුව සුභ නැකතකින් දරුවෙකු බිහිකර ගතහැකිද? මෙය ජෝතිෂ්‍යට අභියෝගයක් නොවේද?

මෙම ප්‍රශ්න ඉදිරිපත් කරනු ලබන්නේ ජෝතිර්වේදීන් වෙනුවෙන්ම නොවේ. ජෝතිෂ්‍යය විශ්වාස කිරීමට පෙළඹෙන සියලු දෙනා ද වෙනුවෙනි. ජෝතිෂ්‍යයය සඳහා වෙහෙසී ඉපැයූ මුදල් පමණක් නොව, තමන්ගේ ජිවිතයට සමීප කරගත යුතු ‘ආදරණීයයන්’ පවා අහිමි කර ගැනීම අද සමාජයේ සුලභ, ඛේදනීය ඉරණමක් බවට පත්ව ඇත. ජෝතිෂ්‍යය සත්‍ය හෝ අසත්‍යය යැයි Roar අපි ප්‍රකාශ නොකරමු. මින් ඉදිරියට ජෝතිෂ්‍යය පිළිබඳ සංවාදය ඔබට භාර වෙයි.

කවරයේ පින්තුරය: onlinebestastrologer

Related Articles