Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යහපත් සමාජයක් සඳහා යහපත් ආකල්ප ගොඩනගා ගන්නා හැටි – 1 කොටස

ආකල්ප කියන්නේ කල්ප නම් මිත්‍රයා පැමිණි බව හෝ කාලය මැනීම අනුව කල්පයක ඇරඹුම එහෙම නෙවෙයි. අපේ සම්පූර්ණ ජීවිතය ම විදහා පෑමට සහ අනෙක් අයට අපිව පෙනෙන ආකාරය සඳහා බෙහෙවින් බලපාන, එකිනෙකාගේ ආකල්පවල එකතුව නිසා සමාජයේ කුඩා ම ඒකකය වූ පවුලේ සිට රටක අනාගතය සහ එහි පැවැත්ම සඳහා ග්‍රහයන්ටත්, නැකැත්වලටත් වඩා ප්‍රබලව බලපාන සාධකයක්. තමන්ගේ ප්‍රතිරූපය යහපත්ව ගොඩනගා ගැනීම අන් අයගේ පැසසුමට සහ පිළිගැනීමට ලක්වන කාරණයක් වන අතර එමගින් ඔවුන් ඔබ ගැන මහත් විශ්වාසයක් ගොඩනගා ගන්නටත්, ආදර්ශමත් පුද්ගලයෙකු සේ සලකා ඔබට ගරු බුහුමන් කොට අනුගමනය කිරීමටත් පෙළඹෙනවා. ඒ නිසා අපි දරන ආකල්ප හඳුනාගැනීමටත්, ඒවා සකසා ගැනීමට හෝ වර්ධනය කරගන්නටත් අපි උනන්දු වීම අපේ ඉදිරි ගමන සුබ කරන අතරේ ම සමස්ත සමාජයේ ම අභිවෘද්ධිය වෙනුවෙන්ද නිතැතින් හේතු වෙනවා.

සමාජය සමඟ ගැටීමේදී වංචාව, දූෂණය, කාර්යක්‍ෂමතාවයේ අඩු බව සහ නිසි කළමනාකාරීත්වයක් නැති බව නිසා ආයතන, කුටුම්බාදිය පිරිහී ගොස් ඇති ආකාරය දකින්නට පුළුවන්. ඇතැම්විට ඔබට කිසියම් වෙනසක් කරන්නට අවශ්‍ය වූවත් බොහෝ කාලයක සිට පැවත එන අසුබ ආකල්ප දරන්නන්ගේ ක්‍රියාකලාපයන්හි බලපෑම නිසා ඒවාට ඉඩක් නැතිව යාම වැනි දෑට මුහුණ දීමට ඔබට සිදුවී ඇති. හැබැයි කවුරු කොහොම කළත් අපිත් එහෙම කරන්නට හෝ, ඔවුන් එසේ කරන නිසා අපිත් කරනවා කියා හෝ සිතනවා නම් එතැනින් ම අපි දරන ආකල්ප වැරදියි. රාත්‍රියට ඔබට බල්ලන්ගේ උඩුබුරලෑම නිසා නිදාගන්නට අපහසුතා තිබෙනවා නම් දවල්ට ඔවුන් නිදාගන්නා වෙලාවට ඔබ උන් ළඟට ගිහින් උඩුබුරලන්නට පටන් ගත්තොත් වලිගයක් විතරයි අපිටත් අඩු.

යමක් හදාගන්නට, කරන්නට පටන් ගන්න නම් අපි මුලින් ම ඒ ගැන හොඳ අධ්‍යයනයක් කරන්න ඕන. ඒ නිසා මුලින් ම බලමු ආකල්පවල වටිනාකම සහ වැදගත්කම. ඊට පස්සේ අපේ ආකල්ප මොන වගේ ද කියලා හොයා ගන්නේ කොහොමද කියලා සොයා බලමු.

ආකල්ප සකසා ගත යුත්තේ ඇයි?

parabolasales.com

වාහනයක් ගන්නට ඕනෑ ඔබේ ගමන පහසු කරගන්නයි. නිවසක් හදන්නට අවශ්‍ය වන්නේ අව්වෙන් වැස්සෙන් නොතෙමී ඉන්නයි. මේ විදියට අපේ ඉලක්කවලට අපි ආදරය කරමින් ඒ සඳහා වෙහෙසෙන්නේ ඒවායෙන් ලැබෙන ප්‍රතිලාභ හොඳින් දන්නා නිසා යි. ඉතින් යහපත් ආකල්ප ඇති කරගන්නට නම් සේරට ම කලින් ඒකෙන් අපිට ප්‍රයෝජනයක් ලැබෙනවා ද යන්න සොයා ගැනීම ඉතා ම වැදගත්. ඔබ පාඩම් කටයුත්තක් කරන අවස්ථාවකදී හෝ අළුතින් යමක් ඉගෙන ගන්නා අවස්ථාවකදී වුවත් ප්‍රථමයෙන් කළ යුත්තේ මෙය යි. නැතිනම් ඔබ කරනා දේ හි හොඳ ඵල ලැබෙන්නේ නැහැ.

ආකල්ප,

  • ඔබේ ක්‍රියාකලාපය (තීරණ ගැනීම්, ප්‍රතිචාර දැක්වීම්) හරහා හොඳින් ප්‍රදර්ශනය වෙනවා.
  • ඔබේ කටහඬ සහ සිරුර හැසිරවීමේ විලාසය හරහා පිළිබිඹු වෙනවා.
  • ඔබේ ජීවිතය සහ රැකියාව පිළිබඳ තෘප්තිය තීරණය කරනවා.
  • ඔබ සමඟ කටයුතු කරන අයගේ හැකියාවන්ට, කාර්යක්‍ෂමතාවට බලපානවා.
  • අනාගතයේදී ඔබේ ජීවිතයේ ගමන් මාර්ගය තීරණය කරනවා.

ඒත් ආකල්ප කියන්නේ ඔබ නොවෙයි

හැබැයි ඔබේ අනාගතයේ රචකයා ආකල්ප නම් නොවෙයි. ඒ හැරත්, කිසිම දෙයක් කුමකට හෝ භාරදී බලාසිටීමක් අපි සිදුකළ යුතු නැහැ. ඔබේ කථාව ලියන්නේ ඔබ ම නිසා ඔබේ කථාවට අවශ්‍ය ඕනෑම දෙයක් ලියාගන්නට ඔබට හැකියි. ඉතින් ආකල්ප කියන්නේ ඔරුව පදින්නට හබලක් මිසක් යන මඟ තීරණය කරන ඔබේ දෑත නොවෙයි.

wadthe.files.wordpress.com

ආකල්ප ඔබේ පාලනයට සියයට සියයක් ම නතුවන තුරු ඔබට සම්පූර්ණයෙන් හොඳ ආකල්ප ඇත්තේ නැහැ. ඔබ ඔබව දකින ආකාරය සහ ඔබ ඔබට ලබාදෙන වටිනාකම ඔබේ ආකල්පවල කොටසක්. අනෙක් අය ඔබව තේරුම් ගන්නා ආකාරය ඔබ හිස් මුදුනින් පිළිගතහොත්, හොඳ හෝ නරක වුවත්, ඔබ ඉන් ඔබේ අභ්‍යන්තරයට බලපෑම් කරන්නට ඉඩ සැලැස්වීමයි කරන්නේ. ඉතින් පාලනය අතට ගැනීම කියන්නේ බාහිරයේ කිසිම දෙයක් නිසා වෙනස්වීමට ඉඩ හැරීම නොවෙයි. කොහොම නමුත් බාහිර සිට ඔබේ ක්‍රියාවන් දෙස බලමින් හොඳ කල්පනාවෙන් අධ්‍යයනය කිරීම කැඩපතෙන් බාහිර පෙනුම හදාගන්නවා වගේ අභ්‍යන්තරික සංවර්ධනයට බෙහෙවින් ඉවහල් වෙනවා.

තමන්ගේ ආකල්ප හඳුනාගැනීම

whatshihsaid.files.wordpress.com

වැඩිදුර නොකියා ම, ඔබව හඳුනන්නේවත් නැතිව මට කියන්න පුළුවන් ඔබ ඉතා ම හොඳ ආකල්ප තිබෙන කෙනෙක් බව. එහෙම නොවුණා නම් ඔබ මේ ලිපිය කියවන්නේ නැහැ. ඔබ යනු තමන්ගේ හැකියාවන් නිරවද්‍ය කරගෙන ඔබට ම, ළඟින් ආශ්‍රය කරන්නන්ට සහ සමාජයට යහපත් කෙනෙක් වෙමින් යහපතක් කිරීමට අපේක්‍ෂා කරන කෙනෙක්. ඉතින් ඔබට මේ ගමන යාම ඉතා ම පහසු යි.

අපේ ආකල්ප පිළිබිඹු වන හොඳ ම අවස්ථාවන් තමයි අපිට ලැබෙන ආවේගයන්ට අපි ප්‍රතිචාර දක්වන ආකාරය. ඔබට වඩා කෙනෙක් ඉදිරියට යනවා දකිනවිට ඔබ ඔවුන්ට සහාය වෙනවා ද නැතිනම් ඊර්ෂ්‍යා කරනවා ද, ඔබ මහන්සියෙන් කළ යමක් අසාර්ථක වූ අවස්ථාවේ ඔබ ක්‍රියා කළ ආකාරය, අන් අය අභිබවා ඔබ ඉදිරියට ගිය අවස්ථාවේ ඔබ හිස උදුම්වා ගත්තා ද නැතහොත් නිහතමානීව භාරගත්තා ද යන්න උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. මේ ආකාරයෙන් ඔබට අතීත අවස්ථා සිහි කරගැනීම අපහසු නම් ඔබේ ඉදිරි ක්‍රියාකලාපයන් පිළිබඳව හොඳ අවධානයෙන් සිටීමෙන් හෝ සිතින් මවා ගන්නා ලද අවස්ථාවන්ට ඔබ ම මුහුණ දෙන ආකාරය සිහි කිරීමෙන් ක්‍ෂණික අවබෝධයක් ලබා ගත හැකියි.

එසේ බැලීමේදී මේ වචන වලින් ඔබේ ක්‍රියා කලාපය අර්ථ දැක්විය හැකිදැයි බලන්න:

  1. වෛරය
  2. ඊර්ෂ්‍යාව
  3. ලෝබකම
  4. සොර සිත / වංචාව
  5. ආත්මාර්ථකාමී බව
  6. පලි ගැනීම
  7. පවතින ක්‍රමයේ ගුණ දැකීමට ඇති අකමැත්ත
  8. අළුත් අදහස් පිළිගැනීමට හා වෙනස් වීමට ඇති අකැමැත්ත
  9. සියල්ලෝ ම මගේ කීමට හිස නැමිය යුතු බව
  10. අන් අය කළ යුත්තේ ඔවුන්ට පවරන ලද සීමාව නොඉක්මවා බව සිතීම

මේ සියල්ලේ ම තිබෙන්නේ ඍණාත්මක, දියුණු වෙමින් ඉදිරියට යාමට අැති මඟ වළකන දේවල් වගේ ම මේවා කියවමින් ඔබේ ගුණාංග විමසන අතරතුරේ අහවලාට නම් මෙන්න මේ කරුණ හොඳින් තිබෙනවා කියලා හිතුණා නම් එය පස්වැන්නට අයත් දෙයක් බව සිහිතබාගැනීම වැදගත්.

අනිත් අය වගේ නොවුණු පමණින් ම ඔබ ප්‍රයෝජනවත් කෙනෙක් වෙන්නේ නැහැ (mactoons.com)

අපිට කිසිම විටෙක අනුන්ගේ ක්‍රියා කලාපයන් කොහෙත් ම අදාල නැහැ. ඔබ කියන්නේ සුවිශේෂී පුද්ගලයෙක් නිසා අන් අය මොන ආකාරයෙන් කටයුතු කළත් ඔවුන්ට ද ආදර්ශයක් වෙමින් යහපත්ව කටයුතු කිරීමයි ඔබේ වගකීම. මඩේ ඉපදිලා මඩ නොගෑවී ඉහළට එන පියුමක් වීමත් පහළට ගලන ගඟේ ඉහළට පිහිනීමත් ඉතා අපහසු කාර්යයන් නමුත් මඩගඳ ඇඟේ තියාගෙන ඔක්කොම කුණු එකතුවෙන මහ මුහුදට පාවෙලා යනවාට වඩා හොඳ තැනක නතරවීම හොඳයි. ඒත් ගඟ ගලන එක නවත්වන්න කාටවත් බැහැ.

අපි ඊළඟ කොටසේදී ඔබ තුළ ඇති යහපත් ආකල්ප වර්ධනය කරගන්නා ආකාරයත්, හොඳ ආකල්ප ලඟා කරගන්නා ආකාරය පිළිබඳවත් සොයා බලමු.

කවරයේ රූපය : (wonderopolis.org)

මූලාශ්‍ර:

  1. nasp.com

Related Articles