Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුද සංග්‍රාම හේතුවෙන් මග හැරෙන සොඳුරු පකිස්ථානය

1947 අගෝස්තු 14 වැනි දින ඉන්දියාවෙන් වෙන් ව ස්වාධීන රාජ්‍යයක් වූ දිනයේ පටන් නිමක් නැතු ව යුද සංග්‍රාමයන්ට මුහුණ දීමට පකිස්ථානයට සිදු වූ බව රහසක් නොවෙයි. වර්තමානයේ දී පවා ලෂ්කාර්-ඊ-ඉස්ලාම්, පාකිස්ථානු තලිබාන් ව්‍යාපාරය, ජුන්ඩුලා සහ අල්-ක්වයිදා වැනි ත්‍රස්තවාදී සංවිධාන කිහිපයකට එරෙහි ව පකිස්ථානු රජය වසිරිස්ථාන් නම් කඳුකර ප්‍රදේශය ආශ්‍රිත ව යුද ගැටුමක නියැලී සිටිනවා. මෙවැනි යුද ගැටුම් හේතුවෙන් පකිස්ථානයට සංචාරක ආකර්ශණය දිනාගත් ප්‍රදේශයක් ලෙස කීර්තියක් අත් කර ගැනීමට නොහැකි වූ බව පැවසීමේ වරදක් නැහැ.

නමුත් දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය යොමු කර ගැනීමට සමත් නෙත් පිනවන සොඳුරු ස්වභාවික පුදුමයන්ගෙන් පකිස්ථානයට අඩුවක් නැහැ. කාරකෝරම් කඳුවැටියේ සිට සාරවත් ඉන්දු නිම්නය දක්වා වැටී ඇති බිම් පෙදෙස ආවරණය කරන පුරාණ සේද මාවත සහ සහස්‍ර කිහිපයක් වයසැති මොහෙන්ජො-දාරෝ ශිෂ්ටාචාරයට අයත් නටඹුන්, සංචාරක සිත් වසඟයට පත් කරන බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. මේ ලිපිය පකිස්ථානය සතු සිත් ඇද ගන්නා ස්වභාවික පුදුමයන් කිහිපයක් ගැන යි.

ඩියෝසායි ජාතික උද්‍යානය

© Nadeem Khawar / Getty Images

‘යෝධයින්ගේ භූමිය’ ලෙස විරුදාවලිය ලත් ඩියෝසායි ජාතික උද්‍යානය, මධ්‍යම කාරකෝරම් කඳුවැටියට නුදුරෙන් නැගෙනහිර දෙසින් නංගා පාර්බත් ශිඛරයට සහ බටහිර දෙසින් හිමාලයට මායිම් ව පිහිටි පාරිසරික වටිනාකමෙන් සහ​ සුන්දරත්වයෙන් ද අනූන කඳුකර සානුවක්. වසන්තයේ දී දුලබ සමනලුන්ගෙන් සහ වන මලින් පිරී යන එය ස්වදේශිකයන් අතර ජනප්‍රිය වී ඇත්තේ ‘වසන්තයේ මාලිගාව’ යන නාමයෙන්. 2016 වර්ෂයේ දී ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ඩියෝසායි ජාතික උද්‍යානයේ දී තිබ්බත වෘකයා, හිමාල අයිබෙක්ස් නම් දැවැන්ත එළු විශේෂය, තිබ්බත රතු නරියා සහ රන්වන් මාර්මට් (විශාල ලේනෙක්) වැනි සත්ත්ව විශේෂ රැසක් දැක ගැනීමට හැකි යි. හෙක්ටයාර 358,400 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති එය අඩු වායුගෝලීය පීඩනයක් සහිත අධික සීතලකින් යුතු පෙදෙසක්.

කාඝන් නිම්නය

© Ahmed S. Zaidi / Getty Images

පකිස්ථානය සතු සොඳුරු නිම්නයන් අතර මුල් තැන ගන්නේ කාඝන් නිම්නය බව පැවසීමේ වරදක් නැහැ. ඊශාන දිග පකිස්ථානයේ පිහිටා ඇති එය ඇතැම් විටෙක ‘සුරඟනන්ගේ දේශය’ ලෙස ද හඳුන්වනු ලබනවා. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ පර්සියාවේ කුමරු, කාඝන් නිම්නයේ නැගෙනහිර කෙළවරේ පිහිටි සායිෆුල් මුලුක් වැවේ විනිවිද පෙනෙන දිය මත සිට සුරඟන කුමරියක් හා ආදරයෙන් බැඳුණු බව යි. නමුත් ඇය හා ආදරයෙන් බැඳුණු යෝධයෙක් ඇය ව බලෙන් රඳවා තබාගෙන තිබෙනවා. එක් දිනක් පර්සියාවේ කුමරු, ඇය ව යෝධයාගේ ග්‍රහණයෙන් මුදවාගෙන පලා ගොස් ඇති අතර දැඩි සේ කෝපයට පත් වූ යෝධයා, ගං වතුරක් රැගෙන එමින් කාඝන් නිම්නය යට කළ බව සහ ඔහුගේ කඳුළින් නිම්නය පුරා කුඩා වැව් නිර්මාණය කළ බව සඳහන්.

මැක්රන් වෙරළ තීරය

© Yasir Nisar / Getty Images

සැතපුම් 600(කිලෝමීටර් 1,000) ක් පුරා දිවෙන මැක්රන් වෙරළබඩ අධිවේගී මාර්ගය පිහිටා ඇත්තේ අරාබි මුහුද මායිමේ යි. කරච්චි නුවරින් ඇරඹෙන එය ග්වාදර් ඔස්සේ ඉරාන දේශ සීමාව දක්වා විහිදී යනවා. එසේ ම මැක්රන් වෙරළබඩ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා අතර වාරයේ දී හිංගල් ජාතික උද්‍යානය සතු වන චන්ද්‍ර පාෂාණ මෙන් පෙනෙන ශෛලමය පිහිටීමක් ද දැක බලා ගත හැකි යි. එයට අමතර ව ඊජිප්තු නරසිංහ (ස්පින්ක්ස්) රුවක් මෙන් දිස්වෙන ස්වභාවික ගල් කුලක් ද මැක්රන් වෙරළ තීරයේ පිහිටා ඇති අතර එය නම් කර ඇත්තේ ‘බලොචිස්ථානයේ සිංහයා’ යන නාමයෙන්.

හුන්සා නිම්නය

© Jinho Choi / Alamy Stock Photo

පකිස්ථානයේ ගිල්ගිට්-බල්ටිස්ථාන් ප්‍රාන්තයේ දේශ සීමාව ලකුණු කරන හුන්සා නිම්නය සමන්විත වන්නේ හුන්සා නදියට ඉහළින් නැගුණු හිමෙන් වැසී ගිය කඳු ශිඛරයන්ගෙන්. ග්ලැසියර සහ දුර්ග මාර්ගයන්ගෙන් වට වී ගං ඉවුරේ පිහිටා ඇති හුන්සා නුවර, ඈත අතීතයේ සිට ම හින්දු කුෂ් කඳුවැටිය මැදින් කාෂ්මීරය දෙසට ගමන් කරන සංචාරකයින් අතර නවාතැන්පොළක් ලෙස ජනප්‍රිය යි. වසර පුරා සුදෝසුදු පැහැයෙන් දිලෙන හුන්සා නිම්නය, හිම දිවියා, අයිබෙක්ස් එළුවා, රතු ඉරි ඇති නරියා සහ මාකෝ එළුවා වැනි සතුන් රැසකට සෙවණ සපයනවා.

හිංගල් ජාතික උද්‍යානය

© Bashir Osman / Getty Images

මැක්රන් වෙරළ තීරය ඔස්සේ සැතපුම් සිය ගණනක් දුරට විහිදෙන හිංගල් ජාතික උද්‍යානය, පකිස්ථානය සතු විශාලතම ජාතික උද්‍යානය යි. සින්ද් දිවියා, චින්කාරා මුවා, හනී බැජර් සහ ඉන්දියානු ඈයා වැනි දුලබ සතුන් රාශියක්  මෙන් ම තවමත් සක්‍රීය තත්ත්වයේ පවතින මඩ යමහල් (mud volcano) කිහිපයක් ද එහි දී දැක ගැනීමට ලැබෙනවා. වර්ග කිලෝමීටර් 1,650 ක බිම් පෙදෙසක් පුරා පැතිරී ඇති එය ජාතික උද්‍යානයක් ලෙස නම් කර ඇත්තේ 1988 වර්ෂයේ දී යි. එසේ ම හින්දු භක්තිකයන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වී ඇති ‘චන්ද්‍රගුප්’ නම් ප්‍රකට මඩ යමහල පිහිටා ඇත්තේ ද හිංගල් ජාතික උද්‍යානයේ යි.

බැල්ටෝරෝ ග්ලැසියරය

© S. K. Khatri / Flickr

ලොව විශාලතම නිම්න ග්ලැසියරයක් ලෙස සලකනු ලබන සැතපුම් 39 (කිලෝමීටර් 63) ක් පුරා දිව යන බැල්ටෝරෝ ග්ලැසියරය පිහිටා ඇත්තේ නැගෙනහිර කාරකෝරම් කඳුවැටිය ආශ්‍රිත ව යි. ප්‍රවේශය තරමක් අපහසු වුව ද පකිස්ථානය සතු වැඩි ම පිරිසක් නගින කඳුවැටියක් ලෙස එය සැලකෙනවා. සොඳුරු භූ දසුන් පිරි බැල්ටෝරෝ ග්ලැසියරය, උතුරු පකිස්ථානයේ වාසය කරන බහුතරයකගේ ජල අවශ්‍යතාවය සපුරන බව සඳහන්. එය සතු ඉහළ ම ශිඛරයේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 8,611 (අඩි 28,251) ක් බව යි වාර්තා වන්නේ.

නීලම් නිම්නය

© Naeem Naqvi

උතුරු දිග අසාඩ් ජම්මු සහ කාෂ්මීර ප්‍රදේශයේ පිහිටා ඇති නීලම් නිම්නය හැඩයෙන් සම වන්නේ  දුන්නකට යි. අඩි 13,000 ක් පමණ උසින් යුතු කඳුවැටියට මැදි ව පිහිටා ඇති එය නිල්වන් වනාන්තරයන්ගෙන් සහ පිරිසිදු දිය පිරි ගංගාවන්ගෙන් සමන්විත වෙනවා. නීලම් නිම්නයේ පිහිටා ඇති ජනප්‍රිය සංචාරක පෙදෙසක් වන ‘අරන්ග් කෙල්’ ගම්මානය හඳුන්වන්නේ ‘නීලම් නිම්නයේ මුතු ඇටය’ ලෙස යි.

ඇටබාඩ් වැව

© Daniel

2010 ජනවාරි මාසයේ දී වේල්ලක් නාය යාම හේතුවෙන් නිර්මාණය වූ ඇටබාඩ් වැව පිහිටා ඇත්තේ හුන්සා නිම්නයේ යි. නාය යාම හේතුවෙන් දහස් ගණනක් දෙනාට වාසස්ථාන අහිමි වී අවතැන් වුව ද වර්තමානයේ දී ඇටබාඩ් වැව, ආසන්නයේ වාසය කරන ගම් වැසියන් බොහෝ දෙනෙකුට ජීවන මාර්ග සපයා තිබෙනවා. බෝට්ටු පැදීම සඳහා සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය එය සෑම විට ම පිරී පවතින්නේ පාෂාණ කඳු අතරින් ගලා බසින දීප්තිමත් නිල් පැහැ ජලයෙන්.

කවරයේ පින්තූරය : © Snowy Tops

හේමන්තයේ දී හුන්සා නිම්නය

Related Articles