ගීතයක සැඟවුණු කතාව – By the rivers of Babylon (2කොටස)

By the rivers of Babylon (බයි ද රිවර්ස් ඔෆ් බාබිලොන්) ගීතය පිළිබඳ පසුබිම් කතාව විස්තර කිරීම අප මින් පෙර ලිපියකින් පටන් ගත් අතර එහිදී සියවස් කිහිපයක් තිස්සේ එන ඓතිහාසික කරුණු ගෙන හැර දක්වනු ලැබුණි. මෙම ලිපියෙන් අපි එම ගීතය පිළිබඳ විමසා බලමු.

යටත් ජාතීන් පිලිබඳව සයිරස් රජතුමා දැක්වූයේ හාත්පසින්ම වෙනස් ආකල්පයකි. එනම් විප්‍රවාසීව සිටි ජුදෙව් ජනතාවට ඔවුන්ගේ මව් රටට එනම් පලස්තීන දේශයට නික්ම යාමට ඔහු අවසර දෙන ලදි. සයිරස් යන නමේ තේරුම එඩේරා යන්නයි. යෙසායා දිවැසිවරයාගේ පොතේ සයිරස් රජතුමාව යහපත් එඬේරකු ලෙස හදුන්වා ඇත්තේ ඔහුගේ මෙම යහපත් ක්‍රියාව නිසාවෙනි. සුප්‍රකට සයිරස් සිලින්ඩරයේ සයිරස් රජු කිසිම යුද්ධයක් නොකර බැබිලෝනියාව ජයගත් අන්දම ගැනත්, වහලුන්ට ආපසු තම රටවල්වලට හැරී යාමටත් ඔවුන්ගේ දේවමාළිගා නැවත ගොඩනඟා ගැනීමට අවසර දීමේ ඔහුගේ ප්‍රතිපත්තිය​ ගැනත් විස්තර කෙරේ. සයිරස් රජු යාහ් වේ විසින් මෙහෙයවනු ලබන තැනැත්තෙකු බව බයිබලයේ යෙසායා දිවැසිවරයාගේ පොතේ පැවසෙන නමුත් ලෝකයේ පාලකයා වන පිණිස සයිරස් රජු තෝරා ගත්තේ මර්ඩුක් දෙවියා විසින් බවත් එයින් පසු මර්ඩුක් නියම මිත්‍රයෙකු මෙන් ඔහු සමඟ් ගිය බවත් මෙම ලේඛනයේ තව දුරටත් සඳහන් වේ.

සයිරස් රජතුමා. ( made4museum.com)

සයිරස් රජතුමා සියලුම ජුදෙව්වරුන්ට තම මව් රටට යාමට අවසර ලබා දුන් නමුත් ඔවුන් සියලු දෙනාම මව් රට බලා පිටත් නොවූහ. ආර්ථික අතින් යම් දියුණුවක් ලබා සිටි ජුදෙව්වරු තමන් වර්තමානයේ සිටින පලාත් අතහැර යෑමට මැලිබවක් දැක්වූ බව කියවේ. එනමුත් නැවත මව් රටට යාමට සෙරුබ්බාබෙල්, පූජක ජොෂ්‍ය්වා, හග්ගයි හා සෙකරියා යන අය නායකත්වය ගත් හ​. ක්‍රි.පූ. 521 දී පමණ පර්සියාවේ ඩේරියස් රජුගේ කාලයේදී ජෙරුසලම් දේවමාලිගාව නැවත ඉදි කිරීම අරඹන ලදි. මේ සදහා මුල් වූයේ පූජක සෙකරියා හා හග්ගයි යන දෙදෙනාය. මෙම දේව මාලිගාව දේව නමස්කාරයේ කේන්ද්‍රස්ථානය විය.

ප්‍රකට සයිරස් සිලින්ඩරය. (ancient.eu)

නමස්කාරය සදහා බැබිලෝනියාවේදී සාදාගත් සිනගෝග ජුදා දේශයේද සෑම ගමකම සාදන ලදි. ආගමික වතාවත් අකුරටම ඔවුන් ඉටු කිරීමට වග බලාගත් අතර අන්‍ය ජාතීන් සමඟ මිශ්‍ර වීම තහනම් කරන ලදි. අන්‍ය ජාතික කාන්තාවන් විවාහ කරගෙන සිටි ජුදෙව්වරුන්ට එම කාන්තාවන් අතහරින ලෙස බලකලේය. ජේසුස්වහන්සේගේ කාලය වන විට මෙය උග්‍රව පැවතියේය.  By the rivers of Babylon ගීතයේ සදහන් වන්නේ උක්ත ඉතිහාස කතාවෙන් කොටසකි. ජුදා දේශයේ වැසියන්ව වහල් කමට බැබිලෝනියාවට රැගෙන යාම මෙම ගීතය මගින් පවසයි. මෙම ගීතයේ බැබිලෝනියාවේ ගංගා ලෙස හදුන්වා ඇත්තේ යුප්‍රටීස් හා ටයිග්‍රීස් යන ගංඟා ය. මෙම ගීතයේ පද රචනයට ඉවහල් වී ඇත්තේ බයිබලයේ ගීතාවලිය පොතේ 137 වන ගීතයයි.ගීතාවලිය 137 වන ගීතය – ” බබිලොන් හි ගං තෙරවල අපි හිඳගතිමු.සියොන් කන්ද අපට සිහි වූ විට අපි හඬා වැළපෙමු.එහි බට පඳුරුවල අපි වීණා එල්ලා තැබීමු.අප වහල්කමට ගෙන ගිය අය ගැයුම් වැයුම් කරන ලෙස අපට බල කල බැවිනි.අපට පීඩා කල අය, සියොන් ගීයක් ගයා ඔවුන් විනෝද කරන ලෙස අපෙන් ඉල්ලූ බැවිනි.විදේශයක දී, සමිදුන්ගේ ගීතය අපි කෙසේ ගයමු ද?එම්බා ජෙරුසලම! තී මට අමතක වී නම්, මගේ දකුණත වියළී තියේවා!මම තී සිහි නොකරමි නම්, මගේ පරමානන්දය මෙන් ජෙරුසලම මම නොසලකම් නම් මගේ දිව ගොළු වේවා!සමිඳුනි, ජෙරුසලම වැටුණ දවසේ දී, බිඳ හෙලව් , බිඳ හෙලව් කියමින් ඒදොම් වැසියන් කල දේ ඔවුන්ට විරුද්ධව සිහි කල මැනව.අහෝ බබිලෝනිය! විනාශකාරී බබිලෝනිය!තී අපට කලාක් මෙන් තීට ප්‍රතිවිපාක දෙන මිනිසා වාසනාවන්තය.තිගේ ළඳරුවන් රැගෙන ගලේ ගසන මිනිසා වාසනාවන්තය.”

ජෙරුසලම් දේවමාලිගාව විනාශ කරන අයුරු සිත්තරෙකුගේ ඇසින්. (endtimestruth.com)

-By the rivers of Babylon ගීතයේ පද මාලාව-


මෙලඩියන්ස් සංගීත කණ්ඩායම. (allmusic.com)

මෙම ගීතයේ මුල් ගායකයන් කවුද​? යන පැනය ඇසූ විට බොහෝ දෙනෙකුගේ පිලිතුර වන්නේ Boney M සංගීත කණ්ඩායම කියාය. එනමුත් එය සත්‍ය නොවේ. මෙම ගීතය පද රචනය කර මුලින්ම ගායනා කර ඇත්තේ මෙලඩියන්ස් නම් සංගීත කණ්ඩායමේ Brent Dowe සහ Trevor McNaughton යන සාමාජිකයන් ය. ඒ 1970 වසරේ දී ය. මෙම ගීතයේ ජාත්‍යන්තරයට පැමිණෙන්නේ 1972 වසරේ The Harder They Come නම් චිත්‍රපටයේ අඩංගු ගීතයක් වශයෙනි. මෙම ගීතය යුරෝපය පුරා ජනප්‍රිය කලේ Boney M සංගීත කණ්ඩායම විසිනි. ඔවුන් විසින් මෙම ගීතය නැවත පටිගත කලේ 1978 වර්ෂයේදී ය.වර්තමානය වන විට මෙය කිතුණු දහමේ ගීතයක් ලෙස ප්‍රකට වුවත් මෙලඩියන්ස් සංගීත කණ්ඩායම මෙම ගීතය ගැයුවේ රස්තාෆාරියන් ගීයක් ලෙසයි. එයට හේතුව රස්තෆාරියන් ආගම හා කිතුනු දහම අතර යම් සමානකම් ඇති බැවිනි.

මූලාශ්‍ර:1)A history of jews – Paul Johnson 2)Jerusalam in history – K J Asali3) ඊශ්‍රායලයේ ඉතිහාසය – ජී.පී.වී. සෝමරත්න4)පරණ ගිවිසුම් සමීක්ෂණය – ජේ. ෂූල්ට්ස්5)history.com6)listverse.com

කවරයේ පින්තූරය- Boney M සංගීත කණ්ඩායම (Getty Images)

Related Articles