Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පැරණි අපේම විරුවන් සිනමාවට නැංවූ බාහුබලි 2

දිනපතා තිසා වැවට නාන්නට යන ගෝඨයිම්බර එක් දිනක් ඉසුරුමුණි වෙහෙර වඳිනට යනවිට එහි එකම කලබැගෑනියකි. මහ පිරිසක් තෙරුන් වහන්සේගේද උපදෙස් ඇතිව කැති පොරෝ උදලු කෙටි ගෙන වාසල් දොර අසල ඇති උණ පඳුරක් ගලවන්නට වැර වෑයම් කරති. මේ කිමෙක්දැයි තෙරුන්ගෙන්  අසා පිරිස ලවා කඹයක් ගෙන්වා ගත් ගෝඨයිම්බරයෝ වාහල් දොර වසා තිබූ උණ පඳුර වමතින් උදුරා හිස වට කරකවා මහමගින් ඈතට විසි කොට බලා සිටි පිරිසට පුදුමයෙනුත් පුදුමට පත් කරවමිනි.

කංඡායුධ හි නිරූපනය කරන නන්දිමිත්‍ර යෝධයා (scout-labs.com)

මහා ගැලක් (විශාල කරත්තයක්) පිරෙන මට්ටමේ වූ සුවිසල් උණ පඳුරක් උදුරා ඉසව්වට කරකවා ඈතට විසි කල ගෝඨයිම්බර යෝධයාගේ විස්තරය සද්ධර්මාලංකාරයේ පරිදි එසේය. ගෝඨයිම්බරයාගේ නම් විස්තර මේ පමණක් නොව තව බොහොමයකි. විජිතපුර සටනේදී පොල් ගසක් ගලවාගෙන සතුරන් බිමට සමතලා කළ ගෝඨයිම්බර යෝධයා යොවුන් වියේදී පොල් ගස්වලට පයින් ඇණ ගෙඩිකඩා සිය මිතුරන්ට කුරුම්බා ලෙස පානයට දුන්නේය. පසුකලෙක සිය බිරියට නොහොබිනා විහිළුවක් කළ හෙයින් ගෝඨයිම්බර මහසේන නම් යක්ෂයා සමග ගැටුමක් ඇති කරගන්නේය.  මා මහසෝනාට පහරදීමට මේ සුවිසල් අත් හෝ පාද හෝ පාවිච්චි නොකරමි‘යි  වහසි බස් කියූ ගෝඨයිම්බර දෙස ඇතැම් ප්‍රබල යක්ෂයින්ද බැලුවේ සැකයෙනි. රුදුරු මහසෝනා දිව එන පෙරමඟට ගුවනින් කරණමක් ගසා පිවිසෙන ගෝඨයිම්බරයෝ සිය වම්පයේ සුළැඟිල්ලෙන් මහසෝනාගේ හිස ගැලවී අහසේ පාවී යන්නට දුන් එක් ප්‍රබල පහරකින් මහසෝනා මෙල්ල කළේ ය.

අප රටේ සාහිත්‍ය කෘති වල මෙවැනි වූ නාටකීය මනරම් වීර කතා බොහොමයකි. දස මහා යෝධයින්, නීල මහා යෝධයා. වීර වික්‍රමාන්විත රජවරුන්, දස දෙනෙකු සමඟ පවා එකවර සටන් කළ හැකි සෙන්පතිවරුන් ගැන ලියවුනු කතාන්දර බොහොමයක් අපේ සාහිත්‍ය කෘති වල ගැබ්ව තිබේ. ව්‍යවහාර බසින් මඳක් ඈත් වූ පැරණි වහරකින් පවතින නිසා ඒ ජාතක කතා සහ කෘතිවල ඇති සිද්ධීන් වර්තමාන පරපුරට යොමුවන්නේ අඩුවෙනි.

(bbc.com)

දේශීය ටේස්ට් එකට බාහුබලී

ඉන්දීය සිනමාවේ වාර්ථාගත ආදායමක් ඉපයූ බාහුබලි 2 නම් සිනමා කෘතිය දිවයන්නේ අපගේ පැරණි සාහිත්‍ය කෘතිවල සඳහන් රජවරු සහ යෝධයින්ගේ කතා වලට මඳක් වූ සමාන පසුබිමකය. සාමාන්‍ය හින්දි හෝ දමිළ චිත්‍රපට වල දකින ශෝභමාන නලුවන් වෙනුවට බහුබලි හි ඇත්තේ බාහුබලයෙන් අනූන අයෝමය පුරුෂයින් මෙන් පරිපූර්ණ චරිත ය.

කුළු හරකුන් පසුපස එලවාගෙන ගොස් උන් මෙල්ල කරන

දුවන ඌරන්ට හීසර යොමුකොට උන් එසැනින් මරා දමන..

අලි ඇතුන් මෙල්ල කොට උන් ගෙන්  වැඩගන්නා..

අසාමාන්‍ය බලයක් සහිතව සුවිසාල සේනාවකට එකවර පහර දෙන..

පොල් ගස් තල් ගස් නමා ඒවායේ බලයෙන් වැඩ ගන්නා..

මහජනයාගේද හිත දිනාගත් පරමාදර්ශී වීර චරිත අපට බටහිර සිනමා පටයන් තුළින් හමුවන්නේ නැත. එහෙත් බාහුබලි හී අපේ දකුණු ආසියානු මනසට වඩාත්ම ගැලපෙන ඓතිහාසික වීරයා අපිට හිමිකර දී තිබේ. සුවිසල් යුද්ධ ටැංකියක නැගී ඈත දුර පේන සියළු සතුරු ඉලක්ක සුණු විසුණු වන්නට වෙඩිතබන යුද්ධ ටැංකි විරුවෙකුට වඩා අපේ දකුණු ආසියාතික මනස කඩු දෙකක් අත දරා සතුරු සේනාව හිස් ලූ ලූ අත කඩුගාන වීරයාට වඩාත් ඇලුම් කරති. පොල්ගසක් නමා එහි බලයෙන් යන්ත්‍ර නිපදවිය නොහැකි බව කුඩා දරුවෙකුට වුව වැටහුනත් ඒ තිරයේ නිරූපණය වන යෝධයාට අපිට බැරි බොහෝ දේ කළ හැකියැයි අපි සිතන්නට පෙළඹෙමු.

අප රටේ ද ඉඳහිට වීරවරුන් සිටින චිත්‍රපට බිහිවුවද ඒවායේ රූපරාමු පවා මේ බටහිර චිත්‍රපටයේ මේ දර්ශනය යැයි පෙන්වා කිව හැකි තරම්ම බාල මට්ටමේ කොපිය. එම ලාංකික චිත්‍රපට වල පසුබිම් සංගීත සටන් උපක්‍රම සහ කතාව පෙලගස්වන ආකාරයද අමු අමුවේම හින්දි හෝ බටහිර කොපියකි. නමුත් බාහුබලි නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අයෝමය හස්තයකින් නිමවූ දකුණු ආසියාතිකයින්ගේ රුචිකත්වයට මනාව ගැලපෙන චිත්‍රපටියකි. එහි ඇඳුම් පැළඳුම් සටන් සහ යුද්ධ සඳහා යොදාගන්නා පසුබිම් යන්ත්‍ර සූත්‍ර,  කතාව සහ සංගීත ඛණ්ඩ පවා බොහෝවිට දකුණු ඉන්දීය ආභාෂය ලබා තිබේ. පරිගණක තාක්ෂණික දෘෂ්‍ය  ප්‍රයෝග රැසක් භාවිත කර ඇති මුත් ඒ සියල්ලම පාහේ සාමාන්‍ය ඉන්දියානු චිත්‍රපටයකට වඩා එපිටට ගොස් වඩාත් තත්වාකාර දර්ශන මවාපාන්නට සමත් වී තිබේ.

කතාවේ ඇති කාන්තා වීරවරියන් වුවද සාම්ප්‍රදායික සාරියෙන් නිරූපණය කරන බාහුබලි චිත්‍රපටය පුරාම ලිංගික උද්දීපන දර්ශන ස්වල්පයක් හෝ ඇතුලත් කොට නොමැත.

(bbc.com)

බාහුබලි හින්දිද දෙමළද?

ඉන්දියාවේ ප්‍රකට සිනමා ක්ෂේත්‍ර දෙකටම අයිති නොවූ බාහුබලි වඩාත්ම නෑකම් කියන්නේ තෙළිඟු සිනමාවටය. නළු නිළියන් සහ අධ්‍යක්ෂ ඇතුළු බොහෝ දෙනෙක් තෙළිඟු සිනමාවේ ආභාෂය ලැබූ අය වෙති. මෙම දැවැන්ත සිනමා නිර්මාණයට කෝටි පන්සියයක වියදම් වී ඇතුවා සේම මේ චිත්‍රපටය සදහා වැය වූ කාලයද විශාලය. පුරාණ පසුතල නිර්මාණය, ඇඳුම් නිර්මාණය. සේම විශේෂ යුද්ධ උපකරණ යන්ත්‍ර සූත්‍ර පවා වෙනමම මෙම සිනමාපටය වෙනුවෙන් නිපදවා තිබේ.

වසර දෙක තුනක් තිස්සේ චිත්‍රපටයේ රචකයින්, අධ්‍යක්ෂකයින් සහ නළු නිළි කැළගේත් කැපවීම තුලින් 2017 අප්‍රේල් 28 නිකුත්වූ බාහුබලී දැනට ඉන්දියාවේ පමණක් නොව ලෝක සිනමාවේද ජනප්‍රියතම සිනමා කෘතියක් වී හමාරය. ඉතාම තද කාලරාමුවල රඟපාන හින්දි සිනමාවේ ඛාන් වීරවරුන්ට වඩා වැඩි කාලයක් සිනමා කෘතිය වෙනුවෙන් කැපවීමට තෙළිඟු ශිල්පීන්ට කාලය ඉඩකඩ තිබීම චිත්‍රපටිය සාර්ථක වන්නට තවත් හේතුවක් වන්නට ඇති බව බොලිවුඩ් විචාරකයින්ද අදහස් දක්වා තිබුණි.

(firstpost.com)

වීරයා සහ පරාජිතයා

චිත්‍රපටයේ කතාව මඳක් දිග එකකි. මුල් කොටස්හි හාස්‍යය මුසු වූ සුන්දර ආදර අන්දරයක් සේ ඇදෙන බාහුබලි කෙමෙන් කෙමෙන් සිය යුද්ධමය පසුබිමට අවතීර්ණ වේ. චිත්‍රපටය පියවි ඇසින් සරලව සිතුවහොත් විය නොහැකි සිද්ධින් රැසක් සහිත අතට අසුවන දෘෂ්‍ය ප්‍රයෝග රැසක්ම තිබේ. එහෙත් අප කලාපයේදී වීරයා යනු සැබැවින්ම විශාල වූ කාය ශක්තියක් සහිත අසාමාන්‍ය චරිතයකි. එවැන්නක් යථාර්ථවාදීව නිරූපණය කිරීමෙන් එම චරිතවලට සාධරණයක් ඉටුකළ නොහේ.

අති විශාල මුදලක් වියදම් කොට වසර තුන හතරක් තිස්සේ කැපවෙමින් ඉන්දියාවේ තුන්වෙනි හෝ හතරවෙනි මට්ටමේ සිනමා කදවුරකින් ඉපිද මුළු ලොව පුරා අග්‍රගන්‍ය තාක්ෂණයෙන් නිකුත් වූ බාහුබලි වනාහි සැබැවින්ම දකුණු ආසියාතික වාණිජ්‍ය සිනමාවේම නව නැම්මකි. බාහු වලට තිබිය හැක්කේ සාමාන්‍ය බලයක් පමණක් නොවේ. ඔබටත් හැකියාවක් තිබේනම් බාහුබලි වෙනුවෙන් කාලයක් වෙන්කරගන්න. එය ඔබට නැවුම් සිනමා  අත්දැකිමක් වේවි.

Related Articles