Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අනාගතයේ මුහුදක් වන ලොව ගැඹුරුම විල -බයිකල්

ශ්‍රී ලාංකිකයන් වන අපට වැව් ඉතා හුරු පුරුදු දෙයක්. අතීතයේ සිට පැවත ආ වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංකල්පය ඔස්සේ අපේ සංස්කෘතිය ගොඩනැගී තිබෙනවා. වී ගොවිතැනින් දිවි සරිකරගත් පැරැන්නන් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ විශාල වැව් අමුණු ඉදි කළේ වර්ෂා කාලයේ එක්කාසු වන ජලය වැසි මඳ කාල වල සිය වගා කටයුතු සඳහා යොදා ගැනීමටයි.

වැව් අමුණු සිය ගණනක් තිබුණද ශ්‍රී ලංකාව තුළ ස්වභාවිකව නිර්මාණය වුණු සැලකිය යුතු ප්‍රමාණයේ එකදු විලක් හෝ දක්නට නැහැ. මෙහි තත්ත්වය එසේ වූවත් ලෝකය සලකා බැලීමේදී ශ්‍රී ලංකාව පහසුවෙන් ගිල්විය හැකි තරමේ මිරිදිය විල් දෙකක්ම අපට හමු වෙනවා. ලොව විශාලම මිරිදිය විල වන පංච මහා විල් සමූහයට අයත් සුපීරියර් විල හා අප්‍රිකා මහාද්වීපයේ වික්ටෝරියා විල ඒ දෙකයි. ඒ තරම් විශාල නොවුණත් රුසියාවට අයත් බයිකල් විල ලෝකයේ විල් අතරින් සුවිශේෂීම විලක් වන්නේ එය ලොව ගැඹුරුම මිරිදිය විල වීම නිසාම නොවේ. ලෝකයේ විල් අතරින් සුන්දරතම හා රමණීයම විලක් වන බයිකල් විල සිය සුන්දරත්වය අතුරින් ඓතිහාසික, ජීව විද්‍යාත්මක හා භූගෝලීය වැදගත්කම් රැසක්ම දරාගෙන සිටිනවා.

බයිකල් විලේ භූගෝලීය පිහිටීම

බයිකල් විලේ භූගෝලීය පිහිටීම-101ru.com

බයිකල් විල පිහිටා ඇත්තේ දකුණු-මධ්‍යම රුසියාවේ මොන්ගෝලියානු දේශ සීමාව අසලට වන්නටයි. ලොව වැඩිම ජල ධාරිතාවක් උසුලන මිරිදිය විල වන මෙහි සම්පූර්ණ ධාරිතාව ඝන කිලෝමීටර 23,013 ක් වන අතර මෙහි ධාරිතාව ඇමෙරිකාවේ පංච මහා විල් සියල්ලේම ජල ධාරිතා වල එකතුවට ආසන්න වශයෙන් සමාන වෙනවා. පෘථිවියේ ඇති පිරිසිදු ජලයෙන් 20% ක් පමණ මෙහි ඇති බවට සැලකෙනවා. ලොව ගැඹුරෙන් වැඩිම විලත් වන මෙහි උපරිම ගැඹුර මීටර 1632ක් වන අතර සාමාන්‍ය ගැඹුර මීටර 744ක් වෙනවා. වර්ග කිලෝ මීටර 31,722 ක වපසරියක පිහිටා ඇති මෙය දිගින් කිලෝමීටර 640ක් වන අතර සාමාන්‍ය පළල කිලෝමීටර 47ක්. බයිකල් විල සතුව කිලෝමීටර 1300ක දිගකින් යුතු ඉතාම සුන්දර වෙරළ තීරයක් තිබෙනවා.

බයිකල් විලේ ඉතිහාසය හා පිහිටීමට හේතු

බයිකල් විලේ චන්ද්‍රිකා ඡායාරූපයක්-101ru.com

ලොව පැරණිම විල වන බයිකල් විලට අවම වශයෙන් වසර මිලියන 25 ක අතීතයක් තිබෙනවා. බයිකල විල හා අවට ඇති කඳුවැටි නිර්මාණය වී තිබෙන්නේ අනාදිමත් කාලයකට පෙර පෘථිවි කබොලේ ඇති වූ පැලීම් වල චලන නිසායි. ආරම්භයේදී බොහෝ විට ගංගා නිම්නයක් වශයෙන් තිබෙන්නට ඇති බයිකල් විල මේ පැලීම හා ඒ හා සබැඳි කම්පන නිසා පළල් වී විශාල විලක් නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. පසුව තෘතියික යුගයේදී අවට ඇති ග්ලැසියර දියවී මෙහි ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. බයිකල් විල අවට වසරකට සුළු හා මධ්‍යම පරිමාණයේ භූ චලන 2000ක් පමණ වාර්තා වෙනවා.

වැඩිදුර කරුණු

බයිකල් විල සතුව දූපත් 27ක් ඇති අතර ඉන් වැඩිමනක් ජන ශුන්‍ය ඒවා වෙනවා. මින් විශාලම දූපත වන කිලෝමීටර 45ක් දිගැති ඔල්කොන් හි ගම්මාන පිහිටා ඇති අතර මිනිසුන් 1500 ක් පමණ එහි වාසය කරනවා.

ඔල්කොන් දිවයිනේ දසුනක් -baikalsp.ru

විවිධ දිය පහරවල් තුන් සියයක් පමණ බයිකල් විලට ගලා එන මුත් බයිකල් විලෙන් ඉවතට විහිදෙන්නේ අංගාරා ගඟ පමණයි. අංගාර ගඟ වසරකට ජල ගැලුම් ට්‍රිලියන 15.8ක් පමණ ආක්ටික් මුහුද කරා ගෙන යාම සඳහා යෙනිසෙයි ගංගාවට මුදා හරිනවා.

අංගාරා ගඟ -(Burtasovsky Krill/ [email protected])

සෙලෙන්ගා ගඟ බයිකල් විල කරා ගලන ජල පහරවල් වලින් විශාලතම එකයි. බයිකල් විලේ ජලයෙන් 50% ක් පමණ සපයන මෙය උතුරු මොන්ගෝලියාවේ සිට ගලනවා. බයිකල් විල හා සෙලෙන්ගා ඩෙල්ටාව රැම්සාර් සම්මුතියට අනුව  ජෛව විවිධත්වයෙන් අනූන භූමියක් ලෙස අන්තර්ජාතිකව පිළිගෙන තිබෙනවා. බයිකල් විල පතුලට වන්නට ඇති ජලයත් ඔක්සිජනීකෘතයි. තවම හේතුව හරි හැටි හඳුනා නොගත්තද බයිකල් විල පතුල හා ඉන් පහළ රත් වීමකට ලක් වෙනවා. මීට අමතරව බයිකල් විල ලොව පිරිසිදුම ජලය ඇති විලක් ලෙස සැලකෙනවා. මෙය කෙතරම් පැහැදිලි ජලය සහිත එකක්ද යත් සම්පූර්ණයෙන් පිරී ඇති විට අඩි 130ක පමණ ගැඹුරක් දර්ශනය වෙනවා. මෙසේ පැහැදිලි ජලය ලැබීමට හේතුව ග්‍රීෂ්මයේදී සැලකිය යුතු ප්‍රමාණයක් දිය වූ පිරිසිදු අයිස් විල් ජලයට එකතු වීම, පාවෙන කුණු රොඩු ආහාරයට ගන්නා ජීවීන් සිටීම හා විල් ජලයේ ඛණිජ ලවණ අවම වීමයි.

සෙලෙන්ගා ඩෙල්ටාව- blogs.epfl.ch

බයිකල් විලේ ජලය ඉතා පැහැදිලියි -Alicia Roberts

බයිකල් විල සයිබීරියාවේ අනෙක් ප්‍රදේශ වලට වඩා උෂ්ණත්වයෙන් වැඩියි. ඒ කෙසේ නමුත් ශිශිරයේදී මේ ප්‍රදේශය අවට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 21 දක්වා පහළ වැටෙනවා. බයිකල් විල මේ කාලයේදී මිදීමට ලක් වන අතර මැයි ජූනි මාස වල සම්පූර්ණයෙන් දිය වීමට ලක් වෙනවා. ශීත ඍතුවේදී බයිකල් විල මත මිදෙන අයිස් ස්ථරය මීටර 2ක් පමණ ඝන විය හැකියි. ග්‍රීෂ්මයේදී ඉතාම සෞම්‍ය දේශගුණයකට මේ අවට ප්‍රදේශය පාත්‍ර වෙනවා.

බයිකල් විල ශීත ඍතුවේදී- 56thparallel.com

බයිකල් විල හා අවට ජෛව විවිධත්වය

බයිකල් විල හා එහි පෝෂක ප්‍රදේශය තුළ ඉතාම විශේෂ ශාක හා සත්ත්වගහණයක් සිටිනවා. වර්ග 2600කට පමණ අයත් ජීවී විශේෂ මෙහි හමුවන අතර ඉන් 70% ක් පමණ මේ ප්‍රදේශයට ආවේණික සතුන් වෙනවා. බයිකල් විල අවට ඇති ටයිගාවක් වන වනාන්තාරයේ වලසුන්, නරින්, රාජාලියන් හා මදුරුවන් වැනි වන සතුන් හමු වන අතර විල හා ඉවුරු ප්‍රදේශ වල නර්පා හා ඔමුල් සත්වයින් හමුවෙනවා. මින් නර්පා සත්ත්වයින් ඉතාම විශේෂිත මිරිදිය සීල් මත්ස්‍යයින් වර්ගයක් වන අතර ලෝකයෙන්ම හමු වන්නේ බයිකල් විලේ උතුරු ප්‍රදේශයෙන් හා උෂ්කන්යේ දූපත් අවට පමණයි.ඔමුල් මත්ස්‍යයින් බයිකල් විල සතු ජනප්‍රියම මත්ස්‍යයින් වර්ගය වන අතර සැමන් මත්ස්‍යයින්ට නෑකම් කියනවා. විශේෂම කාරණය වන්නේ මෙවැස්නි සත්තවයින් සාමාන්‍යයෙන් හමු වන්නේ සාගර ආශ්‍රිතව වීමයි.

නර්පා සත්ත්වයෙක් -Hazel Long

ඔමුල් මත්ස්‍යයින් – irkutsk.org

අනාගතයේදී සයුරක් වන බයිකල්

ලෝකයේ අන් විල් අතුරින් බයිකල් විල ඉතාම සුවිශේෂී එකක්. සාමාන්‍යයෙන් විලක් ස්ථාපනය වී වසර 10000-15000 වැනි කාලයකදී රොන් මඩ තැන්පත් වීම නිසා සම්පූර්ණයෙන් පාහේ ගොඩ වෙනවා. නමුත් පෘථිවි කබොලේ භූ පැල්මක් නිසා හටගත් බයිකල් විලනම් ගොඩවීමක ලකුණක්වත් පෙන්වන්නේ නැහැ. විද්‍යාඥයින් මත පළ කරන්නේ බයිකල් විල සාගරයක් වීමේ මූලික අවධියේ පවතින බවයි. බයිකල් විලේ ඉවුරු වසරකට සෙන්ටිමීටර 2 බැගින් එකිනෙකාගෙන් ඉවතට ඇදී යනවා. මෙය පුරාතන යුගයේ දකුණු ඇමෙරිකාව අප්‍රිකාවෙන් වෙන් වූ වේගයට සමානයි. අපේ ජීවිත කාලය තුළදී අත්විඳිය නොහැකි වුණත් අනාගතයේ යම් දවසක මේ සුන්දර, මනස්කන්ත විල ආසියානු මහාද්වීපය සමුද්‍ර තීරයකින් වෙන් කරනු ඇති.

todiscoverrussia.com

(කවරයේ පින්තූරය-getsready.com)

Related Articles