Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කම්කරුවන්ට මුවා වී Bank of America රථයක් කොල්ලකයි

28 හැවිරිදි ඇන්තනි කර්සියෝ 2008 සැප්තැම්බරයේ දී Craigslist වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළා. එහි තිබුණේ (ඇමරිකාවේ වොෂිංටනයේ පිහිටි) මොන්රෝහි මාර්ග සංවර්ධන කටයුත්තකට බිම් සැකසුම් හැකියාවන් සහිත පුද්ගලයින් අවශ්‍ය බව යි. එයට ප්‍රතිචාර දැක්වූවන්ට සැප්තැම්බර් 30 වන දා උදෑසන 11ට Bank of America ශාඛාව අසල ස්ථාන දෙකක එක්රැස් වන ලෙස උපදෙස් ලැබුණා. එසේම, කහ පැහැති අත් දිග ආරක්ෂක ඇඳුම්, ඇස් ආවරණ, සහ ශ්වසන ආධාරක, සහ නිල් පැහැති කමිසයක් පැළඳගෙන පැමිණෙන ලෙසත් දන්වා තිබුණා.

පෙපර් ස්ප්‍රේ කරන ආකාරය (ytimg.com)

සියල්ලෝම තමාට ලැබුණු උපදෙස් අනුව නියමිත වේලාවටම එහි පැමිණ සිටියේ පැයකට ඩොලර් 28.50ක් තරම් ඉහළ වැටුපක් ලැබීමේ පරමාර්ථයෙන්. ඔවුන් තමන්ට දන්වා තිබූ පරිදි “Restore Monroe” ලෙස නම් කර තිබූ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් නිලධාරියකු පැමිණ ඔවුන්ව අමතන තුරු රැඳී සිටියත්, එවන් කිසිවකුත් එහි පැමිණෙන බවක් නම් දකින්නට තිබුණේ නැහැ.

මේ අතරේ, මෙම කම්කරුවන්ට සමාන ඇඳුම් ඇඳගත් ඇන්තනි බැංකු ශාඛාවට මුදල් ගෙන එන වාහනය අසල ගැවසුණා. උදෑසන 11:04ට පමණ, මුදල් ගෙන යන නිලධාරියෙකුව ගම්මිරිස් ඉසිනයකින් විද (ආත්මාරක්ෂාව සඳහා භාවිතා කරන ගම්මිරිස් ස්ප්‍රේ) අඩපණ කළ ඔහු, එම මුදල් පැහැරගත් පසු ඇඳ සිටි කම්කරු ඇඳුම් උනා දමා, මීටර් 180ක් පමණ ඈතින් තිබූ ස්කයිකෝමිෂ් ගඟ දිගේ වායු ටියුබ් එකක (වාහන රෝදවල ඇතුලත ඇති) නැගී පැන ගියා. ඔහු එනතෙක් මඟ රැඳී සිටි බෝට්ටුකරුවෙකු ඔහුට එතැනින් එපිටට ප්‍රවාහන පහසුකම් සලසන්නට ඇති බවට සැක කෙරුණා.

මෙය සිදුවන අවස්ථාවේ විශාල පිරිසක් එම ඇඳුමම ඇඳගෙන සිටි නිසා ඔහුව වෙන්කර හඳුනාගැනීම ඒ අවස්ථාවේ කළ නොහැකි වුණා. 1999 දී තිරගත වුණු The Thomas Crown Affair නමැති චිත්‍රපටයේ සිතුවම් සොරෙකු තමාට සමානරූපී පුද්ගලයන් යොදා ගෙන වසන් වූ මෙවන් අපූරු ක්‍රමයක් භාවිතා කර තිබුණා. ඇන්තනි ඇතැම්විට මේ අදහස එම චිත්‍රපටයෙන් ලබාගන්නට ඇති බව පෙනෙන්නට තිබුණා.

මේ ආකාරයට සාර්ථකව ඩොලර් 400,000ක් රැගෙන නිදහසේ අතුරුදහන් වන්නට ඔහුට හැකි වුණා. එක් සාක්ෂ්‍යකරුවෙක් ඔහු පීනා ගිය බවට කීවත්, පසු විමර්ශනවල දී ගඟ කෙළවර තිබී වායු ටියුබ් එක හමුවී තිබුණා. ගම්මිරිස් ප්‍රහාරයට ලක්වූ බැංකු නිලධාරියාව පසුව වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කර තිබෙනවා.

ඔහුගේ මේ දක්ෂ ක්‍රමෝපාය නිසාම ඒ වන විට ගුවන් යානාවක් පැහැර ගැනීමට සමත්ව සිටි ඩී. බී. කූපර් නමැත්තකුට සමාන කරමින් ඇන්තනිව “ඩී. බී. ටියුබර්” නමින් හඳුන්වන්නටත් ජනතාව පෙළඹ තිබුණා.

YouTube වැඩසටහනක දී ඇන්තනි දරුවන් සමග තම අත්දැකීම් බෙදාගනිමින් (ytimg.com)

පාරෙහි අනෙක් පස මිච් රූත් නමැති ඉඩම් විකුණුම් කළමනාකරුවෙකු තම කාර්යාලයේ සිට ඉදිරිපස වීදුරුවෙන් බැංකුවේ මුදල් ගෙන යන රථය දෙස බලාගෙන දුරකථන ඇමතුමක රැඳී සිටියා. සැක සිතිය නොහැකි කම්කරුවෙකුගේ පෙනුමැති අයෙකු එම රථය දෙසට ගිය බවත්, ඔහු මුදල් මළු රැගත් නිලධාරියෙකු වාහනයෙන් පිටතට එත්ම දුවගොස් අතෙහි තිබූ කුඩා ස්ප්‍රේ කෑන් එකකින් නිලධාරියාගේ මුහුණට ස්ප්‍රේ කළ බවත්, ඉන්පසු මුදල් මල්ලකුත් රැගෙන පැන ගිය බවත් රූත් abc news වෙත පවසා තිබෙනවා. වහාම හදිසි ඇමතුම් අංකයක් ඇමතූ ඔහු සොරා පසුපස දුවන්නට උත්සාහ කළත් මඩ සහ තෙත සහිත තණකොළ මත දිවීමට ඔහුට අපහසු වූ බව වැඩිදුරටත් දක්වනවා. එනමුත් පොලීසියෙන් සහ තම බිරිඳගෙන් නම් රූත්ට ඒ වෙනුවෙන් හොඳ සැලකිල්ලක් ලැබී නැහැ.

ඇන්තනි පැළඳ සිට බිම වැටී තිබූ ශ්වසන ආධාරක මුහුණු ආවරණයේ තිබූ DNA පරීක්ෂා කිරීමෙන් 2008 නොවැම්බර් 3 වැනිදා ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. 2009 ජුලි මාසයේ දී ඔහුව අවුරුදු 6කට සිරගත කෙරුණා.

2013 දී නිදහස් වුණු ඔහු පදිංචිය මාරු කර, නිවසේ කල් ගෙවන දෙදරු පියෙක්ව සිටියා. අනතුරුව, වොෂිංටන් සහ ඔරිගන් ප්‍රාන්තවල පාසල් වෙත යමින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ආදීනව ගැන ඔහු පාසල් දරුවන්ට දේශන පැවැත්වූ අතර, තමා සොරකම් කරන්නට පෙළඹුණේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නිසා බව ඔහු පෙන්වා දුන්නා.

Related Articles