Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රිතාන්‍ය පොපිමලට එරෙහිව ලංකාවේ පිපුණු සූරිය මල

1914 වසරේ සිට 1918  දක්වා පැවති පළමු ලෝක යුද්ධය අවසන් වන්නේ 1918 වසරේ නොවැම්බර් 11 වන දා දෙපාර්ශවය විසින් අත්සන් කරන ලද තාවකාලික ගිවිසුමකිනි. යුද්ධයෙන් දෙපාර්ශවෙන්ම අතිවිශාල ගණනක් යුද සෙබළුන් මරණයට පත් වූ අතර තවත් විශාල ගණනාවක් තුවාල ලබනවා.

පළමු ලෝක යුද්ධයෙන් මියගිය සෙබළුන් සිහි කිරීම සඳහා රතු පැහැති පොපි මල යොදාගැනීමේ සමාජ කතිකාවතක් ගොඩ නැගෙන්නේ ද යුද්ධය අවසන් වී ටික කාලයකට පසුව යි. පළමු ලෝක යුද්ධයේ මියගිය සෙබළුන් සිහි කිරීම සඳහා එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය රතු පැහැති පොපි මලක් පැළඳි අතර, පොපි මල් විකුණා පළමු ලෝක යුද්ධයෙන් මියගිය සොල්දාදුවන්ගේ පවුල්වලට හා අබාධිත සෙබළුන් වෙනුවෙන් අරමුදලක් නිර්මාණය කිරීම සඳහා ද ඇය සිය දායකත්වය දක්වනවා.

ක්‍රමක් ක්‍රමයෙන් ලෝකය පුරා පොපි මල් ව්‍යාපාරය පැතිර යන අතර, සෑම රටකම පොපි මල් නොපිපෙන බැවින් විකිණීම සඳහා රතු පැහැති කඩදාසියකින් නිර්මාණය කරන පොපි මල ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වෙනවා.

බ්‍රිතාන්‍ය විසින් පොපි මල් දිනයක් නම් කරයි 

රතු පොපි මල (unsplash)

1921 වසරේ නොවැම්බර් 11 දිනය පොපි මල් දිනය ලෙස නම් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කරන අතර, එදින පොපි මල් දිනය සැමරීම පිණිස නිර්මාණය කරන ලද පොපි මල් විකිණීම සිදුවෙනවා. මේ ඔස්සේ පළමු ලෝක යුද්ධයේ දී මියගිය බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ පවුල්වලට හා අබාධිත සොල්දාදුවන්ගේ සුභසාධනය සඳහා එම මුදල යෙදෙවෙනවා. වර්තමානය වන විට නම් පොපි මල් දිනය ලෙස සැලකෙන්නේ නොවැම්බර් මස 11 වන දිනට ආසන්න ඉරිදා දිනය යි.

පොපි මල් දිනය ලංකාවට 

පොපි සැමරුම (bbci)

මේ කාලය වන විට ලංකාව බ්‍රිතානයේ යටත් විජිතයක් බැවින් පොපිමල් දිනය ලංකාවට ද ව්‍යාප්ත වෙනවා. පොපි මල් දිනයේ දී පොපි මල් විකිණීමෙන් ලැබෙන සියලු මුදල් වැය වෙන්නේ පළමු වැනි ලෝක යුද්ධයේ දී මියගිය හා ආබාධිත ඉංග්‍රීසි හමුදා සෙබළුන්ගේ සුබසාධනය සඳහා යි. 

පළමු ලෝක යුද්ධය සඳහා ලාංකිකයන් ද බ්‍රිතාන්‍ය හමුදා නියෝජනය කරමින් සටන් වැදුණු නමුත්, ඔවුන්ගේ සුබසාධනය සඳහා මෙරට පොපි මල් අලෙවියෙන් එකතු වන මුදල් යෙදෙවෙන්නේ නෑ. ඒ හේතුවෙන් පොපි මල් ව්‍යාපාරය පිළිබඳව මෙරට පුරවැසියන් තුළ විරෝධාකල්පයක් ගොඩනැගෙනවා. පොපිමල් ව්‍යාපාරය පිළිබඳව  මෙරට ජනතාව තුළ බලහත්කාරයෙන් පිළිගැනීමක්‌ ඇති කරලීමට ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු කරනවා. ඒ අනුව පොපිමල් මිල දී ගැනීමේ අනිවාර්යය නීතිය යටතේ ලාංකිකයන්ට පොපි මල් මිල දී ගන්නට සිදුවෙනවා.

පොපි මල් ව්‍යාපාරය වෙනුවට සූරිය මල් ව්‍යාපාරය 

සූරිය මල (wikimedia)

ඉංග්‍රීසි අධිරාජ්‍යත්වයට විරෝධතාවය ප්‍රකාශ කිරීම සඳහාත්, පළමු ලෝක යුද්ධයට බ්‍රිතාන්‍ය හමුදා නියෝජනය කර සටන් වැදී මරණයට පත් වූ සෙබළුන් හා නැවත පැමිණි සෙබළුන්ගේ පවුල්වල සුබසාධනය සඳහාත් පොපි මල් වෙනුවට සූරියමල් ව්‍යාපාරය ආරම්භ වෙන්නේ මෙම කාලයේ දී යි. සූරියමල් ව්‍යාපාරය ජනතාව අතරට යන්නේ එම රතු පැහැති අධිරාජ්‍යවාදී පොපිමලට විරුද්ධව යි. 

“සුද්දො අපේ රටේ මිනිසුන්ගෙන් පුළුවන් තරම් වැඩ ගත්තා, සිය ගණනක්‌ දහස්‌ ගණනක්‌ මැරුණා. සුද්දො පොපි මල් විකුණ විකුණා ඒවා උන්ගෙ රටට අරගෙන යනවා. අපේ රටේ අත-පය නැතිවෙච්ච, අබ්බගාත වෙච්ච අයට සතයක්‌වත් දෙන්නෙ නැහැ. මියගිය අයගෙ පවුල්වලට සහනයක්‌ නෑ.”

ලංකාවෙන් පළමු ලෝක යුද්දයට ගිය හමුදා නිලධාරියෙකු වූ ඊලියන් පෙරේරා පොපිමල් ව්‍යාපාරයට එරෙහිව තරුණ පිරිස් අමතමින් එලෙස ප්‍රකාශ කරනවා.

අධිරාජ්‍ය විරෝධී සූරිය මල් ව්‍යාපාරය ආරම්භ වීම 

සූරිය මල් ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා (dailynews.lk)

සූරියමල් ව්‍යාපාරයේ ආරම්භය ලෙස සැලකෙන්නේ 1933 නොවැම්බර් මස 11 වැනි දා යි. ඒ සඳහා දොස්තර වික්‍රමසිංහ, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන යන උගත් ධනවත් තරුණ පිරිසක් මූලිකත්වය ගනු ලබනවා. පසු කාලයේ ලංකාවේ වාමාංශික දේශපාලන සඳහා පැමිණෙන ඔවුන්ගේ මුලාරම්භ සංවිධානය ලෙස ද සූරිය මල් ව්‍යාපාරය සඳහන් කළ හැකි යි. සංවිධානයේ ආරම්භ සභාපතිත්වය කාන්තාවකට හිමි වීම ද මෙහි විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකි යි. සභාපතිවරිය වූයේ, එවකට කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ඩොරින් විනිප්‍රිඩා යං නම් බ්‍රිතාන්‍ය තරුණ කාන්තාව යි. ලංකාවේ කොමියුනිස්ට් දේශපාලනයේ ප්‍රධාන චරිතයක් වන දොස්තර වික්‍රමසිංහගේ බිරිඳ වන්නේ ඇය යි. පළමු රැස්වීම පවත්වන්නේ මෙරට නියෝජනය කරමින් 1958 දී පළමුවෙන්ම රාමෝන් මැග්සේසේ සම්මානය ලද මේරි රත්නම් වෛද්‍යවරියගේ නිවසේ දී යි.

ටික කාලයකින් පසුව මහනුවර, යාපනය, ගාල්ල හා මාතර වැනි ප්‍රදේශවල බිම් මට්‌ටමින් සූරිය මල් ව්‍යාපාරය දිවයින පුරා පැතිර යනවා. 

ඔවුන්ගේ ප්‍රධාන අරමුණට අමතරව සූරියමල් ව්‍යාපාරය ලංකාවේ පහත්යැ යි සම්මත කුලවල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ද කටයුතු කරනවා. එවකට මුළු රටේම ලාංකිකයන් ලක්ෂ ගණනාවක් මරණයට පත් කළ මැලේරියා වසංගතයෙන් මිනිසුන් ගලවා ගැනීම සඳහා ද සූරිය මල් ව්‍යාපාරය කටයුතු කරනවා.

පරිප්පු මහත්තයා හෙවත් ඇන්. ඇම්. පෙරේරා 

අගනුවරින් ඉතා දුර බැහැර ප්‍රදේශවල 1934 – 1935 කාලවල දී පැතිරී ගිය මැලේරියා වසංගතයෙන් පීඩා විදින ගම්වැසියන් බේරාගැනීමේ සඳහා සූරිය මල් ව්‍යාපාරයේ සාමාජිකයන් ඉතා කඩිනමින් මැදිහත් වෙනවා. දුර ඈත ප්‍රදේශවලට ඖෂධ, හාල්, සීනි හා පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රවය රැගෙන ගිය බැවින් මෙහි ප්‍රධාන සාමාජිකයෙකු වන ඇන්. ඇම්. පෙරේරාව ගැමියන් විසින් හඳුන්වන්නේ පරිප්පු මහත්තයා ලෙස යි.

අධිරාජ්‍ය විරෝධී අරගලයේ ආරම්භක සංවිධානයක් වූ සූරිය මල් ව්‍යාපාරයේ ප්‍රධාන සාමාජිකයන් පසු කාලයේ ලංකාවේ පළමු පක්ෂය වන ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වෙනවා.

මූලාශ්‍රයයන්- 

lankadeepa.lk

bbc.co.uk

Related Articles