Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මනරම් ජැමෙයිකාවේ රවුමක් යමු

කැරිබියානු දූපත් සමූහයට අයත්ව පිහිටි ජැමෙයිකාව බොහෝ ශ්‍රී ලාංකිකයන්ට ඒ තරම් නුහුරු තැනක් නොවන්නට හේතු ගණනාවක්ම තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් අතර පරසිඳු රෙගේ සංගීතයේ රජු බොබ් මාලි, ධාවන ශූර උසේන් බෝල්ට් පමණක් නොව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිකට් විරුවන් රැසක්ම ජැමෙයිකාව විසින් ලෝකයට දායාද කර තිබෙනවා. ඒ වාගේම ජැමෙයිකාවේ මනරම් වෙරළ තීර හා උණුසුම් කාලගුණයත් නිසා මෙහි සංචාරය කරන යමෙකුට ශ්‍රී ලංකාවට පැමිණියා හා සමාන හැඟීමක් ඇති වෙනවා. මෙහි සංචාරය කරන්නට අවස්ථාවක් ලදහොත් බොහෝ ලාංකිකයන්ට එය හුරුපුරුදු නමුත් සුන්දර අත්දැකීමක් ගෙන දේවි.

ජැමෙයිකාව ස්ථානගත වී තිබෙන්නේ කොහේ ද?

ජැමෙයිකාවේ පිහිටීම-ontheworldmap.com

ජැමෙයිකාව පිහිටා ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් වලට අයත්ව ඇමෙරිකා එක්සත් ජනපදයට ගිණිකොණ දිගින් හා ලතින් ඇමෙරිකා මහාද්වීපයට ඊසාන දිගට වෙන්නට යි. උතුරු අක්ෂාංශ 17 හා බටහිර දේශාංශ 77 ත් 79ත් අතර පිහිටා ඇති ජැමෙයිකාව අසල කියුබාව, පුවර්ටෝ රිකෝ හා හිස්පැනියෝලාව වැනි දූපත් පිහිටා තිබෙනවා. ජැමෙයිකාවට ආසන්නම රට කියුබාව වන අතර එය කිලෝමීටර 140ක් උතුරු දිගින් පිහිටා තිබෙනවා.

ජැමෙයිකාවේ ඉතිහාසය

අතීතයේ ජැමෙයිකාවේ ජීවත්ව සිටියේ ඇරවැක් වරුන් නම් ජන කොට්ඨාසයක් වන අතර ක්‍රිස්ටෝපර් කොලොම්බස් මේ බිමට පා තැබූ පළමු යුරෝපීය ජාතිකයා වනවා. ඒ 1494 වසරේදී මෙහි ගොඩබැසීමත් සමඟයි. ක්‍රි.ව 1509 දී ස්පාඤ්ඤ ජාතිකයන් මේ බිමට පැමිණෙන  අතර 1655 වසරේදී මෙය ඉංග්‍රීසීන් විසින් අත්පත් කරගන්නවා. අනතුරුව දීර්ඝ කාලීනව මෙය මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙස පැවති අතර වහල් වෙළඳාම සඳහා ප්‍රසිද්ධියක් ඉසිළුවා.

ජැමෙයිකාව නිදහස ලබූ බව දැක්වෙන පුවත්පත් ලිපියක්-thethunda.blogspot.com

ක්‍රි.ව 1962 අගෝස්තු මස 6 වනදා ජැමෙයිකාවට බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබුණු අතර වර්තමානය වන විට නිදහස් රටක් ලෙස කරයුතු කරනවා.

ජැමෙයිකාවේ භූ විෂමතාව

කැරිබියානු දූපත් සමූහයෙන් තෙවනුවට විශාල ජැමෙයිකාවේ අගනුවර කිංග්ස්ටන් නුවරයි. ජැමෙයිකාවේ භූමි වසපසරිය වර්ග කිලෝමීටර 10,991 ක් වෙනවා. මෙය ප්‍රධාන වශයෙන් කඳු හා උස්බිම් සහිත දූපතක් වන අතර මනරම් වෙරළ තීර වලටද උරුමකම් කියනවා. ජැමෙයිකාවේ වෙරළබඩ කලාපයේ බොකු, තුඩු හා දූපත් වැනි භූ විෂමතා රාශියක් දැකගන්නට පුළුවන්.

සමුද්‍ර පත්ලේ ඇති ගිණිකඳු වල ක්‍රියාකාරීත්වය නිසා තැණුනු දූපතක් වන ජැමෙයිකාව නැඟෙනහිර කඳු, මධ්‍යම නිම්න හා සානු හා වෙරළබඩ නිම්න වශයෙන් භූ විෂමතා කලාප 3 කට බෙදන්නට පිළිවන්. මෙහි උසින් වැඩිම ස්ථානය මීටර 2,256 ක් උස බ්ලූ මවුන්ටන් කඳු මුදුනයි.

බ්ලැක් රිවර් -chateaumargaritahotelandspa.com

ජැමෙයිකා භූමියෙන් බහුතර පෙදෙසක් අළුහුණු ස්ථරයකින් ආවරණය වී ඇති අතර ජැමෙයිකාව සතු ගංගා හා ඇළ දොළ 100 අතරින් සමහරක් භූගත ගංගා ලෙස මේ ස්ථරය යටින් ගලාගෙන යනවා. කිලෝමීටර 73 ක් දිග බ්ලැක් රිවර්  ජැමෙයිකාවේ විශාලතම ගංගාව වන අතර කිලෝමීටර 92.8 ක දිගකින් යුතු රියෝ මින්හෝ ගංගාව එහි දිගම ගංගාව වනවා.

දේශගුණය

ජැමෙයිකාව ඝර්ම කලාපීය දේශගුණයකට හිමිකම් කියනවා. මේ නිසා ග්‍රීෂ්මයේ හා ශිශිරයේ උෂ්ණත්ව වල විශාල වෙනසක් දකින්නට නැහැ. ශීත කාලයේ පවා දිවා උෂ්ණත්ව සෙල්සියස් අංශක 27-30 වැනි අගයක් ගන්නා අතර රාත්‍රියේදී එම අගය සෙල්සියස් අංශක 20-23 පමණ වෙනවා.

ඍතුමය වශයෙන් ගත් කල්හී වඩා සාර්ථක ලෙස වර්ගීකරණය කළ හැක්කේ වර්ෂා කාලය හා වියලි කාලය ලෙසයි. වර්ෂා කාලය අප්‍රේල් මස අග සිට ඔක්තෝබර් මාසය දක්වා ක්‍රියාකාරී අතර වර්ෂයේ සෙසු කාලය වියලි කාලය වෙනවා. ජැමෙයිකාවට වැඩිමනක් වැසි ලැබෙන්නේ ඊසාන දිගින් හමන සුළං මඟිනුයි. අගෝස්තු මාසයේ සිට නොවැම්බරය දක්වා හරිකේන් හා සුළි කුණාටු අවදානමක් ජැමෙයිකාවට තිබෙනවා.

ජැමෙයිකාවේ සංචාරය කිරීම

jamaicans.com

ජැමෙයිකාව සංචාරකයින්ගේ තෝතැන්නක් වන්නේ එහි උණුසුම් දේශගුණය හා ප්‍රියමනාප පුද්ගලයින් නිසාම නොවේ. නැරඹීමටත් විනෝද වීමටත් ස්ථාන රැසක් එහි පිහිටා ඇති නිසායි. සමස්ථයක් වශයෙන් ජනවාරි මස සිට අප්‍රේල් දක්වා මෙහි සංචාරය කිරීමට හොඳම කාලය ලෙස ගැනෙනවා. මේ කාලයේදී වර්ෂාව අඩු අතර පරිසර උෂ්ණත්වයද අඩු අගයක් ගන්නවා. ග්‍රීෂ්මයේදී මෙහි පවතින්නේ උෂ්ණත්වය මෙන්ම සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි දේශගුණයක්.

සංචාරක ස්ථාන

සංචාරකයෙකු විසින් නැරඹිය සුතු ස්ථාන රාශයක් ජැමෙයිකාවේ පිහිටා තිබෙනවා.

බ්ලූ ලැගූන් හෙවත් නිල් කලපුව

බ්ලූ ලැගූන්-renzojamtours.net

බ්ලූ ලැගූන් හෙවත් නිල් කලපුව ජැමෙයිකාව සතු අලංකාරම ස්වභාවික නිමැවුමක්. අතීතයේ මෙය පතුළක් නොමැති එකක් බව සැළකුණත් පසුව අඩි 180 ක් ගැඹුරු බව සොයාගත්තා. මෙහි ජලයේ වර්ණය අහසේ හිරු පිහිටා ඇති ස්ථානය අනුව වෙනස් වීම විශේෂිතයි. මෙය වටා ඇති තවමත් මිනිස් පහස නිසා හානියට ලක් නොවූ පරිසර පද්ධතිය ගතටත් නෙතටත් සුවයක් ගෙනෙනවා. මේ කලපුවේ ජලය සාමාන්‍යයෙන් උණුසුම්ව පවතින අතර සංචාරකයින් සඳහා බෝට්ටු සේවයක්ද ක්‍රියාත්මකයි.

බ්ලූ මවුන්ටන් කඳු මුදුන

බ්ලූ මවුන්ටන් කඳු මුදුන -realjamaica.org

බ්ලූ මවුන්ටන් කඳු මුදුන ජැමෙයිකාවේ උසම ස්ථානයයි. යුනෙස්කෝව මඟින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මෙය කැරිබියානු දූපත් සතුව ඇති අලංකාරතම දර්ශනයක් ගෙන දෙන කඳු මුදුනක් ලෙස හැඳින්වෙනවා. මේ මත පිහිටා ඇති වන වැස්ම නිසා මිහිදුම අතරින් නිල් පැහැයට දිස් වීම මෙහි නම පටබැඳීමට හේතු වී තිබෙනවා. මෙහි මුදුනට පා ගමනින් පහසුවෙන් ළඟා විය හැකි අතර මෙහි මුදුනට සැතපුම් 90ක් පමණ ඈතින් පිහිටි කියුබාවේ වෙරළ තීරය පවා දර්ශනය වෙනවා.

රීච් ඇල්ල

රීච් ඇල්ල -Fstopmovies.com

රීච් ඇල්ල හා අවට ප්‍රදෙශය අතීතයේදී සිය හාම්පුතුන්ගෙන් පැන ආ වහල් සේවකයන්ට සැඟවී සිටීමට තෝතැන්නක් සැපයූ අතර වර්තමානයේදී සැළකෙන්නේ ජනයාගෙන් පිරී යන්නේ ජැමෙකාව සතු අලංකාරම දිය ඇල්ලක් වන රීච් ඇල්ල ලොව පුරා ජනප්‍රියව තිබීම නිසායි. ජෝන් ක්‍රෝ කඳු පන්ති සීමාවේ තෙත් කඳුකර වනාන්තරයක් තුල පිහිටි මේ ඇල්ල වටා විවිධ ශාක වර්ග මෙන්ම කුරුළු වර්ග 23ක් පමණ ජීවත් වනවා.

ඩන් ගංගා ඇල්ල

ඩන් ගංගා ඇල්ල-traveljamaicatours.com

ඩන් ගංගා ඇල්ල ජැමෙයිකාවේ ඇති සුප්‍රසිද්ධම සංචාරක ස්ථානයක්. මෙය ඉතාම අලංකාර දිය ඇල්ලක් වන අතර ස්වභාවික ගල් පඩිපෙලක් වැනි බැස්මක් තිබෙනවා. අඩි 600 ක් පමණ උසකින් ඇරඹෙන මේ ගල් පඩිපෙළ පහසුවෙන් තරණය කර එහි මුදුනතට ලඟා විය හැකි අතර මෙය ස්පාඤ්ඤ හ ඉංග්‍රීසි හමුදා අතර 1657 වසරේදී  යුද ගිණි ඇවිළුණු ඓතිහාසික ස්ථානයක් ලෙස ද ප්‍රසිද්ධයි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මේ දිය ඇල්ල කෙලින්ම කඩා හැලෙන්නේ මුහුදට වීමයි. මේ නිසා ඒ අවට කුඩා වෙරළ තීරයක්ද සෑදී තිබෙනවා.

රියෝ ග්‍රැන්ඩේ

රියෝ ග්‍රැන්ඩේ -Raineybud/pinterest.com

රියෝ ග්‍රැන්ඩේ ජැමෙයිකාව සතු විශාලතම ගංගාවක් ලෙස සැළකෙනවා. මෙහි නාමකරණය 15 හා 16 වන සියවස්වල ජැමෙයිකාවේ රැඳී සිටි ස්පඤ්ඤ ජාතිකයින් විසින් සිදු කර ඇති අතර වර්තමානය වන විට බෝට්ටු පැදීම හෙවත් රාෆ්ටින් ක්‍රීඩාවට ප්‍රසිද්ධියක් උසුලනවා. විශේෂයෙන් සාමාන්‍යයෙන් නිසොල්මන් මේ ගංගාව මත උණ බම්බු වලින් සාදන ලද පාරු වලින් සංචාරකයන්ට ඔබ මොබ ගමන් කල හැකියි. මීට අමතරව මෙහි ඉවුරු කොණකට වී රසවත් කුරුම්බා ගෙඩි වල රස බලන්නත් ඔබට පුළුවන්.

සෙවන් මයිල් බීච් හෙවත් සැතපුම් හතේ වෙරළ තීරය

සෙවන් මයිල් බීච්-sandals.com

ජැමෙයිකාවේ සුන්දර ස්ථාන සඳහන් කරන විට වෙරළ තීරයක් සඳහන් කිරීමට නොහැකි වුවහොත් එය අඩුවක්. සෙවන් මයිල් බීච් හෙවත් සැතපුම් හතේ වෙරළ තීරය පිහිටා තිබෙන්නේ නෙග්‍රිල් නම් නගරයේයි. මෙය පාරාදීසයක් වැනි සුන්දරත්වයකට හිමිකම් කියනවා. ඇත්තෙන්ම මෙය දිගු වන්නේ සැතපුම් හතරක් පමණයි. මෙහි සුදෝ සුදු වෙරළ තීරය මෙන්ම නිල් පැහැති මුහුදු ජලය සැබවින්ම මනස්කාන්ත දසුනක් මවනවා. අඳුරු වැටෙන විට නැඟෙන මලානික හිරු රැස් විවිධ වර්ණ වලින් මෙහි ක්ෂිතිජය අසළ රටා මවනවා.

ඩොල්ෆින් කෝව්-jamaicatravelsaver.com

ඉහත සඳහන් කළ ස්ථාන වලට අමතරව රෝස් හෝල්, මිස්ටික් කන්ද, මේෆීල්ඩ් ඇල්ල, ඩොල්ෆින් කෝව් වැනි තවත් අගනා සංචාරක ස්ථාන රාශියකින් ජැමෙයිකාව පොහොසත්

බොබ් මාලි හා ජැමෙයිකාව

බොබ් මාලි -Mike Prior/Redferns/Getty

බොබ් මාලි පිළිබඳ කෞතුකාගාරය -Doug Pearson/ Getty Images

ජැමෙයිකාවේ නාමය ලෝකයටම ගෙන හැර පෑ බොබ් මාලි පිළිබඳ කෞතුකාගාරය නැරඹීම සිදු නොකළහොත් ජැමෙයිකාවේ කෙරෙන සංචාරය අසම්පූර්ණ වෙනවා. කිංග්ස්ටන් නුවර පිහිටා ඇති මෙය මාලි ජීවත් වූ නිවස වන අතර මෙහි සංචාරය කිරීමෙන් 1981 ඔහු මිය යන තුරුම ගත කළ ජීවිතයට අදාල සිහිවටන නරඹන්නට ඔබට පුළුවන්. ඔහුගේ නිදන කාමරයේ ඇති මූණිස්සම් ලකුණු අතීත ඝාතන තැතක් හුවා දක්වන අතර ඔහු ප්‍රිය කළ තරු හැඩැති ගිටාරය ඇතුලු සිහිවටන ගණනාවක්ම මෙහිදී ඔබේ නෙත ගැටේවි.

කවරයේ පින්තූරය -lonelyplanet.com

Related Articles